පුනරුද සමයේ බිහිවූ විශිෂ්ටතම මූර්ති ශිල්පියා – ප්‍රියංගිකා සෝමපාල

මයිකල්ආන්ජලෝ බුවර්නෙට්ටි (ක්‍රි.ව 1475.03.06 – 1564.02.18 )

මයිකල් ආන්ජලෝ යනු පුනරුද සමයේ ඉතාලියේ බිහිවූ මූර්ති ශිල්පියෙකු, චිත්‍ර ශිල්පියෙකු,ගෘහ නිර්මාණ ශිල්පියකු සහ කවියෙකු වේ.

* ඩේවිඩ්(David) ප්‍රතිමාව
* ජේසුතුමාගේ මරණය නිරූපණය කරන
පියෙටා (Pieta)ප්‍රතිමාව ,

* මෝසෙස්(Moses) ප්‍රතිමාව,
* අවසාන විනිශ්චය (The last judgement) සහ

* සිස්ටයින් දෙව්මැදුරේ වියන් සිතුවම්
මොහු විසින් කරන ලද ප්‍රසිද්ධ නිර්මාණ වේ.

මොහු අයත් වන්නේ උසස් පුනරුද සමයට ය. ලියනාඩෝ ඩාවින්චි, මයිකල්ආන්ජලෝ සහ ඔවුන් දෙදෙනාගෙන්ම අධ්‍යාපනය ලැබූ රෆායෙල් සැන්ටි යන ශිල්පීන් විසින් මෙම යුගය ගොඩනගා ඇත. යථාවාදීව සිතුවම් ඇඳීම, පර්යාවලෝකනය, කතෝලික ආගමික තේමාවන් සහ පුරාතන ග්‍රීක – රෝම ආගමික සංකල්ප සිතුවම් වලට තේමා වීම පුනරුදය සමයේ චිත්‍රවල විශේෂ ලක්ෂණ වේ.

මානව සිරුර බාහිරින් පමණක් නොව එහි අස්ථීන් ගේ පිහිටීම, අස්ථි චලන සහ ක්‍රියාකාරකම් අනුව මාංශ පේශීන්ගේ ස්වභාවය ආදිය මනාව අධ්‍යනය කොට පරිමාව, හැඩය, චලන, මාංශ පේශීන්ගේ ස්වභාවය සහ මුහුණේ ඉරියව් වඩාත් ඉස්මතු වන ආකාරයෙන් සිතුවම් සහ ප්‍රතිමා නිර්මාණය කිරීම සඳහා මයිකල් ආන්ජලෝ දක්වා ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි. ඔහුගේ මේ ශක්‍යතාවය මූර්ති සහ සිතුවම්වලට ප්‍රාණාරෝපණය කර ඇති ආකාරයෙන් වඩාත් ප්‍රකට වේ.

ශිල්පියා ප්‍රතිමා නිර්මාණය සඳහා යොදාගන්නේ කිරිගරුඬ පාෂාණයි. ඩේවිඩ් ප්‍රතිමාව උසස් පුනරුද සමයේ බිහි වූ විශිෂ්ටතම මූර්තිය ලෙස සැලකෙයි. මිනිස් සිරුරේ අවයවවල පරිමාණානුකූල බව, ඉරියව් නිරූපණය,මස්පිඬු වල ස්වභාවය ශරීරයේ චලන අනුව දක්වා ඇති ස්වරූපය විශ්මිතය. තවද අත්පාවල මතුව ඇති නහර පවා ශිල්පියා ප්‍රතිමාව තුළ මනාව නිරූපණය කර තිබේ . සිතුවම් අංක 01න් ඩේවිඩ් ප්‍රතිමාවත් , 2,3සහ 4 පින්තූරයන්ගෙන් එහි ඉසියුම්ව ශරීරය නිරූපණයට මුරතිකරුගේ ශිල්පීය ශක්‍යතාවක් රූපණය වෙයි . 

මයිකල්ආන්ජලෝගේ සිතුවම් අතරින් වඩාත් මා සිත් ගත් සිතුවම් වන්නේ ජේසුතුමාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ඔසවාගෙන සිටින මරියතුමිය නිරූපිත පියෙටා ප්‍රතිමාව යි. මියගිය ජේසුතුමාගේ සිරුරේ ඇති තාත්විකබව මරිය තුමියගේ සෝබර මුහුණ අපූරු ශෝකී රසයක් ජනනයට සමත් ය. (සිතුවම 5 )

සිස්ටයින් දෙව්මැදුරේ ඇති අවසාන විනිශ්චය සිතුවම ශිල්පියාගේ චිත්‍ර අතරින් වඩාත් ආකර්ෂණීය ය. සිස්ටයින් දෙව් මැදුරේ මීටර් 13.7×12 විශාල බිත්තියක් මත මෙම සිතුවම නිමවා ඇත. දෙව්මැදුරේ ඇති සිතුවම් හා ප්‍රතිමා අතරින් වර්තමානයේදී මෙම සිතුවම සංචාරකයන්ට නැරඹීමට පහසුකම් සලසන්නේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ය. (සිතුවම් අංක 6)

සිස්ටයින් දෙව්මැදුරේ වියන් තලයේ ඇඳ ඇති සිතුවම් ශිල්පියාගේ ප්‍රතිභාව මනාව පසක් කරවයි. මොහුගේ සිතුවම් පිළිබඳව දැනුමක් නැති අයෙකුට වුවද සිස්ටයින් දෙව්මැදුරේ ඇති සිතුවම් අංක 7 න් නිරූපිත දෙවියන් වහන්සේ විසින් ආදම් මැවීම (The creation of Adam) සිතුවම මතකයේ තිබෙනවාට සැක නැත.

කවර සිතුවම් සම්ප්‍රදායක් බිහි වුවද ඒ සෑම සිතුවම් සම්ප්‍රදායක් ම යටපත් කොට නැගී සිටීමට තරම් පුනරුද සමයේ සිතුවම් සුන්දරත්වයෙන් අනූනය. එබැවින් ම විශිෂ්ට කලාවක් ලොවට තිළිණ කළ ශිල්පීන් සහ ඔවුන්ගේ නිර්මාණ අතරේ මයිකල් ආන්ජලෝ ශිල්පියාගේ නාමය ද පියෙටා, ඩේවිඩ් වැනි මූර්ති ද සිතුවම් ද හෙටට ද ජීවමාන වනු ඇත.

— ප්‍රියංගිකා –
05.09.2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *