තෝරාගැනීමෙ නිදහස අහිමි කිරීම – සොෆිගේ අඩවිය – චතුරි මහේෂිකා

අද සමාජයෙ විවාහ වීම් වලට වඩා දික්කසාදවීම් හරිම සුලබයි, ඒ කාලෙයෙ දික්කසාදය වගේ දේවල් අහන්නම නැති තරම් ඒත් වර්තමානේ විවාහ වෙලා අනිත් අතට දික්කසාද වෙන ප්‍රතිශතය වැඩියි. ඒ වගේම අලුතෙන් විවාහ දිවියට එළඹෙන බොහෝ පිරිසක් ජීවත්වෙන්නෙ සතුටින් නෙවෙයි . එහෙම වුණේ කොහොමද කියල කතා කළොත් කතා කරන්න හේතු ගොඩක් තියෙනවා , හැබැයි අපි නිතරම කතා කරන හේතු වලට අමතරව වෙනස් හේතුවක් අද කතා කරන්න හිතුණා .
මේ කාරණාව තමයි නිවැරදි තෝරාගැනීමකට සමාජයෙන් එල්ලවෙන බාධාව . විවාහයක් දෙදරා යන්න මූලිකම අඩිතාලම වැටෙන්නෙ එතනින් . තරුණියකට ප්‍රේම සබඳතා එකකට දෙකකට වඩා වැඩි ගනනක් තිබුණොත් ඇයට වෙනම ලේබල් අලවන්න සමාජයෙ බොහෝ පිරිසක් බලන් ඉන්නවා . ඉතින් බොහෝ දෙනා තමන්ගෙ සම්බන්ධය ඇතුලෙ ප්‍රශ්න ඇතිවුණත් , සම්බන්ධය නවත්වන්න තරම් හේතු තිබ්බත් සමාජයෙ කතා වලට බයේ කොහොමහරි තියෙන සම්බන්ධෙම පවත්වගෙන යන්න මහන්සිගන්නවා . අවසානයේ විවාහ වුණත් ඉතාම අතෘප්තකර ජීවිත ගෙවන්න ඔවුන්ට සිදුවෙනවා .

අපේ ජීවිත වල විවාහය ආදී දේවල් එක්ක බලද්දි බොහෝ සුළු දේවල් වෙන ඇඳුම් පැළදුම් වගේ දේවල් අපි කොතරම් තෝරාගැනීම් වලට ලක්කරනවද ?

එකම එක ඇඳුමක් ගන්න ගියත් අපි තෝරලා ගන්නෙ හොඳම ඇඳුම් ටික , ඒවත් ඇඳලා බලලා එතනිනුත් හොඳම ඇඳුම තෝරගෙන ගෙදර ඇවිත් අඩුපාඩුවක් දැක්කොත් , හරි නෑ කියල හිතුණොත් ආයෙත් ගිහින් ඒ ඇඳුම වෙන ඇඳුමකට මාරුකරගන්නත් අපි දෙපාරක් හිතන්නෙ නෑ . හැබැයි ජීවිතේ ගන්න ලොකුම තීරණයක් වෙන විවාහයේදි අපි අහුවෙන දෙයක් කරේදාගන්නව වගේ ඉතාමත් අනුවන තීරණ ගන්නවා .

සමහරු හිතන් ඉන්නවා ජීවිතේ පටන්ගන්න පළවෙනි ප්‍රේම සම්බන්ධයම විවාහයකින් කෙළවර වෙන්න ඕනෙ කියලා . ඔව් ඇත්තටම එහෙම වෙනවනම් කොච්වර හොඳද . හැබැයි පළවෙනි සම්බන්ධය නෙවෙයි තුන හතර පහ හය හෝ දහය හරි කීවෙනි සම්බන්ධය හරි ගැලපෙන්නෙ නැත්නම් ඒක විවාහයකින් කෙලවරකරගෙන සදාකාලිකවම ලැතැවුලෙන් කාලය ගත කළයුතු නෑ .

මෙතනදි කියන්න උත්සහ කරන්නෙ ඇඳුම් මාරුකරනව වගේ සම්බන්ධතා මාරුකරන්න ඕනේ කියල නෙවෙයි . තමන්ට තව දුර යන්න නොහැකි තැන්වලින් නොගැලපෙන තැන් වලින් ඈත් වෙන්න කියලයි කියන්නෙ .

තෝරාගැනීමෙ නිදහස අහිමිවෙන තව තැන් තියෙනවා . සමහර වෙලාවට දෙමව්පියන් ඔවුන්ගෙ හිතුමතේට දරුවන්ව විවිධ පුද්ගලයන්ට විවාහ කරදෙනවා . ඇතැම් විට ඔවුන්ට ප්‍රේම සබඳතා තිබියදී පවා එක්කො කැමැත්ත අකමැත්ත නොවිමසා දරුවන්ගේ මානසිකත්වයත් ඔවුන්ගේ අනාගතයත් ගැන සත පහකට මායිම් නොකර දෙමව්පියො ගන්න ඇතැම් වැරදි තීරණ විවාහයන් දෙදරා යන්න කොතරම් බලපානවද . අල්පයක් හැර බොහෝ දෙමව්පියන් තීන්දු තීරණ ගන්නේ දරුවන්ගේ යහපත පිණිස බව හැබෑව නමුත් විවාහය වැනි ජීවිතයේ ඉතාම තීරණාත්මක සංධිස්ථාන වලදී ඒ හා සම්බන්ධ තීරණ ගැනීමට දරුවන්ට ඇති අයිතිය සලකාහරිනව නම් එය විශාල වරදක් .

කෙටියෙන්ම කියනවානම් පව්ල , නෑදෑයන් , සමාජය ආදී බාහිර බලපෑම් නැමැති නූල් වලින් නැටවීමට තරම් මිනිසුන් රූකඩ නොවන බව සියලුම දෙනා මෙන්ම තමන්ද දැනගත යුතු කාරණාවක් . එසේම සමාජයට ඇති බය නිසා ඔබ ඔබේ ජීවිතයේ තීන්දු තීරණ ගන්නවානම් වරද සමාජයෙ නෙවෙයි ඔබේමයි . තමන් කරන්නේ නිවැරදි දෙයනම් තමන්ගේ තෝරාගැනීම නිවැරදිනම් එය කිසිවක් නිසා වෙනස්කළ යුතු නෑ . මිනිස්සුන්ට කට කතා හදන්න හේතු ඕන වෙන්නෙ නෑ . හිනා වුණත් වැරදියි කියන හිනා නොවුනත් වැරදියි කියන මිනිස්සු ඉන්න සමාජයක අපිට විතරක් කතා නොහැදි තියෙයි කියල හිතනවනම් ඒක අපේම අනුවනකමක් .
සම්බන්ධයක් බිඳ වැටිලා වෙන සම්බන්ධයකට ගියොත් ලේබල් ගහන මිනිස්සු අපි පළවෙනි ප්‍රේමයෙන්ම විවාහ දිවියකට එළඹුනොත් අපිට මල් තියලා වඳින්න එන්නෙ නෑ , එතනත් අඩුපාඩුවක් තමයි කියන්න එන්නෙ අඩුම තරමෙ “ප්‍රොපෝසල් එකකින් බැන්දනම් හොඳයි” කියල හරි කියනවා .

ආයෙත් මුලට සම්බන්ධ කරලා කතාව නවත්තනම් . අතීතයේ ප්‍රේම සබඳතා කෙතරම් ආරම්භ වී බිඳ වැටී තිබුණත් ඔබ ඔබේ සීමාවන් වල හිඳ ඇත්නම් ඔබට ඇඟිල්ල දික් කිරීමට කිසිවෙකුට බෑ . සම්බන්ධතා කිහිපයක්ම බිඳවැටිලනම් එහෙම කෙල්ලො එපා , ඒ “බඩුවක්” කියල ලේබල් ගහන සමාජෙ දන්නෙ නැද්ද කෙනෙක් සමඟ යහන් ගත වෙනවනම් පළවෙනි සම්බන්ධයෙදිම ඒක වෙන්න පුලුවන්, ප්‍රේම සම්බන්ධතා නොතිබියදී වුණත් ඉතාම නරක දේවල් වෙන්න පුලුවන් බව ? ඒ දේවල් දැන දැනම සමාජය කරන්නෙ අන් කිසිවක් නෙවෙයි යමෙකුගේ තෝරගැනීමෙ නිදහස ඉතාම නිර්දය ලෙස විනාස කිරීමක් . ඉතින් මේ ඔබේ ජීවිතයයි ඒ ජීවිතය හැඩ කරගන්නට යහපත් වූ ඕනෑම තීරණයක් ගැනීම ඔබගේ පූර්ණ අයිතියක් . තෝරාගැනීමේ නිදහස කිසිවෙකුට අහිමි කරන්නට දෙන්න එපා .

W.චතුරි මහේෂිකා
05.09.2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *