Life_is_beautiful (Spoiler Alert) – සැලෝලයිට් පුරය – හංසිනී කවින්දි
සතුටු සිනහ පිරුණු සාදයක්”
වැටීම් නැගිටීම් අතරින් ගලායන්නා වූ සුඛ දුක්ඛයන්ගෙන් පිරුණු අනවරත දීර්ඝ චාරිකාවකට අපි “ජීවිතය” යැයි කියන්නෙමු. මෙකී දිගු චාරිකාව තුළ සිනාවට මෙන්ම කඳුළට ද අඩු වැඩි වශයෙන් ඉඩකඩ හිමි වී ඇත්තේ එකිනෙකට වෙනස් වූ විවිධාකාර සංවේදනාවන් කෙරෙහි මිනිස් චිත්ත සන්තානය විවර කරමිනි. මෙකී අනවරත චාරිකාව තුළ ඔබේ සිනහවක වටිනාකම කොතෙක්ද යන්න ඔබ මොහොතකට සිතා බැලුවා ද? සැබැවින්ම ඔබේ සිනහවක වටිනාකම ඔබ සිතනවාටත් වඩා ඉහළ අගයක් ගත හැකිය.
Life is beautiful යනු එලෙස ඔබට සිතාගත නොහැකි තරම් වටිනාකමක් හිමි වූ සිනාවක් පිළිබඳව අනුවේදනීය කතාන්දරයකි. එය ආදරණීය පියෙකුගේ සිනාවකි. සැබැවින්ම ගුයිඩෝගේ සිනාවක වටිනාකම කුඩා ජෝෂුවාගේ ජීවිතය විය. එනිසාම ඔහු අවසාන මොහොත දක්වාම ඒ සිනාව වියැකී යන්නට ඉඩතැබුවේ නැත.
ඉතාලියේ සොඳුරු නගරයක විසූ යුදෙව් ජාතික ගුයිඩෝ නිරන්තරයෙන්ම මුවග ගැවසීගත් සිනාවකින් යුතු වූ, තමා අවට සිටියවුන් හට පවා හාස්‍යය සහ සිනහව නොඅඩුව බෙදාදුන් ප්‍රීතිමත් මිනිසෙකු විය. ඔහුගේ හාස්‍යජනක, ප්‍රීතිමත්, සැහැල්ලු විලාසයෙන් යමෙකුගේ මුහුණට සිනාවක් ගෙන නොඑන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. කුරුලු පිහාටුවක් පරිද්දෙන් සැහැල්ලුවෙන් පාවී ගිය ගුයිඩෝගේ ප්‍රීතිමත් ජීවිතයට ප්‍රේමයේ සොඳුරු මිහිරියාව රැගෙන එමින් ඩෝරා පැමිණියා ය. සුරඟනක වන් සුරූපී ඩෝරා ගුයිඩෝ විසින් හඳුන්වනු ලැබුවේ ඔහුගේ කුමරිය ලෙසිනි. ගුයිඩෝගේ සැහැල්ලු, හාස්‍යජනක, ප්‍රීතිමත් විලාසයට වසඟ නොවී සිටීමට ඩෝරාට නොහැකි විය. ඇයව දිනාගැනීම උදෙසා ගුයිඩෝගේ ක්‍රියාකලාපයන් සැබැවින්ම ඉතා අපූරු ලෙස ප්‍රේක්ෂකයා කුල්මත් කරන අන්දමේ උත්සහයන් විය.
කලක් ගතවන විට මේ සොඳුරු කැදැල්ලට තවත් කුඩා සාමාජිකයෙකු එකතු විය. ඒ කුඩා ජෝෂුවා ය. ජෝෂුවාගේ සුරතල් බසින් ආලෝකවත් වූ මේ කුඩා කැදැල්ලේ සතුට තවත් පිරී ඉතිරී ගියේ ය. පාපැදියක නැගී ප්‍රීතියෙන් ගමන්කරන ගුයිඩෝ, ඩෝරා සහ ජෝෂුවාගේ රූපරාමුව මා නැරඹූ වඩාත් සොඳුරුතම සහ සිත්ගන්නාසුළු සිනමාපට රූපරාමුවලින් එකකි. ඒ තරමටම ඒ රූපරාමුව ආදරණීය

ඒ දෙවන ලෝක යුධ සමය විය. මිනිස් ඉතිහාසය තුළ සිදු වූ මිලේච්ඡතම සමූල ඝාතනයක් වූ යුදෙව් සංහාරය ඇරඹී තිබුණි. අවසානයේ එම භීෂණය ගුයිඩෝ සහ ජෝෂුවා ද සොයා පැමිණියේ ය. ඉතාලි ජාතික කාන්තාවක වූ ඩෝරා සිය මව දුම්රියපොළෙන් රැගෙන යළි නිවස කරා පැමිණෙද්දී ඇයට දැකගත හැකි වූයේ යකුන් නැටූ පිටියක් මෙන් වූ සිය දයාබර සැමියා සහ සුරතල් පුතුගෙන් තොර වූ පාළු නිවහනයි. එදා ඇයගේ මුළු ලෝකයම සුණුවිසුණුව දෙදරා යන්නට ඇතුවා නිසැක ය.
පැමිණි නොවැළැක්විය හැකි පිරිපත හමුවේ චංචල වී ගිය ද සිය කැළඹුණු මානසිකත්වය මුදාහැරීමට ගුයිඩෝට නොහැකි විය. ඒ තම කුඩා පුත්‍රයා නිසාවෙනි. ගුයිඩෝ බුද්ධිමත් විය. තීක්ෂණශීලී විය. තමා කැළඹීමට පත්ව දුරදිග නොබලා ක්රියාකළහොත් දෙදෙනාගේම ජීවිත අනතුරේ වැටෙන බව වටහාගත් ඔහු එළැඹී ඇති දරුණු අන්තරායකර තත්වය කුඩා ජෝෂුවාගෙන් වසන්කොට ඔහුගේ ජීවිතය රැකගැනීම සඳහා අපූරු උපක්‍රමයක් යොදාගත්තේ ය. කොතරම් දුෂ්කර අවස්ථාවකදී වුව ද සිය කුඩා පුතු සතුටින් මෙන්ම ආරක්ෂිතව සිටිනු දැකීම ඔහුට අවැසි විය. පියවරු එසේ වෙති. නාඳුනන වැඩිහිටියන්ට මැදිව සිදුවන මේ ත්‍රාසජනක ක්‍රියාවලිය පිළිබඳව කුඩා ජෝෂුවා සිටියේ නොතිත් කුතුහලයෙනි. ඔහුට ගුයිඩෝගෙන් ඇසීමට ප්‍රශ්න රාශියක් විය. මාගේ ඉමහත් විස්මයට හේතුවෙමින් ඒ සියලු අවස්ථාවල ජෝෂුවා නැගූ සෑම පැනයක් සඳහාම පිළිතුරු ගුයිඩෝ සතු විය.
යුද්ධ ටැංකි උදෙසා සිය පුත්‍රයා තුළ වූ කැමැත්ත ඉතා උපක්‍රමශීලී ලෙස යොදාගත් ඔහු මෙකී බියකරු දුෂ්කර අවස්ථාව ක්‍රීඩාවක් බවට පරිවර්තනය කරගත්තේ ය. මුහුණදීමට සිදුවන සෑම අභියෝගයක් සහ දුෂ්කර අවස්ථාවක් සඳහාම ක්‍රීඩාව තුළ ලකුණු හිමිකරගන්නා ක්‍රමවේදයක් විය. ක්‍රීඩාව අවසානයේ හිමිවන ත්‍යාගය යුද්ධ ටැංකියකි. ඒ තරමටම සූක්ෂම ලෙස සිය නිර්මාණශීලී චින්තනය මෙහෙය වූ ගුයිඩෝ මෙම දුෂ්කර අවස්ථාවේ බියකරු බව සුපුරුදු සිනාව තුළ සඟවා කුඩා පුත්‍රයාගෙන් වසන් කිරීමට සමත් විය. නමුත් දිනෙන් දින ගෙවීයන සෑම අවිනිශ්චිත නිමේශයකදීම ගුයිඩෝගේ සිතේ කුමන අන්දමේ සිතුවිලි රජකරන්නට ඇතිද? ඒ පිළිබඳව මට කිසිසේත් සිතාගත නොහැකිය. ඔහු ජීවත්වූයේ තමා වෙනුවෙන් නොවේ. සිය ආදරණීය පුත්‍රයා වෙනුවෙනි. කුඩා ජෝෂුවා ද සිය ආදරණීය පියාගේ සිනාව මත විශ්වාසය තැබුවේ ය. එයම ඔහුගේ ජීවිතයේ ගැලවීම උදෙසා හේතු විය. සියල්ල දරුණු අතට පෙරළීමට ගතවන්නට තිබුණේ ඉතාමත් කුඩා නිමේශයක් පමණි. සැබැවින්ම මෙය අතුරේ යෑමක් වැනි ජීවිතය පරදුවට තබා යෙදිය යුතු ක්‍රීඩාවක් විය. නමුත් කුඩා ජෝෂුවා මේ කිසිවක් නොදත්තේ ය. ඔහු සිනාසෙමින් සිය පියා පවසන පරිදි ලකුණු එකතුකරමින් ජයග්‍රහණය වෙත පියනගමින් සිටියේ ය. තමා රැස්කරන ලකුණු ඔස්සේ තමාගේ ජීවිතය සුරැකෙන බවත්, එම ලකුණු රැස්කිරීම සඳහා දිනෙන් දින සිය පියා මරණය අබිමුවට යන බවත් සුරතල් ජෝෂුවා දැනසිටියේ නැත.
ආදරණීය බිරිඳක මෙන්ම මවක ද වූ ඩෝරා ද විඳින්නට සිදුවන සියලු දුක් ගැහැට පිළිබඳව නොතකා ජීවිත පරිත්‍යාගයෙන් තම සැමියා සහ පුතුව සොයා ආවාය. එය ඔවුන් අතර තිබූ දැඩි ස්නේහයේ බන්ධනය මෙන්ම ඉතාමත් අසීරු, දුෂ්කර අවස්ථාවකදී වුව ද සිඳී නොගිය ප්‍රේමයේ උල්පත පිළිබඳව සුපහන් හැඟුම් ප්‍රේක්ෂකයා තුළ ඇතිකරයි. ජීවිතය රැඳෙන්නේ සතුට ඇති තැනදී ය. ඇය නොබියව සිය සතුට සොයා පැමිණියා ය.
අපේ මව්වරුන්ගේ කඳුළු අපි නොයෙක් වර දැක ඇත්තෙමු. නමුත් පියවරුන්ගේ කඳුළු දැක ඇත්තේ කොපමණ අල්ප වාර ගණනකදී ද? ඇතැම්විට ජීවිත කාලය පුරාවටම නොදුටුවා වන්නට ද පුළුවන. ගුයිඩෝ තුළින් නිරූපණය වන්නේ එලෙස සිය පුත්‍ර ප්‍රේමය වෙනුවෙන් කඳුළු හද පතුලේම සඟවා ගත් සුවහසක් දයාබර පියවරුන්ගේ ප්‍රතිරූපය යි. වරක් සිර කඳවුරු ගොඩනැගිල්ල කරා යන මාර්ගය සොයාගත නොහැකි වූ ගුයිඩෝ තම උර මත නිදාසිටින ජෝෂුවා ද සමගින් මීදුමින් වැසීගත් මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගමන්කරන අතර එම මාර්ගය අවසාන වන්නේ යුදෙව්වන්ගේ මළසිරුරුවලින් පිරුණු සමූහ මිනීවළකිනි. වහා තම සුරතල් පුතු ළයට තුරුළුකරගන්නා ගුයිඩෝ සුසුමක්වත් පිටවන්නට නොදී හද පතුලේම කඳුළු සිරකරගෙන නැවත කඳවුර වෙත පැමිණෙන අයුරු නරඹන්නන්ගේ සිත් තුළ ඇතිකරන්නේ ප්‍රබල කම්පනයකි. පියවරුන්ගේ කඳුළු අපට නොපෙනේ. ඒවා දකින්නට ඔවුන් අපට ඉඩතබන්නේ නැත. ඔවුහු සිය සුසුම්වල බර සිනාවක තවරා සඟවමින් ජීවිතයේ කිරුළ අප හිස් මත පළඳවති
“පුත්තපෙමං භනෙන ඡවිං ඡින්දති
ඡවිං ඡෙත්වා චම්මං ඡින්දති
චම්මං ඡෙත්වා මංසං ඡින්දති
මංසං ඡෙත්වා නහාරුං ඡින්දති
නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති
අටඨිං ඡෙත්වා අටඨිමිඤජං ආහච්ච තිට්ඨති”
(“ස්වාමිනී, පුත්‍ර ප්‍රේමය තමන්ගේ උඩු හම සිඳගෙන මහ හම සිඳියි. සම සිඳගෙන මස සිඳියි. මස සිඳගෙන නහර සිඳියි. නහර සිඳගෙන ඇට සිඳියි. ඇට සිඳගෙන ඇට මිදුළු සිඳියි. එසේ ඇටමිඳුළු සිඳගෙන දරු පෙම උපදින්නේ ය”)
මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිය සිංහබාහු නාට්‍යය තුළින් එය ගෙනහැර දක්වන්නේ මෙපරිද්දෙනි.
“පිතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයාගොස් ඇට තුළට වැද
ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා….”
Life is beautiful චිත්‍රපටය මෙය කොතරම් සනාතන දහමක් ද යන වග මට යළි යළිත් පසක් කරවූයේ හදවතේ සියුම් තැන් තදින් කම්පනය වූ බවට සාක්ෂි නෙත් මත ඉතිරිකරමිනි.
අවසානයේ එම දවස උදාවිය. ගුයිඩෝට සිය ඉරණම් ගමන යෑමට සිදුවූයේ තමා දෙසට යොමු වූ සුරතල් කුඩා දෑසක් සැඟවී එදෙස බලාසිටියදී ය. ඒ මොහොතේ ද ජෝෂුවා අසීමිත ලෙස විශ්වාසය තැබූ අපූරු සිනහව ගුයිඩෝගේ මුහුණ මත සටහන් වී තිබුණි. ඒ සිනාව ජෝෂුවා වෙනුවෙනි. ඔහුගේ ජීවිතය වෙනුවෙනි. ප්‍රේමය පවතින්නේ මරණයට අත පෙවිය නොහැකි තරම් ඉතා දිගු දුරකිනි. ප්‍රේමයට අභියෝග කිරීමටත්, එය පරාජය කිරීමටත් මරණයට කිසිදා නොහැකිය. අවසාන මොහොතේදීත් ගුයිඩෝගේ මුහුණ මත ඇඳී තිබූ ඒ සිනාව මට අවබෝධ කළ යථාර්ථය එයම විය.
මැෂින් තුවක්කුවේ උණ්ඩ ඔහුගේ ළය පසාරුකරගෙන යන හඬ ඇසෙද්දී මට දැනුණේ ඒ උණ්ඩ විනිවිද ගියේ ගුයිඩෝගේ ළය නොව මාගේ ළය ලෙසිනි. එලෙස සිදුරු වූ ළයින් ගලා ආ රුධිරය කඳුළු බවට පත්වී නොනවත්වා මගේ නෙතින් ඇදහැලුණි. මැෂින් තුවක්කු හඬින් කම්පා වූයේ මගේ ළය පතුළේ ගැඹුරුම තැනක තැන්පත් වී ඇති මනුෂ්‍යත්වයේ ආත්මය යි. ඒ අවසාන මොහොතේ ගුයිඩෝගේ සිතට කුමන අන්දමේ සිතුවිලි නැගුණේදැයි සිතන්නට මම කිසිවිටෙකත් උත්සහ නොකරමි. මන්ද ඒ සිතුවිලි සියල්ල මගේ හදවතේ දරාගැනීමේ සීමාවෙන් ඔබ්බෙහි පවතින බැවිනි.
මම හඬ නොනැගෙන පරිදි ඉකිබිඳිමින් හඬාවැටුණෙමි. මගේ මනුෂ්‍යත්වයේ ගැඹුරුම සංවේදනාවන්ගෙන් උපන් ඒ කඳුළු පිළිබඳව කිසිදා මම ලැජ්ජා නොවෙමි. කොතරම් කඳුළු සැලුව ද Life is beautiful චිත්‍රපටය මා තුළ ඇති කළ ඉසියුම් රිදවීම සහ කම්පනය සෝදාහැරීමට ඒ කඳුළුවලට කිසිදා නොහැකිය. එය ඒ තරම්ම ප්‍රබල ය.
චිත්‍රපටය පුරාම හාස්‍ය රසයත් සමග යටිපෙළින් නිරන්තරයෙන් ගලා එන උත්ප්රාසාත්මක බව එයට ගෙන එන්නේ ප්‍රබල ආලෝකයකි. චිත්‍රපටයේ නම වන “Life is beautiful” යන්න වුව ද එම උත්ප්රාසාත්මක භාවය වඩාත් තීව්ර කරවන්නකි. එය නිතැතින්ම මගේ මතකයට නැගුවේ සෝමරත්න දිසානායක ශූරීන්ගේ “සමනල තටු” චිත්‍රපටයේ එන මෙම ජනප්‍රිය ගීතය යි. එය ගායනා කරන්නේ වීදියේ ජීවත්වන දරුවෙකි.
“මේක සොඳුරු ලෝකයක්
සතුටු සිනා පිරුණු සාදයක්…
මහතුනේ…..
රැගෙන යන්න ඉන් බිඳක්
රැගෙන යන්න ඉන් බිඳක්
ඇසට කඳුළු එපා
සොඳුරු දසුන් බොඳ වී යාවී
ළයට සුසුම් එපා
සෙනෙහෙ පැතුම් පිටවී යාවී
මහතුනේ…..
අපි නටමු ගයමු වයමු සිනා වී
සුරලොකෙන් ඇදී
සුර සැප අස නිබඳ හමාවී
පෙර පිනකින් අපේ
මෙහෙම ලොවක උපත ලබාවී
මහතුනේ…..
අපි නටමු ගයමු වයමු හිනාවී
අපි නටමු ගයමු වයමු හිනාවී”
(සෝමරත්න දිසානායක)
Life is beautiful චිත්‍රපටය පිළිබඳව කතාකිරීමේදී රොබර්ටෝ බෙනිග්නි පිළිබඳව සඳහන් නොකිරීම එහිදී සිදුවන බලවත් අඩුපාඩුවකි. මෙම සිනමාපටය තුළින් ඔබට බෙනිග්නි නම් අධ්‍යක්ෂකවරයා පමණක් නොව අති දක්ෂ රංගන ශිල්පියා ද අපූර්ව අන්දමින් හඳුනාගත හැකිය. චිත්‍රපටයේ දී රංගන ශිල්පියෙකු මෙන්ම සිනමා අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු වෙතින් ප්‍රකට වන කුසලතාවය එතරම්ම ප්‍රබල මෙන්ම විශිෂ්ට ය.
1999 වසරේ හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන ත්‍රිත්වයකටම හිමිකම් කියන Life is beautiful සිනමාපටය සඳහා හිමි වී ඇති වෙනත් සම්මාන ද රාශියකි. එමෙන්ම IMDb සිනමා දර්ශකයේ 8.6ක් තරම් ඉහළ අගයක් හිමිකරගැනීමට ද මෙම චිත්‍රපටය සමත් වී ඇත.
මගේ ජීවිතය තුළ මා දුටු ශ්‍රේෂ්ඨතම සහ ආදරණීයම පියවරුන් අතරින් එක් අයෙකු මට හමුවන්නේ Life is beautiful සිනමාපටය තුළ දී ය. මාලනී ජයරත්නගේ පන්හිඳෙන් අකුරු වී, ටී. එම්. ජයරත්නයන්ගේ හඬින්
“රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදී”
යනුවෙන් ගැයෙන්නේ ගුයිඩෝ වන් පියවරුන් පිළිබඳව ය. සැබැවින්ම ඒ සෙනෙහසට කව් ගී ලියැවුණා මදිය. එය කිසිසේත් වදනින් කියා නිමකළ නොහැකි සුවිසල් ප්‍රේමයකි. ජෝෂුවාගේ ජීවිතය ඒ ශ්‍රේෂ්ඨ පියාගේ අසහාය ජීවිත පරිත්‍යාගයේ ප්රතිඵලයකි.
අවසානයේ කුඩා ජෝෂුවා සාර්ථක ලෙස ක්‍රීඩාව නිමකළේ ය. ගුයිඩෝ ඒ මොහොතේ කොහේ හෝ හිඳ ඔහු දෙස බලාහිඳිමින් සැනසුම් සුසුමින් පිරීගිය හදවතින් යුතුව සතුටු කඳුළු හෙලන්නට ඇත. ජයග්‍රහණය වෙනුවෙන් තමාට හිමිවූ සුවිසල් යුද්ධ ටැංකියේ නැගී ආඩම්බරකාර ලීලාවෙන් මහත් ප්‍රීතියෙන් යුතුව ගමන්කරන කුඩා ජෝෂුවාට අතරමගදී සිය මව හමුවේ. ඩෝරා සිය සුරතල් පුතුව තදින් වැළඳගන්නේ හාදු වැස්සකින් ඔහුව නහවමිනි. අප නරඹන සුවිසල් සංඛ්‍යාවක් වූ සිනමාපට දර්ශනයන් අතරින් ඉතා තදින් අපේ මතකයේ රැඳී තිබෙන්නේ ඉතාමත් අතළොස්සක් පමණි. මගේ සිතේ එලෙස තදින් සටහන් වී ඇති දර්ශන අතරින් දෙකක්ම අයත්වන්නේ ඉතාලි සිනමාවට ය. ඉන් එකක් “මලීනා” සිනමාපටයේ ඇතුළත් වන අතර අනෙක මෙම Life is beautiful සිනමාපටයේ අවසාන දර්ශනය වන කුඩා ජෝෂුවා සිනාමුසු මුහුණින් දෑත ඉහළට ඔසවා
“අම්මේ, අපි දිනුවා”
යනුවෙන් සිය මවට පවසන දර්ශනය යි. එය ඉතා තදින් මගේ ඇතුළාන්තය කම්පනයට ලක්කළ දර්ශනයක් විය.
“අම්මේ, අපි දිනුවා”
ඒ වදන් මේ මොහොතේත් මගේ දෙසවන දෝංකාර දෙයි.
සැබැවින්ම යුද්ධයකදී ජයග්‍රහණය කරන්නෝ කවරහුද?
ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් පවසා ඇති පරිදි යුද්ධයකදී පළමු වෙඩිල්ල කුමන පාර්ශවයකින් පත්තු වී ගිය ද එහිදී ප්‍රථමයෙන්ම මියයන්නේ මනුෂ්‍යත්වය සහ ප්‍රේමය යි.
එසේ නම් යුද්ධයක ඇත්තේ නියත පරාජයක් පමණක් නොවේද?
ඉතින්,
පමා නොවන්න. ඔබේ සිනාවන්ගෙන් ජීවිතය ගැණ බලන්න. ඔබේ සිනාවක වටිනාකම ඔබ සිතනවාටත් වඩා ඉහළ අගයක් ගන්නා බව ඔබටම අනාවරණය කරගත හැකිවනු නිසැක ය.
ප්‍රේමය ඇති තැන ජීවිතය සුන්දර ය. ප්‍රේමයත් එහි සුන්දරත්වයත් පවතින්නේ මරණයට අතපෙවිය නොහැකි තරම් ඉතා දිගු දුරකිනි. ගුයිඩෝ, ඩෝරා සහ කුඩා ජෝෂුවා අපේ සිත් මත විචිත්‍ර අන්දමින් චිත්රණය කරන්නේ එකී සුන්දරත්වය යි. එය නොපමාව හදවතින් විඳගන්නා ලෙස මම ඔබට ඇරයුම් කරමි.
“අත්ලට තදින් මිටිකරගෙන දුක අහුරූ
පැදයන විටදි සසරේ ජීවන පහුරූ
සිඳ දැමු නමුත් රුවලත් සුළඟක් වියරූ
හිනැහෙන නුඹත් කවියකි සබඳේ මියුරූ”
– හංසිනී කවින්දි –