හැම කවියෙක්ටම මිලක් නෑ – සුපුන් අතුකෝරලගේ

මේ පාර පොත මොකද්ද ?

මේ පාර පොතේ නම ‘සරද නුබ තරු වැල’. එකේ අර්ථය වඩාත්ම සරලව කිව්වොත් සරත් අහස් තරු වැල. මගේ පළමු පොත පිටවෙලා වසර හතරකිනුයි මේ පොත නිකුත් වන්නේ. ඒ කාලය තුළ ජිවිතයේ මට දැනුන සංවේදනා වලින් බිහිවුනු කවියි අලුත් පොතේ ඇතුළත් වෙන්නේ.

කවි පොත් වැඩෙන් ලාබයි ද ?

ටිකක් අමාරු ප්‍රශ්නයක්. මං නම් හිතන්නේ නැ කිසිම කවියෙක්ට කවිපොත් වැඩෙන් ලොකු ලාභයක් තියෙනවා. ලාභයිද කියන ප්‍රශ්නයට මං කැමතියි පාඩුවක් නෑ කියන උත්තරයක් දෙන්න. මොකද මගේ ⁣පොතක් හැමදාම ගන්න ඉලක්ක පාඨක පිරිසක් ඉන්නවා. ඔවුන් අතරට පොත යවන්න මම විවිධ මාධ්‍ය යොදා ගන්නවා. ඉතිං මේ වැඩෙන් මට පාඩුවක් නෑ.

හැම කවියකටම මිලක් තියෙනවා වගේම හැම කවියෙකුටම මිලක් තියෙනවද ?

හැම කවියෙකුට මිලක් ඉබේ හැදෙන්නේ නෑ. ඒ මිල හදාගන්න නම් ප්‍රතිභාව වගේම කවියේ භාෂාවේ සරල කමත් වැදගත්. හැම කවියෙක්ටම මිලක් නැතිවා මෙන්ම මිලක් හදාගන්න හැම කවියෙක්ම උත්සහ දැරිය යුතුයි.

ඇත්තටම ඇයි කවි ලියන්නේ?

කවි ලියන්නේ නැත්තම් මං අතින් කවි ලියවෙන්නේ මගේ දුක,සතුට,ආදරය, වෛරය, ළංවීම, වෙන්වීම වගේ හැගිම් පිටකරන්න.සරලවම කිව්වොත් මගේ ප්‍රකාශන මාධ්‍යය කවිය.

ඇත්තටම කවියක අඩංගු විය යුතු මොනවාද ?

කවියක අඩංගු විය යුත්තේ ජීවිතය. කවියට මිනිසාගේ හැගිම් දැනිම් වලින් මිදෙන්න බෑ. ඒ වගේම කවියක බස සරල වන්නාක් මෙන්ම එහි ශක්තිමත් යටි පෙළක් තිබිය යුතුයි. කොටින්ම නොකියවන දෙයක් තිබිය යුතුයි.

සමාජ ක්‍රමයේ අමුතු පන්නයේ තත්වයන් ගත වෙද්දි .. ඔබ කවියෙකු බවට පත් වෙලා..

කවියෙක් කියන්නේ ජීවිතය විඳින කෙනෙක් කියනවානේ. ඉතිං කවියෙක් විම ගැන නම් මට ආඩම්බරයි. එත් සංවේදි හිතක් එක්ක සමාජ⁣යේ ජිවත් වෙන්න නම් අමාරුයි. ඒ වගේම බහුතර සිතුම් පැතුම් වලට එකඟ වන්නත් අමාරුයි. ඒ කොහොම වෙතත් කවියෙක් විම මට නම් ආඩම්බරයක්.

මේ සිස්ටම් එක අස්සේ ජීවත් වෙන්න මොනව දරන්න ඕනේ..

සිස්ටම් එකේ ජිවත්වීම කියන එක වෙනම වැඩක්.ඔය සිස්ටම් එකේ ජිවත්වෙන බහුතරය
කොහේ හරි ගිහින් නතර වෙනවා. ඉතිං ඊ⁣ට කලින් නතර වෙලා ඉන්න එක හොඳයි. ඒත් ප්‍රයෝගික ජීවිතේ සිස්ටම් එකට අනුගත වෙන්න වෙන වේලාවල් නැතිවාක් නෙමේ.

හරි දැන් කියමු වැඩේ ගැන ?

වැඩේ තියෙන්නේ සැප් 9 බදාදා පස්වරු 3.30 ට කොළඹ 7 මහවැලි කේන්ද්‍රයේ. ප්‍රවීණ සාහිත්‍යවේදි චූලානන්ද සමරනායක මහතා මෙහි ප්‍රධාන දෙසුම සිදුකරනවා.කිවියර සුනන්ද කරුණාරත්න සහ කිවියර ළහිරු කිතලගම මෙහි කෙටි දෙසුම් සිදුකරනවා.කවි ගායනා රුවින්ද සත්සර. සමන් ජයරත්න සභාව මෙහෙයවනවා. මේ අවස්ථාවට සහභාගි වන ලෙසට ඔබ හැමෝටම සෙනෙහසින් ඇරයුම් කරනවා.

සාකච්ඡා කලේ  – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *