මිනිසුන්ට ඇහුන්කන් දෙන කෙනෙකුට හොදින් කවි ලිවිය හැකියි – තිලිනි N ලියනාරච්චි

 ඔබේ ” අප්‍රකාශිත ප්‍රේමය ” ගැන සඳහන් කලොත්?

අප්‍රකාශිත ප්‍රේමය කියන්නේ මගේ කුළුදුල් කවි පොත. ඒක සෑහෙන කාලයක් තිස්සේ තිබුණ හීනයක සැබෑවීමක්. සැප්තැම්බර් මාසේ පස්වෙනිදා හවස තුනට පොත එළිදැක්වීම වෙනවා මහවැලි කේන්ද්‍රයේදී
මිනිසුන්ගේ හැඟීම් වචන වලට පෙරලන්න හැමෝටම බෑ. කොහොමද ඔබ එහෙම කෙනෙක් උනේ?

මම හිතන්නේ මම මිනිස්සුන්ට ඇහුම්කන් දෙන කෙනෙක් සහ බොහෝ වේලාවට මිනිස්සු මට තමන්ගේ ජීවන අත්දැකීම් ඉඳලා බෙදාහදාගන්නවා ඉතින් ඒ හැඟීම් මගේ අතින් වචනයට පෙරලෙනවා ඇති.

 ඔබ සතුව ඔබටම ආවේණික වූ කවි රටාවක් තියෙනවද?

මම හිතන්නේ මගේ කවි සරලයි. අර්ථයෙන්ම සරලයි කියනවා නෙවෙයි ඒ වචන සරලයි. මිනිස්සුන්ට වඩාත් දැනෙන සහ තේරෙන භාෂාවෙන් මම කවි ලියන්න උත්සාහ කරනවා. ඒ ඇරෙන්න විශේෂයෙන් ආවේණික රටාවක් තියෙනවා කියලා හිතන්නේ නෑ. ඒත් මගේ කවියක් ,කොහේ කොතැනක තිබුණත් ඒක මම ලියපු එකක් කියලා අඳුරගන්න පාඨක පිරිසක් මට ඉන්නවා.

වැඩිපුරම ඔබ අතින් ලියවෙන්නේ ආදරය ගැනද ? විරහව ගැනද?

ඒක සාපේක්ෂයි. ආදරය ගැන වගේම විරහව ගැනත් ලියවෙනවා. විරහවත් ආදරයේම කොටසක් වෙන වෙලාවල් තියෙනවානේ. ඒ නිසා මම කැමතියි ප්‍රේමයේම විවිධ අවස්ථාවන් මම අතින් ලියවෙනවා කියන්න .

වර්තමාන සමාජයේ කවියට ,කලාවට සහ සාහිත්‍යයට තියන තැන ගැන ඔබ මොකද හිතන්නේ?

මම හිතන්නේ අපිට සංවේදී මිනිස්සු ටිකක් ඉන්නවා. කවියට,කලාවට වගේම සාහිත්‍යට මිනිස්සු ආදරය කරනවා කියන එක පෞද්ගලිකව මම අත්විඳින දෙයක්. අපි ඉන්නේ හරිම කාර්‍යබහුල ජීවන චක්‍රවල ඒත් අපි හැමෝම අපිට වෙලාවක් හොයාගන්නවා පොතක් කියවන්න, සිංදුවක් අහන්න, නාට්‍යක්, චිත්‍රපටියක් බලන්න, විඳින්න. ඉතින් සාපේක්ෂව යම් සුබවාදී මානසිකත්වයකින් මම ඒ දිහා බලනවා

කවියට පෙම් බඳින ඔබේ වෘත්තීය ගැනත් සඳහන් කරමු.

සමාවෙන්න ඕන, මම පෞද්ගලිකව ඒ ගැන කියන්න කැමති නැහැ. මම දැනට රැකියාවේ නිරත වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධිත කාර්‍යාලයක කියලා විතරක් කියමු.

බොහෝ අය හිතනවා කවියන් වචන වලට පෙරලන්නේ ඔවුන්ගේ අත්දැකීම් කියලා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

මම ඇතුළුව හැම කවියෙක්ම තමන් අහන දකින දේ සහ විඳින දේත් ලියනවා , ඒ වගේම imaginations ලියවෙන්නත් පුලුවන් .ඒකයි කවියෙක්ගේ , රචකයෙක්ගේ පරිකල්පන ශක්තිය. ඔබ අහන්නේ මම ලියන්නේ මගේ අත්දැකීම් ගැන කියලාද නම් මම මෙහෙම කියන්නම්, අත්විඳලා ලියපුවා, අහලා දැකලා ලියපුවා වගේම මවාගත්ත දේවල් මම ලියනවා. සමහර දේවල් ඒ විදියටම ඊට පසුව අත්විඳින්න ලැබෙන වෙලාවල් වුනත් තියෙනවා. ඕනම දෙයක් එහෙමයි.

සාහිත්‍යය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කල කවියන් සහ කිවිඳියන් බොහෝමයක් ඉන්නවා.ඒ අතරින් ඔබ වැඩිපුරම කැමති කවියා හෝ කිවිඳිය කවුද?

මහගමසේකරයන්, රත්න ශ්‍රී විජේසිංහ සර් සහ මොනිකා රුවන්පතිරණ කිවිඳිය

 “අප්‍රකාශිත ප්‍රේමය ” පිටුපස ඔබට සවිය දෙන අය සිහිපත් කලොත්?

අම්මා , තාත්තා , අයියා සහ මල්ලී ඇතුළු පවුලේ සැම,
චරිත්, තරිඳු , උත්පල, අසේල අයියා, විනෝ,විශ් ,සියූ, දිමුතු, ඇතුළු යාළුවෝ හැමෝමත්. ජීවන සඟයා චතුභානුටත් මගේ කවි කියවන, විඳින, අගයකරන හැමදෙනාටමත්, වචනයකින් හරි උදව්කරන හැමෝටම ඒ ගෞරවය දෙන්න මම කැමති.

සාකච්ඡා කලේ  – හර්ෂි සේනාධීර 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *