කඳු මුදුනේ සිට ලියමි – අංක 05 – සංජිවනී අමුණුගම

සියොලඟම දෙදරවන්න කොහොම හිතුනද මන්දා..හැමදාමත් අහස ගැනම ලියන නිසාද, ඉන්න බව අඟවන්න වෙන්න ඇති වතාවක් දෙවතාවක් කම්පන ඇති කරේ. නුඹ ඉන්න වග දන්නවා, සියලු බර දරා ගනිමි නුඹ හුස්ම ගන්න බව දන්නවා.කාලයත් එක්ක මිහිදන් වුනු සියලු ‘මතක’ මහ බරක් කියලත් දන්නවා.
ඇත්තටම ඒ මතක ගොන්න අතරේ සුන්දර මතක ඇත්තෙම නැද්ද.? ඇයි නැත්තෙ… හුඟක් මතක සුන්දරයි, ඒ සියල්ල අපේ ජීවිතේට එකතු කලේ අත්දැකීම්.. සමහරවිට අමිහිරිම සිදුවීමක් වෙන්නත් පුලුවන්..ඒත් ඒ අමිහිරි සිදුවීම අපිට, අපේ ජීවිතේට අත්දැකීමක් එක්ක ලොකු පාඩමක් කියලා දුන්නා වෙන්න බැරිද..ජීවිතේට පරිනත බවක් එකතු කලා වෙන්න බැරිද..ඔව් ඇත්තටම ඒක එහෙම තමයි..එහෙනම් , ඒ මතක., බරක් වෙන්නෙ කොහොමද..

ඉතින් …., දැන් ..ඔව් මේ දැන් ඔබේ ළය පුරා ඇති බර බිමින් තියන්න,අත්දැකීම් දෝතට ගන්න…ඒ තුල ඇති සොඳුරු බව ස්මෘතියට ගන්න.තත්පරෙන් තත්පරේ ගෙවෙන මේ ජීවිත පැසට පරිනත බව එකතු වුන බව හිතමු.
හිතමින් පැසවමින් ජීවිතේ අඩියක් හෝ පසුපසට නොයා පෙරමුණට පය තියමු.

ප්‍රකම්පනයකදිත්, අකම්පිතව ඉන්න කන්දකට පුලුවන් වුනේ කොහොමද කියලා නුඹට හිතෙනවද..හුස්ම ගන්නෙ ඔබ නම් ,සියලු නඩත්තු කටයුතු කරන්නෙ නුඹ නම් ඔබේ ජීවන වපසරිය ඔබ නිර්මාණය කර නොගන්නෙ ඇයි?..

අනෙකෙකුගේ ක්‍රියාවන් නිසා ඔබ හැපෙමින් ,තැවෙමින් ඔබම පසුගාමි වෙන්නෙ ඇයි?භාහිරින් කවුරුන් හෝ ඔබ ඔසවා ඔබේ චෛතසිකයන් ඉහලින් තබාවි කියා ඔබ සිතන තාක්, පුංචි සෙලවීමකටවත් ඔබට ඔරොත්තු දෙන්න බැරිවේවි.මතක තබා ගන්න භාහිරින් එන සියලු ඔසවා තැබීම් ,උසුලා ගැනීම් සියල්ල තාවකාලික බව.

එසේ නම්,ඔබ ,ඔබම වෙන්න.වෙන කවුරුත් මොකටද.? ඔබට කිසිදු අවැඩක් නොකරන විශ්වාස වන්තයා ඉන්නෙ ,නුඹේ චිත්ත අභ්‍යන්තරයෙ නෙවෙයිද?.
“මට මම”
හිතෙන්නෙ නැද්ද.. ඒක ප්‍රබල ,ශක්තිමත් සිතුවිල්ලක් බව.හුස්ම ගන්නා තාක් නුඹ රැකෙන්නත් ඉදිරියට නිවැරදි මග සලකුණු කියන්නත් තරම් බලවත් සිතුවිලි ජනිත වෙන්න ඕන ඔබේ සිත අභ්‍යන්තරයෙ.. දන්නවද..?සියලු කම්පන දරා අකම්පිතව ඉන්න ,කන්දෙ රහස තමයි ඒ.

අත්තාහි අත්තනො නාථෝ-කොහි නාථෝ පරෝසියා
අත්තනාව සුදත්තේන -නාථං ලභති දුල්ලභං
(ධම්ම පදය 180)

“තමාට පිහිට තමාම ය.වෙන කවරෙක් නම් පිහිට වේද.තමා මනාව දමනය වූ කල්හි තමා විසින්ම දුර්ලභ වූ පිහිට ලබන්නේය.”

 

—  සංජීවනී අමුණුගම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *