සම්මානවලින් විනිශ්චය වෙන්නේ විනිශ්චය මණ්ඩලයමයි – සුරත් ද මැල් 

‘තී හා තා’ ඔබේ ප්‍රථම නවකතාව. එය මෙතෙක් පැමිණි ගමන ගැන සතුටු විය හැකිද?

ඔව්. මුලින්ම සතුටුයි ඒක ලියලා ඉවර කරන්න පුලුවන් වුනාට. දෙවැනියට මුද්‍රණය කලාට. තුන්වැනියට මිනිස්සු කියවනවට. ඉන් එහාට ඔක්කොම බෝනස්. බෝනස් බලන් ලියන්නෙ නෑ.

බෝනස් කියන්නෙ සම්මාන ඇගයුම්ද?

ඔව්

‘තී හා තා’ දැන් කොළඹ පොත් ප්‍රදර්ශනයේදී ඉතා සීඝ්‍රයෙන් අළෙවි වෙන බව වාර්තා වෙනවා. මේ අළෙවියට සම්මාන, නිර්දේශ බලපෑවේ නැද්ද?

අනිවාර්යෙන් බලපාන්න ඇති. හැබැයි ඒවා නැතිවත් පොත අළෙවි වුනා.

එක සම්මාන උළෙලක දී ඔබට සම්මාන ලැබෙනවා. තව එකකදි අවසන් වටයට කෙටි ලැයිස්තු ගත වෙනවා. තව එකක අවසන් වටය නියෝජනය වෙන්නෙ නෑ?

සම්මාන කියන්නෙ සාහිත්‍ය හෝ කලාව මනින පරමාදර්ශී මිනුම් දණ්ඩ නෙමෙයි. සම්මානයකින් එළි දකින්නෙ ඒ අදාළ විනිශ්චය මණ්ඩළේ රසිකත්වය. දින්නා කියලා උඩ පනින්නවත් නොතේරැනා කියලා නහින්නවත් දෙයක් වත් සම්මාන වල නෑ. සම්මාන කියන්නෙ මොකක්ද කියලා අවබෝද කර ගන්න විතරයි ඕන.

සම්මාන කියන්නෙ මොකක් ද?

සම්මාන කියන්නෙ වෙලාවකට මාර්කටින් ටූල් එකක්. වෙලාවකට හෙජෙමොනිකල් ටූල් එකක්. සම්මානයකින් මැනෙන්නෙ විනිශ්චයට ලක් වෙන කෘතියට වඩා විනිශ්චය මණ්ඩලයයි කියන අදහසෙයි මම ඉන්නෙ.

ඔබ සම්මාන කියන සංකල්පය ප්‍රතික්ෂේප කරනවද?

නෑ. සම්මාන කියන්නෙ සංස්කෘතිකාංගයක්. ඒක විනෝදයක්. විනෝදයට මම කැමතියි. හැබැයි ඒක නිසා ලියන්න තියෙන විනෝදය වෙනස් වෙන්නෙ නෑ.

‘තී හා තා’ කෘතියේ එන ආදරය හා ලිංගිකත්වය සමහරැන්ට ගැටළුවක් වූ බව පේනවා. මේ පොතේ කුණු හරැප තියෙනවා කියලා ඒ ගොල්ලො කියන්නේ?

මේක ආදරය ගිවිස ගත්ත දෙදෙනෙක්ගෙ පැවැත්ම පිළිබඳ කතාවක්. ලිංගිකත්වයෙන් තොර ආදරයක් මම නම් දන්නෙ නෑ. කතාවේ අවශ්‍යතාවය මත මිසක් බලෙන් එබ්බවූ ලිංගිකත්වයත් මෙහි නෑ. අනික ලිංගිකත්වය කියන්නෙ කුණුහරැපයක් නම් මේ ලෝකෙ කියන්නෙ කුණුහරැප බිලියන හතක එකතුවක්. අනෙක ඔය කියන හැමෝම ඉපදිලා තියෙන්නෙත් ඒ කුණු හරැපෙන්ම තමයි. ඉතිං කුණුහරැපයකින් ඉපදුනා නම් අපි හැමෝමත් කුණු හරැප තමයි.

ඔබේ කෘතිය සේම ‘නිම්නාගෙ ඉතිහාසය’ නවකතාවටත් එම චෝදනා එල්ලවුනා?

ප්‍රශ්නය තියෙන්නෙ ‘නිම්නාගෙ ඉතිහාසයේ’ නෙමෙයි. අපේ ඉතිහාසයේ. තවම සමහරැ ජීවත් වෙන්නෙ අවුරැදු පනහකට එපිට අතීතයේ. වික්‍රමසිංහ යුගයෙන් එළියට එන්න තවමත් සමහරැන්ට බෑ.

ඒ සමගම ඉස්මතු වුණු අදහසක් තමයි පුද්ගල මනෝභාවයන් විශද කරන නවකතාවලට වඩා වැදගත් වෙන්නෙ සමාජ ප්‍රශ්න කතා කරන නවකතා කියන එක?

එතකොට පුද්ගලයා කියන්නෙ සමාජයේ කොටසක් නෙමෙයිද? පුද්ගල මනෝභාවය විශ්ලේෂණය කරනවා කියන්නේ සමාජයේ තියෙන කුඩාම ඒකකය හරහා ලෝකය විනිවිදින්න උත්සාහ කරන එක. උදාහරණයක් විදියට දැන් ඔය වගේ අදහස් දරණ අයගෙ මනෝභාවය සහ බුද්ධි මට්ටම ඔවුන්ගේ ප්‍රකාශ හරහා එළි දකිනවා. ඊළඟට අපේ රටේ සාහිත්‍ය විනිශ්චය තියෙන්නේ ඒගොල්ලන්ගෙ අතේ කියලා දැන ගත්තම ඒකෙන් සමාජ විවරණයකුත් ලැබෙනවා. එතකොට ඒ හරහා සමාජ ප්‍රශ්නයකුත් සාකච්ඡා වෙනවා. අන්න එහෙමයි පුද්ගල මනෝභාවය හරහා සමාජය විශ්ලේෂණය කරන්නෙ.

මේ අතරෙ තවමත් මිනිස්සු වික්‍රමසිංහට සරච්චන්ද්‍රට වන්දනාමාන කරනවා නේද? එහෙනම් ‘විරාගය’, ‘මළගිය ඇත්තෝ’ පටන් විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට කෘති කියන ඒවයෙන් වැඩි කොටස කුණු කූඩෙට දාන්න වෙනවා.

අපේ සංස්කෘතික සංඛේත සහ ඇගයුම් අභියෝගයට ලක් කිරීම ඔබට සමහර සම්මාන නොලැබීමට හේතුවක් වූ බව කියවෙනවා?

සංස්කෘතිය කියන්නෙ අතීතයට අයිති පුරාවස්තුවක්වත්, හදුන්කූරක් පත්තු කරලා වන්දනා මාන කරන්න ඕන දෙයක්වත්, නරක් වෙයි කියලා ෆ්රිජ් එකේ දාලා තියන්න ඹ්න දෙයක්වත් නෙමෙයි. අපි ජීවත් වෙන්නෙ සංස්කෘතියක් ඇතුලේ. ඒවගේම අපි ජීවත් වෙන ආකාරයට සංස්කෘතිය නැවත ප්‍රතිනිර්මාණය වෙනවා. සංස්කෘතිය වෙනස් නොවිය යුතුයි කියලා හිතන්නෙ මැරිච්ච මිනිස්සු.

‘තී හා තා’ ඔබේ ප්‍රථම නවකතාව. විචාර, විවේඡන, ඇගයුම්, තරඟ, සම්මාන, අළෙවිය වගේ දේවල් සාහිත්‍ය ලෝකයට අලුත් ඔබට අභියෝගයක් වුනේ කොහොමද?

සාහිත්‍යයයේ කියලා අමුතු මැජික් නෑ. ජීවිතය කලාවට වැඩිය විසාලයි.

 

සාකච්ඡා කළේ: රැවන් ජයවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *