long distance relationship එකක් රැකගන්නෙ කොහොමද ? – චතුරි මහේෂිකා

ගොඩක් දෙනෙක් කතා නොකරන , එහෙම නැත්නම් විශේෂයෙන් කතා කරන්න හිතන්නෙ නැති මාතෘකාවක් ගැන අද කතා කරන්න හිතුණා . Long distance relationship කියන දේ ලංකාවෙදි වැඩිය කතා බහට ලක්නොවුණට කතා කරන්න තරම් බොහෝ දේවල් තියෙන මාතෘකාවක් . විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවෙ තරුණ පරම්පරාවට බොහෝ දේ පිළිබඳ අත්දැකීම් ගොඩක් දුරට අඩුයි . “දිගු දුර සම්බන්ධයක්” කෙසේ වෙතත් ලඟ පාතක තියෙන නිතර දෙවේලෙ මුණ ගැහෙණ සම්බන්ධයක් වුණත් රැකගන්න දැනීම ගොඩක් අඩුයි . ඒකට හේතුව පවුලෙන් සහ සමාජයෙන් අපේ ඉහල පරම්පරාවෙන් ලැබිය යුතු දැනුම , අත්දැකීම් නිසියාකාරව ගලා නොඒම .
ආදර සම්බන්ධයකදි කෝල් මැසේජ් කරන , හමුවෙලා කතා බහ කරන එකට වඩා ඒ සම්බන්ධය රැකෙන්න අවශ්‍ය වෙන තව බොහෝ දේවල් තියෙනවා . ඒ දේවලුත් අපි පසුවට කතා කරමු . ඒ වගේම අද මාතෘකාව යටතේ කතා කරන දේවල් සාමාන්‍ය සම්බන්ධතාවයකටත් ගලපගන්න පුලුවන් .

Long-distance relationship (LDR) එහෙම නැත්නම් දිගු දුර සම්බන්ධයක් කියල කියන්නෙ භූගෝලීය වශයෙන් එකිනෙකාගෙන් වෙන් වී සිටින හවුල්කරුවන් අතර සමීප සම්බන්ධතාවයක් . ඉතින් මේ නිසා සාමන්‍ය සම්බන්ධතාවයකදි වගේ නිතර සිදුවන මුහුණට මුහුණ සම්බන්ධතා ඔවුන් අතර දකින්න ලැබෙන්නෙ නෑ . ලෝකෙ පුරා දකින්න ලැබෙන මේ LDR වලින් 25%-50% ත් අතර ප්‍රතිශතයක් දකින්න ලැබෙන්නෙ විශ්ව විද්‍යාල සිසුන් අතර බවයි වාර්ථාවෙන්නෙ . ඉතුරු පිරිස ලෙස විවිධ රැකියා, සේවා, වෙනත් අධ්‍යාපනික කටයුතු හා විවිධ හේතු නිසා විදේශගත අයගේ සම්බන්ධතා ඇතුළත් කරන්න පුලුවන් . එකම රටක ඈත ප්‍රදේශ දෙකක ජීවත්වෙන දෙදෙනෙක්ට වුණත් මාසයකට වරක් හෝ මුහුණට මුහුණ හමුවීමට අවස්ථාව සලසගන්න හැකියාව තිබෙනවා . හැබැයි තමන්ගෙ ආදරවන්තයා/ වන්තිය හෝ සහකරු/සහකාරිය සිටින්නේ වෙනත් රටකනම් මුහුණට මුහුණ හමුවීමට ඇතැම් විට අවුරුදු ගණන් බලා සිටින්නට සිද්ධ වෙනවා .

මෙම LDR අතර ඇතැම් සම්බන්ධතා කලින් දැන අඳුරගෙන ආදර සම්බන්ධයක් පටන් ගත්තට පස්සෙ එක් අයෙක්ට විදේශගත වෙන්න සිද්ධවෙන එහෙම නැත්නම් විදේශගතවුණාට පස්සෙ ආදර සම්බන්ධයක් ඇතිවෙන සබඳතා , වගේම කිසිම දවසක දැක නැති , දන්නෙ නැති , රටවල් දෙකක ඉද්දිම ඇතිවෙන ආදර සම්බන්ධතාත් තිබෙනවා .
ලඟ ඉඳල විදේශගත වෙද්දි වෙන් වුණාම දැනෙන හැඟීම සහ කිසිම දිනක දැකලවත් නැතුව ආදරය කිරීම එකිනෙකාට වෙනස් හැඟීම් දෙකක් . කොහොම වුණත් එකිනෙකාට දක්වන ආදරය , හමුවීමට දිනයක් එළඹෙන තුරු බලාසිටීම ආදී හැඟීම් වෙනස්වෙන්නෙ නෑ .

අපි දන්නවා ඉස්සර වගේ නෙවෙයි වර්තමානයේ තාක්ෂණය දියුණු නිසා ලෝකෙ එහා කෙළවරේ සිට මෙහා කෙළවරට සම්බන්ධවීමට තත්පරයක්වත් ගතවෙන්නෙ නෑ . ඒ නිසා කෙතරම් දුර වුණත් සම්බන්ධතා පවත්වගෙන යන්න අතිශ්‍ය සුවපහසු බවක් අපිට තිබෙනවා . හැබැයි කෙතරම් තාක්ෂණය තිබුණත් තේරුම් නොගැනීම , ස්මාර්ට් විදිහට නොසිතීම සහ තාක්ෂණය හරියට භාවිතා නොකිරීම නිසා මෙම සම්බන්ධතා ඇතැම්විට වදයක් වෙන්න , පසුව එපාවෙන තත්වයට පත්වෙන්න පුලුවන් . අපි දැන් එකින් එකට බලමු කොහොමද දිගු දුර සම්බන්ධයක් ආදරණීය විදිහට රැකගන්නෙ කියලා .

*කාලය

අපේ රටේ දැන් වෙලාව නෙවෙයි අනිත් බොහෝ රටවලට තියෙන්නෙ , වෙලාව අතර පැය ගනන් වල පරතරයක් තියෙනවා , උදාහරණයක් විදිහට ලංකාවෙ වෙලාව දැන් ප.ව 2.18යි , හැබැයි දැන් ඇමෙරිකාවෙ වෙලාව පාන්දර 4.49 යි (ප්‍රාන්තයෙන් ප්‍රාන්තයටත් එහෙ වෙලාව වෙනස්)
දැන් ජපානෙ වෙලාව හවස 5.47යි
UAE වල වෙලාව ගත්තොත් දැන් මධ්‍යහ්න 12.48 යි ඉතින් මේ වගේ රටවල් එකකට එකක් අතර වෙලාව අතර පරතරයක් තියෙනවා . මුලින්ම ඔයා සහ ඔයාගෙ සහකරුවා ඉන්න රටේ කාලපරතරය නිවැරදිව මතක තියාගෙන ඉන්න එක වැදගත් ,
සමහර වෙලාවට ඔයා ඇහැරලා ඉන්න වෙලාව එයා නිදාගන්න වෙලාව වෙන්න පුලුවන් , ඒ වගේම විවිධ ශිෆ්ට් වලට වැඩකිරීමේදී ඔයා නිදාගන්න වෙලාවෙ එයාගෙ වැඩ කිරීමේ කාලය වෙන්න පුලුවන් . ඉතින් දෙදෙනාට තියෙන වැඩකරන වෙලාවන් , විවේක වෙලාවන් ආදිය දැනගෙන ඉන්න එක පහසුයි , ඒ වගේම කතා බහ කරන්න දෙන්නටම පහසු වෙලාවක් හදාගන්න පුලුවන් .
අපේ රටේ වගේ නෙවෙයි වෙනත් රට වලට ගියාම විවේකයෙන් ඉන්න තියෙන වෙලාව හරිම අඩුයි , බොහෝවිට ප්‍රධාන රැකියාවට අමතරව තවත් අර්ධකාලීන රැකියා , අමතර ඉගෙනීම් කටයුතු ආදියෙත් නිරත වෙලා ඉන්න අයට නිදාගන්න කන්න බොන්න පවා බොහොම සීමිත වෙලාවක් තියෙන්නෙ , ඒ වගේ වෙලාවක ගමනාගමනය සඳහා වෙන් වෙන වෙලාවත් කත බහ කරන්න යොදාගන්න අපිට පුලුවන් .

*කැපකිරීම්

අපි කලින් කතා කළා වගේ සමහර විට දෙන්නටම ෆ්‍රී වෙලාවක් ගලපගන්න බැරිම වෙන තැන් තියෙනවා , උදාහරණයක් විදිහට එයා ෆ්‍රී වෙන වෙලාව ඔයා නිදාගන්න වෙලාවනම් ඔයාට පුලුවන් නේද නින්දෙන් පොඩි කාලයක් ආදරය වෙනුවෙන් කැපකරන්න .. ඒ වගේ කැපකිරීම් ආදරයකදි සුලබ දෙයක් . මේ එක උදාහරණයක් විතරයි , ආදරය රැකගන්න කරන්න පුලුවන් කැපකිරීම් කරන්න පසුබට වෙන්න එපා

*ප්‍රමුඛතාවය ලබාදෙන්න

තමන්ගෙ මව් රටේ ජීවත් වීමයි වෙනත් රටක ජීවත් වීමයි කියන්නෙ හාත්පසින්ම වෙනස් ජීවන විදි දෙකක් . ඔයා කොතරම් කාර්‍යබහුල කෙනෙක් වුණත් විශේෂයෙන්ම ලංකාවෙ කෙනෙක්නම් ඔයාට ෆ්‍රී ටයිම් ගොඩක් හොයාගන්න පුලුවන් , තමන්ගෙ රටේම ඉන්නවනම් ගෙදර දොරේ වැඩ කටයුතු වලටත් දෙමව්පියන් සහ පිරිස බොහෝ විට ඉන්නවා , හැබැයි මව් රටෙන් පිට ඉන්න අයට එහෙම නෑ , ගොඩක් වෙලාවට ඒ අයට කන්න බොන්න පවා තනියෙන් හදාගන්න වෙනවා , ඒ විතරක් නෙවෙයි පව්ලක සමඟියෙන් බෙදාහදාගෙන කරන හැම කටයුත්තක්ම ඒ අයට තනියෙන්ම කරගන්න වෙනවා . දවසෙ විවේක කාලය වුණත් ඒ සඳහා ඒ අයට මිඩංගු කරන්න වෙන නිසා බොහොම පුංචි කාලයක් තමයි අමතර දේවල් වලට ලැබෙන්නෙ , ඒ නිසා මව් රටෙන් පිට ඉන්න කෙනාට හැකි උපරිමෙන් ප්‍රමුඛතාවය ලබාදෙන්න බලන්න . උදාහරණ විදිහට කතා කරන්න තියෙන වෙලාවෙදි එයාට නිදාගන්න කාලයක් ඉල්ලුවොත් දෙන්න , එයාගෙ නිවාඩු දවසෙ එයා ලඟ ඉන්න ඔයාගෙ අත්‍යාවශ්‍ය නොවන කටයුත්තක් කල්දාන්න පුලුවන්නම් ඒක කරන්න .
හැකි හැමවෙලාවකම එයාගෙ වැඩ වලට ප්‍රමුඛතාවය දීලා ඔයාගෙ වැඩ කළමණාකරණය කරගන්න බලන්න

*තේරුම්ගන්න

මේ දේවල් එකින් එක බොහොම කෙටියෙන් කතා කලාට දීර්ඝව විස්තර කරන්න පුලුවන් දේවල් , තේරුම් ගැනීමත් එහෙමයි , මේක ගොඩක් තැන් වලදි වැදගත් වෙනවා . ඕනම ආදර සම්බන්ධයකදි අපි ආසයි ආදරය කරන්න වැඩිපුර වෙලාවක් ලැබෙනවනම් . සමහරවිට ඔයාගෙ සම්බන්ධතාවයෙදි කාලය කලමණාකරනය කරගන්න පුලුවන් විදිහ අනුව ඔය දෙන්නටම දවසට කතා කරන්න ලැබෙන්නෙ පැය භාගයක් වෙන්න පුලුවන් , සමහර කර්මාන්තශාලා වල විවේක වෙලාවට අමතරව ජංගම දුරකථන පවා පාවිච්චියට නොදෙන නිසා නිතර දෙවේලෙ මැසේජ් කරන්නවත් විදිහක් නැතිවෙන්න පුලුවන් , ඔයාට සිද්ධවෙනවා ඒ දේවල් තේරුම්ගන්න . ඔහු කරන රැකියාවෙ ස්වභාවය මොකක්ද , නීති රීති මොනාද වගේ දේවල් ගැන දැනුවත්නම් ඔයාට මේවා ලොකු ප්‍රශ්න වෙන්නෙ නෑ .

*එදිනෙදා දේවල් කතා බහ කරන්න

එදිනෙදා තමන් ගත කරපු විදිහ ගැන දෙන්නටම අදහස් බෙදාගන්න පුලුවන් , ඔයා කොහෙහරි යනවනම් ඒ යන තැන කියල මැසේජ් එකක් යවන්න පුලුවන් , ඒ දේවල් හරිම ආදරණීයයි . කරන කියන දේවල් එකින් එකට මැසේජ් කරන එක එයාගෙ වැඩ වලට කරදරයක් වෙනවනම් ඔයාට පුලුවන් ෆෝන් එකෙන් පොඩි නෝට් එකක් දාගන්න , ඒ වගේම එයාව මතක් වෙන වෙලාවට මැසේජ් එකක් විදිහට සටහන් කරල තියාගෙන දවස අවසානෙදි ඒ නෝට් එක එයාට යවන්න පුලුවන් . ඒක හරිම අපූරු දෙයක් වේවි .

*වැදගත්ම දේ

තමන්ගෙ මව් රටේ ඉන්නව වගේ නෙවෙයි රටින් පිට ඉද්දි තමන්ගෙ දෙමව්පියන් , සහෝදර සහෝදරියන් , නෑදෑ හිතමිතුරන් සියලු දෙනාගෙන් වෙන්වෙලා ඉන්නෙ , ඒක දරාගන්න හරිම අමාරු දෙයක් , ඒ වගේම හිතෙන හිතෙන වෙලාවට සැපදුක බලන්න එන්න නෑ , මොනම දේකදි වුණත් ලඟ ඉන්න නෑ , ඒ දේවල් හරිම දුෂ්කරයි . අඩුම තරමෙ බොහෝවිට තමන්ගෙ රටේ මනුස්සයෙක්වවත් දකින්න නෑ , කොහොමටවත් තමන්ගෙ රටක ඉන්නවා වගේ නෑ . ඒ හිත් වේදනා , අවධානම් ආදී සියලු දේ දරාගෙනයි ඒ අය මව්‍ රටෙන් පිට ඉන්නෙ . ඔයා අන්න ඒ දේ හැමවෙලාවෙම මතක තියාගන්න . තවත් හිත රිදවන දේවල් කරන්න කියන්න යන්න එපා , එයා තනිවෙලා නෑ කියන හැඟීම එයාට දෙන්න , ඒ වගේම දහසක් දේවල් ඔලුවෙ තියන් ඉන්න නිසා එයාට ඉක්මනටම කේන්තියන්න පුලුවන් . ඔයා හැමදේකටම එල්ලෙන්නෙ නැතුව ඒ දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න , එතකොට රණ්ඩු ඇතිවීම් අවම වෙනවා එකිනෙකාට එපාවෙන්නෙ නෑ .

*නිදහස අයුතු ලෙස සීමා කරන්න එපා

පිට රටක ජීවත් වෙන බොහෝ අය ජීවත් වෙන්නෙ තනියෙම , සමහර විට ඒ අයගෙ යාලුවො , එහෙදි අඳුරගත්ත යාලුවො ඉන්න පුලුවන් , පාලුව තනිකම මකාගන්න සතියකට සැරයක් මාසයකට සැරයක් එකතු වෙලා කන්න බොන්න කතා බහ කරන්න වෙලාවක් වෙන්කරගන්න අය ගොඩක් ඉන්නවා . මේ දේවල් වලින් නරකක් වරදක් සිද්ධ වෙන්නෙ නැත්නම් හැමදේටම තහංචි දාන්න එපා . අපි දන්නවා ලැබෙන නිදහස අයුතු විදිහට භාවිතා කරන අය ඉන්නවා , එහෙම නැතුව හැම පොඩි දේකටම ඔයා සීමා තහංචි පනවන්න ගියොත් ඒකෙන් වෙන්නෙ වෙන නරක පුරුදු වලට යන්න තියෙන ඉඩ වැඩිවෙන එක .

අද ලිපියෙදි දිගුදුර සම්බන්ධයක් රැකගැනීමට අවශ්‍ය මූලිකම දේවල් ටික එහෙම නැත්නම් අඩිතාලම ගැන කතා කළා . විශේෂයෙන්ම අද කතා කළේ මානසික පැත්ත . මානසිකව දෙදෙනාව සහ දෙදෙනාගෙ සම්බන්ධය තේරුම් ගැනීමක් ගැනයි අද කතා කළේ . ඊලඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධය පවත්වාගෙන යන්න කරන්න පුලුවන් ආදරණීය දේවල් . මං හිතන්නෙ ඒ කොටස තවත් රසවත් වේවි . එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු .

-W.චතුරි මහේෂිකා-

One thought on “long distance relationship එකක් රැකගන්නෙ කොහොමද ? – චතුරි මහේෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *