හමුනොවුණත්… අහිමි නොවෙමු – මේනුකා දම්සරණී

දවස ගෙවී යා යුත්තේ හෝරාවලින් නොව අවුරුදු වලින් යැයි මට සිතෙන්නේ ඔබ හමුවූ දින සිටය. අප බොහෝ දිනකට පසු හමුවෙද්දී ඇත්තෙන්ම දවස් එතරම් වේගයෙන් ගෙවී නොයා යුතු බව මම අනන්තවත් සිතා ඇත්තෙමි. අප හමුනොවනා තෙක් කාලය බොහෝ දිගු වුව ද අප හමුවූ විට කාලය ගෙවී යන්නේ කාලයට එතෙක් කල් ගතවන්නට අමතක වී තිබූ සේය. එය ඇත්තෙන්ම කාලයේ වරදක් නොව ඔබේ පේ‍්‍රමයේ මායාවක් බව මා හඳුනාගත්තේ ටික කලකිනි. පේ‍්‍රමයෙන් බැඳෙන්නට පෙරාතුව අප විසින් නොසලකා වේගයෙන් පසුකර ආ වෙරළ ඉම අප දෙපා නවතා ගත්තේ අප පේ‍්‍රමයෙන් හදවත් වැළඳගත් පසුය. ගෑවෙන නොගෑවෙන දුරින් ළං ළංව හිඳි අප අතර දැඩි නිහඬතාවය බිඳින්නට සයුර වෙනදාට වඩා උස් හඬින් කෑගැසූ බව මට දැන් සිතෙයි. ඈත දියඹේ සිට වෙරළට දිව විත් යළීත් යන්නට සිහියක් නොමැතිව වෙරළ ඉම ගල් කුලූ අතරින් ගොඩබිමට ගලන්නට වෙහෙසෙන රළ පහර…….. ගල් කුලූ අතුරා තැනූ පවුරු බිඳ දමමින් සියුමැලිම තැන් සොයමින් හදවත තුළට කාන්දු වෙන්නට පොරබදින මෙන් ඔබේ සුසුම් වම් කොපුල මතට ළං ළංව දැනෙද්දී මම කලබල නොවී හිඳින්නට වෙහෙසුණු අයුරු……

කොපුල මත හාදු අකුරින් ඔබ පේ‍්‍රමයේ අයිතිය ලියූ පසු හදවතට දැනුණු නිවීම…. කලබලෙන් වෙරළට විත් පියවර ලකුණින් හැඩි වූ වැල්ල කිසිඳු ලකුණක් නොතබා සිපගෙන සෙමෙන් යළි සයුරට ඇදී යන රළ පහර දෙස මම යළිත් බලා සිටියා මතකය. ඔබ මායාකාරයෙක්දැයි මට පළමුව සිතුණේ ඒ මොහොතේය. සෙමෙන් හිස ඔබේ උරහිසට බරකර අහස දෙස බලා තරු ගණීන්නට වෑයම් කළ ද ඔබේ ඇස් පේ‍්‍රමයෙන් හමුවූදා සිට මා ගැන්න වැඩිම තරු ගණන ඔබ දෑසය.

ගණින්නට බැරි තරු අහස යට
ලොවම නිහඬව නිදන මොහොතක
එබී ඇවිළෙන ඔබේ දෑසට
නිවෙන්නට හැකි හිතක් ඇති මට

යොමා දහසක් නුවන් අප වට
ලොවට සගවන ලෙසින් සෙනෙහස
නිවී හිනැහෙන විටක ඔබ නෙතු
දැවී ඇවිළෙනු හැකිය මහදට

තප්පර දෙක තුනකට වඩා ඔබේ ඇස්වල ගිළෙන්නට නොහැකි මගේ ඇස් ඔබේ ඇස් පතුලටම කිමදී නොනැවතී ඔබේ හදවත පතුලටම එබී එහි මා සොයන්නට මා රිසිය. ඔබේ බැල්මකින් වදනකින් පවා මා ඒ හදවත අරා හිඳින බව කියද්දීත් මා නෙත්වලින් ඔබේ හදවතට එබී මා සොයන්නට වෙහෙසෙමි. එහෙත් ඇස් බිමට බරකර මම පරාජය භාර ගනිමි. ඔබේ සුසුමකින් වදනකින් පහසකින් බැල්මකින් මා ගැන පේ‍්‍රමය විඳගනිමි.

අඩුවෙන් කතාකරන ඔබට වැඩියෙන් කතා කරන්නට මත් විය යුතු නැත. සිත රිදෙන එක තැනක් ප‍්‍රමාණවත්ය. හදවතේ පැත්තකින් වෙනදාක ගන්නට පරිස්සමට අරන් තැබූ වචන පවා ගලා එන්නේ එවැනි මොහොතකය. වෙනදාට මගේ හිස සතපන ඔබේ උරමඩල සෙමෙන් හැකිළෙනු දැක මගේ උරමඩල මත ඔබේ බර හිස සතපන ඒ මිනිත්තුවලට මම පේ‍්‍රම කරමි. ඔබේ අතැගිලි අතර මගේ අතැගිලි පටලා රිදුම් දෙන හදවත සෙමෙන් පිරිමදින්නට මම බොහෝ ආශා කරමි. ජීවිතයේ සව්දිය පිරිය යුතු තැන් මගහැරී ගිය ද රිදුම් දෙන තැන් අපට මගනොහැරිය යුතුය. පේ‍්‍රමය අලූත් කරගන්නට අපට අප හමුවීමේ හිමිවීමේ වටිනාකම යළී යළීත් පසක් කර ගන්නට එවැනි තැන් තිබිය යුතුය. එවැනි රිදුම් පිරි තැනකට පවා මම වසන්තය යැයි නම් තබමි. ඒ අන් සියල්ල වෙනස්ව යද්දී ඔබේ පේ‍්‍රමය මා තදින් අල්ලා සිටින බව දැනෙනා බැවිනි.

පේ‍්‍රමයේ ඒ පළමු හමුවෙන් පසු ආ ගිය මාවත් දිග රළ පහරකට ගං ඉවුරකට තුරු හෙවණකට බස් නැවතුමකට දුම්රිය නැවතුම්පළකට බොහෝ තැන්වලට ඔබ මා ද මා ඔබ ද හඳුන්වා දුන්නා මතකය. අපේ පේ‍්‍රමයේ ආදරණීයම මතකයන් ඒ තැන් සගවාගෙන සිටිනවා ඇත. එහෙත් ඔබ හිඳින්නේ ඒ එකදු තැනක හෝ නොව මගේ මුළු හදවත පුරාම බව මට හැගී ගියේ අප හමුනොවුණු තැන්වල පවා ඔබ හා ආගිය බවක මතකයක් හදවතට දැනෙන්නට ගත් මොහොතේය. සැබැවින්ම ඔබ හිඳින්නේ අන් කොතැනක අන් කවුරුන් හෝ සමග නොව. මා සමගය. මා ළගමය. ඔබ නොදැක නොඇසී බොහෝ කල් ගෙවුණ ද මොහොතකට හෝ මා හදවතින් බැහැරට නොයන ඔබ හිඳින්නේ මගේ හදවත් තුළමය.

පේ‍්‍රම කළ යුත්තේ හිමි කරගැනිමටම නොව අනෙකා අත්හැර යන්නට වුව ද වීරියෙන් බව ඔබ නිහඩවම මට කියා දී ඇත. එහෙත් හිමිනොවන්නට නම් හමුවන්නේ ඇයිදැයි මම මගෙන්ම ප‍්‍රශ්නකර ඇත්තෙමි. පේ‍්‍රමණිය මිනිසුන් අත්වලින් නොව හදවත්වලින් වැළඳගත යුතුය. එවිට එවැනි පේ‍්‍රමයන් හමු නොවූව ද හිමි නොවන්නේ නැත. ඔවුන් වෙනුවෙන් පේ‍්‍රමය පිරුණු හදවත් තුළ ඔවුන් සදාකල් රැුඳී සිටිනු ඇත. ජීවත් වන්නට අවැසි විට ඔවුන් ඒ හදවත් තුළට වැද සෙමෙන් සැනසෙනු ඇත. පේ‍්‍රමණීය මිනිසුන් අප හැරයන්නේ නැත. වසන්තය අපට සැමදා උරුමකර දී ඔවුන් නිහඩවම අප හදවත් තුළ හුස්ම ගනිමින් සිටී. අප ඔවුන්වත් ඔවුන් අපවත් ඊළග මොහොත වෙනුවෙන් ජීවත් කරවමින් සිටී.

කලක් පේ‍්‍රමණීය මිනිසුන් සමග එක්ව ඇවිද ගිය මාවත් දිග දිනෙක ඔබට හුදෙකලාව ඇවිද යාමට සිදු වුවහොත් එය ඔබේ ජීවිතයේ දුෂ්කර ම මාවත වනු ඇත. අප ඇවිද යන කටු අකුල් පිරි මාවත් පවා මල් පලස් ඇතිරූ සේ සුව දෙන්නේ මිහිරි මතකයන්ගෙන් පිරී යන්නේ එවැනි සොඳුරු සිත් ඇත්තන් නිසා ය. ඔවුන්ගේ අත්වැල් ලිහී ඔබ ඇවිද යන්නේ සියුමැලිම මල් පිහාටු මතින් වුව ඔබේ දෙපා රිදවෙනු ඇත. ඔබේ හදවත හුදෙකලාවෙන් වේදනාවට පත්වනු ඇත. එහෙත් එවැනි සිත් ඇත්තන් අප හදවත් තුළින් පිටමන් නොකර ඔවුන්ගේ වෙසින් පේ‍්‍රමයට අප හදවත් තුළ පවතින්නට ඉඩ හසර තනන්නේ නම් දෑත් පටලා ගන්නට නොහැකිව වුව අපට බොහෝ දුර යන්නට හැකිවනු ඇත.

ඉදින්…. අද අතැගිලි අතර වෙළී හදවතින් මා වැළඳගත් ඔබ යම් දිනක මේ මාවතින් සමුගෙන යා නම් එතැන් සිට අතින් මා අතහැර සිතින් මා තව තවත් වැළඳගෙන හිඳින්නට ඔබට සිත් දෙන තරම් මම…. ඔබට…. පේ‍්‍රම කරමි….. හමු නොවුණ ද ඔබව අහිමි නොවන්නට තරම් ඔබට පේ‍්‍රම කරමි. ඔබ වසන්තය ඉක්මවූ ඍතුවක්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *