හමුදාව ඇගලුම් සේවකයන්ට අමානුෂීක ලෙස සලකනවා – ඇගලුම් ක්ෂේත්‍රෙයන් හමුදාවට චෝදනා

“ජීවත්වෙන්න වෙන ක්‍රමයක් නැති නිසා අඩු වැටුපකට වැඩ කරනවා. සමහර දවස්වලට අසනීපයක් තිබුණත් නිවාඩු නැහැ, වැඩ කරන්න වෙනවා. මෙතන වැඩ කරන බහුතරයකට එහෙමයි. කොරෝනා නිසා අපිට ලැබෙන දීමනා පවා කප්පාදු කරලා.”

ඒ කොළඹ ඇඟලුම් කම්හලක මැෂින් ඔපරේටර්වරියකගේ කතාවය.

“අපිට හෙට රස්සාව තියේවි ද කියල කියන්න බෑ,” ඇය පවසන්නීය.

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් කටුනායක වෙළෙඳ කලාපය ඇතුළු රට පුරා ඇඟලුම් කම්හල්වල සේවක, සේවිකාවන් 80,000 කට පමණ මේ වනවිටත් රැකියා අහිමි වී ඇති බව වෘත්තීය සමිති පවසති. රෝහල්ගත වූ ‘බ්‍රැන්ඩික්ස්’ ඇඟලුම් කම්හලේ සේවිකාවකට කොරෝනාවෛරසය ආසාදිත වී ඇති බව අනාවරණය වීමත් සමඟ රට පුරා දෙවෙනි කොරෝනාවෛරස රැල්ලක් පැතිර යමින් පවතින බව හෙළි වූයේ ඒ අතරවාරයේය.

සේවකයන් පවසන පරිදි ඒ සමඟම තත්ත්වය තවත් දරුණු අතට හැරිණ.

“මාත් එක්ක වැඩ කරපු කට්ටියකට බෝඩින් පහසුකම් දීල තිබුණා. නවාතැන් පහසුකම් එක්ක තමයි අපිව වැඩට ගත්තේ. ඒත් දැන් කොරෝනාවෙන් පස්සේ ෆැක්ටරියෙන් කිව්වා තියන තත්ත්වය අනුව බෝඩින් පවත්වාගෙන යන්න බැහැ ඒ නිසා ඔයාලා බෝඩින් හොයාගන්න කිව්වා එයාලා පොඩි දීමනාවක් ගෙවනවා කිව්වා,” ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි කම්හලක සේවය කරන සේවිකාවක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

“දැන් අපිට හරිම අමාරු තත්ත්වයක් ඒ ලැබෙන සොච්චම මදි ‘බෝඩින් ෆීස්’ ගෙවන්න. අපිට එකතු කරන්න දෙයක් නැහැ, කන්න- බොන්න ගන්න පඩියත් මදි.”

PCR පරීක්ෂණ සඳහා පෝලිමේ සිටින වෙළෙඳ කලාපයේ කාන්තාවෝ
ඡායාරූප ශීර්ෂ වැකිය,PCR පරීක්ෂණ සඳහා රැස් වූ වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවෝ “සැරෙන් සැරේ කැඳවලා රස්තියාදු කරලා”

දෙවෙනි කොරෝනා රැල්ල – මූලාශ්‍රය සොයාගෙන නෑ

දෙවෙනි කොරෝනා රැල්ල පැතිර යාමට හේතු වූ මුල්ම රෝගියා කවුරුන් ද යන්න තවමත් අබිරහසක් වුවත් මෙම ‘පොකුර’ බිහිවූයේ බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් විශේෂ වරලත් ගුවන් යානයකින් ඉන්දියාවේ සිට රැගෙන ආ කම්කරුවන් 48 දෙනාගෙන් එක් අයෙකුගෙන් හෝ වැඩි දෙනෙකුගෙන් බවට චෝදනා එල්ලවිය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනය පවසන්නේ, තමන් COVID-19 හා සම්බන්ධ සියලුම රජයේ අනිවාර්ය රෙගුලාසි අනුගමනය කළ බවය.

දෙවෙනි රැල්ල ආරම්භ වූයේ ඉන්දියාවෙන් පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන්ගෙන් නොවන බව සනාථ වී ඇතැයි හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද පවසයි. එසේ නම් මූලාශ්‍රය සොයාගත නොහැකි වූයේ මන්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් හමුදාපතිවරයා, 800 කට පමණ පිරිසකට එකවර රෝගය වැළඳුන විට මූලාශ්‍රය සොයා ගන්නේ කෙසේ දැයි පෙරලා ප්‍රශ්න කළේය.

කෙසේ වුවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා තිබුණේ ඉන්දියාවේ සිට පැමිණි කම්කරුවන් 48 දෙනාගේ නිරෝධායන ක්‍රියාවලිය තමන් අධීක්ෂණය නොකළ බවය.

‘බලහත්කාර නිරෝධායනයක්’

දෙවෙනි කෝවිඩ්-19 පොකුර පැතිර යාම සම්බන්ධයෙන් තමන් “වැරදිකරුවන්” නොවන බව අවධාරණය කරන ඇඟලුම් සේවකයෝ නිරෝධායනය සඳහා බලහත්කාරයෙන් තමන් රැගෙන යන අතර එහිදී අමානුෂික ලෙසින් සලකන බවට ආරක්ෂක හමුදාව ඇතුළු බලධාරීන්ට චෝදනා කරති.

පරීක්ෂණ සඳහා පෝලිමේ
ඡායාරූප ශීර්ෂ වැකිය,PCR පරීක්ෂණ සඳහා රැස් වූ වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවෝ “සැරෙන් සැරේ කැඳවලා රස්තියාදු කරලා”

මානව හිමිකම් ක්‍රියාධාරිනී මරිසා ද සිල්වා පවසන්නේ, ඔක්තෝබර් 11 වන දින රාත්‍රී 10.30 ට පමණ කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සේවකයින් 45 දෙනෙකු (කාන්තාවන් 25 ක්, ගර්භනී කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු ඇතුළුව) “හමුදාව විසින් අල්ලාගෙන බස් රථයකින් කළුතර පිහිටි තාවකාලික නිරෝධායන පහසුකමක් වෙත ගෙන ගොස් ඇති,” බවය.

“අපේ දේවල් එකට එකතු කරගෙන බස් එකට නගින්න අපිට දුන්නේ තත්පර ගානක්. ඇඳුම් පැක් කරගන්න වත් අපිට වෙලාවක් දුන්නේ නෑ. අඩුම තරමේ පනාවක් දාගන්න වෙලාවක් දුන් නෑ. පැනලා යන්න හදන්න එපා, පැත්තම වටලලා තියෙන්නේ කියලා හමුදාව අපිට කිව්වා. හමුදාව අපට සැලකුවේ හිරකාරයෝ වගේ. හරියට අපි ජාතික අපරාධයක් කලා වගේ,” යනුවෙන් එසේ රැගෙන ගිය කම්කරුවන් පවසා තිබුණි.

එදිනම මධ්‍යම රාත්‍රියේ ඇවරිවත්තේ ද සේවකයින් 53 (කාන්තාවන් 35 ක් සහ දරුවෙකු ඇතුළුව) දෙනෙකු අවදි කොට බස් රථයකට නංවා ගෙන තිබූ බව ද නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසා තිබුණි.

“රෑ මැද හමුදාව ඇවිත් අපිට අපේ උවමනා බඩු පැක් කරගෙන බස් එකට නගින්න විනාඩි 10 ක් දුන්නා. නිදි නැතුව වැඩ කරලා මහන්සි වෙලා එයාලා ඉන්නේ කියලා එයාලට පරක්කු කරන්න එපා කියලා හමුදාව අපිට කිව්වා, අපිට බල බල ඉන්න වෙලාවක් නෑ, අපි දිගටම වැඩ කරලා ඉන්නේ එයාලා කිව්වා. මගේ PCR එක ‘නෙගටිව්’ කියලා මට රිපෝර්ට් එක හරියටම ආවේ ඊට දවස් දෙකකට කලින්. මට ඒක වත් එයාලට කියාගන්න අවස්ථාවක් දුන්නේ නෑ. අපිව බස් එකට දක්කාගෙන ගිහින් මෙහෙ ගෙනත් දැම්මා,” යනුවෙන් කලුතරට පැමිණි සේවිකාවක් පවසා තිබේ.

“ඔවුන් කටුනායක, සීදූව, මීගමුව සහ අමන්දොලුව යන ප්‍රදේශවලින් තවත් කම්කරුවන් එකතු කර ගෙන අවසානයේ ඔක්තෝබර් 12 වන දින අලුයම 5.30 ට කටුනායකින් පිටත්ව ගොස් තිබුණි. පැය 12 කට පසු දහවල් 12.30 ට ඔවුන් කළුතරට ළඟා වී ඇති අතර, එතෙක් කිසිදු ආහාරයක් හෝ ජලය බිඳක් හෝ ලබා දී නොතිබුණි,” යනුවෙන් ද ක්‍රියාධාරිනී මරිසා ද සිල්වා පවසයි.

අශිලා නිරෝෂිනී දන්දෙණිය
ඡායාරූප ශීර්ෂ වැකිය,“බෝඩින්වල ගෙනිහින් කට්ටිය එකතු කරනවා නිරෝධායනයට. හමුදාවෙන් ඇවිත් අරගෙන යනවා බල්ලෝ, බළල්ලු වගේ” – අශිලා නිරෝෂිනී දන්දෙණිය

‘බල්ලෝ, බලල්ලු වගේ අරගෙන යනවා’

‘ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා’ (Stand Up Movement Lanka) සංවිධානයේ අශිලා නිරෝෂිනී දන්දෙණිය පවසන්නේ, PCR පරීක්ෂණ සඳහා සේවකයන් කැඳවා ඔවුන් “සැරෙන් සැරේ රස්තියාදු කර” ඇති බවය.

“PCR ක්‍රමවේදය කිසිම පිළිවෙලකට යන්නේ නෑ,” යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි. සිය චෝදනාව සනාථ කෙරෙන ඡායාරූප සහ වීඩියෝ පට ඇය ෆේස්බුක් ජාලයේ ද ප්‍රකාශයට පත්කර තිබේ.

“බෝඩින්වල කට්ටිය එකතු කරනවා නිරෝධායනයට. හමුදාවෙන් ඇවිත් අරගෙන යනවා බල්ලෝ, බළල්ලු වගේ. හමුදාවෙන් කුණුහරුපෙන් බැනල අරගෙන යන්නේ,” අශිලා නිරෝෂිනී දන්දෙණිය සඳහන් කළාය.

“බෝඩින් හතක, අටක මිනිස්සු උදේ නවයේ ඉඳල බස් වල නැගල, හවස හතර, පහ වෙනකල් බස් එකේ ඉන්නවා. අනිත් අය එකතු කරන කල්. එයාලට කිසි දෙයක් හරියට කියන්නෙත් නෑ.”

බලධාරීන් විසින් මෙසේ “අවිධිමත් ලෙස සහ බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරමින් සිටින” නිරෝධායන ක්‍රියාවලියට එරෙහිව වෘත්තීය සමිති සහ ක්‍රියාධරයන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ තිබේ.

හමුදාපතිවරයාගේ ප්‍රතිචාරය

එම චෝදනාවලට පිළිතුරු දුන් කෝවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා බීබීසී සිංහල සේවය සමඟ අවධාරණය කළේ, කෝවිඩ්-19 වසංගතය තවදුරටත් පැතිරීමෙන් ශ්‍රී ලංකා සමාජය බේරාගැනීම පිණිස හමුදා සෙබළුන් දිවා රෑ නොබලා ඉතා කැපවීමකින් කටයුතු කරමින් සිටින බවය.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා සහ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි
“කෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වුනා නම් ඔවුන් ඇසුරු කළ අය, ඔවුන්ගේ ආශ්‍රිතයන් පැය 24 ක් තුළ සමාජයෙන් ඉවත්කිරීම අත්‍යවශ්‍යයි” -ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා

“මම කියන්නේ මේ කෝවිඩ් ආසාදනය වුණා කතාව තුන් වෙනිද ඉඳල පැතිරෙනවා. කෙනෙකුට ආසාදනය වෙලා නම් ඒක ප්‍රචාරය වෙනවා. නොදන්නවා නෙවෙයි නේ. එහෙම ප්‍රචාරය වුනාම ඔවුන් ඇසුරු කළ හෝ ආශ්‍රිත හෝ අයට ඒක දැනගන්න ලැබෙනවා. ඒ නිසා ඔවුන් සූදානම් වෙලා ඉන්න ඕනේ, හදිසියේ ආව කියන කතාව පිළිගන්න බෑ,” ඔහු පැවසීය.

හමුදාව කරමින් සිටින්නේ තමන්ට අයත් කාර්යයක් නොව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සතු රාජකාරියක් බව ද ඔහු පැවසීය.

“කෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වුනා නම් ඔවුන් ඇසුරු කළ අය, ඔවුන්ගේ ආශ්‍රිතයන් පැය 24 ක් තුළ සමාජයෙන් ඉවත්කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් තමන්ට නිරෝධායනයට යන්න වෙනව කියල ඒගොල්ල දැනගෙන ඉන්න ඕන .විශේෂයෙන්ම පළමු හෝ දෙවෙනි contact එක. මේ කට්ටිය ඉන්නේ boading වල. එයාල ඉක්මනින් ඉවත්කිරීමට රෑ, දවල් කියල වෙලාවක් නෑ. ඉතින් අපි ඉන්නේ නිදා ගෙන ද?” හමුදාපතිවරයා ප්‍රශ්න කළේය.

ආරක්ෂක හමුදාවලට මෙසේ චෝදනා නගන්නේ “සුළු පිරිසක් පමණක්” බව පවසන හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා, සිය ක්‍රියාදාමය සර්ව සම්පූර්ණ යයි තමන් කිසි ලෙසකින් වත් නොපවසන බවත් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

“මේ රටේ නිරෝධායන මධ්‍යස්තාන කියල දෙයක් නැහැනේ? ඒවා හදන්නේ හමුදාව. ඒ පරිවර්තනය කරද්දී අතපසුවීම් වෙන්න පුළුවන්. අඩුපාඩුකම් තියෙන්නත් පුළුවන්. ඒක මම නෑ කියන්නේ නෑ. ඒත් පහසුකම් වල අඩුවක් තියෙනව නම් අපි ඒක හදනව.”

මේ වනවිට 52000 කට ආසන්න පිරිසක් සිය මධ්‍යස්ථානවල නිරෝධායන වී පිටව ගොස් ඇති බව පවසන හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, හොඳම පිළිතුර තමයි මේ කට්ටිය එලියට එනකොට කියන දේ. ඒ මිනිස්සු දන්නවා කොහොමද කෑම කොහොමද පහසුකම් කියල,” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

නිරෝධායන කටයුතු

හමුදාවට මල් මිටක්

සේවක, සේවිකාවන් “නූතන වහල් මෙහෙයක” යොදවන බවට සහ වසංගත තත්වයක් හමුවේ අසනීප වූ කම්කරුවන්ගෙන් පවා බලහත්කාරයෙන් වැඩ ගන්නා බවට චෝදනා එල්ලවෙද්දී ඇතැම් සේවකයෝ හමුදාවට මෙන්ම සිය හාම්පුතුන්ට ද මල් මිටක් පුද කරති.

මේකලා කුමරප්පෙරුම බියගම වෙළඳ කලාපයේ සේවිකාවකි.

හමුදාව විසින් බියගම ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව නවාතැනක සිටි 60 ක පමණ පිරිසක් නිරෝධායනයට රැගෙන ගිය ආකාරය ඇය බීබීසී සිංහල සේවය සමඟ මෙසේ විස්තර කළාය.

“බස් 03 කින් වගේ ඇවිත් අපි ඉන්න ප්‍රදේශයේ බෝඩ් වෙලා හිටපු ළමයි වගේම එයාලා ආශ්‍රය කරපු අය හමුදාවෙන් අරගෙන ගියා. බස්වල හොඳට ඉඩ තිබුණා.”

ඇය ගේ සැමියා ද ඇඟලුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කරන කොන්ත්‍රාත් සමාගමක රියදුරෙක් ලෙස සේවය කරයි.

“මිනුවන්ගොඩ සිද්ධිය ආරංචිය වුනු වේලාවේ අවදානම් කලාප කියලා නම් කරපු ප්‍රදේශවලින් සේවකයින් ගේන එක නවත්තලා එයාලට දවස් 5 ක් නිවාඩු දුන්නා. ඒත් සමාගමෙන් එයාලට කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. සමාගමේ අනුග්‍රහයෙන් වැඩ කරන සියලුම දෙනාට PCR පරික්ෂණ කළා 600 කට විතර. අවදානමක් නැති නිසා negative වුනු අයට සමාගම වැඩකරන්න අවසර දීල තියෙනවා,” මේකලා කුමරප්පෙරුම කියා සිටියාය.

ඒ ගැන අදහස් දක්වමින් අශිලා දන්දෙණිය කියා සිටියේ, “ඉතාම අතලොස්සක් වගේ තැනක සේවකයන්ට රුපියල් 1500 ක් දීල තිබුණා. හැබැයි සමස්තයක් විදියට කිසිම පාලකයෙක් මෙයාල ගැන බැලුවේ නෑ,” යනුවෙනි.

රැකියා ආරක්ෂා කිරීම

නිරෝධායන ක්‍රියාදාමය සම්බන්ධයෙන් එවැනි විවේචන එල්ලවන අතරවාරයේම කොරෝනා අර්බුදය හමුවේ වෙළෙඳ කලාපයේ සේවක, සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද ප්‍රබල අවධානය පලවෙමින් පවතී.

"ප්‍රතිශක්තිය අහිමි කලාපය" - මාධ්‍යවේදිනී ජයනි අබේසේකර ගේ ලිපියකින්

ඇඟලුම් කම්කරුවන් මුහුණ දී සිටින ඉරණම ගැන විශ්ලේෂණයක් කරමින් සමබිම පුවත්පතේ මාධ්‍යවේදිනී ජයනි අබේසේකර නිදහස් වෙළෙඳ කලාපය හඳුන්වා දෙන්නේ “ප්‍රතිශක්තිය අහිමි කලාපය” ලෙසිනි.

“කොරෝනා පළමු පහර එල්ල වන්නේ සමාජයේ තිබෙන දුර්වල, අව වරප්‍රසාදිත සහ තර්ජනයට ලක්ව ඇති කලාපයන් වෙත,” බව ඇය පෙන්වා දෙයි.

එමෙන්ම “පවත්නා වාතාවරණය හමුවේ වඩාත් අර්බුදයට පත්ව ඇත්තේ අවිධිමත් සේවයේ නියුතු සේවකයන්ය. උද්ගත වූ තත්ත්වය හමුවේ මේ වන විට කිසිදු ‘මෑන් පවර්’ සේවකයෙකුට ආයතන තුළ කටයුතු කිරීමේ ඉඩකඩ ලබා දී නැත. දෛනික වැටුපකින් ජීවත් වන නිසාම නවාතැන් සඳහා කුලිය ගෙවීමට නොහැකි වීමෙන් ‘මෑන් පවර්’ සේවකයන්ට නවාතැන් පහසුකම් දීම ද මේ වන විට ප‍්‍රතික්ෂේප වන බව කලාපයෙන් දැනගන්නට ලැබේ,” යනුවෙන් ද මාධ්‍යවේදිනී ජයනි අබේසේකර සඳහන් කරයි.

නිදහස් වෙළෙඳ කලාප පොදු සේවා සේවක සංගමය අගමැතිවරයා වෙත යොමු කළ ලිපිය - පිටුව 1
ඡායාරූප ශීර්ෂ වැකිය,නිදහස් වෙළෙඳ කලාප පොදු සේවා සේවක සංගමය අගමැතිවරයා වෙත යොමු කළ ලිපිය – පිටුව 1

නිදහස් වෙළෙඳ කලාප පොදු සේවා සේවක සංගමය අගමැතිවරයා වෙත යොමු කළ ලිපිය - පිටුව 2
ඡායාරූප ශීර්ෂ වැකිය,නිදහස් වෙළෙඳ කලාප පොදු සේවා සේවක සංගමය අගමැතිවරයා වෙත යොමු කළ ලිපිය – පිටුව 2

තත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ‘Women Centre’ සංවිධානයේ අධ්‍යක්ෂිකා පද්මිණී වීරසූරිය, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය පවා කඩා වැටී තිබෙන මොහොහක ඇඟලුම් කර්මාන්තය රැකගැනීම රජයේ සහ සමාගම්වල වගකීමක් බව අවධාරණය කරන්නීය.

බහුතරයක් ගම්බද සිට නගරයට සංක්‍රමණය වන මේ කම්කරුවන් ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 44% ක් උපයා දෙන බව පෙන්වා දෙන ඇය, මේ තත්වයෙන් වැඩිම පීඩනයට ලක්වන්නේ ස්ත්‍රීන් බව ද කියා සිටියාය.

“ගොඩක් සමාගම් මුලදී සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න පෙළඹුනා, සේවකයන්ට මාස්ක් දුන්නා, දුරස්ථ බව රැකගෙන වැඩ කළා. නමුත් පස්සේ ඒ තත්වය වෙනස් වුණා,” පද්මිණී වීරසූරිය සඳහන් කළාය.

බ්‍රැන්ඩික්ස් ආයතනය

“දැන් මේ අලුත්ම රැල්ල කොහෙන්ද ආවේ, මේක ආවේ ඉන්දියාවෙන් ද කියල බ්‍රැන්ඩික්ස් සමාගමට එරෙහිව පරීක්ෂණයක් කරන්න ඕනේ. හැබැයි, කිසිම සේවකයෙකුගේ රැකියාවලට අත තියන්න එපා. මොකද මේක සේවකයන්ගේ වරද නෙවෙයි,” යනුවෙන් පවසන ඇය, “කොරෝනා ව්‍යසනයක් තමයි, කාන්තාවෝ බයයි මේකට. හැබැයි රැකියා අහිමිවේවි කියලත් කාන්තාවෝ බයයි.” යනුවෙන් ද කියා සිටියාය.

“අපි හාම්පුතුන්ට කියනවා. කිසිම කෙනෙකුගේ වැටුප් කපන්න බෑ. බාග වැටුප් ගෙවන්න බෑ. සියලු වරප්‍රසාද දෙන්න ඕනේ.”

වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රියාධාරිනී පද්මිණී වීරසූරිය අවධාරණය කළේ, සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම රැකියා ආරක්ෂා කිරීම පිණිස කම්හල් වැසීයාම වැළැක්වීම පිණිස කටයුතු කිරීමත් සිය වගකීම බවය.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරන නිදහස් වෙළෙඳ කලාප පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්, කලාපයේ සේවක, සේවිකාවන්ට “අමානුෂික ලෙසින්” සැලකීමේ ක්‍රියාදාමය වෙනස් කිරීම පිණිස කටයුතු කිරීම පිණිස යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබුණි.

පවතින තත්වය පිළිබඳ වැඩිදුර විස්තර විමසීම පිණිස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *