නිහඬ කලාත්මක මැදිහත්වීමේ ශක්තිවන්තයා – ආනන්ද ෆොන්සේකා දැයෙන් සමුගනී

ආනන්ද ෆෝන්සේකා කලාකරුවා  ලාංකේය කලා කෙතෙන් නික්ම ගොස්  ඇත. පිරවිය යුතු කලා කෙත නොපිරුනු තැන කොතෙකුත් තිබියදී ඔහුගේ කාර්යය නිමා කොට අද අවසන් ගමන් ගොස් හමාරය. අද (18) ඔහුගේ අවසන් කටයුතු කැළණීයේදී සිදු වන අතර කලාකරුවෙක් හා සිනමා වේදියෙක් ලෙස ඔහු පිළිබද විදර්ශන කන්නන්ගර තැබූ සටහනකි මේ ..

ආනන්ද ෆොන්සේකා මහතා යනු මාලිනී ෆොන්සේකා මහත්මියගේ ළබැදි මළනුවන් හෝ සමනලී ෆොන්සේකා මහත්මියගේ දයාබර පියණන් පමණක්ද ?.නොඑසේනම් උමයංගනා චිත්‍රපටියේ හා කෙම්මුර ටෙලි නාට්‍යයේ නිර්මාණකරුවා හෝ චිත්‍රපටි සුළුතරයක රංගදායකයකු පමණක්ද ?

මගේ යෝජනාව වන්නේ ඔහු එක්තරා යුගයක බෙදා ගැනුණු නිලලොලත් සාමූහික කලාත්මක අදහසක සාමාජිකයකු වන බවයි. කැමරා ඇස ඊනියා ස්වාභාවිකත්වය ඝනීභූත කිරීමකට ඌනනය වුණු යුගයක ‘නොමිනිස් ඇසේ ගේසය’ (දැක්ම) වටා රාමුකරණයක් සෙවූ නව ප්‍රවනතාවයක නියෝජනයක් ලෙස මම ඔහුව දකිමි.එය ‘අනෙකාගේ ඇසින් ලෝකය දැකීමේ’ සංස්කෘතික මොහොතක් විය.ලාංකේය පශ්චාත් යටත් විජිත රාජ්‍යය ගොඩනැංවීමේ අතීතය යනු හුදු යටත්විජිත දේශපාලන ආධිපත්‍යයෙන් නිදහස් වීමක් පමණක් නොවෙයි.ඒ වෙනුවට යටත්විජිතහරණය සමග සම්බන්ද වූ සංස්කෘතික ප්‍රදේශගතකරණ ක්‍රියාවලියක්ද අත්‍යන්තයෙන් ම අදාළ විය. ‘ලෞකික විනෝදමත් පුරවැසියා’ වෙනුවෙන් ‘අනුරාගය’ හා ‘මනසේ අදුරු අර්ධය’ පිළිබද සෞන්දර්‍ය විපරමක් නිර්මාණය කෙරෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.ඒ හරහා නව සංස්කෘතික-කලාත්මක මහජන අවකාශයක් ලංකාව තුළ නිර්මාණය විය.

යටත් විජිතකරණයේ ඵලයක් වූ යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනය හා ප්‍රභූවාදය අතර සංවාසයක් වෙනුවට එකී කලාත්මක ප්‍රතිනිෂ්පාදනයේ විභවය නිර්ප්‍රභූ භාවිතයක් කරා පරිවර්තනය කිරීමට ඓන්ද්‍රීය කලා ජීවීන් අත්‍යවශ්‍ය විය.විශේෂයෙන්ම ‘නොමිනිස් කැමරා ඇස’ සමග තාවර වෙමින් මිනිසුන් අතර රූපය සංවිධානය කරන ‘රූපමය සිතන්නන්’ එහිදී තීරණාත්මක වෙයි.එ තරම් ප්‍රකට නොවුණද එවැනි චායාරූපකරණ භාවිතයන් ඇතැම් සුවිශේෂී මිනිසුන් අතින් මහජන අඩවිය කරා විසරණය විය.ආනන්ද ෆොන්සේකා යනු එවැනි නිහඩ කලාත්මක මැදිහත්වීමක ශක්තිය දරා සිටියෙකි.ඒ පිළිබදව වන ඇගයුමකින් තොරව ඔහුත් දැන් අප හැර ගොස් ය.
ඔබ පතන සැනසුම් සුවය ලැබේවා !

– විදර්ශන කන්නන්ගර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *