පොතකින් දැනුන කවියක් ( 21 ) – අශෝක කුලතුංග

කෘතිය : අබලි
කතෘ : එරික් ඉලයප්ආරච්චි
ප්‍රකාශනය : ගොඩගේ

හිමාල තරණය.

හන්තාන ගිරි පියස
ඉදිකරන ගල් වඩුට
මතක මෙවලම් මල්ල
රැගෙන කඳු හිණිපෙත්ත
නඟින සුදු මීදුමකි

හදෙහි හිරිගඩු නඟන
ශීතලට නොකැමැතිව
කීම කවුළු වසාලනු
අප ඇසට නොපෙනෙනුව
ඒ දැකුම් ගල සොඳුර

කවුළුවෙන් පෙනෙන්නේ
අප දෙදෙන අඩක් දුර
අතින් අත ගෙන එදා
ඉඟිනුරා මල් සොයා
සෙනෙහසින් පියනැඟූ
පෙම් හිමාලය නොවෙ ද

අප දෙදෙන නොසිටවූ
තරණයේ තිර ධජය
ගිරි මුදුන තබනු වස්
කඳු නඟින නව පිරිස
තුටින් නරඹමු සොඳුර

පද්‍ය, නවකතා, කෙටිකතා, තිරකතා සහ නාට්‍ය, ශාස්ත්‍රීය, ඔපෙරා, චරිතාපදාන හා සංචාරාඛ්‍යාන යන විවිධ සාහිත්‍ය ශානරයන්ගෙන් ශ්‍රී ලාංකීය සාහිත කෙත පෝෂණය කළ එරික් ඉලයප්‍ආරච්චි සාහිත්‍යවේදියාගේ අභිනව කාව්‍ය කෘතිය “අබලි” නම් වේ. කාව්‍ය නිර්මාණ පනස් තුනක් සංගෘහිත මෙහි විවිධ විෂය ඉම්පෙත් ඔහු විසින් නිරීක්ෂණය කරයි. ප්‍රේමයේ සෞන්දයාත්මක බව අරමුණු කරගනිමින් “හිමාල තරණය” පැදි පෙළ රචිත ය. වියපත් යුවළකගේ ප්‍රේමයේ ඉපැරැණි, ඉමිහිරි අතීතාවර්ජනය කවියා තම වස්තු විෂය කරගනී.
හන්තාන කඳු මිටියාවත යනු අතීතයේ පටන් ම ප්‍රේමවන්තයන්ගේ හා ප්‍රේමවන්තියන්ගේ රජදහනයි. මෙහි ආනන්දනීය ලෙස පෙම් සුව විඳින බහුතරයක් පේරාදෙණිය සරසවියේ යෞවන යෞවනියෝ වෙති. කථකයා හා ඔහුගේ බිරිඳ ද ඒ අතීතයේ කොටස්කරුවන් ය. ඒ නිසා ම ඔවුන් තම විවේකි සුවය සඳහා තෝරාගනු ලබන්නේ ද ඒ අවට ප්‍රදේශය යි. එදා සේම අදත් හන්තාන ගිරි මුදුන වසන මීදුම් පට කවියා මනරම් ලෙසින් කාව්‍යාත්මකව නිරූපණය කරයි. පාඨක හදවතෙහි ඉන් නැඟෙන චිත්‍රය විචිත්‍රවත් ය.

“හන්තාන ගිරි පියස
ඉදිකරන ගල් වඩුට
මතක මෙවලම් මල්ල
රැගෙන කඳු හිණිපෙත්ත
නඟින සුදු මීදුමකි”

කථකයාගේ බිරිඳට අවට පරිසරයේ පවතිනා ශීතල දරා ගත නොහැකි ය. එබැවින් ඇය කවුළුව වසා දමන්නී ය. වයෝවෘද බාවය නිසා ම බිරිඳට ඉපැරණි මතකයන් බොඳව තිබුණත් කථකයාට ඒවා තවමත් සිහිපත් වේ. ඒ හේතුවෙන් ඔහු ඇයට හන්තාන ගිර පිළිබඳ නැවත සිහි කරයි.

“කවුළුවෙන් පෙනෙන්නේ
අප දෙදෙන අඩක් දුර
අතින් අත ගෙන එදා
ඉඟිනුරා මල් සොයා
සෙනෙහසින් පියනැඟූ
පෙම් හිමාලය නොවෙ ද”

වියපත් පෙම්වතා මනසින් යළි තම තුරුණු වියට ගමන් කරයි. ඔවුන් එකල හන්තාන කඳු පෙදෙසේ ආදරයෙන් වෙලී සිටි අයුරු, ගිරෙහි අඩක් තරණය කරමින් වන වඳුලු තුළ ප්‍රේමොන්මාදයෙන් ගත කළ අයුරු එකිනෙක දළ රූ සේ මැවී පෙනෙන්නේ පාඨක මනස ද ආදරයෙන් පුරවාලමිනි. “ඉඟිනුරා මල් සොයා” යන පද්‍ය පාදයෙන් එය මැනවින් විශද වේ. සෙනෙහසින් ඔවුන් ගමන් ගත් හන්තාන අදට ද ඔවුනට ප්‍රේමණීය හිමාලයකි.
වියපත් වියට මොවුන් දෙදෙනා පා තැබුව ද හන්තාන තවමත් තරුණ ය. ඒ අදටත් යොවුන් ප්‍රේමය විඳින්නන්ගේ පාරාදීසය එයම වීම ය. කථකයා ඒ ඉමිහිරි දසුන් නැරඹීමට තම බිරිඳට ආරාධනා කරන්නේ මෙලෙසිනි.

“අප දෙදෙන නොසිටවූ
තරණයේ තිර ධජය
ගිරි මුදුන තබනු වස්
කඳු නඟින නව පිරිස
තුටින් නරඹමු සොඳුර”

ප්‍රේමය යනු නිර්වචනයක් දිය නොහැකි අසීමාන්තික බැඳීමකි. වියපත් දෑසින් වුව කථකයා යෞවන ප්‍රේමය මහත් සතුටින් භුක්ති විඳියි. කිසිවිටෙකත් ඔහු වත්මන් තාරුණ්‍යයට ආරෝවක් නොනඟයි. ඔහු තම බිරිඳට ද දෙදෙනාගේ ඉපැරණි ආදරය යළි යළි සිහි කරන්නේ මේ නිසාවෙනි.
“හිමාල තරණය” පද්‍ය පංතිය රූපනයේ දී ප්‍රේමය තරම් ම ඉතා ප්‍රේමණීය සරළ බස්වහරක් කවියා උපයුක්ත කර ගනී. වියපත් මනසකින් තම ප්‍රේමය හා නව යොවුන් ආදරය පිළිබඳ දැක්ම නිරූපණයේ දී ඉලයප්‍ආරච්චි භාවිත කරන රූපකාර්ථවත්,කාව්‍යාලංකාරවත්, නිදහස් ආකෘතිය ප්‍රශස්ත ය. පිවිතුරු ආදරයක මතක සටහන් සමාජ ගත කිරීම ද සැළකීමේදී ඉහත කාව්‍ය පංතියට තවත් වටිනාකමක් එක්වන නිසා ම මෙය සාර්ථක නිර්මාණයක් ලෙස රූපණය කළ හැකි ය.
අශෝක කුලතුංග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *