හරි පුදුම ඉස්කෝලේ සහ ලංකාවේ ලිංගික අධ්‍යාපනය – හංසනී කාවින්දි

හරි පුදුම ඉස්කෝලේ පොත නොකිය වූ, එයට ආදරය නොකරන පොත් කියවන්නෙකු ලාංකීය පාඨක ප්‍රජාව අතර සොයාගැනීමට නොහැකි වන තරමටම එම කෘතිය ලංකාවේ පොත් කියවන්නන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වී ඇති බව නොරහසකි. ජපානයේ රූපවාහිනී නිවේදිකාවක වූ ටෙට්සුකෝ කුරොයානගී මහත්මිය සිය ළමා කාලයේ අත්දැකීම් ඇසුරින් රචනා කරන ලද “මදොගිවානෝ ටොට්ටෝ චං” (The Little Girl at the Window) නමැති කෘතිය ලීලානන්ද ගමාච්චි මහතා විසින් සිංහල බසට පරිවර්තනය කරන ලදුව “හරි පුදුම ඉස්කෝලේ” යනුවෙන් ලාංකීය පාඨක ප්‍රජාව අතරේ මෙලෙස ප්‍රචලිත වී ඇත.

හරි පුදුම ඉස්කෝලේ කෘතියේදී වඩා වැඩි ඉඩකඩක් හිමිවන්නේ ටොට්ටෝ චං සිය මූලික අධ්‍යාපනය හැදෑරූ ටෝමෝ නමැති පාසලේ මුල් ගුරුවරයා වූ ඉසා කොබයාෂි මහතාගේ අපූරු ඉගැන්වීම් ක්‍රමවේදයන් කෙරෙහි ය. අත්දැකීම් ඇසුරින් ගොඩනැගෙන ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමවේදයක් වූ එමගින් කුඩා දරුවන් කෙරෙහි ඇතිකරන ලද චමත්කාරජනක ධනාත්මක බලපෑම ඉතා සිත්ගන්නාසුළු ලෙස අපූර්ව අන්දමින් මෙම කෘතිය තුළ විස්තර කර ඇත. එය කියවාගෙන යෑමේදී එවන් අපූරු ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් ගොඩනැගෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ලංකාව තුළ වුව ද ගොඩනැගෙන්නේ නම් වඩාත් මැනවැයි සිතෙන තරමට එම අධ්‍යාපන ක්‍රමවේදයන් ඵලදායී අන්දමින් අප සිත් තුළට කාවැදේ. වඩාත් ඵලදායී ප්‍රතිඵල අත්කරදෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් ලැබෙන අධ්‍යාපනය වන බැව් අපට නොරහසකි. එවැනි අධ්‍යාපනයක් අපගේ දරුවන්ට ද ලැබෙන්නේ නම් මැනවැයි අපට සිතෙන්නේ එනිසා ය. බොහෝ ලාංකීය පාඨකයන් මෙම කෘතියට මහත් සේ ආදරය කරන්නේ ද ඒ නිසාවෙන්ම ය.Image may contain: text that says 'Nicholas Allan Where Willy Went "The best story of its sort Deily Mail The BIG story of a little sperm!'

මා ටෝමෝවේ කොබයාෂි මහතාගේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ එන කුඩා දරුවන්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමේ මූලික පියවරයන් පිළිබඳව මෙහි ලා සාකච්ඡා කිරීම වඩාත් සුදුසු යැයි සිතන්නේ මෑතකාලීනව ලංකාවේ සමාජය තුළ මේ කරුණ අරභයා පැන නැගුණු මහත් ආන්දෝලනාත්මක සිදුවීම් කීපයක් හේතුවෙන් මෙය මෙලෙස සාකච්ඡාවට බඳුන්කිරීම වඩාත් කාලෝචිත යැයි හැඟීයාම හේතුවෙනි.

ටෝමෝවේ එක් පාඩමක් අරභයා පනවා තිබූ එක්තරා අපූරු නීතියක් හරි පුදුම ඉස්කෝලේ කියවා රසවිඳි ඔබට මතක ඇතුවා නිසැක ය. ඒ පිහිනුම් පාඩමයි. එවකට වෙනත් පාසැල්වල දරුවන් පිහිනුම් අධ්‍යාපනය ලැබීමේදී පිහිනුම් තටාකයට බැසීම සඳහා පිහිනුම් ඇඳුමින් සැරසිය යුතු වුව ද ටෝමෝවේ සිසුන් සඳහා එය අදාළ නොවී ය. ටෝමෝවේ පිහිනුම් පාඩමේදී පිහිනුම් තටාකයට බසින සෑම සිසුවෙකුම කිසිදු ඇඳුමකින් තොරව නිරුවතින් සිටිය යුතු විය. ගැහැනු පිරිමි භේදයකින් යුතුව සියලුදෙනාට එක සේ පොදු නීතියක් විය. ඇතැම් දෙමාපියන් මීට විරෝධයක් දැක්වූව ද දරුවන් ඒ කෙරෙහි දැක් වූ උද්‍යෝගය සහ කොබයාෂි මහතාගේ හේතු දැක්වීම් හමුවේ ඔවුහු ද අවසානයේ ඒ පිළිබඳව වූ ඔවුන්ගේ ආකල්ප වෙනස්කර ගත්හ.

ළමා මනෝවිද්‍යව සහ අධ්‍යාපනය පිළිබඳව හසල දැනුමක් තිබූ අධ්‍යාපනඥයෙකු වූ කොබයාෂි මහතා එවකට ජපානයේ කිසිදු මූලික පාසැලක ක්‍රියාත්මක නොවූ එවන් නීතියක් පිහිනුම් පාඩම අරභයා සිය පාසලේ සිසුන් වෙනුවෙන් පනවා තිබුණේ ඇයි? එය මැනවින් අවබෝධාත්මක බුද්ධියෙන් සහ විවෘත මනසකින් සිතා බැලිය යුතු කරුණකි. ලංකාවේ මූලික පාසැලක එවැනි නීතියක් පනවා තිබුණේ නම් එහි මුල් ගුරුවරයාට අත්වන ඉරණම පිළිබඳව ඔබට සිතාගත හැකිද?

කොබයාෂි මහතා පිහිනුම් පාඩම අරභයා එවැනි නීතියක් පනවා තිබුණේ අදාළ වයස් සීමාව තුළ දරුවන්ට ලැබිය යුතු විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමේ මූලික පියවරක් වශයෙනි. එමගින් ඔහු නොයෙක් දෑ කීපයක්ම අරමුණු කළේ ය. ඉන් එක් හේතුවක් වූයේ තකහෂි වැනි ශරීරයේ සංකූලතා සහිත දරුවන් එම සංකූලතා, තම ශරීරය පිළිබඳව ලැජ්ජාවට පත්වනු, එනිසා දුර්මුඛ වනු වැළැක්වීම ය. අනෙක තම කුඩා සිසු දරුදැරියන්ට එකිනෙකට වෙනස් සිය ශරීර ලක්ෂණ පිළිබඳව කුඩා කල පටන්ම අවබෝධාත්මක වැටහීමක් ලබාදීම ය. ඔවුනොවුන්ගේ ශරීර අමුතු දෙයක් හෝ ලැජ්ජාවට පත්විය යුතු නොවන සාමාන්‍ය දෙයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම ය. කෙටියෙන් කියතොත් ඔවුනොවුන්ගේ ශරීර මැජික් එකක් නොවන බව ඔවුන්ට අවබෝධකරවීම ය. එය විධිමත් ලිංගික අධ්‍යාපනයේ මූලික පියවරකි. ඔහු දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව තමා සතු දැනුම, අවබෝධය සහ අත්දැකීම් ඇසුරුකරගනිමින් එවැනි දෙයක් ක්‍රියාවට නැංවූයේ එය එලෙස විධිමත් ලිංගික අධ්‍යාපනය පිළිබඳව ඵලදායී මූලික පියවරක් බවට පත්කරගනු පිණිස ය. දරුවන් ද එයින් අපූරු ලෙස නිදහසේ ඵලදායී ඵල නෙළාගත් බව ටෝමෝවේ පිහිනුම් පාඩම පිළිබඳව ටොට්ටෝ චංගේ අත්දැකීම් කියවා රසවිඳීමේදී අපට පැහැදිලි වේ.Image may contain: text

නමුත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව විමසා බැලීමේදී අපට පෙනීයන්නේ වයසට සරිලන විධිමත් ලිංගික අධ්‍යාපනය ඉතාමත් පසුගාමී මට්ටමක පවතින බව ය. විධිමත් ලිංගික අධ්‍යාපනය පමණක් නොව ඒ පිළිබඳව සමාජීය ආකල්පයන් ද ලාංකීය සමාජය තුළ පවතින්නේ ඉතාමත් පසුගාමී මට්ටමක බව මෑතකාලීන සිදුවීම් ඇසුරින් තවත් පැහැදිලි විය. නව යොවුන් දරු දැරියන්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් සැකසුණු “හතේ අපේ පොත” අරභයා සමාජය තුළ පැන නැගුණු මහත් ආන්දෝලනය ඊට කදිම නිදසුනකි. ඉතාමත් මෑතකාලීනම සිදුවීම වන ෆේස්බුක් පුරා පැතිරෙන ගැහැනු දරුවන් කීපදෙනෙකුගේ වට්සැප් හඬපටය ද මෙලෙස විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොලැබීමේ එක්තරා අතුරු ප්‍රතිඵලයක් ලෙස ද මම දකිමි.

දරුවන් අවිධිමත් ක්‍රමයට මේ පිළිබඳව අත්දැකීම් ලැබීමට යන්නේ වයසට සරිලන අයුරින් ඒ ගැන විධිමත් අධ්‍යාපනයක් හෝ අවබෝධයක් ඔවුන්ට නොලැබීම නිසා ය. ඕනෑම දෙයක් අරභයා මෙය බොහෝවිට පොදු වන්නා වූ කරුණකි. ජීවිතයේ කිසියම් සමයක දී ගැහැනු දරුවන් සහ පිරිමි දරුවන් අන්‍යෝන්‍ය වශයෙන් ආකර්ෂණය වීම සිදුවේ. මෙය ඔවුන්ගේ ශරීරයේ වෙනස්කම් සමග සිදුවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් හා සබැඳුණු අතිශය ස්වාභාවික දෙයකි. ඔවුන්ට එය අමුතු මැජික් එකක් කුතුහලයක් වන්නේ ඒ පිළිබඳව වයසට සරිලන අවබෝධයක් ඔවුන්ට නොතිබීම නිසා ය. මෙම අවිධිමත් ලෙස ඒ පිළිබඳව දැනුවත්වීමට යාමේදී හටගන්නා නොයෙක් කණගාටුදායක තත්වයන් අපි ඕනෑතරම් සමාජය තුළ අසා, දැක ඇත්තෙමු. ස්ත්‍රී පුරුෂයන් වශයෙන් අපගේ ශරීර අපට අමුතු මැජික් එකක් හෝ කුණුහරුපයක් විය යුතු නොවේ. එය අතිශය සාමාන්‍ය ජීවවිද්‍යාත්මක සැකැස්මකි. ඒ පිළිබඳව මනා වැටහීමක් ඒ ඒ අවධීන්වල නිසි පරිදි විධිමත්ව ලැබිය යුතු ය. එය කුණුහරුපයක් බවට පත්වන්නේ එය මැජික් එකක් බවට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කොබයාෂි මහතා මේ පිළිබඳව හොඳින් වටගාගත් තැනැත්තෙකි. කුඩා කල පටන්ම සිය සිසුන්ට ඔවුනොවුන්ගේ ශරීරයන් සාමාන්‍යකරණය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීමට ඔහු පෙළඹෙන්නේ එම නිසා ය.

අපි මේ රට තුළ දරුවන්ට සිදුවන ලිංගික අපචාර පිළිබඳව මහත් කණගාටුවෙන් මෙන්ම ආවේගශීලී ලෙස ද කතාකරන්නෙමු. ඒවා නැවැත්විය යුතු බවට තරයේ ප්‍රකාශ කර සිටිමු. නමුත් ඒ කෙසේ ද යන්න පිළිබඳව කතා නොකරමු. වයසට ගැළපෙන විධිමත් ලිංගික අධ්‍යාපනයක් පිළිබඳව කතාකිරීමේදී අපගේ මුව ගොළුකර ගන්නෙමු. ඒවායේ ප්‍රතිඵලවල තරම වැටහෙන්නේ තමාට සිදු වූ දේ පවා හරිහැටි කියාගැනීමට නොහැකි අපචාරයට ලක් වූ දරුවන් දුටු විටදී ය. සිය කුස තුළ තමා මෙන්ම තවත් ජීවියෙකු වැඩෙන බව ගැන අවබෝධයක් නොමැති කුඩා දැරියන් දුටු විටදී ය. එනිසා වයසට සරිලන විධිමත් ලිංගික අධ්‍යාපනයක් යනු කිසිසේත්ම කුණුහරුපයක් ලෙස මම නොසිතමි. කුණුහරුප වන්නේ එවන් විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොව එවැන්නක් පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා හටගන්නා ඉහත කී තත්වයන් ය.Image may contain: text that says '19138 NEW ORK TIMES BESTSELLER NOT the irls.Boys. Stork! Friends Ii's Babies, Bodies, Famiies, Book It's Perfectly Normal CHANGING ODIES, GROWING HEALTH BIE HARRIS MICHAEL EMBERLEY Robie Harris @ilustrated.by Michael Emberley Meg Hickling Boys, Girls Body Science First Book about Facts Life "WHERE DIDI COME FROM?' Thefactsoflife without any nonsense Written llustrated by WHAT'S Amazi HAPPENING TO ME?' SEX FUNNY WORD WHAT MAKES BABY Illustrations Kim La Fave YOU'

අද පවතින්නේ අතීතයේ මේ රට තුළ පැවති සමාජ, සංස්කෘතික පසුබිම නොවේ. එය වේගයෙන් හොඳ හෝ නරක ලෙස විවිධ වෙනස්කම්වලට භාජනය වන අතිශය විෂම සමාජයකි. අපේ දරුවන් පා තබන්නේ එවන් සමාජයකට ය. එහිදී අවබෝධයකින් තොරව යම් ක්ෂේත්‍රයක් තුළට පා තැබීම කුමන අන්දමේ ප්‍රතිඵල අත්කර දෙනු ඇත්දැයි යන්න පිළිබඳව වැටහීමක් ඔබට ඇතැයි මම සිතමි. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග යන කියමන මෙහිදී මෙයට අදාළ වන්නේ එනිසා ය. එමෙන්ම විධිමත් ලිංගික අධ්‍යාපනය යනු එක් වයස් සීමාවකදී එක්වරම දරුවන් මත අතහැර දැමිය යුත්තක් නොව සෑම වයස් කාණ්ඩයක් තුළදීම ඒ ඒ වයසට ගැළපෙන අයුරින් ක්‍රමානුකූලව, විධිමත් ලෙස ලැබිය යුත්තක් බව ද අප මැනවින් අවබෝධය කරගත යුතු ය. අප තවදුරටත් රෝස කැලෙන් අහුලාගෙන ආ දරුවන් නොවන බව අපේ දරුවන්ට වයසට ගැළපෙන අයුරින් වටහා දිය යුතු ය. මෙය කුණුහරුපයක් නොවන අතරම එලෙස කුණුහරුපයක් නොවන අයුරින් දරුවන්ට වටහාදිය හැකි බොහෝ ක්‍රම පවතින බව ද අප අවබෝධ කරගත යුතු ය.

“හරි පුදුම ඉස්කෝලේ” පිළිබඳව අර්ථාන්විත ප්‍රායෝගික කියවීම පිළිබඳව තත්වය මෙකී ලිංගික අධ්‍යාපනය යන මාතෘකාව තුළ දී පමණක් නොව තවත් බොහෝ මාතෘකා තුළ දී ද මෙලෙසින්ම අදාළ වේ. අපි ටෝමෝවේ පිහිනුම් පාඩම් පිළිබඳව මහත් ප්‍රහර්ෂයෙන් කතාකරමු. නමුත් අපගේ දරුවන්ට වයසට සරිලන පරිදි ලිංගික අධ්‍යාපනය ලබාදීම යන මාතෘකාවේදී උදාසීන, නිහඬ පිළිවෙතක් අනුගමනය කරමු. ටෝමෝවේ ගොවි ගුරුතුමා පිළිබඳව මහත් ප්‍රහර්ෂයෙන් කතාකරන අප අතරින් කීදෙනෙකු තමන් අනුභව කරන බත්පත පිඟානට එන ආකාරය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් අවබෝධයක් තම දරුවන්ට ලබාදීමට කටයුතු කර තිබේ ද? මේ සියල්ල අප විසින් අප වෙතින්ම විමසා බැලිය යුතු කරුණු කාරණා වේ.

“ටෝමෝවේ ඉස්කෝලේ
හරි පුදුම ඉස්කෝලේ
පිටත මෙන්ම එහි ඇතුළත්
හරි පුදුම ඉස්කෝලේ”

මේ ටොට්ටෝ චං සහ කුඩා සිසු පිරිස සිය ආදරණීය පාසල අරභයා ගායනා කළ අපූරු කුඩා ගීතය යි. ඔවුන් පැවසූ පරිදි ටෝමෝව වචනයේ පරිසමාප්තියෙන්ම “හරි පුදුම ඉස්කෝලයක්” බවට පත් වූයේ කුමන කරුණු කාරණා නිසාවෙන් ද යන්න අප යළි යළිත් අවබෝධයෙන් සිතා බැලිය යුතු ය. ගුරු වෘත්ත්තිය ප්‍රමුඛ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව කටයුතු කරන සියලුම පුද්ගලයන් ද, දෙමාපියන් ද කිසිසේත්ම මගහැර නොගත යුතු පොතක් ලෙස මම “හරි පුදුම ඉස්කෝලේ” පොත හඳුනාගනිමි. එමෙන්ම හරි පුදුම ඉස්කෝලේ කෘතිය පිළිබඳව අවබෝධාත්මක අර්ථාන්විත කියවීමක් එදාටත් වඩා වටින්නේ අදට සහ මතු අනාගතයට යැයි මට හැඟේ. මෙම අපූරු කෘතිය පිළිබඳව අප සිදුකරන අර්ථාන්විත කියවීම අපගේ දරුවන්ගේ අනාගතය උදෙසා සිදුකරන වටිනා ආයෝජනයක් වනු ඇති බව ද මට නිසැක ය.

(වයසට සරිලන අයුරින් දරුවන්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අරමුණුකරගනිමින් රචිත කෘති කීපයක ඡායාරූප ඉහත දක්වා ඇත.)

– හංසිනී කවින්දි –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *