එරික් එලූ රතු පලසේ – සඳුන් ප්‍රියංකර විතානගේ

ලංකාවේ සාහිත්ය කලා සංස්කෘතික කතිකාවට කළ මැදිහත්වීමේ ප්රමාණයට සහ ගුණයට සාපේක්ෂව ගත් කළ කතාබහට අඩුවෙන්ම ලක් වූවෙකි, එරික් ඉලයප්ආරච්චි. කවියෙක් ලෙස ඔහුගේ සුරුකම් වඩාත් අනවධාන වී තිබේ. එරික් තරම් වැඩ කරන්නෙකු සමකාලීන අවකාශයේ නැතැයි සිතෙන තරමට ඔහු වැඩ කරයි. වැඩියෙන් වැඩ කරනවා සේම පෙනී සිටින්නේද අඩුවෙන් බැවින් ඔහු වටා සමාජ මාධ්ය වහරෙන් කියන පරිදි දායක සභාවක්ද නැත. සාහිත්ය විචාරය වැන්නක් පවා සමාජ මාධ්ය යුගයේ අතිශය සංකීර්ණ ස්වභාවයන්ට හැඩගනිමින් තිබෙන මොහොතකි. ඉතින් සමහර ව්යාජ සංකේත වටිනාකම් උපදවා ගත නුහුණුව පරණ තාලෙන් වැඩ කරමින් ඉන්නා එරික් ඉලයප්ආරච්චි කොතරම් වැඩ කෙරුවද ජනප්රිය තලයේ නොසිටින්නෙකි. ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්තා කියා වුව එහි වෙනසක් සිදු වන්නේ නැත. සමාජ මාධ්ය අවකාශයේ ”අනේ මේ මොකක් ද අනේ කිසි දෙයක් තේරෙන්නෑ.. ගාණත් වැඩි පිටු පොඩ්ඩක පොතක්” වැනි කියුම් පවා සාධාරණීකරණය කෙරෙන අවස්ථා බිහි වන්නේ එබැවිනි.

රතු පලස 2018 දී ඔහු විසින් පළ කළ නවකතාවයි. ඔහුගේ වෙනත් කෘතිවලට වඩා එය කතාබහට ලක් වූයේ එය විෂය ප්රදේශය බවට පත් කරගන්නා ලංකාවේ වාම ව්යාපාරය නිසා විය යුතු ය. යථාර්ථවාදී රීතියකින් ගොඩ නගා ඇති ආඛ්යානයකි. එහි නවකතාමය ආකෘතික ලක්ෂණය දශක කිහිපයක් තිස්සේ ගුණදාස අමරසේකර සිය ජාතිවාදී ස්ථාවරය කෙටුම්පත් කළ නවකතා ගොන්න සිහි ගන්වයි. ඒවායේ සිටින්නේ පියදාස හෝ එවැනි නමකින් සිටින මැද පාන්තිකයෙක් වන අතර ඔහු අමරසේකර නියෝජනය කරමින් සිය මතවාදය ජනගත කරන්නේ දුබලතා-සබලතා ඇතිව ලෝකයට මුහුණ දෙමිනි. එහෙත් රතු පලසේ කථකයා එවන්නෙක් නොවේ. ඔහුද ඇවිද යන්නේ අමරසේකරගේ කථකයා ඇවිද යන මංමාවත්වලම වුවත් 71 අරගලයට සහභාගී වීමෙන් පසුව මංමුලාවෙකු සේ ය. සැබැවින්ම ඒ පරපුර අද දක්වා මංමුලා වූවන් නොවේද? කුලසිරි නම් වූ ඔහු මරියෝ වර්ගාස් යෝසාගේ අල්හෙන්ද්රෝ මයිතා මෙන් කිසිදු සාධනීය බලාපොරොත්තුවක් නැති මොහොතක පවා මරාගෙන මැරෙන්නට අරාඳින විප්ලවකරුවෙකු නොවේ. ඔහුගෙන් පෙනෙන්නේ කැමූගේ පිටස්තරයා වැන්නෙකු ය.

ඒ අරගලයට ගැටගැසෙන සුළු ධනේශ්වරයාගේ පොදු ස්වභාවයද? කතාව ගලා යන්නේ 1970-2010 වැනි කාලාන්තරයකය. ඒ කාලයේ මෙරට වාමාංශික ව්යාපාරයේ ගතිකයන් කෙරෙහි කතාකරුවා සාවධාන වෙයි. එහෙත් ඔහුගේ පෙර සාහිත්ය කෘතිවලින් මැදිහත්වීම් වී තිබෙන නිසාදෝ 88-89 අරගලය උඩින් පැන යන බව පෙනෙයි. කෙසේ වෙතත් මෙරට වාම ව්යාපාරයේ ගතිකයන් වෙත කතාකරුවා හෙළන දෘෂ්ටියේ ඇති සුවිශේෂත්වය ගැටලුකාරී ය. වාමාංශය ගැන එහි පොදු දුබලතා ගැන සුළු ධනේශ්වර ස්වභාවයන් ගැන මෙතෙක් පහළ නොවුණු දෘෂ්ටියක් එහි ඇත්තේ නැත. ධ්රැවීකරණය නොවූ මැදහත් දැක්මක් කෙරෙහි නැමෙන්නට දරන උත්සාහයක් කෘතියෙන් හමුවෙයි. එහෙත් මෙරට පූර්වජ වාමාංශය ගැන හෙළන දෘෂ්ටිය ගම්වැසි පදනරුත්වල පවා ගැබ්ව ඇති දෘෂ්ටිය ඉක්මවන්නේ නැත. වාමාංශික නීතිඥ සහෝදරයාට රියැදුරා සහෝදරයා කියමින් කිරිබත් බෙදන අවස්ථාවේ මතු කරන්නේ පූර්වජ වාමාංශය අරභයා ඇති පැතැලි කියවීම මිස අනෙකක් නොවේ. එරික් ඉලයප්ආරච්චි යනු එයට වඩා විසල් මිනිසෙකි.

කෙසේ වෙතත් පණ්ඩිතමානී නොවී නවකතාවක් ලියන හැටි රතු පලසින් ඉගෙන ගත හැකිය. ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙකි. එහෙත් චරිත අස්සේ තමන්ගේ පණ්ඩිතකම් බහාලීම නොකරන්නට තරම් හේ සබුද්ධික වෙයි. එහෙත් කෘතිය අස්සේ සමහර පැටලිලි සහගත තැන්ද හමුනොවන්නේ නොවේ. කුලසිරි-සහ ජයසිරිගේ සම්බන්ධයේදී කුලසිරි විවාහ වන්නේ ජයසිරිගේ නැගණිය සමඟ වුවත් පසුභාගයෙදී සාමා එනම් ජයසිරිගේ නැගණියට කුලසිරිගෙන් උපදින දරුවා සිය මවගේ සොහොයුරා හඳුන්වන්නේ සීයා යනුවෙනි. මෙරට පළවන කෘතීන් සංස්කරණය වන සිරිතක් ඇත්තේ නැත. අනෙක් අතට සංස්කාරකත්වය දරන්නට තරම් විෂය ප්රාමාණිකයන් සිටීද යන්න ඒ හා ම මතුවෙන ගැටලුවයි. එහෙත් යම් බඳු සංස්කරණයක් අවශ්ය වන්නේ 1963 ඉපැදුණු පුලාන්දේවී වැන්නියක් උපමාවට ගෙන 1971දී කුලසිරිගේ කල්පනාවන් ගලායෑම වැනි සරල කරුණුවලින් කෘතියෙහි අගය අඩු නොවන්නටය. විවිධ වර්ණ පදාසයන්ගේ සංකලනයෙන් ”රතු” පලස නිමවී ඇති අයුරු දැක්වෙන සුසන්ත මූණමල්පේගේ කවරය කෘතියේ සාරය සංකේතාත්මකව දක්වනවා වැන්න. කුමන සාහිත්ය ප්රවර්ගයකින් නිර්මාණයක් එළිදැක්වුවද සිය පාඨකයා අපේක්ෂාභංගත්වයට පත් නොකරන එරික් ඉලයප්ආරච්චිගේ ”රතු පලස” ද සිය වගකීම ඉටු නොකර සිටින්නේ නැත.

🖊 සඳුන් ප්රියංකර විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *