ලොකේට පරකාසේ දෙසන ඇමරිකාවේ ගෙදරට මරගාතේ වූ ජනාධිපතිවරණය – තරණය – හසිනි දෙනිපිටිය

අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵලත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා ජෝ බයිඩ්න් පෙරමුණ ගෙන සිටියි. ඒ ඡන්ද විද්‍යාල 264 ක බලය ජෝ බයිඩ්න් ලබා ගැනීමත් සමඟ යි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල 214 ක් පමණක් මේ වනවිට ජයග්‍රහණය කර ඇත. අමෙරිකානු ප්‍රාන්ත 50 න් 43 ක ඡන්ද ප්‍රතිඵල මේ වනවිටත් ප්‍රකාශ වී ඇත. තවත් ප්‍රාන්ත කිහිපයක පමණක් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට නියමිතය. එම ප්‍රතිඵලය අනුව අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තීරණය වේ. අමෙරිකානු ජනාධිපතිවරණය ජය ගැනීමට නම් අපේක්ෂකයකු එරට ඡන්ද විද්‍යාල අතුරින් 270 ක සහය ලබා ගත යුතුය. මේ වනවිටත් ඡන්ද විද්‍යාල 264 ක් ලබා ගනිමින් පෙරමුණේ පසුවන ජෝ
බයිඩ්න්ට තවත් අවශ්‍යව ඇත්තේ ඡන්ද විද්‍යාල 6 ක් පමණි. කෙසේනමුත් මෙම ජනාධිපතිවරණය අමෙරිකානු මැතිවරණ ඉතිහාසය වෙනස් කළ ජනාධිපතිවරණයක් වනු ඇත. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ජෝ බයිඩ්න් මේ වනවිටත් වාර්තාගත ඡන්ද සංඛ්‍යාවයක් හිමිකර ගෙන තිබේ. 2008 අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ බැරක් ඔබාමා මිලියන 304 කට ආසන්න ජනගහනයෙන් මිලියන 69 කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් එතෙක් ජනාධිපතිවරයෙක් ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගනු ලැබිණි. මෙතෙක් පැවති ඔබාමාගේ වාර්තාව ජෝ බයිඩ්න් මේ වනවිට බිඳ දැමීමට සමත් වී ඇත. ඒ මිලියන 330 කට අධික අමෙරිකානුවන්ගෙන් මිලියන 72 ට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි. එසේම ඉදිරි මැතිවරණ ප්‍රතිඵල මත අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් තේරී පත් වුවහොත් ඔහු අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකු බවට පත් වන වයස්ගත ම පුද්ගලයා ද වේ. මේ වනවිට ජෝ බයිඩ්න් 78 වැනි වියෙහි පසුවෙයි.

එසේම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටිමින් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය. කෙසේනමුත් ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් වසර 28 කට පසුව ජනාධිපති ධූරය දරමින් සිටි ජනාධිපතිවරයෙකු පරදා ප්‍රතිවාදී අපේක්ෂකයකු ජය ගත් අවස්ථාවක් ලෙස මෙම මැතිවරණය ඉතිහාසගත වනු ඇත. කෙසේනමුත් තවත් ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට ඉඩ තිබිය දී ම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කලේ ” ඡන්ද ගණන් කිරීම මහා වංචාවක්. ” බවයි. ඒ අනුව ඉතිරි ඡන්ද ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ඔහු ප්‍රකාශ කලේය. ඊට ප්‍රතිචාර දක්වමින් ජෝ බයිඩ්න් පැවසුවේ “එම චෝදනා අසත්‍ය බවත්, ට්‍රම්ප් එවැනි ක්‍රියාමාර්ගයකට යොමුවන්නේ නම්, තමා ද නිතී ක්‍රියාමා‍ර්ග ගැනීමට සූදානම්” බවයි.

කෙසේනමුත් අමෙරිකානු මුල් පුටු සටන මේ වනවිට උණුසුම්කාරී මොහොතක් පසුකරමින් සිටියි. එරට වැඩිම දෛනික කෝවිඩ්-19 රෝගීන් වාර්තා වීම ඊයේ දිනයේ වාර්තා වුවත්, කෝවිඩ්-19 වසංගතය නොසලකා හරමින් ජනතාව සිය ඡන්දය භාවිතා කොට තිබේ. වර්ෂ 1900 න් පසුව අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ දී වැඩිම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවක් සටහන් වනුයේ මෙම මැතිවරණය තුළ වීම විශේෂත්වයකි. එසේම අමෙරිකානු ඩොලර් මිලියන 14 ක වියදමක් දරමින් අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම වියදමකින් කළ මැතිවරණය ද මෙය වේ.

කෙසේනමුත් ලෝක බලවතා ලෙස සලකන ඇමරිකාවේ මීළඟ 46 වැනි ජනාධිපතිවරයා තවමත් තෝරා පත් කරගෙන නොමැත. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ ඩිමොක්‍රටීස් පක්ෂය නියෝජනය කරන ජෝ බයිඩ්න් හෝ අමෙරිකාවේ ඉදිරි වසර 4 සඳහා තේරී පත්වන ජනාධිපතිවරයා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *