හොඳම මිනිස්සු කියලා ජාතියක් ලෝකේ නෑ – කපිල එම්. ගමගේ

lankatarget.com මගින් Signature නැමැති හෘදයාංගම දොඩවලුවිමේ ඉඩ කඩ අද විවර වන්නේ කවිවර කපිල එම් ගමගේ වෙතයි. ජීවිතේ කට්ටක් නොකාපු කිසිවෙකු ජීවිතේ ඇත්ත රහ ලියන්න බෑ. ජනමාධ්‍ය වේදියෙක්, නව කතා රචකයෙක්, විදියට සම්මානනීය සාහිත්‍යවේදියෙක් වන ඔහු තම අත්සන සනිටුහන් කළේ මෙසේයි… !


ඉපදුනේ කොහේද ?

හද්දා පිටිසර ගමක. මහනුවර දිස්ත්‍රික්කයත්,  කුරුණෑගල දිස්ත්‍රික්කයත් මායිම් වෙන ගමක. වාහනයක් දකින්න, තාර පාරක් දකින්න හැතැප්ම 3ක් පයින් එන්න ඕනේ. එකම කුලයකට අයිති මිනිස්සු. අපි පිටින් ආව අය. සීයා සුද්ද ගේ වත්තේ වැඩට ඇවිත්. ඒ වත්තට කියන්නේ පාරාවත්ත. ඒ නිසා අදටත් ඒ පැත්ත පාරාවත්ත.

කපිල එම් ගමගේ

වැඩිපුර ආදරේ අම්මටද තාත්තාටද ?

අම්මයි තාත්තයි ඥාතීන්. ඒ කියන්නේ නෑනයි මස්සිනයි. අම්ම තමයි ජීවිතයට වැඩියෙන්ම බලපාපු මනුස්සයා. එයාට අපි ගැන හීන තිබ්බා. ආදරේ කරන ගමන් ඒ හීන ගැන කිව්වා. CTB රස්සාව නිසා තාත්තා හිටියේ වැඩිපුර ගෙයින් පිට. තාත්තා ගැන තියෙන්නේ නියුට්‍රල් අදහසක්. එයා මට වීරයෙක් නෙමේ. අම්මා මැරුණාම එයා “අපි” කියන කුලකය අත ඇරලා අතුරුදන් වුණා. ඊට පස්සේ මාර කට්ටක් කෑවා. අම්මගේ පැත්තේ එකම සහෝදරිය හා සහෝදරයෝ තමයි අපිව ගොඩ දැම්මේ. තාත්තා පස්සේ කුරුණෑගල පැත්තෙන් මතුවුණා. තවම ඉන්නවා. ඒත් අද දක්වා වත් ඇසුරක් නෑ. අමනාපයකුත් නෑ. එයා එයාගේ පැළේ. අපි අපේ පැළේ.

පවුලේ විස්තර කොහොමද ?

විස්තෘත පවුල – අක්කයි, මමයි, මල්ලිලා දෙන්නයි. එයාලගේ පවුල් සාමාජිකයොයි.

න්‍යෂ්ටික පවුල – මමයි, නෝනයි, පුතයි, දුවයි‍
(වයස් අනුපිළිවෙලට)

 පවුල තුළ ජීවනාදර්ශය කවුද?

එහෙම පැහැදිලි ජීවනාදර්ශයක් තිබුණ ද කියලා මතකයක් නෑ. අක්කා දිහා බලාගෙන හිටියා. අම්මගේ සහෝදරයෙක් වුන සුදු මාමා ලියන කියන දේවල් පෝෂණය කලා. පතපොත ගෙනැත් දුන්නා. විශ්‍රාමික ගුරුවරයෙක් හැටියට එයා මේ මෑතක නවකතාවක් ලිව්වා. ඒක අපේ පවුලේ ජීවන අන්දරය.

ඉස්කෝල කීයකට මාරු වුනාද ?

තුනකට මාරුවුණා. ගමේ ඉස්කෝලේ. අම්මගේ අසනීපේ නිසා කුරුණෑගල තාවකාලිකව පදිංචියට ගියා. සීතල අඩු පලාතක් හැටියට. එහේ ඉස්කෝලේ. පස්සේ අම්මා නැතිවුණාම නුවර ඉස්කෝලේ.

 පාසලේ නියෝජනය කලේ දඩබ්බර සෙට් එකද උපාසක සෙට් එකද ?

අතරමැදි සෙට් එක. ආසයි බයයි මූඩ් එකේ හිටියේ. ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරලා පස්සෙන් දුම් දාන්න කෑව. උසාවියේ විත්ති කූඩුවට නැග්ගා එක වෙලාවක. ලෝයර්ගේ ගාන ගෙවන්නේ නැතිව මීටර් 100 දිව්වා. පොලීසියේ ලොක්කෙකුගේ කාර් එකක වින්ඩ්ස්ක්රීන් එකෙත් පෝස්ටර් ඇලෙව්වා වීරසූරිය මැරුණ වෙලාවේ. ධවල පත්‍රිකාවට විරුද්ධව ස්ට්‍රයික් කළා. ගුටිකන්න බයයි. ඒ නිසා ක්‍රීඩා කලේ මැදපෙළ. හැබැයි ඉස්කෝලේ කට් කලේ නෑ. ඉගෙන ගන්න උවමනාව තිබ්බා. ජීවිතේ නැගිට්ටවගන්න නම් ඉගෙන ගන්න ඕනේ කියන එක හීනියට ඔලුවේ තිබ්බා.

ඔබගේ නිළය අල්ල ගත්තු ගුරුවරයෙක් හිටියද ?

ඔව්. අපේ පුස්තකාලය බාරව හිටිය වීරකෝන් සර්. එයා මොකද්ද ඉවකින් හොද පතපොත තෝරලා දීලා මේවා කියවපං කිව්වා. මෑතකදි හමුවුණාම කිව්වා. එදා මට උඹලව තේරුණා කියලා. අනෙක් ගුරුවරු නම් කලා වැඩවලට සම්බන්ධ වෙනවට බැන්න එකමයි කළේ.

කන්න නැතිව ඉදල තියෙනවද ?

නොසෑහෙන්න. ළමයෙක් හැටියට ආර්ථික අමාරුකම් ගොඩක් තිබ්බා. කූපන් පොතට හම්බවුණ සමාගම් කඩේ මිල්චාට් හාලුයි මිදුලේ වැවෙන මුකුණුවැන්නයි කාලා හිටියා. ඒ හින්ද ද කොහෙද අදටත් මට මුකුණුවැන්න පේන්න බෑ. ඒ කාලේ සිහිකරලා සතුටු වෙනවා. මොකද මට අනෙකාගේ බඩගින්න දැනෙන නිසා.

ජීවිතේ අමාරුම අවස්ථාවලදී ජීවත් වෙන්න මොනවද කලේ?

පොඩි පොඩි රස්සාවල් කළා. ටියුෂන් කළා. හෝටලයක කැෂියර් කෙනෙක් හැටියට වැඩ කලා. පවුලෙන් ඉස්සෙල්ලාම රස්සාවකට ගියේ මම. ඒ ලැබුණ සොච්චම් පඩියෙන් තමා ඇදගෙන ගියේ.

 ලංකාවට විප්ලවයක් අවශ්‍යමයි ද ?

ඔව්. මේ අවුරුදු 72 කියන්නේ “සුහද වොලිබෝල් තරඟයක්” නේ. එක පැත්තක් උස්සලා දෙනවා. ගහනවා. ඊළගට අනෙක් පැත්ත උස්සලා දෙනවා. ගහනවා. අපි කඩල කකා විසිල් ගහලා පයින් ගෙදර යනවා. ඒ නිසා කණපිට ගහන්නම වෙනවා.

ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ කොහොමද?

පත්තරේ තිබුණ දැන්වීමකින්. ආසාව නිසා ඇප්ලිකේෂන් දැම්මට ෂුවර් එකක් තිබ්බේ නෑ. ඒක දේශපාලන මැට්ටන්ගේ නින්දගමක් කියලා ඒ කාලෙත් දැනගෙන හිටියා. අනෙක ඥාති සම්බන්දතා එහෙමත් නෑනේ. උපාධි සහතිකෙයි. පත්තරවලට ලියලා පලවුණ පේපර් කටින් ටිකයි විතරයි තිබ්බේ. ඉන්ටර්වීව් තුනයි, ලිඛිත පරීක්ෂණයයි. වොයිස් ටෙස්ට් එකයි. ප්ලේන් ටී එකයි. සිගරට් එකයි. වැඩේ කරුමෙට පත්තුවුණා. එතැන ඉදලා වැඩ කරන ගමන් හැදෑරුවා. මාධ්‍ය ගැන දැන් තියෙන උණ වැළදෙන්නේ එතැනින්.

 88 – 89 සෘජුව දේශපාලනයට සම්බන්ධ වුනාද නැත්නම් පැත්තකින් හිටියද?

වාටියේ හිටියා. වැඩ වලට සම්බන්ධ වුණා. උස්සන්න හෙව්වා. තැන මාරුකරලා බේරුණා.

ඒ කාලේ පක්ෂය වෙනුවෙන් මොනවද කලේ?

ලියන කියන ඒවා. අකුරුවල හැඩයක් තිබ්බ නිසා පෝස්ටර් එහෙම ලියුවා.

විප්ලවවාදී ජීව ගුණය කියන්නේ මොකද්ද?

හැදෑරීම, දැක්ම. එදිරිවීම. මිනිස්සු ගැන සිතීම හා කැපවීම

මෙතෙක් කරපු රැකියා ප්‍රමාණය කොපමණද ඒවා දේශපාලන පත්වීම්ද නැත්නම් සහතිකේට ලැබුනු දේවල්ද?

හෝටලේ කැෂියර් රස්සාවේ ඉදලා ගත්තොත් 10යි. කිසිම දේශපාලන පත්වීමක් නෑ. සහතිකේටයි, අත්දැකීම් වලටයි, හැකියාවටයි ලැබුණ ඒවා. දේශපාලනෙන් රස්සා ඇතුලේ බැට කෑවා. සමහර දේවල් හොයලා දුන්නේ යාලුවෝ. සමහර රස්සාවල් දාලා යන තැනට වැඩ හැදුවෙත් යාලුවෝ.

සාහිත්‍යයට නැඹුරු වෙන්නේකොහොමද?

ගෙදරින. අම්මා කවි ලියුවා. පොත පත කියෙව්වා. ඒ නිසා මමත් කවි ලියුවා. පස්සේ ඇබ්බැහියක් වුණා. අක්කා පුස්තකාලෙන් පොත් ගෙනැත් දුන්නා. අතින් අල්ලලා ලියන දේ හැඩ කලා. කවි කෙටිකතා දෙකම ලියුවා. ඉස්කෝලේ යන කාලේ ප්‍රථම ස්ථානය ලැබිලා තෑග්ගක් දිනුවේ කෙටිකතාවකට. හැබැයි වැඩිපුර ලියුවේ කවි. ඒ කාලේ නම් බැබලීමේ උණකුත් තිබ්බා.

මුලින්ම ලියූ පොත මොකද්ද?

“අසික්කිතයාගේ සිහිනය” කවි පොත. අපි යාලුවෝ හතර දෙනෙක් එකතු වෙලා ගත්ත හදිසි තීරණයක් ඒක. ප්ලේන්ටියක් ගහ ගහා සිගරට් එකක් බිබී  පටන් ගත්ත වැඩක්. නමුත් ඒක මාර වැඩක්. එතනින් තමයි හැරෙන්නේ. හතර දෙනාම අද සාහිත්‍ය කලා ලෝකයේ යමක් කරන උදවිය.

කවුද සාහිත්‍ය යේ දී ආදර්ශයට ගන්නේ?

එහෙම ආදර්ශයට ගත්තා කියලා දෙයක් නෑ. සාහිත්‍ය කලා ලෝකය ඈතට ලස්සනයි. ලඟට කැතයි. සාහිත්‍ය ලෝකයේ මෙතෙක් සිටි සහ ඉන්න වැඩ්ඩන්ගෙන් අනුප්‍රාණය ලබනවා. කවිය ඔපමට්ටම් වෙන්න බලපෑවේ රත්න ශ්‍රී. ගේ කවි. කෙටිකතාවට නම් මුල් අවදියේ දයා‍සේන ගුණසිංහ මහත්තයාගේ කෙටිකතා වගේම යම් යම් මඟපෙන්වීම්. මෑතකදි කිහිප දෙනෙක්ගේ කෙටිකතා මාව තදින් කුලප්පු කරනවා. අහ්. හරිකු මුරකමි ටිකක් මට මෑත අතීතෙදි තදින් බලපෑවා.

නිකමට කියාගෙන යන්න පුළුවන්ද? සම්පාදනය කළ පොත් ටික.

අසික්කිතයා ගේ සිහිනය, දෙවියන්ට පලිගැසූ ගැහැනිය, හේමන්ත නිද්‍රාව, විසිරි වලාකුළු, තෙරියුම් කෝකිලා, මුහුදට මුහුණ ලෑ සොහොනකි, කියන ඒවා කවි. සෝදාපාලුව හා තවත් කතා, අපරාදෙ ඒ නොවැම්බර්, ඒවා කෙටිකතා. තරුණ සන්නිවේදකයා හා ගුවන්විදුලිය, ජන සන්නිවේදනය ගැන ලියුව එකක්. මීඩියා මතක, තීරු ලිපි එකතුවක්

 ඇත්තටම සාහිත්යයය මගින් මිනිස්සුන්ට කියල දෙන්න හදන දෙයක් තියෙනවද? නැත්නම් මාර්කටින් පැත්තෙන් හිතල පොත් ලියනවද?

පිස්සුවක් ඇතෙයි. කාටවත් උගන්වන්න මම ලියන්නේ නෑ. මට දැනෙන, තෙරපෙන. විඳවන දේ ලියනවා. ඉස්සෙල්ලාම එයින් මං සතුටු වෙනවා. ඉන් පස්සේ අනික් අය සතුටු වෙනවා ඇති. ලියලා ඉවර වෙලා එළියට දැම්මට පස්සේ ඒවා මගේ දේවල් නෙමේ. මුල් කාලෙ නම් ප්‍රකාශකයෝ හිටියේ නෑ. අතින් දාලා පොත් ගහන්න සල්ලි තිබ්බෙත් නෑ. දැන් නම් ප්‍රකාශකයෝ ඉන්නවා. පොත් ලියන්නේ ඉතිං විකුණන්න නේ. මොකද ප්‍රකාශකයා වියදම් කරනවා. ඔහුට ලාභයකුත් එපැයි. මට කර්තෘ භාගේ ලැබෙනවා. පොත මාර්කට් කරන්න මම උදව් කරනවා. පොත රසිකයා අතර ගෙනියන්න මාර්කටින් ස්ට්‍රැටජි එකක් එපැයි. වර්තමානේ කොරෝනා වලටත් මාර්කටිං කරන එකේ පොතකට මාර්කටිං කලාම මක් වෙනවැයි.

ආ සම්මාන ලැබීම් කොහොමද? ලියද්දී සම්මාන ටාර්ගට් කළාද ?

සම්මාන ලැබෙන එක හොඳයි. ඒක උත්තේජනයක් නේ. නෑ කියන්න පුලුවන් ද? සම්මාන ලැබෙන විදියේ අවුල් තියෙනවා. මොකේ ද අවුල් නැත්තේ. හැබැයි ලියද්දි නම් සම්මාන ටාර්ගට් වෙන්නේ නෑ. මතකයකවත් නෑ. මේ සැරේ ඔය කෙටිකතා පොත නිර්දේශ වෙලා කියන එක දන්නෙත් යාලුවෝ කෝල් කරලා කිව්වාම. එකකට නිර්දේශ වුණාම නම් අනෙක් ඒවටත් නිර්දේශ වුණා නම් හොඳයි කියලා හිතුණා. මොකද පොතේ අලෙවිය වැඩි වෙනවනේ. සම්මාන උළෙල වල මට්ටම ගැන නම් දුකායි.

ලංකාවේ සම්මාන දීම ගැන මොකද කියන්නේ? සහ ඒවා ලබාගැනිම් පිලිබද අදහස මොකද්ද?

ලැබෙනවා නම් ගත්තට මොකෝ. දෙන ක්‍රමවේදේ අවුලක් තියෙන නිසා නේ කොපි කරපු පොත් වලට සම්මාන ලැබුණ එක ගැන කෑගහන්න වෙන්නේ. ලබාගන්නෝ ලබා ගත්තදෙන්. එපා කියන අය එපා කියපුදෙන්. මට නම් සම්මානයක් ලැබුණොත් ගන්නවා. මොකද ඒක මට උත්තේජනයක්. මම රහත් වෙලා නෑනේ. හැබැයි නොලැබුණා කියලා පත්තර පිටු වලයි. අන්තර්ජාලයෙයි. බැන බැන ගම මැදින් යන්නේ නෑ. ඒ කාලේ කියවන්න ලියන්න හරි නිදාගන්න හරි යොදනවා. නමුත් කූඨ ක්‍රමවලින් සම්මාන ලබා ගැනීම් වලට නම් විරුද්ධයි. එක් දක්ෂයෙකුට කරන අසාධාරණයක්

 

 

 

 

 

 

 

කී දෙනෙකුට ලව් කළාද? ඒ අතරින් විවාහයට පෙර බොක්කට වැදුනු කෙනාට තවමත් ආදරේද ?

අවුරුද්දකට වැඩි ප්‍රේම කතා හතරක් තිබුණා. ඒවා සියල්ලම පාහේ බිඳවැටුණේ අනෙකාගේ පාර්ශවයෙන්. ඒකත් බාහිර හේතු නිසා අපි අතර ඇතිවුණ දේවල් නිසාම නෙමේ. සමහර ඒවා දීර්ඝකාලීන විඳවීම් බවට පෙරලුණා. නුවර දාලා යන්න පවා ඒවා හේතු වුණා. ඒ ප්‍රේමනීය ලොකේෂන් දකින වාරයක් ගානේ ඇතුලෙන් බිඳවැටෙන්න ගත්තා. දන්නවනේ නුවර එහෙම තැන් බහුල නගරයක් කියලා.
ඔව්, සමහර අය ලංකාවේ නෑ. ඒ වුනත් අදටත් කතාබහ කරනවා. දුක සැප විමසනවා. ඉස්සර නම් කොළඹ බෝම්බයක් පුපුරණ ගානේ හොයා බලනවා. දැන් බෝම්බ පුපුරන්නේ නැති නිසා ඒ අවස්ථාවත් මගෑරුණා.

 අසම්මත බැදිම් ගැන මොකද්ද අදහස

බැඳීම් වල සම්මත අසම්මත කියලා දෙයක් නෑ. සියලු බැඳීම් මනුස්ස බැඳීම්. ඔය සම්මත අසම්මත බෙදීම එන්නේ අපිට සම්මතයක් හදලා දීලා තියෙන නිසානේ. ඒක වෙන කෙනෙක් හදලා දෙන දෙයක්. සමහරවිට දෙමව්පියෝ, සමහර විට ආගම්, පාසැල්, වැඩිහිටියෝ, උසාවිය, පොලීසිය වගේ ආයතන හා පුද්ගල පද්ධතීන් විසින් නේ ඔය බෙදීම් හදලා දෙන්නේ. අපි ඒවට අහුවෙනවා. අහුවෙලා විඳවනවා. නිදහස්ව හිතෙන කෙනෙකුට ඕවා අදාලම නෑ. මිනිස්සු මිනිස්සු ආදරෙන් බැ‍ඳෙන එන කොච්චර ලස්සන දෙයක් ද? ඒ බැඳීම් මිනිස් සමාජයට එකතු කරන්නේ යහපත් දෙයක් මිස මානව විරෝධී දෙයක් නෙමේ. ඒ නිසා බැඳීම් වලට වයසක්, පාටක්, ජාතියක්, ආගමක්, කුලයක්, තැනක් නෑ කියලයි මම හිතන්නේ හා වැඩ කරන්නේ. දෙදෙනෙක් සිප වැළඳගැනීමක් කැතැයි ද? නෑ. ලස්සනයි. හැබැයි ඒකේ ලස්සන දකින්න නම් අපේ හිත් සහ ඇස් පුහුණු කරන්න ඕනේ. මොකද අපි දෙවල් දිහා බලන්නේ අපේ ඇස් වලින් නෙමේ. අපට බද්ධ කරපු ඇස් වලින්

ජීවිතේට හමුවුනු හොදම මනුස්සයා කවුද?ඒ මනුස්සයාගේ ගුණයන් ගැන කිව්වොත් ?

හොඳම මිනිස්සු කියලා ජාතියක් ලෝකේ නෑ. ඉන්න පුළුවන් හොඳ මිනිස්සු. ඒ නිසා මට හමුවුණ හැම මනුස්සයෙක් තුළම දෙවියෙක් හා යක්ෂයෙක් හිටියා. සමහරුන් ගේ දෙවියා ප්‍රබලයි. සමහරුන්ගේ යක්ෂයා ප්‍රබලයි. මට හොඳ මිනිහෙක් කියන්නේ තමන්ගේ අනෙකා දිහා කොන්දේසි විරහිතව ආදරෙන් බලන කෙනෙක්. එයාගේ දෙවියා ප්‍රබලයි.

මිනිහෙකුට මිළක් තියෙනවද?

මානව කුට්ටනයේ දි නම් මිලක් තියෙනවා. හැබැයි ඒක නෙමේනේ මේ අහන්නේ. මිනිහෙක් තමන් උපයා ගන්නා සමාජ ප්‍රාග්ධනය අනුව මිලක් තියෙනවා. ඒක මේ සිස්ටම් එකේදි වටිනවා. ඒ නිසා එහෙම කෙනෙකුට තමන්ව බාගේන් කරන්න පුලුවන්. දැන් රස්සා වලට පවා දෙන්නේ වැටුප් නෙමේ නේ පැකේජ් එකක්. ඒක විශාලද කුඩා ද කියන එක තීරණය වන්නේ තමන් ගේ බාගේන් කිරීමේ හැකියාව උඩ. ඒකට බොහෝ දේවල් අඩංගුයි.

ඇත්තටම ජීවිතේ කියන්නේ මොකද්ද? ඔබ ගත කරපු ජීවිත කාලයට සාපෙක්ෂව

ජීවත්වීම. සතුටින් ජීවත්වීම. අපිට තියෙන්නේ කෙටිකාලීන කොන්තත්‍රාත්තුවක්. සමහර විට අවුරුදු අසූවක්. හැත්තෑවත් වෙන්නත් පුලුවන්. නැත්නම් ඊට අඩු වෙන්නත් පුලුවන්. ඒ කාලය තුළ අනෙකාට කරදරයක් නොවී, අනෙකාට කරදරයක් නොකර ඉඳීම තමා ජීවිතය. ඒ අතරේ වඩා යහපත් මානව සමාජයක් වෙනුවෙන් වැඩ කිරීම. අනෙක මං මගේ ජීවිතයෙන් ඉගෙන ගත් දේ තමයි ජීවිතය කලින් ප්‍රෝගෑම් කරන්න බෑ කියන එක.

 කපිල එම්. ගමගේ , කපිල එම් ගමගේද ? නැතිනම් වෙන ගුණයකින් යුතුව දක්වන්නේ නම්Image may contain: Kapila.M. Gamage, sitting, shoes and indoor

මම වෙස්මූණු දාන්නේ නෑ. මම මේ විදියමයි. වෙන විදියකට පෙනී සිටින්න මට උවමනාවක් නෑ. ඇයි මම ම නොවෙන විදියට පෙනී සිටින්නේ? කොට කලිසමක් ටී ෂර්ට් එකක්, රබර් සෙරෙප්පු දෙකක් දාගෙන මට ඕනම තැනකට මං යන්න කැමතියි. ඒක කොච්චර නිදහස් ද? උපදින කොට දැනුන නිදහස ඒ ආකාරයෙන්ම අදත් විඳින්න ආසයි මම. එහෙම ඉන්නකොට දැනෙනව අපි කොයි තරම් කන්ඩිෂන් වුණ සත්වයෙක් ද කියලා. නමේ ඉඳලා අනෙක් බාහිර පැළඳුම් සියල්ල සංකේතිය දේවල් විතරයි. වෙන ගුණයක් තියෙනවද කියලා මං ගැන කියන්න ඕනේ මගේ අනෙකා විසින්.

ජීවිතේ ඉතිරි කාලය ගැන මොනව ද? අයිඩියා..

ලොකු අයිඩියා එකක් නෑ. ලියන එක ජීවිතේ හුරු දේ නිසා ලියමින් ඉන්නවා. කාලෙකදි ඒවා පොත් හැටියට ඒවි. දේශපාලනික සත්වයෙක් හැටියට වඩාත් යහපත් භූමියක් වෙනුවෙන් පෙනී සිටිනවා. වැටෙනවා. ආයේ නැගිටිනවා. එච්චරයි.

 

සාකච්ඡා කළේ..

තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *