යළිත් ප්‍රේමයෙන් බැඳුනෙමි ! – Y වර්ණ – බ්‍රෙන්ඩා ඉවෝන් ලියයි

දොළහේ පන්තියේ උගනිද්දී නංගි සමඟ කොණ්ඩය ගැට ගසන රිබන් පටියක් අරභයා ඇති කර ගත් ආරවුල අවසන තාත්තාගෙන් හා හා පුරා කියා මුල් ම පහර කෑ දවසේ ජීවිතය නැති කර ගන්නට තැත් දැරූවෙමි. ඒ පාසැල් නිවාසාන්තර ක්‍රීඩා සමයක් වූ නිසා අසළ වෙළඳ සැලකින් පොඩි මුසාවක් කියා මිලදී ගත් පෙති කිහිපයක් හඬමින් ගිල දැමුවා මතක ය. තාත්තා ගෙන් ලද දඬුවම ට මුවා කර මා එදා පිරිමැසුවේ හැවිකාර හිතක එ දවස තිබූ හිත් අමාරුවක් ද බව මට හරියට ම වැටහුනේ පස්සෙන් පහු ය.
කෙසේ වතුදු ගම්පහ රෝහලට රැගෙන ගිය මා සිහි ලබද්දී කොළඹ මහ රෝහලේ සිටීම ත් මරණයේ දොරකඩ යනු කුමක්දැයි සිහිනයෙන් සේ අත් දැකීම ත් තාත්තාගේ කඳුළු බර දෑස් නෙත් ගැටීමෙන් අහවරව ත් මා කරන්නට අදහස් කළ දෙය කෙතරම් බරපතල දැයි මට ම වැටහිණි. එදා සත්තකට මියෙන්නට තරම් සාධාරණ හේතු නොවී ත් මා ඒ සා දරදඬු කළේ සමහර විට දුක, ලැජ්ජාව හෝ හදිසි කෝපය වන්නට හැකිය.

දුක යනු කිමෙක්දැයි හරියාකාරව උගත්තේ ඉනුත් වසර ගණනාවක්‌ ඉක්බිති ය. ඒ, අනන්ත අප්‍රමාණ සිත් රිදවීම්, කඩා වැටීම්, පහත් කොට සැලකීම්, ප්‍රතික්ෂේප වීම් ආදී මෙකී නොකී මියැදෙන්නට හේතු දහසක් අතර ජීවත් වන්නට එකමෙක හේතුවක් සොයා අනන්ත රාත්‍රීන් නිදි වරද්දී ය.

එදා මෙදා තුර ජීවිතයෙන් පලා යන්නට දැරූ උත්සාහයන් හේතුවෙන් පස් හය වතාවක් ම සිහි ලද්දේ රෝහල් ඇඳන් මත ය. දවස් ගෙවුනේ මනෝ වෛද්‍ය වරුන් ඇසුරේ ය. ඒ හැම වතාවක ම ඉතිරි වූයේ මහා හිස් බවක් හා අරමුණ ව්‍යර්ථ වීම නිසා ඇතිවූ බලාපොරොත්තු කඩ වීමේ හැඟීම පමණකි.

ඉන් අහවර, මා ගලේ ගසා වත් මරන්නට බැරි චරිතයක් බව පසක් වූ පසු ජීවත් වන්නට තීරණය කළෙමි. විසඳුම විය යුත්තේ ජීවිතය හැර යාම නොව ජීවත් වීම එපා කරවන හේතු හැර යාම බව වටහා ගත්තෙමි.

” අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ,
පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ “

යයි මා අසා ඇති බුදු බණේ හැටියට නම් ප්‍රියයන්ගෙන් වෙන් වීම සේ ම අප්‍රියයන් හා එක් ව විසීම ද දුකක් මය. ඒ කොයි වෙතත් මේ සිරි ලංකාවේ නම් තනියම ජීවිතය ගෙවා දමන්නී, ජීවත් වූ තැන හැර යන්නී දහදුරාවියකි. බොහෝ ඉවසා දරා අවසන ජීවිතය හැර ගිය පසු නම් අනේ අපොයි! කියන්නේත් ඒ කටවල් මය.

මානසික අවපීඩනය වේ හෝ නොවේ බොහෝ අය නොමරා මරන්නේ මේ සමාජය විහින් ය. මට මා වන්නට නොහැකි තැන, හිතන, ලියන, කරන, නරඹන හැම දෙයකට ම තහංචි වැටෙන තැන ඕනෑම මනුස්ස ප්‍රාණියෙකු ජීවත් වන්නේ මානසික පීඩනයකින් බව මාගේ වැටහීමය. එයට ලිංග භේදයක් ද නැත. මානසික වෛද්‍ය ස්ටීවන් බක්ලී ට අනුව නම් ” දිගු කලක් මුළුල්ලේ නිශේධනීය ආකල්ප වලින් පීඩා විඳීමේ ප්‍රතිපලය විශාදයයි “.කෙසේ නමුත් සිය දිවි නසා ගන්නට නම් මහා ආත්ම ශක්තියක්‌ අවැසි බව කියන්නේ ජීවත් වන්නවුන්ය. මා නම් එයට කියන්නේ අසරණ කම කියා ය. එය අත් විඳින්නට නම් එතනට වැටී ම බැලිය යුතු ය.

එක් පුද්ගලයකු කේන්ද්‍ර කර ජීවිතය සහ මුළින් ගොඩ නගා ගැනීම එසේත් නැත්නම් තවෙකෙකුගේ දෑසින් ලොව දැකීමට තැත් කිරීම ම දුකට, කලකිරීම ට හේතු වන බව තේරුම් ගත්තෙමි. අප පණැ’ති මළ කඳන් බවට පත් කරවන්නේ ඇසුරු කරන්නන් නොව අපගේම බලාපොරොත්තු කඩවීම් බව ත් මාගේ දුකට හෝ සතුටට හේතුව මා මිස අන් කවරකු හෝ නොවන වග ත් වටහා ගත් දිනයේ සිට ජීවිතය දෙස අළුත් ඇසකින් බලන්නට හුරු වූයෙමි. එසේ කියා හුදකලාවේ නො ඉඳිමි.වදනකින් හෝ සැනසීම ගෙන දෙන අයවළුන් පමණක් ම ඇසුරු කරමි. හේතුව සොයා ගැනීමෙන් නොනැවතී දුක නැති කර ගැනීමේ මට සරිලන මාර්ගයක් සොයා ගතිමි. වැඩි වැඩියෙන් පොත පතට නැඹුරු වූයෙමි. Allan – Barbara Pease වැන්නවුන්ගේ පොත් (උදා : පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි? – පරිවර්තනය – ආරියරත්න චන්ද්‍රවංශ )සහ ධනාත්මක ආකල්ප ඇති කරවන ඕනෑම පොතක්, කෙටියෙන් ම කුඩා කළ සිට තිබූ අතට හසුවන ඕනෑම දෙයක් කියවීමේ පුරුද්ද වැඩි දියුණු කර ගතිමි. ගැහැණු – පිරිමි සබඳතා පමණක් නොව සහ සමස්ථ මානව සබඳතා ගැන පවා නවමු ඇසකින් බලන්නට උගත්තෙමි.සරළවම සැබෑ ආකල්පමය වෙනසක් ඇති කර ගතිමි.

හිඳිනා තැන ගිණි ගොඩක් නම් ජීවිතය අත් හැර දමනවාට වඩා එම අවස්තාව අත් හැරීම කාලෝචිත වග උගත්තෙමි. අත් හැර දැමීම සැනසීමට හේතු වන මුත් යළිත් ගැහැණු ආත්මයක් ලබා, ආදරය බොහෝ විඳ, දරු පැටවුන් රොත්තක් සමඟ එක පවුලක ජීවත් වන්නට පෙරේත කම් කරන මට ඊළඟ ආත්ම ගණනකට වත් ගිහි ගෙය නම් අත් හරින්නට බැරි බව සහතික ය.

ඉතිං අවසන..,  මා යළිත් ප්‍රේමයෙන් බැඳුනෙමි.

මම, මා සමඟින් යළිත් ප්‍රේමයෙන් බැඳුනෙමි.

දැන්,  සතුට යනු සැනසීමෙන් අද දවස ගෙවීම බව අත් දකිමි.

බ්‍රෙන්ඩා ඉවෝන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *