යකඩ ගැහැණිය යළිත් මියන්මාරයේ බලවත් වෙයි

රඛීන් ප්‍රාන්තයෙ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පිළිබද ප්‍රශ්නය මුල් කර ගනිමින් මියන්මාර නායිකා සුචීට අන්තර්ජාතික වශයෙන්  දැඩි පීඩනයක් එල්ල විය. එහි වර්ග සංහාරයක් සිදුවන බවට නැගුණු  චෝදනා ඇය ප්‍රතික්ෂේප කළාය. අඛීන් ප්‍රාන්තයේ තත්වය වාර්තා කිරිමේදී බටහිර  මාධ්‍ය පව එක් පාර්ශවයකට නැඹුරු වන තත්වයක් දිස් විය දැඩි බලපෑම් හමුවේ වුවද සුචී රට වෙනුවෙන් දැරූ ස්ථාවරය වෙනස් කලේ නැත. මෙම ප්‍රථිපලය මගින් මියන්මාර ජනතාව එය අනුමත කර ඇති බව පැහැදිලිය . 

මියන්මාරයේ හමුදා පාලනය 2011 වර්ෂයේදී නිමාවට පත් වීමෙන් පසු පැවැති දෙවැනි මැතිවරණය ඉකුත් ඉරිදා පැවැත්විණි. එම මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු වෙමින් ඇති අතර, අවසන් නිල ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් වී නොමැත. කෙසේවුව ද, දැනට ප්‍රකාශ වී ඇති නිල නොවන ප්‍රතිඵල අනුව අවුන්සාන් සුචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය (NLD) විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගෙන ඇති බව පැහැදිලි වේ. එය 2015 දී ඔවුන් ලැබූ ජයග්‍රහණයටත් වඩා වැඩි එකකි.

කොරෝනා වසංගත අභියෝගයට මුහුණ දෙමින් වුව ද මිලියන සංඛ්‍යාත ඡන්ද දායක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබීම වි‍ශේෂ කාරණයකි. ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව මිලියන 37කි. අපේක්ෂිතයන් 7000කට ආසන්න පිරිසක් මැතිවරණයට තරග කළේ දේශපාලන පක්ෂ 100කට වැඩි ගණනකිනි. මැතිවරණයෙන් ආසන 1171ක් සඳහා නියෝජිතයන් පත් කර ගැනේ. ඒ; පාර්ලිමේන්තුවේ ඉහළ හා පහළ මන්ත්‍රී මණ්ඩල සඳහා මෙන්ම ප්‍රාදේශීය පාලන ඒකක සඳහාය. 2008 දී ව්‍යවස්ථා සංශෝධනය යටතේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් ¼ක් පමණ වෙන්ව ඇත්තේ හමුදා තන්ත්‍රයටය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණය පැවැත්වුණේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමිනි. වයිරසයේ බලපෑම වැඩි, වැඩිහිටි ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කල් තබා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබිණි. 75 හැවිරිදි වියේ පසුවන අවුන්සාන් සුචී ද කලින් ඡන්දය ප්‍රකාශ කළාය.

 

විශ්ලේෂකයන්ගේ අදහසSuu Kyi 'Very Sad' Over Muslim Plight in Burma

මෙම මහ මැතිවරණය සැලකිය හැකි වන්නේ සුචී හා පාලක පක්ෂයේ ජනප්‍රියත්වය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස විය. පළමු මහ මැතිවරණයටත් වඩා වැඩි බලයක් ඔවුන් වෙත ලැබීමෙන් මියන්මාර ජනතාව එම පාලනය ඉහළින් අනුමත කරන බව පැහැදිලි වේ.

මැතිවරණය නිමා වීමට පත් වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ ප්‍රකාශක මියෝ යුන්ට් ප්‍රකාශ කර තිබුණේ, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව වන 322ට වඩා ඉතා වැඩි ආසන සංඛ්‍යාවක් ඇය හිමි කර ගනු ඇති බවය. ඡන්ද මධ්‍යස්ථානවල සිටි සිය නියෝජිතයන් සපයා දුන් වාර්තා මඟින් එය පැහැදිලි වන බව ඔහු පවසා තිබේ.

ජනතාවට මෙන්ම පක්ෂයට ද මෙය දිරිගන්වන සුළු මැතිවරණ ප්‍රතිඵලයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය එක්සත් සහයෝගිතා හා සංවර්ධන පක්ෂයයි (USDP). ඊට හමුදා තන්ත්‍රයේ සහාය ද හිමි වේ. එම පක්ෂය මෙන්ම තවත් දේශපාලන පක්ෂ ගණනාවක් කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැතිවරණය කල් දමන ලෙසට ඉල්ලා තිබුණි. ඊට ප්‍රතිචාර දක්වමින් සුචී කියා සිටියේ, මැතිවරණය පැවැත්වීම වඩාත් වැදගත් බවය. ඉහළ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ද එය පැහැදිලි වේ.

රඛීන් ප්‍රාන්තයේ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පිළිබඳ ප්‍රශ්නය මුල්කර ගනිමින් මියන්මාර නායිකා සුචීට අන්තර්ජාතික වශයෙන් දැඩි පීඩනයක් එල්ල විය. එහි වර්ග සංහාරයක් සිදු වන බවට නැඟුණු චෝදනා ඇය ප්‍රතික්ෂේප කළාය. රඛීන් ප්‍රාන්තයේ තත්ත්වය වාර්තා කිරීමේදී බටහිර මාධ්‍ය පවා එක් පාර්ශ්වයකට නැඹුරු වන තත්ත්වයක් දිස් විය. දැඩි බලපෑම් හමුවේ වුව ද සුචී රට වෙනුවෙන් දැරූ ස්ථාවරය වෙනස් කළේ නැත. මෙම ප්‍රතිඵලය මඟින් මියන්මාර ජනතාව එය අනුමත කර ඇති බව පැහැදිලි වේ.

ගැටුම් පවතින රඛීන් ප්‍රාන්තය සහ තවත් ප්‍රාන්ත කිහිපයක මැතිවරණය අවලංගු විය. එම ප්‍රදේශවල නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඇති නොහැකියාව මැතිවරණ කොමිසම මඟින් පෙන්වා දී තිබිණි. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට ද ඡන්ද බලය හිමි‍ නොවේ. මේ තත්ත්වය මිලියනයක් පමණ වන පිරිසකට බලපෑ බවට විවේචනාත්මකව පෙන්වා දෙමින් වුව ද යුරෝපා සංගමය හා බ්‍රිතාන්‍ය මැතිවරණය පිළිබඳ ප්‍රශංසාත්මකව අදහස් පළ කළේය. අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසා තිබුණේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රීය පරිවර්තනයට අදාළව මෙය වැදගත් පියවරක් බවය. කොටසකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබීම හා හමුදා තන්ත්‍රය වෙනුවෙන් ආසන ප්‍රමාණයක් වෙන්ව තිබීම ද අමෙරිකාවේ අවධානයට ලක්ව තිබිණි.

මියන්මාරය වසර 50ක් පමණ මිලිටරි පාලන තන්ත්‍රයක් යටතේ තිබූ රාජ්‍යයකි. සුචී ද දීර්ඝ කාලයක් නිවාස අඩස්සියේ පසු වූ අතර, ඇයට දේශපාලන කටයුතුවල යෙදීමට ඉඩ ලැබුණේ නැත. මෙවැනි පසුබිමක නොබෙල් සාම ත්‍යාගය ද ඇය වෙත පිරිනැමිණි. රොහින්ග්‍යා අර්බුදය මුල්කරගනිමින් එය ආපසු ගත යුතු බවට විවේචන එල්ල වෙද්දී ඇය කියා සිටියේ, අවශ්‍ය නම් එය ආපසු බාර දීමට වුව ද තමන් නොපැකිළෙන බවය. ජන සංහාරයක් සිදු වූ බවට එල්ල වූ චෝදනා හමුවේ සුචී සිය රට වෙනුවෙන් ඉකුත් වසරේදී අන්තර් ජාතික අධිකරණය (ICJ) හමුවේ පෙනී සිටියාය. මියන්මාරය දිගින් දිගටම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ආරක්ෂක අංශ සටන් කරමින් සිටින්නේ ත්‍රස්තවාදීන්ට එරෙහිව බව අවධාරණය කරයි. රඛීන් ප්‍රදේශයේ ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට පලා ගොස් ඇති සරණාගතයන් සංඛ්‍යාව 700,000ට වැඩි බව එක්සත් ජාතීන්ගේ අධිකරණය ඉදිරියේදී අවුන්සාන් සුචී පැහැදිලිව කියා සිටියේ, තම රටට එරෙහිව එල්ල වන මෙම චෝදනා අසම්පූර්ණ මෙන්ම නොමඟ යවන සුළු ඒවා බවය.

 

ජනාධිපතිවරයා තෝරා ගැනීමNew York Times Syndicate

මැතිවරණයෙන් බලයට පත් වන ආණ්ඩුවේ කාලසීමාව වසර 5කි. පාර්ලිමේන්තුවේ ඉහළ හා පහළ මන්ත්‍රී මණ්ඩලවල බහුතර ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදු වේ. දැනට ගණන් බලා ඇති පරිදි මැතිවරණයෙන් පාලක, ප්‍රජාතන්ත්‍රය සඳහා වන ජාතික ලීගයට 2/3 බලයක් හිමි වීමට ඉඩ තිබේ.

වාර්ගික පදනමකින් නිර්මාණය වූ කුඩා දේශපාලන පක්ෂ ද මැතිවරණය සඳහා තරග කළහ. ඔවුන්ට හිමි කර ගත හැකි වූයේ, ආසන සුළු සංඛ්‍යාවක් පමණි. බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සටන් කරන අතර, කොරෝනා වයිරසය සමඟ ද සටන් කිරීමට මියන්මාරයට සිදු වීම එරට ජනජීවිතය කෙරෙහි බලපෑම් ඇති කර ඇත. ආර්ථික අභියෝග ජය ගැනීමට ද එරටට සිදුව තිබේ. නව රජය බලයට පත් වීමෙන් පසුව ප්‍රමුඛතා වශයෙන් තිබෙනු ඇත්තේ ද මෙවැනි අභියෝග ජය ගැනීමය.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ පරිසරයක සිය අපේක්ෂා ඉටු කර ගැනීම කෙරෙහි මියන්මාර ජනතාව සිය නායිකා අවුන් සාන් සුචී සහ ඇයගේ දේශපාලන පක්ෂය කෙරෙහි බලවත් විශ්වාසයක් තබා ඇති බව මේ මැතිවරණ ප්‍රතිඵලය මඟින් ප්‍රකාශයට පත් වන පණිවිඩයයි. එක් අතකින් එය එරටට බලපෑම් කරන බාහිර ප්‍රජාවට ද වැදගත්ය. එමෙන්ම සුචී සහ ඇයගේ පක්ෂයට ද වැදගත්ය. එය සුචීට සහ පාලන පක්ෂයට වැදගත් වන්නේ ජනතාව තමන් කෙරෙහි රඳවා ඇති විශ්වාසය ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ ද රටේ ද අපේක්ෂා සැබෑ කරගැනීම ඔවුන් වෙත පැවරී ඇති නිසාය.Aung San Suu Kyi will not be stripped of Nobel Prize, committee says - CNN

ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි අඩසියවසක් පමණ මිලිටරි පාලනය යටතේ පැවැති රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට හැකිවීමම සාධනීය කාරණයකි. ඒ අර්ථයෙන් මෙය, දෙවැනි මහ මැතිවරණයයි. මේ දක්වා සතුටුදායක දුරක් පැමිණීමට ද එරටට හැකි වී ඇත. එය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යැමට අවශ්‍ය ශක්තිය දීම මිස එකී ගමනට අවහිර ඇති කිරීම ඔවුන් බාහිර පාර්ශ්වවලින් අපේක්ෂා නොකරනු ඇත. එසේම, අන් සියලු ස්වෛරී රාජ්‍ය මෙන්ම මියන්මාරය ද සිය රාජ්‍ය දුර්වල කිරීමට හෝ බෙදා වෙන් කිරීමට කවර පාර්ශවයකට හෝ ඉඩ නොහරිනු ඇත. එම මූලික අභිලාසයන්ට එකඟව සෙසු ජනකොටස් ද සමඟ එරට ඔසවා තැබීම ඔවුන් ඉදිරිපිට ඇති අභියෝගයකි. යකඩ ගැහැනියක ලෙස අභියෝග මැදින් නැඟුනු සුචී, එකී අභියෝගවලට ද නොසැලී මුහුණ දෙනවා ඇත.

 

ධම්මික සෙනෙවිරත්න

dinamina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *