ස්ලේවෝයී ශිෂෙක් රචිත – වසංගතය 2: අහිමි කාලයක පුරාවෘත්ත – පර්වර්තනය සුමිත් චාමින්ද  

දෙවන කොටස 
පරිවර්තකගේ හැඳින්වීම 
ශිෂෙක් “වසංගතය 2” කෘතිය ආරම්භ කරන්නේ වත්මන් අර්බුධය කෙරෙහි අප ප්‍රතිචාර දක්වන ආකාරයන් පිළිබඳ විචාරාත්මක අදහස් කිහිපයක් ඉදිරිපත් කරමිනි. පළමුවෙන් ඔහු පෙන්වා දෙන්නේ යුරෝපීය සහ එක්සත් ජනපද සමාජයන් තුළ ලොක් ඩවුන් කිරීම්වලට එරෙහි විරෝධතා මතුවන්නේ දේශපාලනිකව එකිනෙකට වෙනස් ප්‍රවණතා කෙරෙන් බවයි. එක්සත් ජනපදය තුළ ලොක් ඩවුන් විරෝධය අන්ත-දක්ෂිණාංශික කණ්ඩායම්වල සටන් පාඨයක් වන විට ප්‍රංශය තුළ එය  වාමාංශයේ උදෘතයක් බවට පත් වේ.

නමුත්, ඔහු වසංගතය පිළිබඳ තම පළමු කෘතියේදී අවධාරණය කළ පරිදිම මේ කෘතියේදීද දරන ස්ථාවරය වන්නේ වසංගතයේ අභියෝගයට මුහුණ දීම සඳහා ඇතැම්විට අපට අපගේ පුද්ගලික නිදහසට බාධා කෙරෙන ආකාරයේ ක්‍රියාමාර්ග සමග පවා එකඟ වන්නට සිදු වන බවයි. නමුත්, ඒ අතරම ඔහු වසංගතය මැඩලීමේ මුවාවෙන් අධිකාරීවාදී රාජ්‍ය යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයන් ගැනද අවධානය යොමු කරයි. අප වසංගතයට අදාළව කෙරෙන රාජ්‍යයේ මැදිහත්වීම් පිළිපැදිය යුත්තේ රාජ්‍යයේ අධිකාරීවාදී යාන්ත්‍රණයන් ශක්තිමත් වීමේ අනතුර ගැනද දැනුවත්භාවයකින් යුක්තවය. ශිෂෙක් මෙහිදී විවේචනාත්මක වන්නේ පුද්ගලික නිදහස සහ අයිතීන් පිළිබඳ වියුක්ත දෘෂ්ටිකෝණයෙන් පමණක් සමකාලීන ගෝලීය වසංගතය තේරුම් කරන්නට ප්‍රයත්න දරන ලිබරල්වාදී ප්‍රවේශය පිළිබඳව බැව් සිහි තබා ගත යුතුය. ඒ වෙනුවට ඔහු අවධානය යොමු කරන්නේ වසංගතයේ අභියෝගයට මුහුණ දිය හැකි ප්‍රායෝගික විසඳුම් මොනවාද යන ප්‍රශ්නය කෙරෙහිය; ශිෂෙක් මෙම කෘතිය තුළදීද අවධාරණය කරන්නේ (විශේෂයෙන්ම කාලගුණ විපර්යාසයේ අභියෝගයට අදාළව) ඔහු කලක පටන්ම කියමින් සිටි ගෝලීය සහයෝගීතාව මත පදනම් වූ විසඳුමක අවශ්‍යතාව ගැනය.Curfew remains in Minuwangoda as COVID-19 cases spike - Xinhua |  English.news.cn
ශිෂෙක්ගේ බුද්ධිමය මැදිහත්වීමේ ඇති වැදගත් මානයක් වන්නේ එක් අතකින් වසංගතයට අදාළ ඉතාම ප්‍රායෝගික ගෝලීය විසඳුමක් සෙවීමට දායක වන අතරම අනෙක් අතින් දැනට ඉදිරිපත් වී තිබෙන විසඳුම් පිළිබඳ මූලධාර්මික ප්‍රශ්නද මතු කිරීමය. මෙම පරිච්ජේදය තුළ ඔහු විසින් මතු කරනු ලබන එවන් මූලධාර්මික ප්‍රශ්නයක් නම් ධනවාදය තුළ පුද්ගලික තෝරා ගැනීමේ නිදහස යන්න කොතරම් නිර්මානුෂික අන්තයක් කරා ගමන් කළ හැකිද යන්නයි. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ කම්කරු ජනයා හට වත්මනෙහි තෝරා ගැනීමට ඇති ප්‍රායෝගික විකල්පයන් දෙක වන්නේ එක්කෝ ජීවනෝපාය රැක ගැනීම වෙනුවෙන් වෛරසයට නිරාවරණය වීම නැතහොත් වෛරසයෙන් බේරීම පිණිස ජීවනෝපාය අහිමි කර ගැනීම යන්නයි. ලොව සෙසු තැන්වල තත්ත්වයද මෙයින් වෙනස් නැත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හල් සේවිකාවන් අතර රෝගය ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ඔවුන් රෝග ලක්ෂණ ප්‍රදර්ශණය කරමින් සිටියදී පවා ඔවුනට වැඩට යන ලෙස කම්හල් පරිපාලනය විසින් බල කරනු ලැබීම යැයි පසුගියදා වාර්තා විය. ශිෂෙක් වසංගතයේ අර්බුධය මගින් අපව පන්තිමය විසමතාව පිළිබඳ සැබෑවට අභිමුඛ කරනු ලබන්නේ කෙසේදැයි මෙවන් නිදසුන් ගණනාවක් මගින් තියුණු ලෙස පෙන්වා දෙමින් සිටී.Daily Mirror - Minuwangoda Covid-19 cluster expands
මෙම පරිච්ජේදයේ අවසන් භාගයේදී ඔහුගේ ප්‍රශ්න කිරීමට ලක් වන්නේ වසංගතය මැඩලීම පිණිස අධිකාරීමය රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වේය යන ප්‍රවාදය පිටුපස තිබෙන ඇතැම් පෙර-සිතාගැනීම් ය. මිනිසුන්ගේ සියළුම චර්යාවන් පාලනය කිරීම පිළිබඳ ආන්තික විද්‍යාත්මක සිහිනය ඇතැම්විට මානව වර්ගයා දකින වඩාත්ම බියකරු සිහිනය විය නොහැකිද? වඩ වඩාත් අධිකාරීමය පාලන ක්‍රමයන්ට යටත් වීමෙන් වසංගතයෙන් කිසියම් සමාවක් ලැබේ යැයි මිනිසුන් රහසිගතව විශ්වාස කරන්නේද? සැබවින්ම, විද්‍යාඥයින් සතුව පවා වත්මන් වසංගතය පිළිබඳව නිවැරදි දැනුමක් තිබේද? එය අවසන් වන්නේ කවදාදැයි අප අපගෙන්ම විමසමින් සිටියද ඒ ගැන හරියටම දන්නා කිසිවෙකු හෝ සිටීද?
ශිෂෙක් මෙහිදී ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය පිළිබඳ ප්‍රවාදය ගැන අලෙන්කා සුපැන්ජිත් පැවසූ අදහසක් කොරෝනා වෛරස් වසංගතයට අදාළ කරයි. ගැටළුව වන්නේ අවසානය අවසාන නොවීමයි. එය දිගින් දිගටම ඔහේ ඇදි ඇදී යාමයි. සිතාගත නොහැකි තරමේ මහා ව්‍යසනයන් ඉදිරි කාලයේදී පැමිණෙනු ඇත. ගෝලීය විරැකියා ජනගහණය බිලියනයකට අධික වනු ඇත. නමුත්, ඒ අතරම ඔහු පෙන්වා දෙන්නේ තවමත් සමස්ත මිනිස් වර්ගයා හටම අල්පේච්ජ ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය තරම් ආහාර සහ සෙසු සම්පත් මෙලොව පවතින බවයි. ගැටළුව වන්නේ ඒවා බෙදා ගන්නේ කෙසේද යන්නයි. වසංගතයේ ඊළඟ ප්‍රහාරයට පෙර අපගේ සෞඛ්‍ය සේවය ඒ සඳහා සූදානම් කරන්නේ කෙසේද යන්නයි. මෙය දේශපාලන ප්‍රශ්නයක් මිස විද්‍යාව මගින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ.
  • පළමු පරිච්ජේදය                         
අප නොදන්නේ කුමක්ද? අපට දැන ගන්නට අවශ්‍ය නැත්තේ කුමක්ද? අපට කරන්නට හැක්කේ කුමක්ද?Key Theories of Slavoj Zizek | Literary Theory and Criticism
මාක්ස් සහෝදරයන්ගේ “තාරා සූපය” චිත්‍රපටයේ ග්‍රෝචෝ නමැති චරිතය (උසාවියේදී තම සේවාදායකයාව ආරක්ෂා කරන නීතිඥයෙක්) මෙසේ පවසයි: “ඔහු මෝඩයෙක් වගේ පේන්න පුළුවන්; කතා කරන්නෙත් මෝඩයෙක් වගේ; ඒත් එයින් ඔබව රවටන්න ඉඩ දෙන්න එපා; ඔහු ඇත්තටම මෝඩයෙක්.” ලොක් ඩවුන් කිරීම යනු අපේ මූලික නිදහස අපෙන් උදුරා ගැනීම සඳහා සැකසූ කුමන්ත්‍රණයක් ලෙස දකිමින් රාජ්‍යය පිළිබඳ මූලික අවිශ්වාසයක් පළ කරන අයවලුන් හට අපේ ප්‍රතිචාරය ගොඩ නැගිය යුත්තේද මේ ආකාරයෙනි: “රාජ්‍යය අප මත අපගේ මූලික නිදහස උල්ලංඝණය කරන ලොක් ඩවුන් කිරීමේ නියෝග පණවමින් සිටී; එසේම එය අපගේ අනුකූලතාව සහතික කරගැනීම සඳහා අප එකිනෙකා මත පොලිස්කාරකම් කරනු ඇතැයිද බලාපොරොත්තු වේ; නමුත්, අප මෙයින් රැවටීමට ලක් විය යුතු නැත; අප සැබවින්ම ලොක් ඩවුන් කිරීමේ නියෝග පිළිපැදිය යුතුය.”
What is India lockdown | What a coronavirus lockdown looks likes, and what  you can do & what you can't
ලොක් ඩවුන් කිරීම අහෝසි කරන ලෙසට කෙරෙන ඉල්ලීම් ප්‍රතිවිරුද්ධ දේශපාලන ප්‍රේක්ෂාවලීන් වෙතින් ඉදිරිපත් වන්නේ කෙසේදැයි යමෙකු හඳුනාගත යුතුය: එක්සත් ජනපදය තුළ එම ඉල්ලීම් පෙරට තල්ලු කරන්නේ නිදහස්වාදී දක්ෂිණාංශිකයන් ය; ජර්මනිය තුළ කුඩා වාමාංශික කණ්ඩායම් ඒවා දිරිමත් කරයි. මේ නිදර්ශක දෙකේදීම වෛද්‍ය විද්‍යාත්මක දැනුම ජනතාව විනයගත කිරීමේත්, ඔවුන් ඔවුන්ගේම යහපත සඳහා හුදෙකලා කර තැබිය යුතු අසරණ ගොදුරු ලෙස සැලකීමේත්    උපකරණයක් යැයි විවේචනයට ලක් කෙරේ. මෙම විවේචක ස්ථාවරයට යටින් “දැන ගැනීමට අවශ්‍ය නොවේය” යන ආකල්පය සොයා ගැනීම අසීරු නොවනු ඇත: අප තර්ජනය නොතකා හරින්නේ නම් එය එතරම් නරක නොවනු ඇත; අප එය ජය ගන්නට සමත් වනු ඇත… එක්සත් ජනපදයේ නිදහස්වාදී දක්ෂිණාංශය කියා පාන්නේ ජනතාවට ඔවුනගේ තෝරා ගැනීමේ නිදහස යළිත් ලබා දීම සඳහා ලොක් ඩවුන් කිරීම් ලිහිල් කළ යුතු බවය. එයින් මතු කෙරෙන ප්‍රශ්නය මෙයයි: “කුමන නිදහසද?” හිටපු කම්කරු ලේකම් රොබර්ට් රයික් මෙලෙස ලිවීය: “ට්‍රම්ප්ගේ කම්කරු දෙපාර්තමේන්තුව තීන්දු කොට ඇත්තේ විශ්‍රාමික වෘත්තිකයන් කොවිඩ් 19 නොතකමින් නැවත සේවයට පැමිණ තම විරැකියා දීමනා අහිමි කරගත යුතුය යනුවෙන් ඔවුනගේ සේවා යෝජකයින් විසින් කරනු ලබන යෝජනාව භාර ගත යුතු බවය. මිනිසුන්ට එක්කෝ කොවිඩ් 19 ආසාදනය වීම හෝ නැතහොත් තම ජීවනෝපාය අහිමි කර ගැනීම යන දෙකින් එකක් තෝරා ගැනීමට බල කිරීම අමානුෂික ය.” මෙතැන ඇති “නිදහස් තෝරා ගැනීම” වන්නේ සාගතය හා ජීවිතය අවධානමේ හෙළා ගැනීම අතරැති එකකි. මේ තත්ත්වය 18 වන සියවසේ බ්‍රිතාන්‍යයේ ගල් අඟුරු පතල්වල පැවති තත්ත්වය සිහියට නංවයි; එහිදී හුදෙක් යමෙකු රැකියාවේ නිරත වීම සැලකිය යුතු ජීවිත අවදානමක් සහිත කාර්යයක් විය.
නමුත්, දැඩි ලොක් ඩවුන් ක්‍රියාමාර්ග පැණවීම් දරා ගන්නා වෙනස් ආකාරයක අඥානභාවයක් ඇත. එය රාජ්‍යය අප මත සම්පූර්ණ පාලනය ස්ථාපිත කරගැනීම සඳහා වසංගතය ප්‍රයෝජනයට ගැනීම තරම් සරල නැත. මෙහිලා එන්ට එන්ටම කිසියම් ආකාරයක මිත්‍යා දෘෂ්ටික සංකේතාත්මක ක්‍රියාවක් ක්‍රියාත්මක වන්නේ යැයි මම සිතමි. ඒ අප අපගේ සමස්ත සමාජ ජීවිතයම අත් හිටුවන තරමේ ප්‍රබල කැප කිරීමක අභිනයක් ඇති කළ හොත්, එවිට ඇතැම්විට අපට කරුණාවක් බලාපොරොත්තු විය හැකිය යන තර්කයයි.
මවිතකර කාරණය නම් අප (මා මෙයට විද්‍යාඥයින්ද ඇතුලත් කරමි) වසංගතය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි යන්න පිළිබඳව දන්නා බව පෙනෙන්නේ කොතරම් අල්පයක්ද යන්නයි. නිරන්තරයෙන්ම අපට බලධාරීන්ගෙන් ප්‍රතිවිරෝධී උපදෙස් ලැබේ. වෛරස් ආසාදනය වළක්වා ගැනීම සඳහා ස්වයං-හුදෙකලාවේ සිටින ලෙසට අපට දැඩි මග පෙන්වීම් කරනු ලැබේ; නමුත්, ආසාදිතයින්ගේ සංඛ්‍යාව පහත වැටෙන්නට පටන් ගත් විට අපගේ ක්‍රියාවන් මගින් සිදු කෙරෙන්නේ ඉදිරියේදී එතැයි අපේක්ෂා කෙරෙන වෛරස් ප්‍රහාරයේ දෙවන රැල්ල හමුවේ අපව වඩාත් අසරණ තත්ත්වයකට පත් කිරීම පමණක්ද යන බිය මතු වේ. නොඑසේනම්, අප මීළඟ රැල්ලට පෙර එන්නතක් සොයා ගනු ලැබෙතැයි යන අපේක්ෂාව ගැන ගණන් බලමින් සිටිනවාද? එසේම, දැනටමත් වෛරසයේ වෙනස් ප්‍රවර්ග පවතින බැවින් එක් එන්නතක් ඒ සියල්ලම ආවරණය කරනු ඇත්ද? ඉක්මන් පිටවීමක් පිළිබඳ සියළුම අපේක්ෂාවන් (ගිම්හාන උණුසුම, ප්‍රජාමය ප්‍රතිශක්තීකරණය, එන්නතක්..) වියැකී යමින් පවතී.A national emergency': what the papers say about the UK's coronavirus  lockdown | Coronavirus | The Guardian
නිතර කණ වැකෙන අදහසක් නම් බටහිර ලෝකයේ වෙසෙන අප මරණය සමග ගණුදෙණු කරන ආකාරය වෙනස් කර ගන්නට වසංගතයෙන් බල කෙරෙනු ඇත යන්නයි; එනම් අපට අපගේ අනියතභාවය සහ අපගේ පැවැත්මේ බිඳෙනසුළු භාවය පිළිගන්නට බල කෙරෙනු ඇති බවයි. නොපවතින තැනකින් වෛරසයක් පැමිණි කල්හි අප දැන සිටි ජීවිතය අවසන් වී යයි. ඈත පෙරදිග ජනතාව වසංගතය සමග ගණුදෙණු කිරීමේදී වඩා සාර්ථක වී ඇතැයි අපට පවසනු ලබන්නේ මෙනිසාය. ඒ ඔවුනට මරණය යනු හුදෙක් ජීවිතයේ කොටසක් පමණක් වන නිසාය; දේවල් පවත්නා ආකාරය වන නිසාය. බටහිර වෙසෙන අප මරණය ජීවිතයේ කොටසක් ලෙස භාර ගන්නේ වඩ වඩාත් අඩුවෙනි. අප එය දකින්නේ විදේශික යමක් කඩා වැදීමක් ලෙසය; ඔබ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නේ නම්, ව්‍යායාමවල නිරත වන්නේ නම්, සමබල ආහාර ගන්නේ නම්, මානසික ක්ෂතිය මග හරින්නේ නම් ඔබට එය අසීමාන්තිකව කල් දැමිය හැකිය. මම මේ කතාව කිසිදාක විශ්වාස කරන්නේ නැත. එක් අරුතකින් මරණය ජීවිතයේ කොටසක් වන්නේ නැත. එය පරිකල්පනය කළ නොහැකි යමකි. මට සිදු නොවිය යුතු දෙයකි. මම කිසිදාක මැරෙන්නට සූදානම් නැත (දරා ගත නොහැකි විඳවීමකින් පළා යාමට මිස). අප බොහෝ දෙනෙකු මේ දිනවල එකම ඉන්ද්‍රජාලික ඉලක්කම් වෙත ග්‍රස්තික ලෙස ඉලක්කගතව සිටින්නේ එබැවිනි: නව ආසාදිතයින් කොපමණ දෙනෙක් වාර්තා වේද?
පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව කොපමණද? නව මරණ කොපමණ ප්‍රමාණයක් ද? නමුත්, මේ සංඛ්‍යා භයංකර වන පරිදිම, අප ඒවා වෙතට පමණක් ඉලක්කගත වීමෙන් පිළිකා හෝ හෘදය රෝග යනාදී සෙසු හේතූන්වලින් මරණයට පත් වන විශාල සංඛ්‍යාව නොතකා සිටින්නට අප යොමු නොවන්නෙමු ද? වෛරසයට පිටත ඇත්තේ හුදෙක් ජීවිතය පමණක් නොවේ; සුලභ වශයෙන් මරණය සහ මිය යාමද පවතී. ඇතැම්විට, මරණ අනුපාතය දෙස තුලනාත්මකව බැලීම වඩා යහපත්ය; අද දිනයේ මෙතරම් ප්‍රමාණයක ජනතාවක් කොවිඩ්-19 නිසා මරණයට පත්ව ඇති අතර මෙතරම් ප්‍රමාණයක් පිළිකාවලට ගොදුරු වී ඇත යනාදී වශයෙනි.
අප මෙහිදී අපගේ පරිකල්පනය වෙනස් කොට ගත යුතු අතර, එක් සුවිසල් පැහැදිලි කූට ප්‍රාප්තියක් සහ ඉනික්බිති දේවල් ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත් වීමක් අපේක්ෂා කිරීම නවත්වා දැමිය යුතුය. වසංගතය මෙතරම් දරා ගත නොහැකි දෙයක් වන්නේ පූර්ණ ව්‍යසනයක් පෙනෙන්නට නැතිව තිබියදී පවා දේවල් ඔහේ ඇදි ඇදී යාම නිසාය. අප උච්ච මුදුනකට පිවිස තිබේ යැයි අපට දැනුම් දෙනු ලැබේ; ඉන්පසුව, දේවල් මදක් යහපත් අතට හැරේ; නමුත් අර්බුධය දිගටම පවතී. ඇලෙන්කා සුපැන්චිත් පවසන පරිදි, ලෝකයේ අවසානය පිළිබඳ අදහසේ ඇති ගැටළුව වන්නේ ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය පිළිබඳ අදහසේ ගැටළුවමය; අවසානය අවසාන වන්නේ නැත. අපි අවුල් සහගත එක තැන සිරවීමක නතර වී සිටින්නෙමු.
අප සෑම මොහොතකම කල්පනා කරමින් සිටින්නා වූ අප සියලු දෙනාගේම රහස් ප්‍රාර්ථනාව වන්නේ එකම එක දෙයකි: එය අවසාන වන්නේ කෙදිනකද? නමුත්, එය අවසාන නොවනු ඇත. වත්මන් වසංගතය පාරිසරික ගැටළුවල නව යුගයක් නිවේදනය කරන්නේ යැයි දැකීම සහේතුකය. 2017 වර්ෂය තරම් ඉහතදී බී.බී.සී චැනලය අප සොබා දහමට මැදිහත් වන ආකාරය හේතු කොටගෙන අපට අනාගතයේදී මුණ ගැසෙන්නට සිදුවන්නේ කුමක්දැයි චිත්‍රණය කොට පෙන්වීය: එය වාර්තා කළ පරිදි “කාලගුණ විපර්යාසය විසින් වසර දහස් ගණනක් තිස්සේ ඝනීභූතව පැවති නිත්‍ය තුහින පස දිය කර හරින අතර, එසේ පස දියව යන විට ඒවා පුරාතන වෛරස සහ බැක්ටීරියා මුදා හරියි; එතෙක් නිද්‍රාශීලීව සිටි ඒවා නැවත ජීවය ලබයි.”
වෛරස මරණයට පත්ව නොමැත; ඒවා නිරන්තරයෙන්ම යළි ජීවය ලබන්නට සූදානමින් සිටී; එසේම මෙහි උත්ප්‍රාසය වන්නේ ඒවායෙහි “අමරණීයත්වය” මස්තිෂ්ක විද්‍යාවේ නවතම වර්ධනයන් මගින් පොරොන්දු වන අමරණීයත්වය අනුරාව නැංවීමයි. වසංගතය පැන නැගුණේ ජනප්‍රිය විද්‍යාත්මක මාධ්‍ය අපගේ ජීවිතය ඩිජිටල්කරණයට ලක් කිරීමේ පැතිමාන දෙකක් ගැන ග්‍රස්තිමය බැඳීමක් ඇති කරගෙන සිටි කාලයක ය. එක් අතකින්, ඊනියා “සුපරීක්ෂාමය ධනවාදය” ගැන බොහෝ දේ ලියැවෙමින් තිබේ; ඒ වනාහී රාජ්‍ය ආයතන සහ පුද්ගලික සමාගම් විසින් අපගේ පැවැත්ම මත පූර්ණ ඩිජිටල් පාලනයක් ස්ථාපිත කරගන්නා ධනවාදයේ නව අදියරකි. අනෙක් අතින්, සෘජු මස්තිෂ්කමය අතුරු මුහුණතක් හෝ “වයර්ගත මොළයක්” පිළිබඳ මාතෘකාවෙන් මාධ්‍ය ආලෝලනය වී ඇත. මෙහිදී මගේ මොළය ඩිජිටල් යන්ත්‍රයකට සම්බන්ධ කළ විට මට යමක් ගැන සිතීමෙන් පමණක් පරිබාහිර ලෝකයේ යම් යම් දේ සිදුවීමට සැලැස්විය හැකිය.Coronavirus in the U.K.: Boris Johnson Orders Virtual Lockdown - The New  York Times
එසේම, තවදුරටත් මගේ මොළය සෘජුව වෙනත් මොළයක් සමග සම්බන්ධ කළ විට වෙනත් පුද්ගලයෙකුට සෘජුව මගේ අත්දැකීම බෙදා ගත හැකිය. වයර්ගත මොළය පිළිබඳ සංකල්පය එහි අන්තයටම රැගෙන ගිය විට රේ කූස්වේල් විශිෂ්ටත්වය යැයි හඳුන්වන පර්යාලෝකයට, එනම් බෙදා ගත් ගෝලීය අවබෝධයෙහි දිව්‍යමය වැනි වූ අවකාශයකට දොර විවර වේ. මේ අදහසේ විද්‍යාත්මක තත්ත්වය (දැනට එය සැක සහිතය) කවරක් වුවද, එය යථාර්ථයක් බවට හැරීමෙන් සිතන සහ කතා කරන සත්තාවක් ලෙස මානවයාගේ මූලධාර්මික පැතිමාන කෙරෙහි බලපෑම් ඇති වන බැව් ඉතාම පැහැදිලිය. මේ විශිෂ්ටත්වයේ තදනන්තර වර්ධනය එම යෙදුමේ සංකීර්ණ අරුතින් ගත් කල ලෝක විනාශය වැනි විය හැකිය; එයින් හැඟවෙන්නේ අපගේ සාමාන්‍ය මානවීය පැවැත්ම තුළ සැඟව තිබෙන සත්‍යයක් සමග අභිමුඛ වීමක් නොහොත් නව පශ්චාත්-මානවීය මානයකට අවතීර්ණ වීමකි.
අධික ලෙස ක්‍රියාත්මක කෙරෙන සුපරීක්ෂාව ලොව බොහෝ තැන්වල නිහඬ පිළි ගැනීමකට ලක්ව තිබීම සිත් ගන්නා සුළු ය. චීනයේ පමණක් නොව ඉතාලියේ සහ ස්පාඤ්ඤයේද වසංගතය පාලනය කිරීම සඳහා ඩ්‍රෝන යාත්‍රා යොදා ගැණින. විශිෂ්ටත්වය පිළිබඳ ආධ්‍යාත්මික දැක්මට අනුව ගත් කල, මානවයා සහ දිව්‍යත්වය අතරැති නව ඒකත්වය නොහොත් අපගේ කායික පැවැත්මේ සීමාවෙන් ඔබ්බට අප සතුව තිබෙන ආශීර්වාදය සිතා ගත නොහැකි බියකරු සිහිනයක් බවට හැරීමට ඉඩ තිබේ. විවේචක ස්ථාවරයකින් ගත් කල මානව වර්ගයා හට වඩාත් තර්ජනාත්මක දෙය වන්නේ කුමක්දැයි තීරණය කිරීම දුෂ්කරය: ඒ අපගේ ජීවිත වෛරසමය ව්‍යසනයකට ලක් වීමද නැතහොත් අපගේ අද්විතීය පෞද්ගලිකත්වය අහිමි වී යාමද? වසංගතය අපට සිහිපත් කරන්නේ අප දිගටම අපගේ ශාරීරික පැවැත්ම තුළ තරයේ මුල් බැසගෙන සිටින්නේ එයින් හැඟවෙන සියලුම අනතුරු ද දරාගෙන බවය.
මෙයින් අදහස් වන්නේ අපගේ තත්ත්වය අපේක්ෂා විරහිත වූවක් බවද? සත්තකින්ම නැත. අති මහත් වූද සිතා ගත නොහැකි තරම් වූද කරදර ඉදිරියේදී පැමිණීමට නියමිතය. රැකියා විරහිත නවතම පිරිස බිලියනය ඉක්මවනු ඇත. අපට නව ආකාරයේ ජීවිතයක් සොයා ගන්නට සිදු වනු ඇත. එක් කාරණයක් ඉතාම පැහැදිලි ය: සම්පූර්ණ ලොක් ඩවුන් කිරීමකදී අප හට පැරණි ආහාර තොග සහ වෙනත් අමතර දේ මත යැපෙන්නට සිදු වනු ඇත. ඉදින්, දැන් අසීරුතම අභියෝගය වන්නේ ලොක් ඩවුන් තත්ත්වයෙන් පිටමං වී වෛරසමය වාතාවරණයක් තුළ නව ජීවිතයක් සොයා ගැනීමයි. ප්‍රබන්ධය වන්නේ කුමක්ද සහ යථාර්ථය වන්නේ කුමක්ද යන්න වෙනස් වන ආකාරයන් ගැන මදක් සිතන්න. මිනිසුන් නිදහසේ මාවත්වල ඇවිද යන, අතට අත දෙන සහ එකිනෙකා වැළඳ ගන්නා දසුන් සහිත අපගේ සාමාන්‍ය ජීවන යථාර්ථය තුළ නිර්මාණය වන චිත්‍රපට සහ රූපවාහිනී වැඩ සටහන් බොහෝ කලකට පෙර අමතකව ගිය අතීතයක් ගැන කියැවෙන මතක වේදනාත්මක ප්‍රතිරූප සමුදායක් බවට පරිවර්තනය වනු ඇත; ඒ අතර අපගේ සැබෑ ජීවිතය වේදිකාව මත තිබෙන එක සමාන, අළු පැහැති, පූකුරු පෙනුමැති භාජන තුනක් තුළින් හිස් තුනක් ඉහළට මතු වන සහ ඔවුනගේ ගෙලවල් පූකුරු බඳුන්වල කටෙහි සිරවී තිබෙන දර්ශනයක් සහිත සැමුවෙල් බෙකට්ගේ පසුකාලීන වේදිකා නාට්‍යයක ස්වරූපය ගනු ඇත.
කෙසේ වුවත්, යමෙකු දේවල් දෙස බොළඳ බැල්මක් හෙලන්නේ නම්, (මෙහිදී කරන්නට අසීරුම දේ වන්නේ මෙයයි) අපගේ පැවැත්ම සම්බන්ධීකරණය කර ගන්නට සහ වඩාත්ම අල්පේච්ජ ජීවන ශෛලියක් ගොඩ නගා ගන්නට ප්‍රමාණවත් සම්පත් ප්‍රමාණයක් අපගේ ගෝලීය සමාජය සතුව පවතින බව පැහැදිලිය; ඒ ප්‍රාදේශික ආහාර හිඟය ගෝලීය සහයෝගීතාව මගින් පුරවාලමින් සහ (වසංගතයේ) මීළඟ ප්‍රහාරයට මුහුණ දීම සඳහා ගෝලීය සෞඛ්‍ය සේවය මනාව යළි සූදානම් කොට තැබීම මගිනි. අපට මෙය කළ හැකි වේද? නොඑසේනම් සෞඛ්‍ය අර්බුධය කෙරෙහි වන අපගේ අවධානය, ගෝලීය මහජනයාගේ දෑස් වසමින් චීනය සහ එක්සත් ජනපදය අතර යළි ඇවිලුණු ශීත යුද්ධය වැනි ගැටුම් කරා හෝ සිරියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ පවතින ආකාරයේ උණුසුම් යුද්ධ කරා මග පාදනු ලබන්නා වූ නව ම්ලේච්ජත්වයේ යුගයකට අප අවතීර්ණ කරනු ඇත්ද? මේ ගැටුම් ක්‍රියාත්මක වන්නේද වෛරසයක් ක්‍රියාත්මක වන ආකාරයටමය: ඒවා අවසානයක් නැතිව ඇදි ඇදී යයි. (වසංගත කාල පරිච්ජේදය තුළ ලෝක පරිමාණ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙසට මැක්‍රෝන් විසින් කරන ලද ඉල්ලීම එක හෙළා නොතකා හරින ලද බව සටහන් කර ගන්න). අප තෝරා ගනු ලබන්නේ කුමන මාවතද යන මේ ප්‍රශ්නය විද්‍යාවට හෝ වෛද්‍ය විද්‍යාවට අදාළ ප්‍රශ්නයක් නොවේ. එය නිශ්චිතවම දේශපාලන ප්‍රශ්නයකි.
– පරිවර්තනය: සුමිත් චාමින්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *