හුදෙකලාවේ කලාව සහ තට්ට තනිකම – ( Y වර්ණ ) බ්‍රෙන්ඩා ඉවෝන් ලියයි

මට හිතෙන හැටියට නම් හුදෙකලාවත් කලාවකි. බොහෝ ධනාත්මක හැගීම් දනවන කලාවකි. තමන්ට තමන්ව ම සොයා ගන්නට අත්වැලක් සපයන්නකි.
” Sometimes you need to take a break from everyone and spend time alone to experience, appreciate, and love yourself”
– Robert Tew

විටින් විට හේතු ඇතිව හෝ නැතිව ස්ව කැමැත්තෙන්, උවමනාවෙන් සමාජ සම්බන්ධතාවන් ගෙන් දුරස් වීම මගින් අපට අප හඳුනා ගැනීම ට අවස්ථාවක් ලැබෙන අතර එ නිසාම අපේ අරමුණු මොනවාදැයි වටහා ගෙන තමන්ව අගය කිරීමට හා තමාට ම ආදරය කිරීමට ත් ජීවිතයෙන් පලා නොයා ඊට මුහුණ දීමට හැකියාව ත් ලැබෙන බව මා ද අත් දැක ඇත්තෙමි.

මට නම් හුදෙකලා වන්නට දුර ගමන් බස් රියෙක කවුළුවක් අද්දර අසුනක් හෝ නැත්නම් කොළඹ – මහනුවර සීඝ්‍රගාමී දුම්රියක දෙවන පන්තියේ අසුනක් වුව ද හොඳ හැටි සෑහේ. ඒ පැය ගණනක හුදෙකලාව පවා හිතට ගෙන දෙන්නේ
සැපය කි.

හුදෙකලාව යනු තනිවම විඳිය යුතු කලාවක් බව ද මා කියමි.
( තනිකම මකන්නට කවුරු වත් අහලකවත් නැති කමට එසේ කියා මා හිත සනසවා ගන්නවා වන්නට ත් හැකිය.

මනුස්ස හැගීම් අතර ඇත්තේ හරි අපූරු සහ-සම්බන්ධකම් ය. තනිකම දුකට හේතුවක් වන්නා සේ ම දුක් දෝමනස්සයන් නිසා ම තනිකම ඉපදිය හැකි බව ද ඇත්තකි. තනිකම වනාහි මානසික, කායික සහ සාමාජයීය පිරිහීම ඇති කරවන මහා කාලකන්නි අත්දැකීමකි. ජීවිතයේ ගැඹුරු හිස් බවක්, තමන්ට තමන් ගැන අවතක්සේරුවක් වැන්නක් දැනෙන්නේ, හැඟෙන්නේ ජීවිතය නිවැරදි සමාජ සම්බන්ධතාවන්ගෙන් තොර හිස් තැනක් වූ විට ය. තමන්ට තමන් වත් අයිති නැති බව ඇත්තක් උවත් තමන්ගේ යයි කිව හැකි යමෙක්, දෙයක් නැතැයි හිත පතුලටම දැනෙන දාක උපදින අසරණ හැගීම පාර කියන්නේ මහා තනිකමකට ය.

සතුට අන් අය තුළින් බලාපොරොත්තු නොවිය යුතු බව ත් එය ඇති කර ගත හැක්කේ සහ යුත්තේ අප තුළින් පමණක් ම බවත් සත්‍යයකි. එ නමුදු, අප තනිව ජීවත් වන්නට උපන්නවුන් නොවේ. ආදරය, රැකවරණය, අවධානය, උණුහුම, ස්පර්ශය ආදී චිත්ත වේගයන් හා අවැසිකම් සැපිරෙන්නේ නැති තැනෙක මුළින් මුළින් විහින් විඳින හුදෙකලාව ට පෙම් කරන හිත කල් යත්ම තනිකම නමැති අගාධයට වැටෙන්නේ නොදැනුවත්ව ය.

මහගමසේකරයන් කියූ වේ ද ” දෙනෝ දාහක් අතර මැද වුව මහා තනියක් මට දැනේ ” කියා ය.
එසේම,  කොයි තරම් අය අප අසළ උන්නත් දැනෙන්නේ කියා ගත නොහෙන පාළුවක් නම්.. මහා රෑ මැද ඇහැරී හෙලන්නේත් සුසුම් ම නම්. නොහිතන නොපතන මොහොතක බොඳවන කඳුළින් ගැබ්බර ඇස් දිය කර හරින්නේ වතුර මලක් යට නම්. හිතේ ගුළි ගැසුණු හිතිවිලි කියා ගන්නට, ලියා ගන්නට බැරි කමකට වඩා අසරණ කමක් අහන්නට කවුරුත් නැතැයි දැනෙන කල හැඟෙනවා නම්.

හුදෙක් හුදෙකලාව පමණක් නොව තට්ට තනිකම පවා පට්ට කලාවෙකැයි මට හිතෙන අවස්ථාද ඉඳ හිටක නැත්තේම නොවේ.

බ්‍රෙන්ඩා ඉවෝන්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *