ආශා නිරාශා අන්‍තරයේ කළු සුදු ප්‍රතිබිම්බය – Ida (ඉඩා) – හංසිනී කාවින්දි

ඔබ විවේකී සුවයෙන් ගතකරන නිහඬ නිමේෂයක සෙමෙන් ඔබගේ දෙනෙත් පියාගන්න. ඔබේ ජීවිතය පිළිබඳව මොහොතක් මෙනෙහි කරන්න. ජීවිතය පිළිබඳව සිතුවිලි සමගින් නෙත් පියාගත් කෙණෙහිම ඔබ වටා පැවතියේ කුමන වර්ණයක් ද? ස්වල්ප වේලාවක් ගතවෙද්දී නොයෙක් වර්ණවලින් එය පිරී යනු ඔබට හැඟෙනු ඇත. එකක් පසුපස එකක් වශයෙන් එම වර්ණ ඔබ වටා නොයෙක් අයුරින් සක්මන්කරනු ඇත. ඉන් එක් එක් වර්ණ පැමිණ ආපසු ගිය පසු අවසානයේ යළිත් ඔබ වටා ඉතිරිවන්නේ කුමන වර්ණයක් ද? එසේත් නැතිනම් එම වර්ණ සියල්ල එකට සංකලනය වූ පසුව අවසානයේ ඉතිරිවන්නේ කුමන වර්ණයක් ද? එය ඔබට විඳීමට ඉඩසලසාදෙන්නේ කුමනාකාරයේ හැඟීම් සමුදායක් ද? “ඉඩා” යනු එවන් මොහොතක අප සිත් තුළ බිහිවන හැඟීම් චලන රූප මාධ්‍යය කරගනිමින් අපූර්ව අන්දමින් ප්‍රතිනිරූපණය කරන ලද නිර්මාණයකි.

වසර ගණනාවක් මුළුල්ලේ අනාථ දැරියක ලෙසින් කන්‍යාරාමයක පූජකවරියක වීමේ අරමුණින් ඇතිදැඩි වූ ඇනා නම් තරුණියට හදිසියේම ඇයගේ ඥාතිවරියක වෙතින් ලැබෙන ලිපියකි. ප්‍රධාන කන්‍යා සොයුරියගේ ද අදහස වන්නේ ඇනා කන්‍යා සොයුරියක බවට පත්වීමට පෙර සිය නැන්දණිය සමග මඳ කාලයක් ගතකර පැමිණීම සුදුසු බවයි. ඒ අනුව ඇය සීතලෙන් හිම මිදුණු එක් දිනයකදී කන්‍යාරාමයෙන් පිටවී තමාට මෙලොව සිටි එකම ඥාතියා වූ සිය නැන්දණිය හමුවීමට පැමිණෙන්නී ය.

“වැන්ඩා ගෲස්”

ඒ ඇනාගේ නැන්දණිය යි. ඇය විනිසුරුවරියකි. නමුත් ඇය ඇනා කන්‍යාරාමයේ දී දුටු ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක් ගත කළ තැනැත්තියකි. ඒ නිසාම ඇයගේ අදහස වූයේ ඇනා ද ටික කලක් හෝ “සාමාන්‍ය ජීවිතයක්” ගත කර කන්‍යා සොයුරියක බවට පත්වීම පිළිබඳව තීරණයකට එළඹිය යුතු බවයි. ඇනාට “සාමාන්‍ය ජීවිතයක්” ගතකිරීමට ඉඩසලසාදීමේ පළමු පියවර ලෙස නැන්දණිය සැබෑවටම “ඇනා” කවුරුද යන්න, ඇයගේ මූලයන් පවතින්නේ කොහිද යන්න සොයායෑමට ඇය සමගින් චාරිකාවක යෙදෙන්නී ය. එහිදී ඇයට අනාවරණය කරගත හැකිවන්නේ ඇනාගේ සත්‍ය නාමය ඇනා නොව “ඉඩා” වන අතර ඇයගේ මව්පියන්ට දෙවන ලෝක යුධ සමයේදී පෝලන්තයේ සිදුවූ යුදෙව් ඝාතන හේතුවෙන් ඔවුන්ගේ දිවි අහිමි වී ඇති බවයි. නමුත් ඔවුන්ගේ මළසිරුරු හෝ දැකගැනීමට කිසිවෙකුටත් නොහැකි වී ඇත.

ළදරු අවධියේදීම සිය මාපියන් වෙතින් දුරස්වීමේ ඛේදනීය ඉරණමට මුහුණදෙන ඉඩා තමන් ඉතා කෙටි කාලයක් ජීවත් වූ නමුත් මතකයේ නොරැඳි සිය නිවස සොයායන්නී ය. තමාට කිසිවක් මතකයේ නැති අතීතය ඈ දකින්නේත්, අත්විඳින්නේත් සිය නැන්දණියගේ මතකයන් සහ වදන් හරහා ය.

එහිදී ඇයට ඇයගේ මව්පියන් විසූ නිවස සොයාගැනීමට හැකි වේ. ඇයගේ නැන්දණිය පැවසූ පරිදි කිසිවක් වෙනස් වී නොමැත. වෙනසකට තිබුණේ ඇයගේ මව්පියන් වෙනුවට වෙනත් පවුලක් එහි පදිංචි වී සිටීම ය. ඇයගේ මවගේ සුරතින් නිමවූ, ගවමඩුවේ කවුළුවේ වූ වෛවර්ණ වීදුරු කැබලිවලින් පෙරී ආ සුන්දර ආලෝක ධාරාවන්ගෙන් ඇය සිය මවගේ සොඳුරු හදවතේ ආලෝකය දුටුවා ය. සිය මවත් පියාත් මිහිදන් කළ ස්ථානය අනාවරණය කරගත් ඇයට ඔවුන්ගේ අවශේෂයන් සිය පවුලේ ඥාතීන්ගේ සිරුරු මිහිදන්කළ ස්ථානයේම තැන්පත් කර ඔවුන්ට සමාදානයේ සැතපීමට ඉඩසලසාදීමට ඇයට හැකි විය. ඒවා පවුලේ සුසාන භූමිය තුළ නැන්දණිය සමග එක්ව සියතින්ම මිහිදන්කරද්දී ඉඩාගේ දෑසට කඳුළක් නැගුණේ නැත. ඒ වෙනුවට ඇය ඒ දෙස උපේක්ෂා සහගත බැල්මකින් බලා සිටියා ය. සිය මව්පියන් පාවාදුන් පුද්ගලයාට සමාව දී තමාට මිහිමත හිමිව ඇති එකම වස්තුව වූ සිය මව්පියන්ගේ නිවස එම පුද්ගලයාගේ පුත්‍රයාට ලබාදීමට තරම් ඇය උපේක්ෂාසහගත වූවා ය.

තමා සැබෑවටම කවුරුන්ද යන්න පිළිබඳව සොයාගිය මේ චාරිකාවේදී ඇයට අපූරු කඩවසම් තරුණයෙකු මුණගැසේ. ඔහු සිය රැකියාව පිළිබඳව අතෘප්තියෙන් පසුවන හමුදා නිලධාරියෙකි. ස්වභාවයෙන්ම අතිශය නිහඬ තැනැත්තියක වන ඉඩා කුමක්දෝ හේතුවකට මෙම තරුණයා සමග වචන කීපයක් දොඩමළුවන්නී ය. එය ඔවුන් දෙදෙනා පිළිබඳව සරල හඳුනාගැනීමකට ඉඩ හසර සලසා දුන් කෙටි සංවාදයන් වුව ද මින් පෙර පිරිමි ඇසුරක් නොලැබූ ඉඩාට මෙන්ම ඔහුට ද එය සුවිශේෂී අත්දැකීමක් විය. එය ඉඩාට ඇයගේ නැන්දණිය පැවසූ “සාමාන්‍ය ජීවිතය” පිළිබඳව යළිත් සිතා බැලීමට දොරටු විවරකරවීමක් විය.

සිය අතීතය පිළිබඳව සොයායෑමේ චාරිකාව නිමා කරන ඉඩා සිය නැන්දණියගෙන් සමුගෙන නැවතත් කන්‍යාරාමයට පැමිණෙන්නී ය. එසේ පැමිණෙන ඇය ප්‍රධාන කන්‍යා සොයුරියට පවසන්නේ තවමත් තමා කන්‍යා සොයුරියක බවට පත්වීමේ සුදුසුකම් සපුරා නොමැති බවක් තමාට හැඟෙන බවයි. කුඩා අවධියේ සිට කන්‍යාරාමයේ හැදී වැඩුණු, කන්‍යාරාමයෙන් පිටත ලෝකය පිළිබඳව අත්දැකීමක් නොමැති වූ ඉඩාට කෙටි කලක් තුළ පිටත ලෝකයෙන් ලද අත්දැකීම් සිත සසල කරවන ඒවා වූවාට කිසිදු සැකයක් නැත. නමුත් ඇයට යළිත් වරක් නැන්දණියගේ නිවස වෙත පැමිණීමට සිදුවන්නේ ඇයගේ මරණය හේතුවෙනි. එහිදී ඇයට නැවතත් පෙර කී තරුණයා මුණගැසේ.

එහිදී ඉඩා මින් පෙර නොවූ විරූ තැනැත්තියක බවට පත්වන්නී ය. සිය නැන්දණිය පැවසූ “සාමාන්‍ය ජීවිතය” පිළිබඳව අත්දැකීම අත්විඳ බැලීමට ඇයට ආශාවක් ඇතිවන්නට ඇතුවා නිසැක ය. පූජකවරියක ලෙස සිය ගත වසා සිටි සළුපිළි ඉවත් කළ ඈ සිය සුන්දරත්වය කැපී පෙනෙන අයුරින් සුන්දර ගවොමකින් සැරසෙන්නී ය. මත්පැන් පානය කරන්නී ය. පෙර කී කඩවසම් තරුණයා සමග නර්තනයේ යෙදෙමින් ඔහු වෙතින් නර්තනය ද ඉගෙනගන්නී ය.

ඇයගේ සුන්දරත්වයට ප්‍රියකරන තරුණයා අවසානයේ ඈ සමග පෙමින් වෙළෙයි. එය කායික ඇසුරක් දක්වා වර්ධනය වන අතර ඇයගේ ඇතුළු මනස ජීවිතයේ සැබෑ යථාර්ථය පිළිබඳව අනාවරණය කරගැනීමට පොළඹවන්නේ ඇයත් මෙම තරුණයාත් අතර ඇති වූ සබඳතාවය යි.

තරුණයා සමගින් කායිකව එක්වීමෙන් පසුව ඔවුන් අතර ඇතිවන කුඩා නමුත් මෙම ප්‍රබල සංවාදය ජීවිතයේ සැබෑ යථාර්ථය සොයායෑම කෙරෙහි ඇය තුළ දැඩි බලපෑමක් ඇතිකරන්නට ඇතුවා නිසැක ය. සංවාදය පුරාවට ඇයගේ මුවින් නික්මෙන්නේ කුඩා වචන කීපයකි. නමුත් ඇයගේ දෙනෙත් කියාපෑවේ ඔහුගේ සෑම වචනයක්ම ඇයගේ හදවත මත දෝංකාර දී ජීවිතයේ සැබෑ අරුතත්, තමා සැබෑවටම අයත් විය යුත්තේ කොතැනට ද යන්න පිළිබඳවත් ඇය තුළ ප්‍රබල කම්පනයක් ඇතිකරලීමට සමත් වූ බවයි.

“මොනවද ඔයා කල්පනා කරන්නෙ?

මම හිතන්නෙ නැහැ

අපි මේක ඉවරලරල ගෑන්ඩ්සික් සහ ගිගාස්වලට යන්න ඉන්නෙ. ඔයත් යන්න එනවද?

මුහුදු වෙරළකට ගිහින් තියෙනවද?

මට කොහේවත් යන්න උවමනා නැහැ.

මාත් එක්ක එන්න. එතකොට ඔයාට පුළුවන් අපි වාදනය කරනව අහන්න. අපට පුළුවන් මුහුදු වෙරළෙ ඇවිදින්න.

ඊළඟට…….?

අපිට බල්ලෙක් හදාගන්න පුළුවන්

කසාද බඳිමු…..ළමයි හදමු….නිවසක් ගමු….

ඊළඟට……?

“සාමාන්‍ය ජීවිතයක්”

ඔහු නින්දට වැටෙද්දී ඇය රැය පුරා අවදි වී සිටියා ය. ඇය අවසානයේ “සාමාන්‍ය ජීවිතය” පිළිබඳව දකිමින් සිටි සිහිනයෙන් අවදිවූවා ය. වහා සුපුරුදු ඇඳුමින් සැරසී හිස් ආවරණය ද පැළඳූ ඇය ආපසු හැරී නොබලාම ඔහු වෙතින් ඉවතට නික්ම ගියා ය. අවසානයේ දක්නට ලැබුණේ කන්‍යාරාමයට වැටුණු මාවත දිගේ යළි ඒ දෙසට ඇවිද යන කන්‍යා සොයුරියකගේ ඇඳුමින් සැරසුණු ඉඩා ය.

සියල්ල අවසානයේ ඔහුත්, නැන්දණියත් පැවසූ “සාමාන්‍ය ජීවිතය” තුළ ඉතිරිවන යමක් නොමැති බවත්, එහි අතුරු ප්‍රතිඵල ලෙස භුක්තිවිඳීමට සිදුවන දුක්ඛ දෝමනස්සයන් මෙන්ම හදවතේ ගැඹුරේම ශේෂවන වචනයෙන් කිවනොහැකි හිස් බවත් ඇය මනසින් දකින්නට ඇත. ඇය ඇයගෙන්ම ප්‍රශ්න කරන්නට ඇත.

ඊළඟට…..ඊටපස්සෙ…….ඊටත් පස්සෙ…….?

ඒවාට ලැබුණු පිළිතුරු ඇයව තෝරාගත යුතු ගමන් මාර්ගය වෙත යොමුකරවන්නට ඇත. අත්හැරීම තුළ ගැබ් වී ඇති ආධ්‍යාත්මික සෞන්දර්යයේ වටිනාකම ඇය ඒ තුළින් යථාර්ථවාදීව හඟින්නට ඇත. ඔවුන් පැවසූ “සාමාන්‍ය ජීවිතයට” ඇය කැමැත්තෙන්ම සමුදීමට තීරණය කරන්නේ එනිසා ය. ඇය තමා කවරෙකු ද, කුමක් කළ යුතු ද යන්න සොයාගියා ය. අවසානයේ ඇය තමා කවරෙකු ද, තමන් සැබෑවටම අයත් විය යුත්තේ කොතැනකට ද යන්න අනාවරණය කරගත්තා ය. එය ජීවිතයෙන් පළායෑමක් නොවේ. අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂකරගත් හැඟීමකි. දැනීමකි.

අපි සියල්ලෝම ජීවිතයේ යම් දෙයක් පිළිබඳව අනවරත සොයායෑමේ චාරිකාවක නිරතවෙමු. නමුත් ඒ සොයායෑම කෙබඳු සොයායෑමක් දැයි නොදැනම ඇතැම්හු එම සොයායෑමේ චාරිකාවේ නිරත වෙති. සොයායන දේ අනාවරණය කරගැනීම කෙසේවෙතත් සොයායන්නේ කුමක් ද යන්න පිළිබඳවවත් අවබෝධකරගැනීමකින් තොරව ඇතැමුන්ට අකමැත්තෙන් වුව ද සිය සොයායෑමේ චාරිකාවට නැවතීමේ තිත තැබීමට සිදුවේ. එවන් චාරිකාවක අවසන් ප්‍රතිඵලය කුමක් ද? “ඉඩා” මේ සියලු කරුණු පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට අපගේ චිත්ත අභ්‍යන්තරය තුළ ප්‍රබල පෙළඹවීමක් ඇති කරන සිනමාපටයකි.

නිර්මාණකරුවා මෙම සිනමාපටය කළු සුදු සිනමාපටයක් ලෙසින් නිර්මාණය කරන්නට ඇත්තේ ද ඊටම යෝග්‍යවන ඉන් ප්‍රකාශනය කරන්නට යෙදෙන ජීවිතය පිළිබඳව ගැඹුරු යථාර්ථය අතිශය සමීප අයුරින් නරඹන්නන් තුළ කුළුගැන්වීමේ අරමුණ පෙරදැරිකරගෙන යැයි මට සිතේ.

ජීවන ගමන ආරම්භකිරීමෙන් පසු නොයෙක් අවස්ථාවන්හිදී නොයෙක් වර්ණයන්ගෙන් අපි අපගේ ජීවිත පැහැගන්වමු. එකක් පසුපස එකක් වශයෙන් මෙකී නොයෙක් වර්ණ අපගේ ජීවිතයට ඇතුළු වේ. ඒවා නොයෙක් අවස්ථාවන්හිදී අපගේ ජීවිත වර්ණවත් කරයි. නමුත් අවසානයේ අපගේ ජීවිතවල ඉතිරිවන පැහැය කුමක් ද? මේ සෑම වර්ණයක්ම සංකලනය වීමෙන් ගොඩනැගෙන පැහැය කුමක් ද? සර් අයිසෙක් නිව්ටන් විසින් විද්‍යාත්මකව තහවුරුකරන ලද පරිදි දේදුන්නේ වර්ණ හත සංකලනය වීමෙන් බිහිවන්නේ එක් තනි පැහැයකි. ඒ සුදු පැහැය යි. අපි උපතත් සමග කළු පැහැති අන්ධකාරයේ සිට නෙත් විවරකරන්නේ වෛවර්ණ වර්ණයන්ගෙන් පිරුණු ආකස්මික ලෝකයකට ය. නමුත් ගමන නිමාකර යළි දෙනෙත් පියාගන්නා විට අප අවට රැඳී ඇත්තේ සුපුරුදු කළු වර්ණයම ය. එසේ නම් අපි නොයෙක් පැහැයන්ගෙන් වර්ණගන්වන්නේ මේ අන්‍තයන් දෙක අතර අන්තරය නොවේ ද? ඒ වර්ණගැන්වීමේ අවසන් ප්‍රතිඵලය කුමක් ද? අප ජීවත්වන කාලසීමාව පුරා විවිධ වර්ණයන්ගෙන් වර්ණගන්වන්නේ ආශාවත් නිරාශාවත් අතර වූ අපට නොපෙනෙන අන්තරයකි.

ඇතැම් විට අපට වැටහීමක් නොමැති, නමුත් වැටහීමක් ලබාගත හැකි, යම්හෙයකින් යම් වැටහීමක් ලැබූව ද ඒ පිළිබඳව ගැඹුරින් සිතාබැලීමට අප නොපෙළඹෙන අන්තරයකි. ආශාවත් නිරාශාවත් අතර ඇති මේ අන්තරය පිළිබඳව අවබෝධයක් ලබන පුද්ගලයාට වර්ණ පිළිබඳව තවදුරටත් සිත කරදරකරගැනීමට අවශ්‍යවන්නේ නැත. ඔහුට හෝ ඇයට මේ සෑම වර්ණයක්ම එක හා සමාන ය. ඒ සෑම වර්ණයක්ම සංකලනය වීම තුළින් අවසානයේ බිහිවන්නේ එකම වර්ණයකි. එසේ නම් වෛවර්ණ වර්ණ ගැන්වීමක අවසන් ඵලය කුමක් ද?

2013 වසරේදී පෝලන්ත, ප්‍රංශ සහ ලතින් යන භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය වී ඇති ඉඩා සිනමාපටය පාවෙල් පවුල්කොව්ස්කිගේ නිර්මාණයකි. හදවත අභ්‍යන්තරය තදින් වෙළාගන්නා සියුම් ගීතයක් බඳුව දිගහැරෙන මෙම අපූරු සිනමාපටය එක්තරා අන්දමක භාවනාවක් ලෙස ද හඳුන්වාදීම වඩාත් උචිත යැයි මම සිතමි. එමෙන්ම මෙය මිනිසුන් තුළ පවතින හෘදසාක්ෂියේ දෝංකාරය, පශ්චාත්තාපය, වරදකාරී හැඟීම, කෲරත්වයෙන් නිපන් වේදනාකාරී හැඟීම්වල අතුරු ඵලයන් වැනි සංවේදී මානව ධර්මතාවයන් පිළිබඳව ඉතාමත් යථාර්ථවාදී සහ භාවාත්මක අන්දමින් නිරූපිත සිනමාපටයකි.

සිනමාපටය තුළ කැපීපෙනෙන අන්දමින් නිරූපණය වන්නේ ඉතාමත් සීමිත චරිත සංඛ්‍යාවකි. එමෙන්ම දෙබස් භාවිතාවන්නේ ඉතාමත් සීමිත වශයෙනි. නමුත් එහි ගැබ්වී ඇත්තේ වචන සියදහස් ගණනකින් කිවනොහැකි ගැඹුරු දර්ශනයකි. මෙම චිත්‍රපටයේ සුවිශේෂීතාව වන්නේ ද එය යි. සිනමාපටය තුළ සංගීතය භාවිතාකර ඇති අන්දම ද එමගින් කුළුගැන්වෙන අරුත වඩාත් තීව්‍ර ලෙස වින්දනය කිරීමේදී ඉටුකරන්නේ ප්‍රබල මෙහෙවරකි. මේ තුළ අති විශිෂ්ට සිනමාකරණයක අත්දැකීම ද නොඅඩුව අත්විඳීමට ප්‍රේක්ෂකයාට ඉඩසැලසෙන අතර ඉඩා සිනමාපටය එම වසරේ විශිෂ්ටතම සිනමාකරණයට හිමි ඇකඩමි සම්මානය සඳහා ද නිර්දේශ වී ඇත. එමෙන්ම මෙම අපූර්ව සිනමාපටය 2015 වසරේ හොඳම විදෙස් භාෂාවෙන් නිර්මිත චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය ඇතුළු තවත් සම්මාන රාශියකින් මෙන්ම 2016 වසරේදී ලොව පුරා විසිරී සිටින සිනමා විචාරකයන්ගේ අදහස් ඇසුරින් 21වන සියවස තුළ ලොව බිහිවූ හොඳම සිනමා නිර්මාණ අතරින් 55වන ස්ථානය ද හිමිකරගනිමින් ඇගයීමට පාත්‍ර වී ඇත.

මෙහි “ඉඩා” ලෙස රංගනයේ යෙදෙන ඇගතා ට්‍රෙසබොව්ස්කා සහ “වැන්ඩා ගෲස්” ලෙස රංගනයේ යෙදෙන ඇගතා කුලෙසාගේ රංගනයන් සිනමාපටයට ගෙන එන්නේ ප්‍රබල ආලෝකයකි. ඉන් වඩාත් කැපීපෙනෙන්නේ ඉඩා ලෙස ඇගතා ට්‍රෙසබොව්ස්කා විසින් ප්‍රකට කරන ලද අපූර්ව රංගන ප්‍රතිභාවයි. සිනමාපටයේ ප්‍රධාන චරිතය වන ඉඩා ලෙස ඇයට ඇයගේ හඬ අවදිකිරීමට ලැබෙන අවස්ථා ප්‍රමාණය ඉතාමත් සීමිත වුව ද, හඬ සහ වදන්වල සීමාවෙන් ඔබ්බට ගොස් සිය ඉරියව්, භාව ප්‍රකාශනයන් සහ ඇස් මනාව උපයෝගී කරගනිමින් එම චරිතයට මනා සාධාරණත්වයක් ඉටුකර ඇති අවස්ථාවක් ලෙස ඇයගේ රංගනය පෙන්වාදිය හැකිය.

කලාවක් ලෙස නිර්මාණාත්මක සහ යථාර්ථවාදී දාර්ශනික ප්‍රවේශයක් තුළ පෝලන්ත සිනමාවේ ඉදිරිගාමී බව මැනවින් පිළිබිඹු කරන සිනමා නිර්මාණයක් වන “ඉඩා” සිනමාපටය ඔබට අපූර්ව විදෙස් සිනමා අත්දැකීමක් ලබාදීමට සමත්වනු නිසැක ය.

ඉඳින්,

ඔබත් “ඉඩා” සමග මෙම සොයායෑමේ චාරිකාවේ නිරතවන ලෙස මම ඔබට ඇරයුම් කරමි.

නමුත් එය හුදු සොයායෑමේ චාරිකාවක් පමණක් බවට පත්විය යුත්තක් නොවේ.

සිතන්න,

ඊළඟට……ඊටපස්සෙ…….ඊටත් පස්සෙ…..?????

**********************************************

Directed by – Paweł Pawlikowski

Produced by – Eric Abraham
Piotr Dzięcioł
Ewa Puszczyńska

Written by – Rebecca Lenkiewicz
Paweł Pawlikowski

Starring – Agata Kulesza
Agata Trzebuchowska
Dawid Ogrodnik

Music by – Kristian Eidnes Andersen

Cinematography – Łukasz Żal
Ryszard Lenczewski

Edited by – Jarosław Kamiński

Production companies – Canal+ Polska
Danish Film Institute
Eurimages

Distributed by – Solopan (Poland)
Memento Films (France)
Artificial Eye (UK)

Release date – 7 September 2013 (TIFF)
11 September 2013 (Poland)

Running time – 82 minutes

Country – Poland
Denmark
France
United Kingdom

Language – Polish
French
Latin

Budget – $2.6 million

Box office – $15.3 million

 

රස පෙළහර මවන්නී – හංසිනී කාවින්දි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *