පුරා විද්‍යා සංරක්ෂණයට නව මාදිලියේ වැඩ පිළිවෙලක්

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දියත් කිරීමට බලාපොරොත්තු වන නව වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්ෂ සෙනරත් දිසානායක මහතා විසින් කරුණු පැහැදිලි කොට ඇත. අධ්‍යක්ෂවරයාගේ මුහුණු පොතෙහි සටහනක් තබමින් සදහන් කොට සිටින්නේ නව මාදිලියේ වැඩපිළිවෙල ප්‍රමාණයකින් පුරා විද්‍යා සංරක්ෂණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක බවයි.
පහත දැක්වෙන්නේ එම කරුණු පැහැදිලි කරනු ලබන සටහනයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යනු නිතර දෙවේලේ විවේචනයට පාත්‍රවන ආයතනයකි. ඊට හේතු කිහිපයක් තිබේ. එකක් නම් පුරාවස්තු යනු සංවේදී මාතෘකාවක් වීමයි. බොහෝ ජනයා පුරාවස්තු වැනසෙනු දක්නට කැමැත්තක් නැත. සිය ගමේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාර ගෙයක් හෝ ආවාසයක් ඇත්නම් හා එහි වහල අබල දුබලව ඇත්නම් බැන වදිනුයේ දෙපාර්තමේන්තුවටය. දෙපාර්තමේන්තුව මේ රටේ ඇති දෙලක්ෂ පනස්දහසක් පුරාවිද්‍යා ස්ථානවලට ආරක්ෂාව සැලසිය යුතු වුවත් , එවායෙහි මුරකාවලෙහි යෙදවීමට මුරකරුවන් හත් ලක්ෂ පනස් දහසක් යෙදවිය නොහැක. එහෙයින් ජනතාවගේ උරපිට පුරාවස්තු රැකීමේ ජාතික කාර්‍ය භාරයක් පැටවී තිබේ.
එම පුරාවිද්‍යා ස්ථාන ප්‍රමාණය රකිනු පිණිස සංරක්ෂණය කරනු පිණිස යටත් පිරිසෙයින් රුපියල් බිලියන දසදහසක් වත් අවශ්‍ය වනු ඇත. එම තීරණයට ඒමට රජය පෙලඹුනහොත් ඔබත් මමත් බඩගින්නේය .. පුරාවස්තු ඇසුරේ දිවි ගෙවන ජනයාගේ ඉඩම් පවරා ගැනීමට සිතුවහොත් පවුල් දෙලක්ෂ පනස් දහසක් ( දල වශයෙන් 1,000,000 ක් ජනයා ) මහ මගට වැටෙනු ඇත. ඔවුන්ට විකල්ප ඉඩම් දීමට කල්පනා කළහොත් මේ රටේ කැලෑ අක්කර ලක්ෂයක්වත් එලි කිරීමට සිදුවනු ඇත !!! එබැවින් උරුමය රැකීමේ මහත් වගකීමක් ඔබටත් මටත් තිබේ. රජය දෙස බලා සිටීම පමණක්ම පලක් නොවේ.

දෙපාර්තමේන්තුව විවේචනයට පාත්‍රවන අනෙත් කරුණද මෙහිලා විස්තර කළ යුතුය . ආයතනයක් ලෙස ඉතිහාසය මුලුල්ලේම අපට ලැබුනේ ” කුඩම්මාගේ සැලකිලිය “. පුරාවිද්‍යා විෂය ඇමතිවරයෙකුට දුන්නේ නොදීමට බැරිම තැනය. එහෙත් අද අප ආයතනය රාජ්‍ය නායකයා අතේය. ඉතිහාසයේ මුල් වරට දෙපාර්තමේන්තුවට හිස එසවීමට හැකියාව ලැබී තිබේ. අප අපගේ සම්පත් තුල ඉල්ලූ සියලු මුදල දෙපාර්තමේන්තු ඉතිහාසයේ මුල් වරට පසු ගිය කාර්තුව සඳහා භාන්ඩාගාරය විසින් ලබා දී තිබේ. එහෙත් නොසිතූ වෙලාවක හිස එසවූ කොරෝනාව එයටද තරමක් හරස්වී ඇත.

දෙපාර්තමේන්තුව බැනුම් අසන තවත් කරුණක්ද තිබේ. ජනතාව අතරින් බොහෝ දෙන සිතන්නේ අනුරාධපුය පොලොන්නරුව ඇතුලු රටේ පුරාවිද්‍යා ස්ථාන ඇත්තේ රජ කල තිබූ ආකාරයෙන්ම කියාය. ඒවා අඩි දහයක් විස්සක් පසින් යටවී රූස්ස ගස්වල මුල්වලින් වැනසී තිබූ බව ඇතැම්හු නොදනිති. දෙපාර්තමේන්තුව නොසිටින්නට අද වන්දනාවේ හෝ බලන්නට යාමට අනුරාධපුරයක් පොලොන්නරුවක්, සීගිරියක් නැත. එතැනද වැරැද්ද අපේමය. වැසිකිලි කැසිකිලිත් පීත්ත පටි කපා විවෘත කල පසු ගිය ශත වර්ෂයේ අප පැරණි නගර කැණීම් කොට සංරක්ෂණය කළ කල අප එතැන්හි විවෘත කිරීමේ ඵලක යොදා පීත්ත පටි කැපුවේ නැත. එහෙත් අදට එය වලංගු නොවේ. අපගේ වෙබ් අඩවියත්, යූ ටියුබ් චැනලයත්, මුහුණු පොත් පිටුවත් දැන් සීඝ්‍රයෙන් යාවත්කාලීන කෙරෙමින් පවතී.

මා තවත් මිත්‍යාව ගැන කතා කරන්නේ නැත. එයට වූ දේ දැනටමත් ඔබට පසක්වී ඇත. මෙවර ප්‍රකාශන අංශයට වෙන්වූ මුලු මුදල වෙන් කළේ ළමුන්ට පොත් ලියන්නටය. පුරාවිද්‍යාඥයන්ට බලන්නට නැවත පොත් අච්චු ගසනුයේ ළමුන් ඒ පොත් බලන්නට සන්නද්ධ කිරීමෙන් පසුවය. මින්පසු පුරාවිද්‍යා ස්ථාන අපේ නොව පාසැල් දරුවන්ගේය. ඒවා කැණීම් කරන්නේ, සංරක්ෂණය කරන්නේ අප සමග අත්වැල් බැඳගත් දරුවන්‍ ය. පුරාවිද්‍යා ස්ථාන ලඟම ඇති පාසැලට පවරමින් තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය දැනටමත් චක්‍රලේඛය නිකුත් කර අවසන්‍ ය. මොරටුවේ වේල්ස් කුමරයේත් හෝමාගම රාජපක්ෂ විද්‍යාලයේත් තවත් පාසැල් දහයක් පමණේත් දරු දැරිවියන් බලාපොරොත්තු නොවූ ලෙස ගුරුවරුන් සමග එක්වී දැන් කැලෑබද පුරාස්ථානවල ඔවුන්ගේ බර පැනින් සංරක්ෂණ වැඩය.

නැගෙනහිර පලාත් ජනාධිපති කාර්‍ය සාධන බලකායේ මූලිකත්වයෙන් දැනටමත් අපගේ නිලධාරීන් නැගෙනහිර හිර පලාතේ මායිම් ගල් යොදමින් සිටී. මැණුම් දෙපාර්තමේන්තුවත්, ඉඩම් දෙපාර්තමේන්තුවත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් දැන් අප සමග නැගෙනහිර පලාතේ වැඩය. මුහුදු මහා විහාරයේ මුලින්ම තිබූ ඉඩම් ප්‍රමාණය වටා පෙරේදා වනවිට මායිම් ගල් යොදා අවසන්‍ ය.

ලමුන්ට ලියූ පොතද ලබන සතියේ මුද්‍රණාලයේය. එහි පටුන මෙසේය.

1. ආපසු හැරෙයි:
පුරාවිද්‍යාව හා ඉතිහාසය

2. සුන්බුන් සොයයි:
පුරාවස්තුවක් යනු කුමක්ද ?

3. හැඩ වැඩ බලයි.

පුරාවස්තුවක ස්වභාවය

4. නෑයෙක් ලැබෙයි
පස් ස්තරායනය

5.එක තැන රැඳෙයි
පුරාවිද්‍යා ස්ථානයක් යනු කුමක්ද?

6. මිනිසෙක් තැනෙයි
මිනිසාගේ පරිණාමය

7. වට පිට බලයි
මිනිසා හා පරිසරය

8.ගම් බිම් තනයි
මිනිසා හා ජනාවාස

9. ගිය මං සොයයි:
ගවේෂණය

10. වතගොත දකියි
කැණීම

11. වැඩි දුර බලයි
පුරාවස්තු විශ්ලේෂණය හා අර්ථනිරූපනය

12. ලොව ජය ගනියි
හෙළ උරුමය

13. සතුරෙක් වදියි
පුරාවස්තු විනාසය

14. මිසදිටු ගනියි
මිත්‍යාව හා විද්‍යාව

ඔබටද පුරාවිද්‍යා මූලධර්ම පොතක් මුද්‍රණ ද්වාරයට හෙල බසින් ලියන පළමු පොත ලෙස පිටු 400 කින් යුතුව සූදානම්‍ ය.

අපි තවත් අලුත් දෙයකට අත ගැසුවෙමු. එය බැලූ බැල්මට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අදාල දෙයක් යැයි ඇතමෙකුට පෙනී යා හැක.
සමාජයේ සංස්කෘතිකමය සෝදා පාලුවක් තිබේ. එයටද අපේ වැඩපිලිවෙල අත් උදව්වක් විය හැක.
මසකට 60 ක් බැගින් පුරාවිද්‍යා ස්ථාන පාසැල්වල පැවරීම අපගේ අභිප්‍රායයි. පුරාවිද්‍යා ස්ථානයේ නාම පුවරුවේ මින් පසු ලියැවෙනුයේ එය අයත් පාසැලේ නාමයයි.
පුරාවිද්‍යා ස්ථාන සියයක් තෝරා ගෙන සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ ප්‍රතිලාභ පිණිස අපි වනය තුල ගෙවල් සියයක් ඉදිකිරීමට සැලසුම් කොට ඇත්තෙමු. මෙම ගෙවල් සැලසුම් කර ඇත්තේ සාම්ප්‍රදායික නිවෙස් සැලසුම් අනුව කොට්ට පිල සහිතවය. නිවෙස තැනෙන්නේ වරිච්චි කටු මැට්ටෙන් වන අතර ඒවා තනන්නේ අපගේ අධීක්ෂණය යටතේ දරුවන්‍ ය. බිම ගොම ගානුයේද ඔවුන්මය. ලී ලබාගන්නේ අප දෙපාර්තමේන්තුව සතු ඉඩම් අක්කර ලක්ෂයක් පමණ වන කැලෑ ඉඩම්වලිනි. ඒ මැරී ගිය දැවය. ලංකාවේ කවර දෙසක සිටියත් පාසැල් සංගම් සාමාජිකයන් හෝ ඔවුන්ගේ දෙමාපියන්ට රුපියල් 400 ක් වැනි සුලු මුදලක් ගෙවා රැයක් පහන් කළ හැකිය. අදායම ලැබෙන්නේ පුරාවිද්‍යා ස්ථානය අයත් පාසැලට ගෙය නඩත්තු කිරීම වෙනුවෙනි . මෙම නිවෙසේ ලැගුම් ගත යුත්තේ පුරාස්ථානය අයත් පාසැලේ කොන්දේසි කිහිපයක් යටතේය. පුරාවිද්‍යා ස්ථානයේ රථගාලේ පාසැල විසින් බදුදුන් කටු මැටි කඩයකින් ඇවැසි කලමනා මිලදී ගත හැකිය.
කොන්දේසි මෙසේය.
1. කෑම පිසිය යුත්තේ කාබනික ලෙස පාසැල විසින් ගෙය අසල වගා කර ඇති එලවලුය. වැව් කරවල හා දේශීය සහල් ඇතුලු ධාන්‍යත් පාසැල් වෙලඳ සැලෙන් මිලදී ගත හැකිය.
2. පානය කළ යුත්තේ බෙලිමල් ඇතුලු දේශීය පානයන් බීමට සුදුසු ලෙස කුරුටු ඇර සකසා ඇති වෙලඳ සැලේ ඇති පොල් කටු වලිනි.
3. තුනපහ මිරිස් ගැමි නිවසේ නිවසේ තබා ඇති මිරිස් ගලෙනි. පොල් සම්බෝල වැනි දෑ ඇඹරිය යුත්තේද මිරිස් ගලේය.
4. කාමරවල විදිලි බුබුලු නැත. ලන්තෑරුම් එකක් දෙකක් හෝ තුනක් කාමරයේ දැල්වීමට ලබා ගත හැකිය.
5. ඉවිය යුත්තේ දර ලිපේය. එය තනා ඇත්තේ ගෙබිමේය.
6. සාම්ප්‍රදායික ආහාර, රසකැවිලි යනාදිය තැනීමට උදව්වන මග පෙන්වන ” කුකරි පොතක්” ගැමි නිවසේ ඇත්තේය.
7. පැරණි ගැමි නිවස සැබවින්ම ” ජිම්” එකකි. කොලොම්බේ හිඳ ආහාර ඉවීම බඩ හා දෙදනටත්, බංකු හිරමනයෙන් පොල්ගෑම උරහිස්, වැලමිට හා අත්ලටත් ව්‍යායාමයකි.
8. වංගෙඩියේ කෙටීමත්, දර පැලීමත් සම්පූර්ණ ගතටම ව්‍යායාමයකි. කුරහන් ගලේ ඇඹරීමද එසේමය. මේ කළමනා සියල්ල ගැමි ගෙහි ඇත්තේය. පිටපලුවලින් ගෘහ භාණ්ඩ තනන්නේ සිසුන්‍ ය. එහෙත් ඔබගේ සුවය පිණිස ඇඳේ ඇත්තේ සුව පහසු මෙට්ටයකි.
9. පලා නෙලිය යුත්තේ ගැමිගෙදර වටා ඇති කැලයෙනි. ඔබ නොදන්නේ වුවත් කැලෑ පරිසරයේ ආහාරයට ගත හැකි බොහෝ ශාඛ තිබේ. පාසැල් දරුවන් ඔබට මග පෙන්වනු ඇත.
10. ඔබටත්, දරුවන්ටත් කියවීමට ලමා පොත් ගැමි ගෙහි ඇත.
11. මිදුලේ ඇති බුදු පැලේ ඔබ මල් පහන් සැමදිනකම පිදිය යුතුය.
මෙයද පුරාවිද්‍යාවය. ටික දෙනෙකු හෝ අප දරුවන් අනුකරණය කරමින් කොලඹ ගැමි කුස්සියක් තනා ව්‍යායාමයත් වසවිසෙන් තොර ආහාරත් හුරු වුවහොත් අපගේ සිහිනය මල් පල ගැන්වෙන්නේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *