පුටින් ඇරඹුවේ ඒකාධිපති ගමනක්ද ? – තරණය – හසිනි දෙනිපිටිය

රුසියාවේ ජනාධිපතිවරයෙක්ට අධිකරණ මුක්‍තිය පිරිනැමෙන නව පනතක් සඳහා පසුගිය දා එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහය හිමි වී තිබේ. මෙය ඉකුත් ජුලි මාසයේ එරට පැවති ජනමත විචාරණයෙන් අනුමත වු ව්‍යවස්ථා සංශෝධනය හා සැසදෙන්නක් වේ. රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ මෙය නැවත දෙවතාවක දී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතය. අනතුරුව ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ද සහය ලැබීමෙන් පසු ජනාධිපතිගේ අත්සනින් නිතීයක් බවට පත්වේ.
මෙම නව පනත සම්මත වීමත් සමඟ හිටපු ජනාධිපතිවරයකුට ප්‍රශ්න කිරීමට, සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට තවදුරටත් පොළිසියට බලය හිමි නොවේ. එසේම හිටපු ජනාධිපතිවරයකු සතු කිසිදු දේපලක් රාජසන්තක කිරීමට ද නොහැකිය. හිටපු ජනාධිපතිවරයකුට නඩු පැවරිය හැක්කේ රාජද්‍රෝහි ක්‍රියාවකට හෝ සුවිශේෂි ගණයට අයත් වන අපරාධයක දී පමණය.

මෙම නිතීය බලාත්මක වුවහොත් එහි වැඩි වාසිය හිමි වන්නේ වර්තමාන ජනාධිපති ව්ලදිමීර් පුතින්ට ය. මේ වනවිටත් රුසියානු හිටපු ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුවේ ජීවමනව සිටින එක ම ජනාධිපතිවරයා දිමිත්‍රි මෙද්වේදෙෆ් පමණි. ඒ අනුව මෙම නිතීයෙ සහය සැලසෙන්නේ ජනාධිපති ව්ලදිමීර් පුතින්ට හා දිමිත්‍රි මෙද්වේදෙෆ් යන රුසියානු ජනාධිපතිවරුන්ටයි.

කෙසේනමුත් මෙම පනතට මෙන්ම ජනමත විචාරණය ද එරට විපක්ෂය හෙලා දකියි. ඔවුන් පවසන්නෙ “මුළු ජිවිත කාලයට ම ජනාධිපතිවරයා” ලෙස කටයුතු කිරීමට පුතින්ට දැන් හැකි බවයි. නමුත් ජනාධිපති පුතින් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. ජනාධිපති පුතින්ගේ ධූර කාලය එළඹෙන 2024 දී නිමා වීමට ඉඩ තිබුණ ද මෙම ප්‍රතිසංස්කරණය හරහා තවත් වසර 12 ක් සඳහා ජනාධිපති ධූර කාලය දීර්ඝ වේ. ඒ වසර 6 බැගින් වාර 2 දී ය.

කෙසේනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී පවෙල් ක්‍රශේනින්නිකොෆ් පවසන්නේ ජනාධිපතිවරයාට මෙලෙස මුක්‍තිය පිළිබඳ සහතිකයක් ලබා දීම හරහා රුසියානු රාජ්‍යය සහ සමාජය ස්ථාවර වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *