වසංගතය 2: අහිමි කාලයක පුරාවෘත්ත –  තෙවන කොටස – සුමිත් චාමින්ද 

පරිවර්තකගේ හැඳින්වීම
ශිෂෙක් මේ කෙටි පරිච්ජේදය ලියා ඇත්තේ 2020 මැයි පළමුවෙනිදා බැව් පෙනී යයි. ඔහු තම කෘතිය පුරාම නැවත නැවතත් අවධාරණය කරන කාරණයක් මෙම පරිච්ජේදය තුළ මානව සංගෘහිතව තිබේ. එනම්, වසංගතය විසින් පන්තිමය අසමානතාව නව සහ වඩාත් තීව්‍ර ස්වරූපයකින් ඉස්මත්තට ගෙනැවිත් තිබෙන්නේ කෙසේද යන කාරණය යි. ඔහුම මින් පෙර වර නගා ඇති “අප සියල්ලන්ම දැන් එකම බෝට්ටුවේ” ය යන්න කොතරම් මිත්‍යාවක්ද යන්න ඔහු මෙහිදී නිදසුන් ගණනාවක් මගින් විවේචනයට සහ බැහැර කිරීමට ලක් කරයි.

ජාත්‍යන්තර කම්කරු දිනය දා ශිෂෙක් පෙන්වා දෙන්නේ වසංගතය හමුවේ වඩාත්ම පීඩනයට ලක් වෙමින් සිටින්නේ ඩේවිඩ් හාවී “නව කම්කරු පන්තිය” යනුවෙන් හඳුන්වන සංක්‍රමණික සහ ආවතේවකාර රැකියාවල නිරත වී සිටින පිරිස් බවයි. දැන් ඔවුන් හට ඉදිරිපත් කොට තිබෙන තෝරා ගැනීම වන්නේ “එක්කෝ වෛරසයට ගොදුරු වනු නැතහොත් සාගතයට ගොදුරු වනු” යන්නයි.
ශිෂෙක් ගෝලීය සංධර්භයක නිරීක්ෂණයට ලක් කරන වසංගතයේ මෙම පන්තිමය පැතිමානය මේ වන විට ඉතාම කුරිරු ආකාරයකින් ශ්‍රී ලංකාව තුළද ප්‍රදර්ශනය වන්නට පටන් ගෙන තිබේ. පසුගිය සති කිහිපය තිස්සේ මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ක්‍ෂේම භූමීන් බවට පත් වූයේ ඇඟලුම් කම්හල්, ධීවර වරායන් සහ මත්ස්‍ය අළෙවි සැල්, එළවලු තොග ගබඩා යනාදියයි. වසංගතය පැතිරවීමේ චෝදනාවේ බරද මේ ස්ථානවල සේවය කරන කම්කරු ජනයා මත දැන් අධිපති මාධ්‍ය විසින් පටවනු ලැබ තිබේ. එසේම, වසංගතය සමග සෘජුව ගැටෙන හෙදියන් සහ පොලිස් නිළධාරීන්ද ඉමහත් අවධානමකට නිරාවරණය වී ඇත. ඊට අමතරව, ලොක් ඩවුන් කිරීමේ ක්‍රියාමාර්ග සමග සමගාමීව යා යුතු ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් නොතිබීම නිසාවෙන් අඩු ආදායම්ලාභී පිරිස්වලට වසංගතය නොතකා තම පැවැත්ම පිණිස අරගල කරන්නට සිදුව තිබේ. දැනටමත් පහළ මධ්‍යම පන්තික මහල් නිවාසවල ජනයා අතුරින් කුසගිනි අරගල මතුවෙමින් පවතී. (මෙය මින් පෙර ශ්‍රී ලංකාව තුළ නොපැවති තත්ත්වයකි). රාජ්‍ය සුපරීක්ෂණයේ ඩ්‍රෝන යාත්‍රා පියාසර කරමින් තිබෙන්නේ මෙසේ අන්ත අසරණභාවයට පත්ව සිටින නව කම්කරු පන්තියේ සහ නාගරික දිළින්දන්ගේ හිස්වලට ඉහළිනි.
ශිෂෙක් ඉඟි කරන පරිදි අපගේ අනාගතය දැන් බරපතල ලෙසම රඳා පවතිනු ඇත්තේ වසංගතය සහ අප එයට ප්‍රතිචාර දක්වන ආකාරය මතය. ශ්‍රී ලංකාව තුළද වසංගතයේ අභියෝගය නොතකා හරින කිසිදු දේශපාලන නායකත්වයකට අනාගතයක් තිබෙනු ඇතැයි සිතිය නොහැකිය. විපාක්ෂික දේශපාලන මැදිහත්වීමක් සඳහා උචිතම මොහොත ළඟා වන තුරු කල් බලමින් සිටින නායකත්වයන් නොතකා හරින කාරණය වන්නේ මෙයයි: ඒ මොහොත පැමිණෙන්නේ ඔරලෝසු කාලය අනුව නොවේ. වසංගතය යනු දේශපාලනිකයේ නව මොහොත මිස අන් කුමක්ද?
දෙවන පරිච්ජේදය   
 
වෛරසමය ලෝකයක මැයි පළමුවන දා   
ඇතැම් විට, මැයි පළමු වනදා අපට වසංගතය කෙරෙහිම ඉලක්කගතව තිබෙන අපගේ අවධානයෙන් මදක් බැහැර වී එය සහ එහි ව්‍යසනකාරී බලපෑම් අපගේ සමාජ යථාර්ථය පිළිබඳව කුමක් හෙළිදරව් කරන්නේදැයි සලකා බැලීමට අවස්ථාවක් ලැබී තිබේ. මසිතට දැනෙන ප්‍රථම දේ වන්නේ “දැන් අප සියල්ලන්ම එකම බෝට්ටුවේ” ය යන සරල උදෘතයට විරුද්ධව යමින් පන්තිමය වෙනස්කම් පුපුරා ගොස් තිබෙන බවය. සමාජ ධූරාවලියේ ඉතාම පහළින් සිටින සරණාගතයින්, යුධ කලාපවල වෙසෙන්නන් යනාදී පිරිස්වල ජීවිත කොතරම් අසරණද යත්, ඔවුනට කොවිඩ්-19 යනු ප්‍රධානතම ගැටළුව නොවේ. අපගේ මාධ්‍ය මගින් තවමත් ඔවුන්ව වඩ වඩාත් නොතකා හරිමින් පවතී; ඒ අතර වෛරසයට එරෙහි අපගේ අරගලයේ පෙරමුණේම සිටින හෙදියන්ගේ දායකත්වය හැඟීම්බර ලෙස සමරන පුවත් අප මත දෝරෙ ගලා යයි. රාජකීය ගුවන් හමුදාව ඔවුන්ට ගෞරවය දක්වමින් ආචාර ගුවන් සංදර්ශනයක් පවා සංවිධානය කළේය. නමුත්, හෙදියන් යනු සූරාකෑමට ලක් වෙමින් සිටින ආවතේවකාර පන්තියේ වඩාත් දෘෂ්‍යමාන කොටස පමණි. ඔවුන්ව සූරාකෑමට ලක් වන්නේ මාක්ස්වාදී පරිකල්පනය තුළ පැවති පැරණි කම්කරු පන්තිය සූරාකෑමට ලක් වූ ආකාරයට නොවේ. ඩේවිඩ් හාවී පවසන පරිදි, ඔවුන් “නව කම්කරු පන්තියකි.”Welcome to the Viral Desert – Coronavirus and the Reinvention of Communism  - IDN-InDepthNews | Analysis That Matters
“වේගයෙන් වැඩි වන රෝගීන් සංඛ්‍යාවට ආවතේව කරන්නට සිටින, නැතහොත් දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාමට උපකාරී වන මූලික සේවාවන් සපයන්නට සිටින ශ්‍රම බලකාය රීතියක් ලෙසම විශාල වශයෙන් ලිංගිකමය, වාර්ගිකමය සහ ජනවාර්ගිකමය වෙනස්කම්වලට ලක්ව සිටී. මේ වනාහී සමකාලීන ධනවාදයේ පෙරමුණේ සිටින “නව කම්කරු පන්තියයි.” එහි සාමාජිකයින් ද්විත්වාකාර බරක් ඉසිලිය යුතුය: ඔවුන් එක්වරම ඔවුනගේ රැකියාවන් ඔස්සේ වෛරසයට ගොදුරු වීමේ වැඩිම අවදානමක් සහිත පිරිස වන අතර වෛරසය හේතු කොටගෙන ඇති වූ ආර්ථිකමය බිඳ වැටීම නිසා මූල්‍ය සම්පත් නොමැතිකමින් බැට කන පිරිසද වේ. එක්සත් ජනපදයේ වෙසෙන සමකාලීන කම්කරු පන්තිය (එය වැඩි වශයෙන් අප්‍රිකානු ඇමෙරිකානුවන්ගෙන් ලතින් ඇමෙරිකන් සම්භවයක් ඇති පිරිස්වලින් සහ වැඩ කරන කාන්තාවන්ගෙන් සමන්විත වේ) මුහුණ දී සිටින්නේ අශෝභන තෝරා ගැනීමකටය: එනම්, එක්කෝ මිනිසුන්ට ආවතේව කිරීමේදී හෝ කඩ සාප්පු වැනි අත්‍යවශ්‍ය සේවාවන් විවෘතව තබා ගැනීම වැනි කටයුතුවල යෙදීමේදී වෛරසයට ගොදුරු වී විඳවීම, නැතහොත් කිසිදු සුභසාධනයක් (ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂාවක් වැනි) නොමැතිව විරැකියාවට පත් වීම යන තෝරා ගැනීමයි.”
ධනවතුන්ගේ ජීවිත රැක ගන්නට සහාය වන පැරිසියේ උප නගරවල දුගීන් අතරින් මෑතකදී විරෝධතා පැන නැගුණේ මෙනිසාය. මෑත සතිවලදී සිංගප්පූරුවේ විදේශික ශ්‍රමිකයින්ගේ නවාතැන් තුළ කොවිඩ්-19 ආසාදනය වීම් වේගයෙන් ඉහළ නැග තිබෙන්නේ මෙනිසාය. එක් ප්‍රවෘත්ති වාර්තාවක පැහැදිලි කෙරුණු පරිදි, “සිංගප්පූරුව තුළ ප්‍රධාන වශයෙන්ම දකුණු සහ අග්නිදිග ආසියාවෙන් පැමිණෙන සංක්‍රමණික කම්කරුවන් මිලියන 1.4 ක් පමණ වාසය කරයි. නිවාස බලා කියා ගන්නන්, ගෘහ සහායකයන්, ඉදිකිරීම් කර්මාන්තවල කම්කරුවන් සහ කුලී ශ්‍රමිකයින් ලෙස වැඩ කරන මෙම සංක්‍රමණිකයන් සිංගප්පූරුව සක්‍රීයව පවත්වාගෙන යාම සඳහා ඉතාම අවශ්‍ය වේ. නමුත්, ඔවුන් නගරයේ වෙසෙන අඩුම වැටුප් ලබන සහ වඩාත්ම අසරණ පිරිසක්ද වේ.” මෙම නව කම්කරු පන්තිය කලක පටන්ම මෙහි විසීය; වසංගතය ඔවුන්ව දෘෂ්‍යමානයට රැගෙන විත් තිබේ.
Pandemic! by Slavoj Zizek, review: philosopher's essays on coronavirus have  already gone off
මෙම පන්තිය හඳුනා ගැනීම සඳහා බෲනෝ ලතුවර් සහ නිකොලා ශර්ල්ස් “භූ-සමාජ පන්තිය” යන යෙදුම භාවිතා කළේය. මෙම පන්තිය වැඩිමනත්ම සූරාකෑමට ලක් වන්නේ සම්භාව්‍ය මාක්ස්වාදී අරුතින් නිෂ්පාදන උපකරණ හිමි අයවලුන් වෙනුවෙන් වැඩ කිරීමේදී නොවේ; ඔවුන්ව “සූරා කැවෙන්නේ” ඔවුන් තම ජීවිතයේ භෞතික කොන්දේසි එනම් ජලය, පිරිසිදු වාතය, සෞඛ්‍යාරක්ෂාව යනාදිය සමග සම්බන්ධ වන ආකාරය අනුවය: ප්‍රාදේශීය ජනයාගේ භූමි ප්‍රදේශ අපනයනය ඉලක්ක කොට ගත් කාර්මික කෘෂිකර්මය හෝ පතල් කර්මාන්තය සඳහා භාවිතා කිරීමේදී ඔවුන්ව සූරාකෑමට ලක් වේ. ඔවුන් විදේශීය සමාගම් සඳහා සේවය නොකරන විටදී පවා ඔවුන් සූරා කෑමට ලක් වේ; ඒ, ඔවුනගේ ජීවන ශෛලිය පවත්වා ගන්නට උපකාරී වන ඔවුනගේ භූමි ප්‍රදේශ පරිපූර්ණව භුක්ති විඳීමට ඉඩ නොලැබීමේ සරල අරුතිනි. සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් නිදසුනක් ලෙස ගනිමු: ඔවුන් මුහුදු කොල්ලකරුවන් බවට පත්ව ඇත්තේ විදේශීය සමාගම්වල මහා පරිමාණ මසුන් ඇල්ලීමේ භාවිතයන් කරණ කොට ගෙන ඔවුනගේ වෙරළබද ජලයේ මත්ස්‍ය සම්පත විනාශ වී යාම නිසාය. ඔවුනගේ භූමි ප්‍රදේශවලින් කොටසක් සංවර්ධිත රටවල් විසින් අත්පත් කරගෙන තිබේ. ඒවා අපගේ ජීවන ශෛලිය පවත්වා ගැනීම සඳහා භාවිතා කරනු ලැබේ. ශර්ල්ස් මෙහිදී “අතිරික්ත වටිනාකම” අත්පත් කර ගැනීම වෙනුවට “අතිරික්ත-පැවැත්ම” අත්පත් කර ගැනීම යන්න ආදේශ කරන්නට යෝජනා කරයි. මෙහි “පැවැත්ම” යනුවෙන් අදහස් වන්නේ ජීවිතයේ භෞතික කොන්දේසිය.
අපට දැන් කොවිඩ්-19 වසංගතය සමග අනාවරණය වන පරිදි, කම්හල් වසා දමා තිබියදී පවා ආවතේව කරන්නන්ගේ භූ-සමාජ පන්තිය වැඩට යා යුතුය. ඉදින්, මේ මැයි පළමු වෙනිදාව සාම්ප්‍රදායික කම්කරු පන්තියට නොව ඔවුනට කැප කිරීම උචිත බැව් පෙනේ. සැබවින්ම අධි-සූරාකෑමකට ලක් වන්නේ ඔවුන්ය: ඔවුන් වැඩ කරන විට සූරා කෑමට ලක් වේ (මන්ද යත්, ඔවුනගේ වැඩ වැඩි වශයෙන්ම අදෘෂ්‍යමානය); එසේම ඔවුන් වැඩ නොකරන විට පවා සූරා කෑමට ලක් වේ; ඔවුනගේ පැවැත්ම තුළම සූරා කෑමට ලක් වේ.PANDEMIC! 2: Chronicles of a Time Lost by Slavoj Žižek | OR Books
ධනවතුන්ගේ සදාතනික සිහිනය වන්නේ සාමාන්‍ය ජනයාගේ අපිරිසිදු වාසස්ථානවලින් සම්පූර්ණයෙන්ම වෙන්ව පවතින භූමි ප්‍රදේශයකි. නීල්  බ්ලොම්කෑම්ප්ගේ “ක්ෂේම භූමිය” (Elysium) වැනි ලෝක විනාශයෙන් පසු කාලය ගැන කියැවෙන බොහෝ අති-ජනප්‍රිය සිනමා නිර්මාණ ගැන මදක් සිතන්න. එම චිත්‍රපටයේ කතාව 2154 වර්ෂය ගැනය; එහි ධනපතීන් යෝධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තුළ දිවි ගෙවන අතර, සෙසු ජනයා ලතින් ඇමෙරිකාවේ මුඩුක්කුවල ප්‍රසාරණයක් සේ දිස් වන නටඹුන් වූ මිහිතලයේ ජීවත් වෙයි. කිසියම් මහා ව්‍යසනයක් අපේක්ෂාවෙන් ධනපතීන් නවසීලන්තයේ මැදුරු මිළදී ගනිමින් සිටිති; නැතහොත් රොකී කඳු යායේ ශීත යුද සමයේ මෙන් න්‍යෂ්ටික බංකර ඉදි කරති. නමුත්, වසංගතයේ ගැටළුව නම් යමෙකුට එයින් මුළුමනින්ම හුදෙකලා වී සිටිය නොහැකි වීමයි. කපා දැමිය නොහැකි පෙකණි වැලක් සේ දූෂිත යථාර්ථය සමග අවම බැම්මක් පැවතීම වැළැක්විය නොහැකිය.
– පරිවර්තනය: සුමිත් චාමින්ද 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *