” ඒත් අපි පියඹමු ” සඟරාව, 88- 89 යේ වධ බන්ධනයට ලක්වූවන්ගේ තුවාල විකුණගෙන කන තුච්ඡ දේශපාලනයට විරුද්ධව සිදුව සමාජ මෙහෙවරක් – ඉන්ද්‍රජිත් වෑවලගේ

නව කතා කොපියක් පිළිබද ඇති වූ සංවාදයක් දුර යාමක් නේද? ඒත් පියාඹමු කියන නමක් ඉදිරියට එන්න බලපාන්නේ?

ඔව්…. ලගම නිමිත්ත ඒක තමයි. ඇත්තටම ඒ සිදුවීම නිසා මේ වැඩේ ඉක්මන් උනා.

 එතකොට, ඒත් අපි පියාඹමු කියන්නේ මොකක්ද? ඒකේ ඓතිහාසික වටිනාකම මොකක්ද?

“ඒත් අපි පියාඹමු” කියන්නේ 1988-89 භීෂණය කාලේ පැවති යූ.ඇන්.පී. රජය විසින් ආරක්ෂක අංශ යොදාගෙන වධබන්ධනයට ලක්කර ම්ලේච්ඡ ලෙස මරාදැමීන් සිටියදී ජාතික හා ජාත්‍යන්තර බලපෑම් නිසා එසේ මරා දැමීමට නොහැකිවූ වධකාගාර වල වධබන්ධනයට ලක් වෙමින් සිටි පිරිස් “පුණරුත්තාපනය” කිරීම සදහා යැයි පවසමින් එළිමහන් සිර කදවුරු ගත කළා . එසේ “පුනරුත්පන” ඒළිමහන් සිර කදවුරක් වූ බූස්ස රැදවුම් කදවුරේ සිටි සහෝදරවරුන් තම සිතුවිලි, අද්දැකීම් හා දැනුම් එක් කරමින් තමන්ට ලැබෙන සබන් දවටන හා කොල කැබලි වල කරන ලද සටහන් අඩංගු කරමින් ඔවුනගේ අත් අකුරින්ම හා චිත්‍ර වලින් නිර්මානය කරන ලද සගරාවක්.
ඒ වන විට තහනමට ලක්ව තිබූ ජ.වි.පෙ. නැවත ගොඩ නැගීම හා දේශපාලන කටයුතු සදහා අවතීර්ණ වීමට කටයුතු සංවිධානය වෙමින් පවතින විට ඊට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා ගැනීම සදහා මගක් නැති නිසා ආරිය බුලේගොඩ සහෝදරයා “ඒත් අපි පියාඹමු” අත් පිටපත මුද්‍රණය කර විකිනීමෙන් පක්ෂය ගොඩනැගීමට අරමුදල් සෙවීමට සිතා බූස්ස කදවුරේ ඒ සදහා නායකත්වය සැපයූ සුභාෂ් දික්වැල්ල සහෝදරයා සම්බන්ධ කරගෙන ඒ සදහා අවසර රැගෙන අත් පිටපත ඉල්ලාගෙන අඩු වියදමින් මුද්‍රණය කර අරමුදල් සොයා ගෙන මැතිවරණය සදහා ප්‍රගතිශීලී පෙරමුණ ලෙස ඉදිරිපත්ව මූලික අඩිතාලම සකසනු ලැබුවා. ඒ විතරක් නෙමෙයි බූස්ස රැදවියන් දිනක ආහාර නොගෙන ඒ මුදල පරිත්‍යාග කලා මුද්‍රණ කටයුතු සදහා. මේක තමයි ඇත්ත ඉතිහාසය.

ඇත්තටම ඉතිහාසයේ දේවල් රැගෙන මෙවැනි මුල්‍යමය හෝ ආත්මාර්ථය සදහා යෙදවීම් සම්බන්ධයෙන් කුමක්ද කිව හැක්කේ..?

මෙහෙමයි, ගහක් පැල කලාම. ටිකක් ලොකු උනාම මල් එකක් දෙකක් පිපුනම, පුංචි ඵලයක් මෝදු වෙද්දි තමතින්ම මුල් සිද ගත්තම වෙන දේ තමයි ඒ වගේ අයට අද සිද්ධ වෙලා තියෙන්නේ. උඩ ඉදලා පහලම ස්ථරය දක්වා අර මුල්, මහ අසික්කිත විදියට සිඳබිද දැම්මා. ඒකේ ලගම සාක්ෂිය තමයි මේ ලගදිම සිද්ධ වෙච්ච සිදුවීම. ඒ කියන්නේ කිසිම හිරිකිතයකින් තොරව වධකාගාරවල දුක් වින්ද සහෝදරවරු නිර්මාණය කල “ඒත් අපි පියාඹමු” කියන සගරාවේ නම කොපි කරලා ජ.වි.පෙ. හිටපු මන්ත්‍රිනී සුජාතා අලහකෝන් “නවකතාවකට” නම දාලා සල්ලි හම්බකර ගන්නවා ප්‍රසිද්ධියේම නිර්ලජ්ජිතවම. මේ ගැන පොත දොරට වැඩුමේදී සුභාෂ් දික්වැල්ල සහෝදරයා ප්‍රශ්න කරනවා. එවිට ඔවුන් “මෙතන කලබල කරන්න එපා පසුව අපි කතා කරමු….” කියලා මග හරිනවා. ඉන් පසු කිසි විටකත් මේ පිළිබද ඔවුන් කතා කරන්නේ හෝ ප්‍රතිචාර දක්වන්නේ හෝ නැහැ. ඒ වගේම මේ ගැන ජ.වි.පෙ. හා පෙරටුගාමීන් නිශබ්දව ඉදීමෙන් එම පහත් නීච ක්‍රියාව අනුමත කරනවා. මේ නම ආකර්ශනීය නිසා ඒ ඊනියා නවකතාවට සම්මාන හම්බ වෙනවා. ලංකාවේ සම්මාන දෙන්නේ පිටකවර බලලා කියලා ඔප්පු කරමින් ඒ පොතේ ඇතුලත තියෙන දේවල් වෙනත් පොත් වලින් හොරා ගත්තා කියලා සමාජමාධ්‍ය හරහා ඔප්පු වෙනවා. සම්මානෙයි සල්ලියි නැවත දෙන්න වෙනවා.
ඉතිහාසේ විකුණලා මිනිස්සු සල්ලි හම්බ කරනවා. ඒක අද ඊයේ වෙන දෙයක් නෙමෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ නියපොතු ගලවා වධබන්ධනයට පත්වෙලා හිටපු මිනිස්සු ඔවුන්ගේ නිර්මාණ විකුනලා හදපු පක්ෂෙ පසුකාලීනව මන්ත්‍රී කම් අරං වැජබිලා, ඒ වධබන්ධනයට ලක්වෙච්ච මිනිස්සුන්ගේ ඇස් ඉස්සරහා ඔවුන්ගේ නිර්මාණ කොල්ලකන්න තරම් තක්කඩි වීම හා ඒ පිලිබද නිහඩව ඉදීම කියන්නේ තුච්ඡ දේශපාලනයක්. මේක තමයි ආත්මාර්ථකාමී තුච්ඡ දේශපාලනය. ඒකට ලැබෙන දඩුවම ඉතිහාසයේ කුණුකූඩය පත් වීම. ඒක දැන් වෙන්න පටන් අරං.

ඔබලා විසින් මේ සිදුකරන ඒත් පියාඹමු කියන වැඩේ ගැන පැහැදිලි කළොත් ?

සුභෂ් දික්වැල්ල සහ මම එකතු වෙලා මේ වැඩේ ප්ලෑන් කරනවා. පසුව ඒ පිළිබද විජිත බණ්ඩාර සහෝදරයා උනන්දු වීම තුළ අපි තුන්දෙනා එකතු වෙලා “එත් අපි පියාඹමු” මුල් කෘතියෙන් පටන් අරන් මාසික සඟරාවක් ලෙස නව මානයක සඟරාවක් නිර්මාණය කරන්න සැලසුම් කලා. ඉන් පස්සේ මේ මතයට එකග විශාල සහෝදර සහෝදරියන් පිරිසක් ශක්තිමත්ව අප වටා ඒක්වුනා. ඉතිං අපි මෙම සඟරාව මුද්‍රණය කරගන්න මූල්‍යමය දායකත්වයක් දක්වන්න කැමති හා සඟරාව ගන්න කැමති අයට විවෘත ආරාධනාවක් කරලා තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා. මෙම සඟරාව මුලින්ම පිටපත් 1000ක් මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් ලැබෙන ලාභයෙන් අපි වධකාගාරවල දුක් වින්ද කවුරුත් අතහැරදාලා ඉන්න සහෝදර සහෝදරියන් හොයාගෙන ගිහින් ඔවුන්ගේ ජීවිත සදහා ශක්තියක් වෙන්න තමයි අපි මේ ව්‍යාපාරය ආරම්භ කලේ.

ඒක මෙහෙමයි අපි කරන්න බලා පොරොත්තු වෙන්නේ. අපි එක් වරකට තෝරාගන්නා සහෝදරයෙක් හෝ සහෝදරියෙක් හෝ සමග ඔවුනගේ හැකියාව හා උනන්දුව ගැන සොයා බලා සාකච්ඡා කර අවශ්‍ය හා ගැලපෙන ස්වයං රැකියාවක් සදහා වෘත්තීය විශේෂඥයින්ගේ උපදෙස් හා මඟපෙන්වීම මෙන්ම පසුවිපරමක් සහිතව පූර්ණ සහයෝගිතා වැඩ පිළිවෙලක් සකසන්න බලාපොරොත්තු වෙනවා. මේක ලංකාව පුරාම සිටින සහෝදර සහෝදරියන් හොයාගෙන ගිහින් අපි ක්‍රියාවට නංවන්න බලාපොරොත්තු වෙනවා. කොන්කරන ලද (Marginalize) පිරිස් නැවත ශක්තිමත්ව, කාටවත් යටත් නොවී තම අභිලාශයන් වෙනුවෙන් බල ගන්වන එක තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තුව හා දේශපාලනය. හැබැයි කියන්න ඕනේ අපි මළවුන් විකුණගෙන කන හා පරම්පරාවම ගොඩදාගෙන වැජඹෙන දේශපාලය හෙවත් වැන්දඹු දේශපාලනය ප්‍රතික්ශේප කරනවා වගේම තමයි බන්ධනයට ලක්වූවන්ගේ තුවාල විකුණගෙන කන තුච්ඡ දේශපාලනයටත් විරුද්ධයි.

 අපි දන්නවා මෙය යම් සංවාදයකට තුඩු දුන් තත්වයක් බොහෝ තැන්වලදි 88-89 කාලවකවානුව හෝ සිර මැදිරි සාහිත්යය සදහා භාවිතා කරනවා නමුත් එයට මුහුණ දුන් පිරිස් ගැන සොයා බැලීමක් නෑ..

ඔව්… ඔබේ කියමන ඇත්ත. උතුරේ යුද්දෙන් බැට කෑ දමිල සහෝදරත්වය වෙනුවෙන් ලෝකයේ නන්දෙසින් මිලමුදල් කෝටි ගණන් පොම්ප උනා ඔවුනගේ වතගොත ලොවට කියන්න. යුද්ධය හා එහි පීඩනය ගැන කලා නිර්මාණ, සාහිත්‍ය නිර්මාණ, චිත්‍රපටි වැනි කර්මාන්ත කරගන්න හා චිත්‍ර අදින්න කෝටි ප්‍රකෝටි ගණන් මෙරටට පොම්ප කලා. ඒවා කරපු විශාල පිරිසකට “හොද අනාගතයක්” හදාගන්න පිටරටවලට පැන ගන්නට පාරද ඒ තුළින් නිර්මාණය කර ගත්තා. ඒත් දකුණේ 60,000 තරුණ තරුණියන් අමු අමුවේ ඝතනය කරලා දහස් ගණන්න් වධබන්ධනයට ලක්කරලා හිරගෙවල්වල දාලා, සමහරුන්ට චෝදනා නැතිව හිරකරන් හිටිය ඒවා ගැන අදාල නායකයන් හා වහල් කණ්ඩායම් මීක් නෑ. ඒ මිනිස්සු අසරණ වෙලා කරකියා ගන්න දෙයක් නැතිව ජීවත් වෙන්න වත්මන් පාලකයන්ට රෙදි නැතිව කඩේ යනවා. මේ තත්ත්වය උදා වෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්ව අක්මුල් සිදගත් ගහේ කතාව නිසා. මේ සිරකදවුරු වල ඉදලා ඒන සහෝදර සහෝදරයින් විශාල දැනුමක් හා මරණයට බයක් නැති හොදට පන්නරය ලබපු උදවිය. ඒක තර්ජනයක් විදියට, ඊයේ පෙරේදා ගෙටවෙච්ච සිගිති, සුරතල් සුකිරිබටිල්ලෝ දකින නිසා අර මර්ධනයේ දන්ගෙඩියෙන් ගැලවී ආ පන්නරයක් ඇති මිනිසුන් කොන්කරනවා (Marginalized). ඒක නිසා මානසික කම්පනයත් එක්ක ඒ සහෝදර සහෝදරියන් ජීවත්වෙන්න මොනවා හරි කරනවා. මේක තමයි කටුක උනත් ඇත්ත.

කුමක්ද මෙයින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ..?

පිළිතුර – ජනතාවගෙන් ඉල්ලන්නේ බෞද්ධ ධර්මයේ එන “විද්‍යා දදාති විනයං” කියලා විතරමයි. මෙතනදි අපි විනය කියලා දකින්නේ සුවච කීකරු වහල්භාවය නෙමෙයි හැබැයි.

සංවාද සටහන – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *