වසංගතය 2: අහිමි කාලයක පුරාවෘත්ත ස්ලේවෝයී ශිෂෙක් (සිව් වන කොටස) – සුමිත් චාමින්ද

පරිවර්තකගේ හැඳින්වීම

“සංයුක්ත තත්ත්වය ගැන සංයුක්ත විශ්ලේෂණයක්.” මේ ශිෂෙක් ඉතා ප්‍රිය කරන වී.අයි. ලෙනින්ගේ උදෘතයකි. සංයුක්ත විශ්ලේෂණයකදී අප පවත්නා තත්ත්වයේ විවිධ පැතිමාන සැලකිල්ලට ගත යුතුය. ඒවා අතරැති සම්බන්ධය තේරුම් කිරීමට ප්‍රයත්න දැරිය යුතුය. එලෙසම අපවමත් එම විශ්ලේෂණය තුළ ස්ථානගත කර ගන්නට සමත් විය යුතුය. මෙම පරිච්ජේදයේදී ශිෂෙක් ඉදිරිපත් කරන්නේ එවන් විශ්ලේෂණයකි.

ඔහු කොරෝනා වෛරස් වසංගතය අද අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගය ලෙස සලකා ආර්ථික සූරාකෑම සහ අසමානත්වය, කාලගුණික විපර්යාසය වැනි සෙසු ගැටළු පසෙකට කරලීමේ ප්‍රවේශය සමග එකඟ වන්නේ නැත. ඒ වෙනුවට මිනිස් වර්ගයාගේ සාමූහික පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මකව බලපාන මෙම ගැටළු අතරැති සම්බන්ධය ඔහු ඉතාම පැහැදිලිව පෙන්වා දෙයි. මෙය ඔහු 2010 දී ප්‍රකාශයට පත් කළ “සමාප්ත කාල තුළ ජීවත් වීම” (Living in the End Times) නමැති කෘතියේ ඉදිරිපත් කළ අදහස් සමග දිගටම ගමන් කිරීමක් බැව් පෙනී යයි.

Slavoj Žižek - Wikipedia

පළමුව කොවිඩ් 19 විසින් අප වෙත ඉදිරිපත් කොට ඇති අභියෝගයේ බරපතලකම යළිත් අවධාරණය කරන ශිෂෙක් ඉන්පසුව වසංගතය පාරිසරික විනාශය සමග සම්බන්ධ වී ඇත්තේ කෙසේදැයි පෙන්වා දෙයි. මෙය වසංගතය වෙතට මුළුමහත් අවධානය කේන්ද්‍රගත කිරීම මගින් ගෝලීය උණුසුම පිළිබඳ භයංකර සංඥා නොතකා හැරීමේ ජනප්‍රිය ලිබරල් ප්‍රවේශය පිළිබඳ විවේචනයක් ලෙසද සැලකිය හැකිය. ශිෂෙක්ගේ අවධානයට ලක් වන තවත් වැදගත් කාරණයක් නම් වසංගතයේ තර්ජනය නොතකමින් මානවීය සමානත්වය වෙනුවෙන් පෙළ ගැසුණු වර්ගවාදයට එරෙහි ගෝලීය නැගී සිටීමය. එම නැගී සිටීමේදී ඉහළට එසවුණු “කළු ජීවිත වටී” ය යන සටන් පාඨය ගැන ශිෂෙක් මෑත දිනෙක කදිම අදහසක් පළ කළේය. ඒ පසුගිය දෙසැම්බර් දෙවන දා ඔහු කෝර්නෙල් වෙස්ට් සමග සහභාගී වූ ඔන්ලයින් සංවාදයකදීය. ශිෂෙක් එහිදී “කළු ජීවිත නොව සියළු ජීවිත වටී” ය යන වියුක්ත සටන් පාඨයේ ඇති ගැටළුවක් පෙන්වා දෙමින් පැවසුවේ අප විශ්වීයත්වය සමග සම්බන්ධ වන්නේ සැබවින්ම සුවිශේෂකත්වය මාධ්‍ය කොටගෙන බවයි. මේ මොහොතේ සියළු ජීවිත වටීය යන සංයුක්ත අවබෝධය කරා අපට ළඟා විය හැක්කේ කළු ජීවිතවල වටිනාකම වෙනුවෙන් අරගල කිරීම ඔස්සේය. විශ්වීයත්වය සහ සුවිශේෂකත්වය අතරැති සම්බන්ධය පිළිබඳ මෙම අදහස අර්නෙස්ටෝ ලැක්ලාවූගේ සහ ශන්තාල් මූෆ්ගේ තේරුම් කිරීම් සමගද බොහෝ දුරට සමාන්තරව යයි. (බලන්න, Judith Butler, Ernesto Laclau, and Slavoj Žižek, 2000, Contingency, Hegemony, Universality: Contemporary Dialogues On The Left).

මෙම පරිච්ජේදයේ අවසන් කොටසේදී ශිෂෙක් යළිත් ජෝර්ජි අගම්බෙන් සමග ගැටේ. අගම්බෙන් වත්මන් වසංගතය පිළිබඳව ආරම්භයේදී පැවසුවේ එය මිනිසුන්ව හුදෙක් නග්න පැවැත්ම දක්වා ඇද දමන්නක් වේය යන්නයි. “සමාප්ත කාලයක්” ගැනත් “අපේක්ෂා විරහිතභාවයේ ධෛර්යයක්” ගැනත් කතා කරන ශිෂෙක් මේ කාරණයේදී එතරම් අසුබවාදී නැත. ඔහු කෝර්නෙල් වෙස්ට් සමග වූ සංවාදයේදීද නිදසුන් ගණනාවක් මගින් පෙන්වා දුන්නේ වසංගතය හමුවේ මිනිසුන් නිෂ්ක්‍රීය ගොදුරු බවට පත් වේය යන මතය වැරදි බවය. සැබවින්ම දැන් මිනිසුන් තම නග්න පැවැත්ම නොතකමින් දුකට පත් වූවන් වෙනුවෙන් වැඩ කරන්නට ඉදිරිපත් වන නිදසුන් කොතෙකුත් තිබේ.Overseas cinemas in Shanghai reopen amid COVID-19 with confidence in  Chinese mainland market - Global Times

අවසන් වශයෙන් ශිෂෙක් වසංගතය හමුවේ ලොක් ඩවුන් කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුද නැද්ද යන විවාදයේ බරපතල පරස්පරතාවක් වෙත අවධානය යොමු කරයි. ඔහු පෙන්වා දෙන්නේ ලොක් ඩවුන් කිරීම හමුවේ සේම නොකිරීම හමුවේද සූරාකෑමට ගොදුරු වන්නේ “නව කම්කරු පන්තිය” (මේ ගැන පසුගිය කොටසේදී පැහැදිලි කෙරිණ) බවයි. ඒ අතර මහා ධනවතුන් අතර ප්‍රාග්ධනය සමුච්චනය වීම වෛරසයේ ව්‍යාප්තිය තරම්ම වේගයකින් සිදු වෙමින් තිබේ. කම්කරුවා හට තම ජීවිත පැවැත්ම සහ ජීවනෝපාය යන දෙකින් එකක් තෝරා ගන්නට සිදු වීමේ තත්ත්වය අප වෙනස් කළ යුතු නොවේද? වසංගතය විසින් ඇති කරන ව්‍යසනය සෙසු ව්‍යසනයන්ගෙන් හුදෙකලා කොට ගත නොහැකි බව ශිෂෙක් අපට සත්‍යය තරම් සරලව පහදා දෙයි.

තෙවන පරිච්ජේදය

කොවිඩ්-19, ගෝලීය උණුසුම, සූරාකෑම – එකම අරගලයකිContingency, Hegemony, Universality: Contemporary Dialogues on the Left by Judith  Butler

අද දිනයේ (2020 ජූනි මස අග භාගයේ) සිට බැලූ විට කොවිඩ්-19 භීතිකාවේ ආරම්භක මාස දෙක පෙනෙන්නේ සහමුලින්ම අතීත වේදනාත්මක අයුරිනි. ඇත්ත.., අප නිරෝධායනයේ සිටියෙමු; නමුත්, අප බලාපොරොත්තු වූයේ එය මාසයක් දෙකක් පැවතී ජීවිතය යළිත් යම් ආකාරයක සාමාන්‍ය තත්ත්වයකට පත් වේවිය කියාය. අසාත්මිකතා සහ බෝ වන රෝග පිළිබඳ එක්සත් ජනපද ජාතික ආයතනයේ අධ්‍යක්‍ෂක ආචාර්ය ෆවුචි පවා ඇමෙරිකානුවන්ට පැවසුවේ ඔවුනට ඔවුනගේ ගිම්හාන නිවාඩුවේ විනෝදය අපේක්ෂාවෙන් සිටිය හැකි බවයි. අපට නිරෝධායනය දැනුණේ සීමිත වූ ව්‍යතිරේඛීය කාලයක් ලෙසිනි; අපට අපගේ පවුලේ අය සමග සාමයෙන් ගත කිරීමට ඉඩ ලබා දෙන අපගේ අතිශයින්ම කාර්ය බහුල වූ ජීවිතයේ විරාමයක් ලෙසිනි; පොත් පත් කියවීමට, සංගීතය රස විඳීමට සහ පිසූ ආහාර රස විඳීමට ලැබුණු කිසියම් කාලයක් ලෙසිනි. ඒ එය ඉක්මණින්ම අහවර වනු ඇතැයි යන දැනුම නිසාය. නමුත්, දැන් අප සිටින්නේ ඇතැමුන් “මකුළු හුයෙන් කුණාටු නවතන්නට හදනවා” යැයි හඳුන්වන ආකාරයේ තත්ත්වයක් තුළය; අළුත් පොකුරු අතනින් මෙතැනින් නොනැවතී මතු වේ; එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව යන රටවල රෝගය අලුතින් පැන නැගීම ගැන අමුතුවෙන් කිව යුතු නැත. අපට වෛරසය සමග එක්ව ජීවත් වන්නේ කෙසේදැයි ඉගෙන ගන්නට සිදු වන ආකාරයේ නව යුගයකට අප පිවිසෙමින් සිටින්නේය යන්න පිළි ගන්නට අපට බල කෙරෙන්නේ දැන් ය. පවත්නා තත්ත්වය විවෘතය. වසංගතය කුමන දිශානතියකට යොමු වේද යන්න පිළිබඳව කිසිදු පැහැදිලි සංඥාවක් නොමැත. ජර්මානු වෛරසවේදියෙකු වන හෙන්ද්‍රික් ස්ට්‍රීක් සංක්ෂිප්තව පැවසූ පරිදි, “දෙවන හෝ තෙවන රැල්ලක් නොමැත. අප සිටින්නේ ස්ථාවර රැල්ලක් තුළය.”

නමුත්, අප තවමත් සහමුළින්ම අවධානය යොමා සිටින්නේ කොවිඩ්-19 පිළිබඳ සංඛ්‍යාමය දත්ත වෙතය. අප බොහෝ දෙනෙකු නිතරම පාහේ වෛරසය ආසාදනය වූවන්ගේ, මරණයට පත් වූවන්ගේ සහ සුවපත් වූවන්ගේ සංඛ්‍යාවන් “ලෝක නිර්ණායකය” තුළ පරීක්ෂා කරමින් සිටින්නෙමු. මෙසේ සංඛ්‍යාවලින් මෝහනයට පත්ව සිටීම විසින් ස්වයංක්‍රීයව අපට අමතක කරවනු ලබන්නේ බොහෝ මිනිසුන් පිළිකා, හෘදය රෝග, පරිසර දූෂණය, කුසගින්න, අවි ගැටුම් සහ ගෘහ ප්‍රචණ්ඩත්වය යනාදිය නිසා මිය යමින් සිටින්නේය යන ඇස් පනා පිට පෙනෙන කාරණයයි. හරියට අප කොවිඩ්-19 ආසාදනය සම්පූර්ණයෙන් පාලනය කර ගත හොත්, අපගේ කරදරවල ප්‍රධාන හේතුව අතුරුදහන් වී යන්නාක් සේය. ඒ වෙනුවට, මානව ජීවිතය පවතිනු ඇත්තේ දුක්ඛිත භාවයෙන් පිරුණක් ලෙසයි; එක් අරුතකින් මානව ජීවිතය යනුම නිරන්තර නිරර්ථක වද විඳීමක් සහිතව වේදනාත්මකව අවසානයට පත් වන්නා වූ දුක්ඛිත භාවයකි.

තව දුරටත්, කොවිඩ්-19 වසංගතය සහ අපගේ පාරිසරික දුර්දසාව අතරැති සම්බන්ධය වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී. අප කොවිඩ්-19 පාලනය කර ගත්තද, ගෝලීය උණුසුම විසින් වඩාත් රැඩිකල් ක්‍රියාමාර්ග ඉල්ලා සිටිනු ඇත. ග්‍රේටා තන්බර්ග් මෑතකදී “කාලගුණික සහ පාරිසරික අර්බුධය වත්මන් දේශපාලනික සහ ආර්ථික ක්‍රමයන් තුළ විසඳිය නොහැකිය” යනුවෙන් පවසන විටදී ඇය නිවැරදිය. කොවිඩ්-19 අර්බුධයට ප්‍රතිචාරයක් ලෙස අපට ක්‍රියාත්මක කළ හැකි වූ ගෝලීය බල මුළු ගැන්වීම ගෝලීය උණුසුමට සහ පාරිසරික දූෂණයට අදාළව ඊටත් වඩා අවශ්‍ය වී තිබේ. නමුත්, අප ඒ දිශාවට වැඩ කිරීමට දිගින් දිගටම අසමත් වෙමින් සිටී. තන්බර්ග් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතාවක මාතෘකාව කදිම ලෙස නොපිට පෙරළමින් පවසන පරිදි, ” අධිරාජ්‍යයන් සිටින්නේ නිරුවතිනි. සෑම අයෙකුම… අපගේ සමස්ත සමාජයම එක්තරා විශාල නිරුවත් ප්‍රිය සම්භාෂණයක් බවට පත්ව තිබේ.”Top Glove to shut factories as it screens workers for COVID-19 | Business  and Economy News | Al Jazeera

උග්‍රතම සංශයවාදීන්ව පවා ඒත්තු ගැන්විය හැකි ගෝලීය උණුසුම පිළිබඳ කාරණයක් සලකා බලමු: සයිබීරියාවේ දිග් ගැසුණු තාප රළ 2020 වසරේ පළමු මාස හය තුළදී ලැව් ගිනි, දැවැන්ත තෙල් කාන්දුවීම් සහ ගස් විනාශ කොට දමන සලබ වසංගතයක් ඇති කළේය. එක් පුවත් ප්‍රකාශනයක සඳහන් වූ පරිදි, “ආක්ටික් වට රවුමේ පිහිටි රුසියානු නගරවල අසාමාන්‍ය ඌෂ්ණත්වයක් වාර්තා වී තිබෙන අතර ජූනි මස 09 වෙනිදා නිස්න්‍යායා පේෂා හි එය සෙල්සියස් අංශක 30 ට ළඟා වී ඇත.” නිත්‍ය තුහින පාෂාණ දිය වී යාම මේ මාසයේදී සයිබීරියාවේ ඩීසල් ඉන්ධන කාන්දු වීම කෙරෙහි අඩු තරමින් පාර්ශ්වීය වශයෙන් බලපා තිබේ; එම සිද්ධිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පුටින්ව මෙහෙයවනු ලැබීය. තෙල් ගබඩා ටැංකිවල ආධාරකයන් එක්වරම ගිලී ගියේය.” නිත්‍ය තුහින පාෂාණ දිය වී යාම සමග පුනර්-ක්‍රියාකාරී වීමට බලා සිටින්නා වූ කාලාන්තරයක් තිස්සේ මිදුණු බැක්ටීරියා සහ වෛරස ගැන මදක් සිතන්න!

කොවිඩ්-19 සහ ලෝකය පුරා මතුවෙමින් පවතින වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණ අතරැති සම්බන්ධය පිළිබඳවද මෙය අදාළ වේ. “කළු ජීවිත වටීය” යන පිළිගැනීම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විවාදයට (නිදසුනක් ලෙස, අප ඒ වෙනුවට “සෑම ජීවිතයක්ම වටීය” යනුවෙන් කිව යුතු නොවේද යන ප්‍රශ්නයට) එකම පලදායී පිළිතුර වන්නේ දැන් එක්සත් ජනපදයේ ප්‍රචාරය වෙමින් පවතින කදිම කුරිරු සමාජ ජාල ප්‍රතිරූපයකි. එහි දැක්වෙන්නේ “කිසිම ජීවිතයක් වටින්නේ නැත” යන උදෘතය සහිත පෝස්ටරයක් ඔසවාගෙන සිටින ස්ටාලින්ගේ චිත්‍රයකි. (මේ සඳහා හේතු වූ ඕස්ට්‍රේලියාවේ ස්ටාලින්වාදී ඝාතන පිළිබඳ වාද විවාද මම මෙහිදී පසෙකින් තබමි). මෙම ප්‍රකෝපනය තුළ ඇති සත්‍යයේ හරය වන්නේ නග්න ජීවිතයට වඩා වටිනා දේවල් තිබේය යන්නයි. කළු ජනයාට එරෙහි පොලිස් ප්‍රචණ්ඩත්වයට විරෝධය දක්වන්නන්ගේ මූලික පණිවිඩය වන්නේ මෙය නොවේද? කළු ජනයා (සහ ඔවුනට සහාය දක්වන්නන්) ඉල්ලා සිටින්නේ හුදු පැවැත්ම නොවේ; ඔවුන් ඉල්ලා සිටින්නේ ගරුත්වයක් සහිත නිදහස් සහ සමාන පුරවැසියන් ලෙස සැලකීමකි. එසේම, මේ සඳහා ඔවුන් ඇතැම්විට තම ජීවිත ඇතුළු බොහෝ දේ පරදුවට තබන්නට සූදානම්ය. ඔවුන් කොවිඩ්-19 පැතිරීමේ සහ වැළඳීමේ අවදානම තිබියදී පවා විරෝධය දැක්වීමට රැස් වූයේ එබැවිනි.

මෙයින් කියැවෙන්නේ රාජ්‍යය විසින් පණවන ලද ලොක් ඩවුන් කිරීම්වලින් සහ ස්වයං-හුදෙකලා කිරීමේ ක්‍රියාමාර්ගවලින් ගම්‍ය වන්නේ අපගේ ජීවිත හුදු පැවැත්මකට ලඝු කිරීමක් යැයි සලකා ඒවා ප්‍රතික්ෂේප කිරීමේදී ජියෝජි අගම්බෙන් නිවැරදි බවද? ඔහු එසේ කියන්නේ අප ලොක් ඩවුන් කිරීමේ රෙගුලාසි පිළිපැදීමේදී හුදෙක් ජීවිතවල නිරුවත් පැවැත්ම වෙනුවෙන් අපගේ ජීවිතවලට වටිනාකමක් ගෙන දුන් දේ අත් හරින්නට අප සූදානම් බව ප්‍රදර්ශණය කරන්නේය යන අරුතිනි. පූර්ණ මානවයන් වශයෙන් සිටීම සඳහා අපට (අපව වෛරසයේ ආසාදනයට නිරාවරණය වීමෙන්) අපගේ ජීවිත අවදානමට ලක් කර ගන්නට සිදු වේද? මෙම ස්ථාවරයේ ගැටළුව වන්නේ අද දිනයේ ලොක් ඩවුන් කිරීම් අහෝසි කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධාන නියමුවන් ජනතාවාදී නව දක්ෂිණාංශය තුළින් සොයා ගත හැකි වීමයි. එහි සාමාජිකයින් ලොක් ඩවුන් කිරීමේ සිට අනිවාර්යයෙන් මුහුණු ආවරණ පැළඳවීම දක්වා වන සියළුම බාධාකාරී ක්‍රියාමාර්ග දකින්නේ අපගේ නිදහස සහ ගරුත්වය විනාශ කිරීමක් ලෙසය. අප ප්‍රධාන ප්‍රශ්නයක් මතු කරමින් මෙයට ප්‍රතිචාර දැක්විය යුතුය: එනම්, ලොක් ඩවුන් කිරීම සහ හුදෙකලාව අහෝසි කිරීමෙන් සාමාන්‍ය කම්කරුවෙකුට සිදු වන සැලකිය යුතු බලපෑම කුමක්ද යන්නයි. තම දිවි සරි කර ගැනීම සඳහා ඔවුනට අනාරක්ෂිත ලෝකයට ගොස් වෛරස් ආසාදනයේ අවධානම භාර ගන්නට සිදුවේ.Healthcare Workers Report Elevated Psychiatric Symptoms Amid COVID-19  Pandemic - Psychiatry Advisor

මෙය අපව මූලික කාරණය වෙතට රැගෙන යයි: එනම්, කොවිඩ්-19 වසංගතය ආර්ථිකයට බලපා ඇති ප්‍රතිවිරුද්ධ ආකාරයයි. එක් අතකින්, ඇතැම් කාලවල කොමියුනිස්ට්වාදයට දිශානත වන ආකාරයේ දේවල් කරන්නට එය විසින් බලධාරීන්ට බල කරනු ලැබ තිබේ: එනම්, කිසියම් ආකාරයක විශ්වීය මූලික ආදායමක් තහවුරු කිරීම සහ සියල්ලන්ටම සෞඛ්‍යාරක්ෂාව ලබා දීම යනාදියයි. කෙසේ වුවද, මෙසේ කොමියුනිස්ට්වාදය වෙතට අනපේක්ෂිත විවෘතභාවයක් ඇති වීම වනාහී කාසියේ එක් පැත්තක් පමණි. ඒ සමගම, ඊට ප්‍රතිපාක්ෂික ක්‍රියාවලීන්ද ප්‍රචණ්ඩ ලෙස තහවුරු වෙමින් පවතී. ඒ මහා සමාගම් විසින් දේපළ ගොඩ ගසා ගනු ලැබීමෙන් සහ රාජ්‍යය විසින් ඒවා ගලවා ගනු ලැබීමෙනි. කොරෝනා-ධනවාදයේ හැඩ තල ක්‍රම ක්‍රමයෙන් ඇඳෙමින් පවතී. ඒ සමග පන්ති අරගලයේ නව ආකෘතීන් බිහි වේ; නැතහොත්, ෆිලඩෙල්ෆියාහි වෙසෙන ලේඛකයෙකු සහ අභිරක්ෂකයෙකු වන ජොෂුවා සයිමන්ව උපුටා දක්වන්නේ නම්:

“එක්සත් ජනපදයේ නගරවල දශක ගණනාවකට පසුව සිදු වූ විශාලතම වැඩ වර්ජන දැක ගත හැකි විය. අඩු තරමින් කම්කරු වැඩ වර්ජන 150 ක් සහ උද්ඝෝෂණද (ඒ අතුරින් ඉතාම කැපී පෙනුණු එකක් නම්, ඇමේසන් ගබඩාවේ කම්කරුවන්ගේ වරජනයයි), සරණාගත රැඳවුම් කඳවුරු තුළ උපවාසද දැකිය හැකි විය. ඒ අතරම, කොරෝනා වෛරස් ලොක් ඩවුන් කාල සීමාවේ පළමු සති කිහිපයේදී, එනම් දින විසි තුනක් තුළදී, එක්සත් ජනපද බිලියනපතියන්ගේ වත්කම්වල එකතුව ඩොලර් බිලියන 282 කින් ඉහළ නැංවී ඇති බව පර්යේෂණවලින් පෙනේ. වසංගතය සහ ලොක් ඩවුන් කිරීම් හමුවේ සුවිශාල අසමානතාවක් වර්ධනය වන බව පිළිගන්නට අපට බල කෙරේ; මිනිසුන්ට ඔවුන්ගේ රැකියා අහිමි වී යයි; දැනටමත් අති මහත් ධනයක් තිබෙන විශාලතම සමාගම්වලට සුවිශාල වාසි හිමිවන දැවැන්ත ඇප දීමක් ක්‍රියාවට නැංවේ; සහන හිමි විය යුතු අත්‍යාවශ්‍ය සේවාවල නිරත කම්කරුවන්ට දිගටම වැඩ කරන ලෙසට බල කෙරේ.”Slavoj Zizek's exploration of Islam and modernity: A Eurocentric  perspective - Qantara.de

වසංගතයේ තත්ත්වය තුළ (බටහිර ලෝකයේ) සූරාකෑමේ නවතම ආකෘතිය වන්නේ, යළිත් වරක් සයිමන්ව උපුටා දක්වන්නේ නම්, “වියදම කම්කරුවන් වෙත මාරු කිරීමයි.” අසනීප නිවාඩු අහිමි අයවළුන්ගේ සිට නිවසේ සිට ඉගැන්වීමේ කටයුතු සඳහා තම ලැප්ටොප් පරිගණක භාවිතා කරන ගුරුවරුන් දක්වා පිරිසකට අදාළව දැන් සියළුම ප්‍රතිනිෂ්පාදනීය සහ නිෂ්පාදනීය කටයුතු කරනු කෙරෙන්නේ නිවෙස් තුළය. මෙම තත්ත්වයන් තුළ තව දුරටත් නිෂ්පාදනීය උපකරණ හිමි කරගෙන සිටින්නේ සහ ඒවා ක්‍රියාත්මක කිරීමට කම්කරුවන්ව කුලියට ගන්නේ මූලික වශයෙන් ධනපතියා නොවේ. “කම්කරුවාම ඇයගේ නිෂ්පාදනීය උපකරණය රැගෙන එයි. ඇමේසන් සමාගමේ බෙදා හැරීමේ කටයුතුවල යෙදෙන්නෙකු හෝ ඌබර් රියැදුරෙකු වැඩ කිරීම සඳහා තමාගේම මෝටර් රථය රැගෙන ‘විත් තමන්ම තෙල් ගසාගෙන මෝටර් රථයේ රක්ෂණය සහ රියැදුරු බලපත්‍රය ගැන තමන්ම බලා ගන්නා විටදී සිදු වන්නේ මෙයයි.” සයිමන් ලොක් ඩවුන් විරෝධී විරෝධතාවකදී සාරා මේසන් ඉහළට එසැවූ පෝස්ටරයක් මතු කොට පෙන්වයි. එහි සඳහන් වූයේ මෙයයි: “සමාජ දුරස්තභාවය සමාන වන්නේ කොමියුනිස්ට්වාදයටයි.” සමාජ දුරස්ථභාවය අහෝසි කළ විට අපට හිමි වන්නේ නිෂ්පාදන උපකරණවල හිමිකම තමන් විසින්ම දරමින් වෛරසය ආසාදනය වීමේ අවධානමද සහිතව සමාගම් වෙනුවෙන් භාණ්ඩ බෙදා හැරීමට එහෙ මෙහෙ දිව යන මෙම කම්කරුවන් ලබන දෘශ්‍යමාන “නිදහසයි.” මෙහි ඇති පරස්පරතාව නම් කොරෝනා ආර්ථිකයේ ප්‍රධාන ප්‍රබේධ දෙකම (එනම් ලොක් ඩවුන් වී නිවසේ සිට වැඩ කිරීම සහ ආහාර සහ වෙනත් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතුවල නිරත වීම) එක සමානව ප්‍රාග්ධනයට අනුයුක්ත වී තිබීමත් අමතර-සූරාකෑමක් ගම්‍ය කිරීමත්ය.No description available.

ඉදින්, සාරා මේසන් හට අපගේ ප්‍රතිචාරය විය යුත්තේ මෙයයි: ඔව්, අපට සමාජ දුරස්ථභාවයක් අවශ්‍ය වන්නේ එනිසාය. නමුත්, අපට වඩාත්ම අවශ්‍ය වන්නේ ආර්ථික උන්නතිය සහ ජීවිතය බේරා ගැනීම යන බෙලහීන තෝරා ගැනීම මග හැර යාමට ඉඩ සලස්වන නව ආර්ථික ක්‍රමයකි.

– පරිවර්තනය: සුමිත් චාමින්ද

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *