වසංගතය 2: අහිමි යුගයක පුරාවෘත්ත  ( පස් වන කොටස ) – සුමිත් චාමින්ද

පරිවර්තකගේ හැඳින්වීම
ශිෂෙක් මේ පරිච්ජේදය ආරම්භ කරන්නේ පසුගිය ජූනි මස 21 වනදා ජර්මනියේ ස්ටුට්ගාර්ට් නගරයේ ඇති වූ කැරළි කෝළාහල සහ කඩ සාප්පු කොල්ලකෑම් පිළිබඳ විශ්ලේෂණයක් සමගිනි. එම කෝළාහලයේදී සම්පූර්ණයෙන්ම තමන්ගෙන් පාලනය ගිලිහී ගිය බව පොලිසිය පැවසීය. කෙසේ වෙතත්, එය දේශපාලන අරමුණක් විසින් මෙහෙයවන ලද විරෝධතාවක් නොවූ බව ඉතාම පැහැදිලිය. දීර්ඝකාලීන ලොක් ඩවුන් කිරීම් හමුවේ හෙම්බත් වූ යුරෝපීය සමාජයන් තුළින් එවන් විරෝධතා මතු වීම දැන් ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. ඉදිරියේදී ලොව පුරා එම ප්‍රවණතාව පැතිර යාමටද විශාල ඉඩ කඩක් තිබේ.
ශිෂෙක් ස්ටුට්ගාර්ට් කෝළාහලය වාර්ගික පීඩනයට එරෙහි සමකාලීන බහුජන අරගලය සමග සසඳයි. පළමුව ඔහු පෙන්වා දෙන්නේ පළමුවැන්න කිසිදු විමුක්ති ශක්‍යතාවකින් තොරව ප්‍රචණ්ඩත්වය පුපුරා යාමක් පමණක් බවයි; නමුත්, දෙවැන්න වාර්ගික සමානත්වය නමැති උතුම් අරමුණ වෙනුවෙන් සංවිධානය කරන ලද්දකි. ඒ අතරම ඔහු පෙන්වා දෙන්නේ මේ විරෝධතාවන් දෙක විසින්ම බෙදා ගනු ලබන කිසියම් පොදු පැතිමානයක්ද පවතින බවයි. එනම්, කිසිදු සමාජ දේශපාලන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට ඒවා අසමත් වීමයි. පළමු මාදිලියේ විරෝධතාවලට අදාළව මේ කාරණය වටහා ගැනීම අසීරු නොවේ. නමුත්, වර්ගවාදයට එරෙහි විරෝධතා සම්බන්ධයෙන්ද ශිෂෙක් මේ විවේචනය ඉදිරිපත් කරන්නේ මන්ද?riot - Critical Shots
ඔහුගේ විවේචනයේ එල්ලය වන්නේ වර්ගවාදයට එරෙහි විරෝධය “දේශපාලනික නිරවද්‍යතාව” පිළිබඳ ලිබරල්වාදී ආකල්පය වැළඳ ගැනීමයි. මෙය ශිෂෙක් ලිබරල් දේශපාලන නිරවද්‍යභාවය සම්බන්ධයෙන් කාලාන්තරයක සිට ඉදිරිපත් කරමින් සිටි විවේචනය තවත් දුර රැගෙන යාමකි. ඔහුට අනුව, දේශපාලනික නිරවද්‍යතාව පිළිබඳ සමකාලීන ලිබරල්වාදී විශ්වාසයන් සැබවින්ම ක්‍රියාත්මක වන්නේ සියුම් ආකාරයක ඒකාධිපතිවාදයක් ලෙසිනි. මන්ද යත්, එහි අප්‍රකාශිත පිළිගැනීම වන්නේ “අනෙකාට වුවමනා වන්නේ කුමක්දැයි මම දැනටමත් දැන සිටිමි” යන්නයි. මෙසේ අනෙකාගේ ආශාව අර්ථකථනය කිරීම ඒකාධිපතිවාදී දේශපාලනයෙහි ප්‍රධාන ලක්ෂණයකි. (“දෙමළාට දෙමළ වීම නිසාම කිසිදු සුවිශේෂී ප්‍රශ්නයක් නැතැයි” පවසන සිංහල වර්ගවාදය මේ සඳහා කදිම නිදසුනක් සපයයි). 
බටහිර සමාජයන් තුළ ප්‍රචලිත වී තිබෙන දේශපාලනික නිරවද්‍යතාව අනුව, වාර්ගික හෝ සංස්කෘතික අනෙකාට සළකනු ලබන්නේ සිංහල ජාතික චින්තනවාදී වර්ගවාදීන් මෙන් රළු ආකාරයෙන් නොව ඉතාම විනීත සහ සංවර ආකාරයෙනි. නිදසුනක් ලෙස, එය “කළු ජාතිකයා” යන යෙදුම වෙනුවට “අප්‍රිකානු ඇමෙරිකානුවා” යන නිරවද්‍ය යෙදුම යෝජනා කරයි. නමුත්, ප්‍රායෝගික ජීවිතයේදී වාර්ගික අසමානතාව තුරන් කිරීමට මේ භාෂාමය ක්‍රීඩාව ප්‍රමාණවත් නොවන බැව් සක්සුදක් සේ පැහැදිලිය. ලැකානියානු මනෝ විශ්ලේෂණ න්‍යාය ඇසුරින් ශිෂෙක් පෙන්වා දෙන්නේ සැබවින්ම මේ බාහිර විනීතභාවය යනු බටහිර ලිබරල්වාදියාගේ සැඟවුණු වර්ගවාදය මත පැළඳ වූ ව්‍යාජ පිටවැස්මක් පමණක් බවයි. දේශපාලනික නිරවද්‍ය භාෂාවකින් අනෙකාව අමතන ලිබරල්වාදියා ඉතාම සූක්ෂම ලෙස එම අනෙකාව අතේ දුරින් තබා ගැනීමට ප්‍රවේසම් සහගත වෙයි. ඒ වෙනුවට ශිෂෙක් යෝජනා කරන්නේ වෙනස් ජනවාර්ගික කණ්ඩායම් අතර සැබෑ සහයෝගීතාවක් ගොඩ නැගෙන්නේ අපට අපගේ රහසිගත අශ්ශීලත්වයන් අන්‍යෝන්‍යව හුවමාරු කර ගත හැකි තත්ත්වයක් තුළ බවයි. මෙම පරිච්ජේදය තුළ ලිබරල් දේශපාලන නිරවද්‍යතාව පිළිබඳව ශිෂෙක් ගෙනෙන විවේචනය වටහා ගැනීමට ඉහත පැහැදිලි කළ ඔහුගේ ලැකානියානු මාක්ස්වාදී තේරුම් කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.Hundreds gather in Stuttgart to protest coronavirus restrictions in Germany | News | DW | 08.08.2020
පරිච්ජේදයේ අවසන් කොටසේදී ඔහු දේශපාලන නිරවද්‍යතාව පිළිබඳ ලිබරල්වාදී පිළිගැනීම්වල උගුල ආකාර දෙකකින් පැහැදිලි කරයි. පළමු ආකාරය වන්නේ දේශපාලන නිරවද්‍යතාව සම්බන්ධ චෝදනා එල්ල කළ හැකි බටහිර දාර්ශනිකයින් සහ සමාජ පුරෝගාමීන් ඔවුනගේ බුද්ධිමය සහ දේශපාලනික මැදිහත්වීම් මගින් වර්ගවාදී සහ පීතෘමූලික සමාජ සබඳතා වෙනස් කිරීම සඳහා කොතරම් දුරට දායක වී තිබේදැයි පෙන්වා දීමයි. (දැනුවත්ව ලිංගික හිංසනයේ යෙදෙන සහ වර්ගවාදී පැවතුම් සාධාරණීකරණය කරන බුද්ධිජීවීන්ගේ භාවිතයන් මෙයින් යුක්ති සහගත කෙරෙන්නේ නැත. ශිෂෙක් වාර්ගික, ලිංගික සහ සියළු ආකාරවල අවමන් කිරීම්වලට එරෙහිය. ඔහු පෙන්වා දෙන්නේ බටහිර සමාජයන් තුළ හෙජමොනික තත්ත්වයකට පත්ව තිබෙන ලිබරල් දේශපාලන නිරවද්‍යතා තර්කණයේ ගැටළු සහගතභාවය පමණි).
ශිෂෙක් දේශපාලන නිරවද්‍යතාවයේ උගුල පැහැදිලි කරන දෙවන ආකාරය වන්නේ දේශපාලනිකව නිරවද්‍ය භාෂාවක් භාවිතා කරන අතරම ප්‍රායෝගිකව වර්ගවාදී පැවතුම්වල යෙදීමේ නිදසුනක් ගෙන හැර දැක්වීමයි. ඒ නිව්යෝර්ක්හි සෙන්ට්‍රල් පාර්ක් උද්‍යානය තුළ 2020 මැයි මසදී සිදු වූ කුප්‍රකට ඇමී කූපර් සිද්ධිය අනුසාරයෙනි. සිද්ධිය සැකෙවින් මෙසේය: ඇමී කූපර් නමැති සුදු ජාතික කාන්තාව එම උද්‍යානයේ සක්මන් කරමින් සිටින අතර තම සුනඛයා මුදා හැරියාය. එය සුනඛයින් මුදා හැරීම තහනම් කලාපයකි. ඒ අසල සිටි ක්‍රිස්ටියන් කූපර් නමැති කළු ජාතික පුරුෂයා (ඔවුන්ට සමාන නම් තිබුණද, ඔවුන් ඥාතීන් නොවේ) සුනඛයා අල්ලා ගන්නා ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. මෙයින් කෝපයට පත් ඇමී කූපර් පොලිස් හදිසි පැමිණිලි අංශය වන අංක 911 අමතා අප්‍රිකානු ඇමෙරිකානු පිරිමියෙකු ඇයට ජීවිත තර්ජන එල්ල කරන බවට පැමිණිලි කළාය. ක්‍රිස්ටියන් කූපර් මෙම සිද්ධිය වීඩියෝගත කළ කළේය. එය එක්සත් ජනපද ජන ජීවිතය තුළ වාර්ගික අසමානත්වය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නිදර්ශකයක් ලෙස සලකා එයට එරෙහි විශාල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ විය. මෙම සිද්ධියේ ඇති උත්ප්‍රාසාත්මක කාරණය වන්නේ ඇමී කූපර් දේශපාලනිකව නිරවද්‍ය භාෂාවක් භාවිත කරන අතරම (“කළු ජාතිකයා” යන්න වෙනුවට “අප්‍රිකානු ඇමෙරිකානුවා” යයි පැවසීම) එක්සත් ජනපද පොලීසිය තුළ ස්ථාපිතව ඇති වර්ගවාදී ආකල්ප මගින් වාසි ලැබීමට ප්‍රයත්න දැරීමයි.
ශිෂෙක් පවසන්නේ හුදු කට වචනයට සීමා වූ ව්‍යාජ සහයෝගීතාවක් වෙනුවට අද අපට අවශ්‍යව ඇත්තේ සැබෑ සහයෝගීතාවක් බවයි. වර්ගවාදයට එරෙහි සැබෑ සහයෝගීතාවක් පදනම් විය යුත්තේ හුදු වරදකාරීත්වය පිළිබඳ හැඟීම් විසින් මෙහෙයවෙන දේශපාලන නිරවද්‍යතාවක් මත නොව පොදු විමුක්තිවාදී පරමාදර්ශ මතය.            Hundreds gather in Stuttgart to protest coronavirus restrictions in Germany | News | DW | 08.08.2020
   හතර වන පරිච්ජේදය 
 
ප්‍රතිමා විනාශ කිරීම ප්‍රමාණවත් තරම් රැඩිකල් නොවන්නේ මන්ද?  
2020 ජූනි 21 වනදා ස්ටුට්ගාට් නගර මධ්‍යයෙහි සිදු වූ “මෙතෙක් නොවූ විරූ තරමේ” මහත් කලබලයෙන් ජර්මානු බලධාරීන් විමතියට පත් වූ බව අපගේ මාධ්‍ය තුළ පෘථුලව වාර්තා කෙරිණ: සාදවලට යන්නන් හාරසීයක් සහ පන් සියයක් අතර ප්‍රමාණයක් කඩ සාප්පුවල වීදුරු කුඩු කරමින්ද, කඩවල් කොල්ලකමින්ද, පොලීසියට පහර දෙමින්ද රාත්‍රිය පුරාම කැරළි කෝළාහල කරන්නට වූහ. ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා පොලීසියට පැය හතර හමාරක් ගත විය; පොලීසිය මෙම “සිවිල් යුද්ධයක් වැනි ජවනිකා” පිටුපස කිසිදු දේශපාලනික අරමුණක් තිබේය යන්න ප්‍රතික්ෂේප කළේ කලබලකාරීන් “සාද ජවනිකාවක හෝ උත්සව ජවනිකාවක” සිටින්නන් සේ විස්තර කරමිනි. වසංගතයේ ප්‍රතිපලයක් ලෙස මධුපැන් සල් සහ අවන්හල් වසා දමා පැවතියෙන්, මහජනයා අතර කැරළි පැන නැගිණ. මෙවන් සිදුවීම් ජර්මනියට සීමා වී නොමැත. ජූනි මස 25 වෙනිදා සමාජ දුරස්ථකරණය නොතකමින් එංගලන්තයේ වෙරළ තීරවල දහස් ගණන් ජනයා එක් රොක් විය. එක් පුවත් අඩවියක් වාර්තා කළ පරිදි, “ප්‍රදේශය මෝටර් රථ සහ හිරු රැස් ස්නානය කරන්නන්ගෙන් පිරී ඉතිරී ගියේ විශාල වාහන තදබදයක් ඇති කරලමිනි. මුහුදු තීරයේ ගොඩ ගැසුණු කැලි කසළ කඳු ඉවත් කිරීමට යාමේදී අපද්‍රව්‍ය පිරිසිදු කරන පිරිස්ද අපහසුතාවට සහ හිංසාවට පාත්‍ර විය. අධික ලෙස මත්පැන් බී කෝළාහල ඇති කිරීමේ සිද්ධීන්ද වාර්තා විය. මෙවන් ප්‍රචණ්ඩ පිපිරීම් සමාජ දුරස්ථකරණය සහ නිරෝධානය විසින් පණවන ලද සමාජමය අචල්‍යතාවට දැක්වූ ප්‍රතිචාරයක් බැව් යමෙකුට පහසුවෙන් වටහා ගත හැකිය. මෙවන් ක්‍රියාවන් ඉදිරියේදී ලොව පුරාම නිර්මාණය වේ යැයි අපේක්ෂා කිරීම සහේතුකය. එසේම, ලෝක පරිමාණව ඇවිලී ගිය වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණද (ඒවා හුදෙක් නිරර්ථක ප්‍රචණ්ඩත්වයක පුපුරා යාමක් නොව ප්‍රගතිශීලී අරමුණක් ප්‍රකාශයට පත් වීමක් වුවද) මේ හා සමාන තර්කණයක් අනුයන්නේද යන සැකය ප්‍රකාශයට පත් කිරීමට යමෙකු පැකිලිය යුතු නැත. දහස් ගණනක් දෙනා වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණවලට එක් වූයේ තමන්ට මෝඩ වෛරසයක් සමග ගණුදෙණු කිරීම වෙනුවට පැහැදිලි සතුරෙකු සිටින නියම සමාජ අරගලයක නිරත වීමට හැකි වීය යන කිසියම් ආකාරයක සැනසුම් සහගත හැඟීමක් සහිතවය.
අප මෙහිදී සැබවින්ම ගණුදෙණු කරමින් සිටින්නේ වෙනස් ආකාරවල ප්‍රචණ්ඩත්වයන් සමගය. බෝන්මස්හි වෙරළ තීරවල ජනයාට සරලව අවශ්‍ය වූයේ ඔවුනගේ සුපුරුදු ගිම්හාන නිවාඩුවේ විනෝද වීමටය. එය වැලැක්වීමට වුවමනා වූවන් වෙත ඔවුන් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර දැක්වූහ. ස්ටුට්ගාර්ට්හි විනෝදය පන ගැන්වුණේ කඩ සාප්පු කොල්ලකෑම සහ විනාශ කිරීම මගිනි;  එනම්, ප්‍රචණ්ඩත්වය මගින්මය. එය ප්‍රචණ්ඩ සැණකෙළියක නරකම ආකාරය විය. එය කිසිදු පැහැදිලි විමුක්ති ශක්‍යතාවකින් තොරව අන්ධ කෝපය පුපුරා යාමක් විය (අපේක්ෂා කළ හැකි පරිදිම, ඇතැම් වාමාංශිකයන් එය පාරිභෝජනවාදයට සහ පොලිස් පාලනයට එරෙහි විරෝධයක් ලෙස කියැවීමට ප්‍රයත්න දරනු ලැබුවා වුවද). බොහෝ දුරට ප්‍රචණ්ඩ-නොවන විරෝධයක් වූ වර්ගවාදයට එරෙහි විරෝධතාව මහජන අධිකාරීන්ගේ නියෝග සහ තහනම් කිරීම් නොතකා හැරියේ ඔවුනගේ අරගලයේ උතුම් වූ විමුක්ති අභිලාෂය වෙනුවෙනි. (ප්‍රචණ්ඩත්වයේ මෙවන් ආකාරයන් සංවර්ධිත බටහිර සමාජයන්හි බහුල වශයෙන් පවතී. – මෙහිදී අප යේමනය, ඇෆ්ගනිස්ථානය සහ සෝමාලිය වැනි තුන්වන ලෝකයේ රටවල දැනටමත් සිදු වෙමින් පවතින්නා වූද, නියතවම ඉදිරියේදීත් සිදු වනු ඇත්තා වූද, විශාල ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් නොතකා හරින්නෙමු). ජූනි මස 27 වනදා ගාඩියන් සඟරාව වාර්තා කළ පරිදි, “වර්ධනය වන ප්‍රචණ්ඩත්වයෙන්, ගැඹුරු වන දරිද්‍රතාවෙන් සහ දුර්භික්ෂයේ අවතාරයෙන් දැනටමත් කම්පනයට පත්ව සිටින රටවල් හරහා වසංගතය වේගයෙන් පැතිර යන්නට ඉඩ දුන හොත්, මේ ගිම්හානය ලෝකය මෙතෙක් දැන සිටි භයානකම ව්‍යවසනයේ සමාරම්භය වනු ඇත.” 
Unbelievable scenes': Hundreds of party-goers clash with police, loot shops in German cityමෙම ප්‍රචණ්ඩත්වයන් අතර වෙනස්කම් පැවතියදී වුවත්, ඒවා විසින් පොදුවේ බෙදා ගනු ලබන ප්‍රධාන පැතිමානයක් පවතී: එනම්, ඒ එකක්වත් අවම වශයෙන් සංගත සමාජ-දේශපාලන වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත් නොකිරීමයි. වර්ගවාදයට එරෙහි විරෝධතාවන් මෙම නිර්ණායකය සපුරන්නේ යැයි පෙනී යා හැකිය. නමුත්, එම විරෝධතාවන් වර්ගවාදයේ සහ ලිංගවාදයේ සලකුණු මකා දැමීමේ “දේශපාලනික නිරවද්‍යතාවයේ” හැඟීමට යටත් වන තරමට ඒවා අසමත් වේ. එම දේශපාලන නිරවද්‍යතාවයේ හැඟීම එහි ප්‍රතිපක්‍ෂයෙහි, එනම් නව-ගතානුගතිකවාදී චින්තන-පාලනයෙහි, සමීපයටම පැමිණේ. ජූනි මස 16 වෙනිදා රුමේනියානු නීති සම්පාදකයින් විසින් සම්මත කරන ලද නීතියකින් “ස්ත්‍රී-පුරුෂ සමාජ ලිංගිකත්වය ජීව විද්‍යාත්මක ලිංගයෙන් වෙන් කොට දක්වන්නා වූ න්‍යායන් සහ ආකල්ප” ඉගැන්වීම සියලුම අධ්‍යාපන ආයතනවලට තහනම් කෙරිණ. මධ්‍ය-දක්ෂිණාංශික සෙනෙට් මන්ත්‍රීවරයෙකු සහ විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වන ව්ලැඩ් ඇලෙක්සැන්ඩ්‍රෙස්ක්‍යු පවා මෙම නීතිය සමග “රුමේනියාව චින්තන-පාලනය හඳුන්වා දෙන පාලනාධිකාරයක් බවට පත් වීමෙන් හංගේරියාව සහ පෝලන්තය විසින් අනුබල දෙනු ලබන තත්ත්වය සමග සමපාත වන බව” සඳහන් කළේය. ස්ත්‍රී-පුරුෂ සමාජ ලිංගිකත්වය පිළිබඳ න්‍යායන් ඉගැන්වීම සෘජුවම තහනම් කිරීම යනු සැබවින්ම ජනතාවාදී නව-දක්ෂිණාංශික වැඩ පිළිවෙලේ පැරණි අංගයකි. නමුත්, වසංගතය විසින් එයට නව තල්ලුවක් දෙනු ලැබ තිබේ. වසංගතය වෙත දක්වනු ලබන නව-දක්ෂිණාංශික ජනතාවාදයේ සාමාන්‍ය ප්‍රතිචාරයක් නම්, අවසන් වශයෙන් ගත් කල වසංගතය බහු-සංස්කෘතිකවාදයේත් ද්විමය නොවූ බහුත්වවාදයේත් ආධිපත්‍යයට ලක් වූ අපගේ ගෝලීය සමාජයේ ප්‍රතිපලයක් වන්නේය යන්නයි. එබැවින්, එය සමග සටන් කිරීමේ මාර්ගය වන්නේ අපගේ සමාජවල තිරසාර සාම්ප්‍රදායික වටිනාකම් අනුව අපගේ සුවිශේෂී සංස්කෘතික මූලයන් අනුයමින් ජාතිකවාදී වීමය.
මෙහිදී ඇස් පනාපිට පෙනෙන ප්‍රති-තර්කයක් වන වසංගතය විසින් සෞදි අරාබිය සහ කටාර් වැනි මූලධර්මවාදී රටවල්ද විනාශයට පත් කෙරෙමින් තිබේය යන කාරණය අපි මදක් පසෙකින් තබා “චින්තන පොලිස්කාරකම්” පිළිබඳ ක්‍රියා මාර්ග කෙරෙහි අවධානය යොමු කරමු;  ඒවායෙහි පරිසමාප්ත ප්‍රකාශනය වන්නේ “තහනම් පොත්වල නාමාවලිය” නමැති අප්‍රසිද්ධ (කතෝලික) පොත් ලැයිස්තුවයි;  එහි ඇතුළත් වන්නේ එක්කෝ මිත්‍යා දෘෂ්ටික යැයි සැලකෙන නැතහොත් අදාළ ලැයිස්තුවේ සඳහන් පූජනීය සමූහයේ සදාචාරයට එරෙහි වූ ප්‍රකාශනයන්ය; එසේම, කතෝලිකයන් හට පූර්ව අවසරයකින් තොරව කියවීම තහනම් කොට ඇති පොත් පත්ය. මෙම ලැයිස්තුව මුල් කාලීන නූතනත්වයේ සිට 1966 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ අතර නිරන්තරයෙන්ම පුනරුත්ථාපනය කෙරිණ; එසේම යුරෝපීය සංස්කෘතිය තුළ සැළකිල්ලට ලක් වූ සියල්ලන්ම කිසියම් මොහොතක එයට ඇතුළත් විය; දර්ශනය තුළ ඩෙකාට්ගේ සහ කාන්ට්ගේ සිට සාත්‍ර සහ සිමොන් දි බුව්වා දක්වා අය එයට ඇතුළත් විය. මා මිත්‍ර ම්ලඩන් ඩොලර් වසර කිහිපයකට පෙර  සඳහන් කළ පරිදි, කිසියම් අවස්ථාවකදී එම ලැයිස්තුවට ඇතුළත් වූ සියලුම පොත් පත්වලින් සහ කතුවරුන්ගෙන් තොර යුරෝපීය සංස්කෘතියක් ඔබ පරිකල්පනය කළ හොත් ඉතිරි වනු ඇත්තේ මුඩු බිමකි. මා මෙම කාරණය සඳහන් කරන්නට හේතුව නම්, අපගේ සංස්කෘතිය වර්ගවාදයේ සහ ලිංගවාදයේ සියලුම සලකුණුවලින් ශෝධනය කිරීමේ මෑතකාලීන උනන්දුව ඉහත සඳහන් කරන ලද කතෝලික පල්ලියේ ලැයිස්තුව හසු වූ උගුලටම හසු වීමේ අනතුරක් පවතී යැයි මම කල්පනා කිරීමයි. අප වර්ගවාදයේ හෝ ලිංගවාදයේ කිසියම් හෝ සලකුණක් සහිත සියලුම කතුවරුන් අත හැර දැමුවහොත්, ඉතිරි වනු ඇත්තේ කුමක්ද? වචනයේ සැබෑ අරුතින්ම සියලුම ශ්‍රේෂ්ට දාර්ශනිකයන් සහ ලේඛකයින් අතුරුදන් වී යනු ඇත.Germany coronavirus: Anger after attempt to storm parliament - BBC News
අපි ඩෙකාට්ව නිදසුනක් ලෙස ගනිමු. ඔහුව එක්තරා අවස්ථාවක කතෝලික නාමාවලියට ඇතුලත් කොට තිබිණ. නමුත්, ඔහු සදාතනිකවම වර්ගවාදී සහ ලිංගවාදී වන බටහිර හෙජමොනියේ දාර්ශනික සමාරම්භකයා ලෙසද සැලකේ. අප අමතක නොකළ යුතු කාරණයක් නම්, සෑම දෙයක්ම සැක කිරීමේ ඩෙකාට්ගේ ස්ථාවරයේ පදනම්මය අත්දැකීම වන්නේ නිශ්චිතවම යමෙකුගේ ස්වීය සම්ප්‍රදාය අපට අනෙකුන් ලෙස පෙනෙන අයවලුන්ගේ “අවිධිමත්” සම්ප්‍රදායන්ට වඩා හොඳ එකක් නොවේය යන “බහු-සංස්කෘතික” අත්දැකීම බවයි. ඔහු ඔහුගේ “ක්‍රමවේද පිළිබඳ කතිකාව” නමැති ලියවිල්ලෙහි සඳහන් කරන පරිදි, “අපගේ සම්ප්‍රදායන්ට හා ගති සිරිත්වලට පරස්පර වන සම්ප්‍රදායන් හා ගති සිරිත් අවශ්‍යයෙන්ම ම්ලේච්ජ හෝ ගෝත්‍රික ඒවා නොවන බවත්, ඇතැම්විට ඒවා අපගේ තරමටම හෝ අපටත් වඩා දුරට තර්ක බුද්ධියෙන් යුක්ත වන බවත්” ඔහු කළ සංචාරයන් තුළදී හඳුනාගෙන තිබේ. කාටීසියානු දර්ශනිකයෙකුට ජනවාර්ගික මූලයන් හෝ ජාතික අනන්‍යතාව සරලව සත්‍යයෙහි සංඝටකයක් නොවන්නේ මෙනිසාය. ඩෙකාට් එකෙනෙහිම ස්ත්‍රීන් අතර ජනප්‍රිය වූයේද මෙනිසාය. ඔහුගේ මුල්ම පාඨකයින්ගෙන් කෙනෙකු සඳහන් කළ පරිදි, “කොගිටෝවට නොහොත් පවිත්‍ර චින්තනයේ විෂයට ලිංගයක් නොමැත.” ලිංගික අනන්‍යතා ජීව විද්‍යාත්මකව නිශ්චය වනවා නොව සමාජයීයව ගොඩ නංවනු ලබන්නේය යන වත්මන් කියා පෑම් පැවතිය හැකි වන්නේ කාටීසියානු සම්ප්‍රදායේ පසුබිම තුළ පමණි. ඩෙකාට්ගේ චින්තනයෙන් තොරව නූතන ස්ත්‍රීවාදය සහ වර්ගවාද-විරෝධය පැවතිය නොහැකිය.

The Life of Epicurus - Owlcation - Education
Epicurus
ඉදින්, ඩෙකාට් වරින් වර වර්ගවාදයට සහ ලිංගවාදයට ඇද වැටීම නොතකා හරිමින් ඔහුව සැමරුම් ලැබීමට සුදුසුය. එසේම, අප එම නිර්ණායකය අපගේ දාර්ශනික අතීතයේ සියලුම ශ්‍රේෂ්ට නම් සඳහා අදාළ කළ යුතුය: ප්ලේටෝ සහ එපිකියුරස්ගේ සිට කාන්ට් සහ හේගල් දක්වා, මාක්ස් සහ කීකගාඩ් දක්වා එය අදාළ කළ යුතුය. නූතන ස්ත්‍රීවාදය සහ වර්ගවාද-විරෝධය පැන නැගුණේ මෙම දිගු කාලීන විමුක්ති සම්ප්‍රදාය තුළිනි. එසේම, මෙම උතුම් සම්ප්‍රදාය පිළිකුල් සහගත ජනප්‍රියවාදීන්ට සහ ගතානුගතිකවාදීන්ට හිමි කර දීම අමු පිස්සුවක් වනු ඇත.
එම තර්කය බොහෝ මතබේදාත්මක දේශපාලන චරිතවලටද අදාළ වේ. ඔව්, තෝමස් ජෙෆර්සන් සතුව වහලුන් සිටි අතර ඔහු හයිටියානු විප්ලවයට එරෙහි විය. නමුත්, ඔහු පසුකාලීන කළු ජාතික විමුක්තිය සඳහා දේශපාලනික-දෘෂ්ටිවාදීමය පදනම් ගොඩ නැගුවේය. එසේම වඩාත් පොදු දැක්මකින් බැලූ කල, බටහිර යුරෝපය ඇමෙරිකා ප්‍රදේශය ආක්‍රමණය කිරීම මගින් ඇතැම්විට ලෝක ඉතිහාසයේ විශාලතම මිනිස් සංහාරය සිදු කළේය. නමුත්, යුරෝපීය චින්තනය අද අපට එකී භීෂණයේ පූර්ණ පරිමාව වටහා ගැනීමට අවශ්‍ය දේශපාලනික-දෘෂ්ටිවාදීමය පදනම් ගොඩ නැගීය. තවද, එය අදාළ වන්නේ යුරෝපය සම්බන්ධයෙන් පමණක් නොවේ; ඔව්, තරුණ ගාන්ධි දකුණු අප්‍රිකාවේ විසූ ඉන්දියානුවන්ගේ සමාන අයිතීන් වෙනුවෙන් සටන් කරන විට ඔහු කළු ජාතීන්ගේ අසරණභාවය නොතකා හැරීය. නමුත්, කෙසේ වෙතත්, ඔහු මේ තාක් කල් පැවති විශාලතම යටත් විජිත විරෝධී ව්‍යාපාරය සාර්ථකත්වයෙන් අවසන් කළේය.  එහෙයින්, අප අපගේ අතීතය (විශේෂයෙන්ම අපගේ වර්තමානය තුළ පවත්නා අතීතය) පිළිබඳව නිර්දය ලෙස විවේචනාත්මක විය යුතු අතරම, අප ස්වයං-අවමානයට ලක් විය යුතුද නැත – ස්ව-අවමානය මත පදනම් වී අනෙකාට ගෞරව කිරීම නිරන්තරයෙන්ම සහ නිර්වචනාත්මකවම සාවද්‍ය වූවකි. පරස්පරතාව වන්නේ අපගේ සමාජවල වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණවලට සහභාගී වන සුදු ජාතිකයින් බොහෝ විට ස්වකීය වරදකාරීත්වය කුහක ලෙස රස විඳින ඉහළ මධ්‍යම පන්තිකයින් වීමය. ඇතැම් විට, මේ විරෝධතාකරුවන් ප්‍රමාණවත් තරමින් රැඩිකල් නොවූයේය යන චෝදනාවට කිසිසේත් ලක් කළ නොහැකි ෆ්රාන්ට්ස් ෆැනොන්ගේ පාඩම් උගත යුතුය:
“මිනිසෙකු මනුෂ්‍යාත්මයේ උදාරත්වයේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වන සෑම විටෙකම, මිනිසෙකු තම සගයින් පීඩනයට ලක් කරන්නට දරන ප්‍රයත්නයකට එරෙහි වන්නා වූ සෑම විටෙකම ඔහුගේ ක්‍රියාව පිළිබඳ සහයෝගීතා හැඟීමක් මා තුළ ජනිත වේ. මගේ මූලික ප්‍රයුක්තිය කිසිසේත්ම වර්ණ මිනිසුන්ගේ අතීතය කෙරෙන් ගොඩ නගා ගත යුත්තක් නොවේ. (…) මගේ කළු සම කිසියම් සුවිශේෂී වටිනාකම්වල කෝෂ්ඨාගාරයක් නොවේ. (…) සුදු මිනිසා තුළ මගේ වර්ගයාට එරෙහි අතීතය සම්බන්ධ වරදකාරීත්වය කැටි ගැසී ඇතැයි අපේක්ෂා කිරීමට වර්ණ මිනිසෙකු ලෙස මා හට කිසිදු අයිතියක් නොමැත. මගේ පැරණි ස්වාමියාගේ ගරුත්වය යටපත් කර දැමීමේ මාර්ග සෙවීමට වර්ණ මිනිසෙකු ලෙස මා හට අයිතියක් නොමැත. යටහත්භාවයට පත් කරන ලද මගේ මුතුන් මිත්තන් වෙනුවෙන් හානිපූරණ ඉල්ලීමට මට අයිතියක් හෝ වගකීමක් ඇත්තේ නැත. කළු ජාතික ප්‍රයානයක් නොපවතී. (…) සුදු ජාතික බරක් නොපවතී. [. . .] මම අද දවසේ සුදු මිනිසුන්ගෙන් දාහත් වන සියවසේ විසූ වහල් වෙළඳාමේ යෙදුනවුන් ගැන පිළිතුරු ඉල්ලා සිටින්නට යන්නේද? මම ඔවුනගේ ආත්ම තුළ වරදකාරීත්වයේ හැඟීම වර්ධනය කරන්නට හැකි සෑම අයුරකින්ම ප්‍රයත්න දරන්නට යන්නේද? (…) මම මගේ මුතුන් මිත්තන්ව නිර්-මානුෂිකකරණයට ලක් කළා වූ වහල්භාවයේ වහළෙකු නොවෙමි.”
අප සුදු ජාතිකයින්ගේ සාමාන්‍යීකරණය කරන ලද වරදකාරීත්වය පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කරන්නෙමු නම්, සැබවින්ම අප අඛණ්ඩව පවතින ඔවුනගේ දේශපාලනිකව නිවැරදි වර්ගවාදයද කිසිසේත්ම ඉවසිය යුතු නැත; එම වර්ගවාදයේ නිදර්ශක සිද්ධිය වනුයේ සෙන්ට්‍රල් පාක්හිදී කැමරාගත කරන ලද කුප්‍රකට ඇමී කූපර් වීඩියෝවයි. රසල් ස්බ්‍රිග්ලියා ඒ පිළිබඳව මෙසේ පැවසීය:
“එම වීඩියෝවේ අභව්‍ය සහ වඩාත්ම අමිහිරි කොටස වන්නේ මෙයයි; ඇය 911 අංකය ඇමතීමට පෙර එකී කළු මිනිසාට සහ
දුරකථන ඇමතුම අතරතුරදී එකී පොලිස් නිලධාරියාට විශේෂයෙන් පවසන්නේ ‘අප්‍රිකානු ඇමෙරිකානු මිනිසෙක්’ ඇයට ජීවිත තර්ජනයක් එල්ල කරන ලද බවයි. ඒ හරියට දේශපාලනිකව නිවැරදි බර වචනයක් (‘කළු’ වෙනුවට ‘අප්‍රිකානු ඇමෙරිකානු’ යන යෙදුම) නියමානුකූලව භාවිතා කරන විට ඇය කරමින් සිටින දෙය වර්ගවාදී වීමට නොහැකිවාක් මෙන්ය.”
අපගේ වරදකාරීත්වය විපරීත අන්දමින් වින්දනය කිරීම (සහ එලෙසින් සැබෑ ලෙසම ගොදුරු වූවන්ට අනුග්‍රහ දැක්වීම) වෙනුවට අපට අවශ්‍ය වන්නේ සක්‍රීය සහයෝගීතාවකි. වරදකාරීත්වය සහ ගොදුරුභාවය අපව අක්‍රීයත්වයට පත් කරවයි. අපට වර්ගවාදය සහ ලිංගවාදය පරාජය කළ හැක්කේ අප එකිනෙකාව වගකීම් සහගත වැඩිහිටියන් ලෙස සලකමින් අපට එක්ව ක්‍රියා කළ හැකි විටදී පමණි.
– පරිවර්තනය: සුමිත් චාමින්ද  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *