ජනකාන්තවාදයේ චම්පික සූත්‍රය (01) – විදර්ශන කන්නන්ගර

පාඨලී චම්පික රණවක මහතා සිය දේශපාලන මතවාදය නම් කරන්නේ ප්‍රායෝගිකතාවාදයක් (pragmatism) ලෙසය.එය යළි සනාථ කරමින් දෝ ඔහු ඇතුළු ක්‍රියාකාරී කණ්ඩායම හෙළ උරුමය පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමක් පසුගිය 12 දා සංකේතාත්මකව සිදු කරන ලදි. සිය නව හැරවුම පිළිබඳව ඔහු ඇතුළු පාර්ශ්වය දක්වන අදහස වන්නේ නව ජාතික සමාජ බලවේගයක් ගොඩනැගීමේ අරමුණෙන් ගත් තීරණයක්ය යන්නයි. බොහෝදුරට එම තීරණයේ ආසන්න අරුත වන්නේ සමගි ජන බලවේගය නිශ්චිත පක්ෂ ව්‍යවස්ථාවකට අනුව ගොඩ නගමින් තමා එහි ඉහළ නායකත්ව නියෝජනයක් ලෙස ස්ථාන ගතවීම බව දැනට ඇසෙන දේශපාලන ආරංචි මාර්ගයන්ගේ අදහසයි. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් බලාධිකාරයට තිබූ දකුණේ ජනතා ආකර්ෂණය සැලකිය යුතු තරමින් බිඳ වැටෙමින් ඇති යථාර්ථයක චම්පික ඇතුළු පිරිස ගත් මෙම හදිසි තීරණය ඉදිරි විපාක්ෂික දේශපාලනයේ පෙළගැසීම පිළිබඳ යම් තීරණාත්මක නිවේදනයකි.

චම්පිකලාගේ අලුත් පසමිතුරුතාව

චම්පික රණවක මහතා මෑත කාලය පුරාම තම කණ්ඩායමේ අනාගත දේශපාලන න්‍යාය පත්‍රය නව පසමිතුරු කතිකාමය බෙදීමක පිහිටුවමින් ඇති බවක් නිරීක්ෂණය වේ. ඔහුගේ වචනවලට අනුව එම බෙදුම් රේඛාව යනු “ගජමිතුරු වංශක්කාර මංකොල්ලකරුවන්ට එරෙහිව කුසලතා හා නිපුණතා පූර්ණ පරිපූරක අභිලාෂයන් ජයග්‍රහණය කරවීමයි. “වංශක්කාර මංකොල්ලකරුවන්” ලෙස වන ඔහුගේ මෙම නාමකරණයේ ආසන්න දේශපාලන පසමිතුරු අනෙකා වන්නේ රාජපක්ෂ බල හවුල බව පැහැදිලිය. ඊට එරෙහිව ඇති අක්ෂය ලෙස ඔහු දක්වන්නේ පහළ සමාජ ස්ථරයන්ගෙන් පැන නැග ‘නිදහස් අධ්‍යාපන විප්ලවය’ නිසා සමාජ නිපුණත්වය හා බුද්ධිමය ශක්‍යතා අත්කර කරගත් නමුත් පවතින ප්‍රභූ (වංශක්කාර) ආධිපත්‍යය විසින් ආන්තික කෙරුණු අද දවසේ ශේෂ පරම්පරාවයි. මින් අනියමින් කියැවෙන්නේ තමා (චම්පිකලා) නියෝජනය කරන සමාජ ශ්‍රේණියක් පිළිබඳවයි.

සිය ඉදිරි දේශපාලන අධිෂ්ඨානය වෙනුවෙන් චම්පිකලා සංවිධානය කරමින් තිබෙන මෙම ජනප්‍රිය පසමිතුරුතාව පිටුපස තිබෙන්නේ ඔහු සිය දේශපාලන දර්ශනය යැයි වහරන ‘ප්‍රායෝගිකතාවාදය’ පිළිබඳ සලකුණක්ද? චම්පිකගේ ‘ප්‍රායෝගිකතාවාදය’ සරල මතික අවස්ථාවාදයකට මුළුමනින්ම ඌනනය කළ නොහැකි එක්තරා අඩංගුවක් ඇත. එය වනාහී සිය දේශපාලන උපමාරු සදහා යම් දෘෂ්ටිමය න්‍යායික සුජාතබවක් ලබාගැනීමට ඔහු දක්වන නැඹුරුව යැයි කිවහැකිය. චම්පික ඇතුළු කණ්ඩායම යනු ගෝලීය-ලංකා බුද්ධිමය දේශපාලන ප්‍රවණතා පිළිබඳ යම් සෙවිල්ලකින් යුතු පිරිසකි. එනිසා සිය දේශපාලන උපක්‍රම තේරීම් හුදු ‘අවස්ථාවාදයක්’ ලෙස නොපෙනෙන අයුරින් දෘෂ්ටිමය ලෙස පින්තාරු කිරීමට ඔවුන් දක්ෂය. චම්පික සිය දේශපාලනය අවස්ථාවාදයක් නොව ප්‍රායෝගිකවාදයක් ලෙස වෙන්කර දැක්වීමේ හැකියාව ලබාගන්නේ මෙම බුද්ධිමය වරපත්‍රය හරහාය. ඊට එක් කදිම සාක්ෂියක් වන්නේ ‘ලිබරල්වාදයේ අවසානය’ නමින් ඔහු මෑත කාලයේ ලියූ ලිපියකි. වාමාංශික ජනප්‍රියවාදය/ජනතාවාදය (Left Populism) නමින් අප මෑත ලංකාවේ වාම බුද්ධිමයට සංවාදයට එක් කළ හා අද දවසේ ගෝලීය වාම බුද්ධිමය පර්ෂද තුළ නැවුම් ලෙස සාකච්ඡා වන ‘ජනප්‍රියවාදය’ නම් වූ ප්‍රවණතාව ගැන චම්පික එහිදී සිය අවධානය යොමු කර ඇත. එම සටහන ඔහු අවසන් කරන්නේ මෙසේය. (මෙහි Populism යන පදයට ඔහු දෙන වචනය වන්නේ ‘ජනකාන්තවාදය’යි)
// දැන් යුරෝපයේ හා පොදුවේ ලෝකයේ ඇත්තේ ප්‍රධාන දේශපාලන චින්තනමය දහරා දෙකකි.

දක්ෂිණාංශික ජනකාන්තවාදය (Rightwing Populism)

වාමාංශික ජනකාන්තවාදය (Leftwing Populism)

දක්ෂිණාංශික ජනකාන්තවාදීන්ගේ නායකයින් දෙපළ ඩොනල්ඞ් ට්‍රම්ප් හා බොරිස් ජොන්සන් ය. ඔවුහු පවතින ආර්ථික, පරිපාලනමය හා තාක්ෂණික ප්‍රභූ පන්තියට අභියෝග කරති. ඒ අතරේම සංක්‍රමණිකයන්, කළු හා මුස්ලිම් ජාතිකයන් බැහැර කරති. ගෝලීයකරණය වෙනුවට ආරක්ෂණවාදය යෝජනා කරති. ආගමික හා ජාතිකමය චින්තන මත පදනම් වෙති.

වාමාංශික ජනකාන්තවාදීන්ද ප්‍රභූවාදය ප්‍රතික්ෂේප කරති. (ඉතාලි, යුක්රේන නායකයින්) නමුත් කිසිදු ජන කොටසක් බැහැර නොකරති. අව වරප්‍රසාදිත ජනයා මත හා ඔවුන්ගේ සුභසාධනවාදී බලාපොරොත්තු මත පදනම් වෙති. ආසන්නයෙන් ගතහොත් ලංකාවේ දක්ෂිණාංශික ජනකාන්තවාදය නොහොත් ට්‍රම්ප්වාදය ඇත්තේ රාජපක්ෂ කඳවුරේය.
අනෙක් පසින් අව වරප්‍රසාදිත ජනයාගේ අභිලාෂ නියෝජනය කරන නිර්ප්‍රභූ දේශපාලනය ඇත්තේ සමගි ජනබලවේගයේ ය.
මෙය අලුත් තත්ත්වයකි. මෙය තේරුම් ගැනීම, තිස් වසරකට පෙර අවසන් වූ කොමියුනිස්ට්වාදය අදහන්නන්ටත්, අවසන්වෙමින් ඇති ලිබරල්වාදය අදහන්නන්ටත් දැන් අත්‍යවශ්‍යය.//

මංකොල්ලකාර වංශක්කාර පන්තියට එරෙහිව කුසලතා පූර්ණ නිදහස් අධ්‍යාපනයේ දරුවන් යන පසමිතුරුතාව සලකුණු කිරීමේදී ‘වාම ජනප්‍රියවාදය’ ලෙස කතිකාගත කෙරුණු ඉහත බෙදුම් රේඛාව පිළිබද චම්පිකට යම් දැනුවත් බවක් තිබෙන බව පෙනෙයි. ජනප්‍රියවාදයේ මූලික කතිකාමය උපායමාර්ගය වන ‘ප්‍රභූ සංස්ථාපිතයට එරෙහිව ජනතාව’ යන බෙදීම චම්පික මෙහිදී ආසන්නයෙන් උපුටා තිබේ.

චම්පිකගේ මේ මොහොතේ ප්‍රායෝගිකවාදය වැඩ කරන්නේ මෙකී හදිසි දේශපාලන සංවාදය කෙරෙහි වන සංවේදීතාවකින් යුතුව බව මින් පෙන්නුම් කෙරෙයි. එහෙත් ඔහුට අවශ්‍ය වන්නේ එම නැවුම් සංවාදයේ මතුපිට රැල්ල පමණක් බව පෙනෙන්නේ එය සිය හදිසි දේශපාලන පෙළගැසීම සදහා ආයෝජනය කරනා රටාව ඇසුරෙනි.
චම්පික විසින් වහරන ‘ප්‍රායෝගිකතාවාදය’ යන අදහසට යම් න්‍යායික හැඩයක් ඇත. (එහි චින්තන මැදිහත්කරුවන් වූයේ 19 සියවසේ අවසන් භාගය තුළ ඇමරිකාවේ සිටි සී.ඇස්. පියර්ස්, විලියම් ජේම්ස් හා ජෝන් ඩිව්යු වැනි අයයි.) යම් අදහසක, සංකල්ප රාමුවක, යෝජනාවක හා ප්‍රතිපත්තියක ඇති යහපත හා අයහපත විමසීම වෙනුවට එහි ක්‍රියාත්මක සාධ්‍යතාව පමණක් අවධාරණය කිරීම ප්‍රයෝගිකතාවාදයේ ලක්ෂණය වේ. සංකල්පයක ඇති වැරදි නිවැරදි බව එහි සත්‍යාපනය (Verification) මගින් පමණක් සොයා ගැනීම මින් සිදුකෙරෙයි. යම් සංයුක්ත විෂයයක් හදිසි ක්‍රියාවක් සඳහා වන හුදු ආයුධයක් ලෙස පමණක් මෙහිදී යෙදවෙයි. ප්‍රතිඵල මුදුන් පමුණුවා ගැනීම සඳහා ‘කළ යුතු දේ කිරීම’ හෝ ‘කරවා ගැනීම’ මෙහිදී මූලික වේ. අචල ප්‍රතිපත්ති හා පැහැදිලි න්‍යායක් වෙනුවට පවතින අත්දැකීමට හා ක්‍රියාවට හැඩ ගැසීම මින් අවධාරණය කෙරෙයි.

චම්පිකගේ ජනකාන්තවාදය

චම්පික මෙවර වාමාංශික ජනකාන්තවාදයක් ගැන වහරමින් තිබෙන්නේ ඔහුටම අනන්‍ය වූ ප්‍රායෝගිකතාවාදයේ ඊළඟ පියවර තැබීමේ අරමුණෙන් බව පෙනෙයි. අව වරප්‍රසාදිත ජන අභිලාෂ නියෝජනය කිරීමේ මේ මොහොතේ නිර්ප්‍රභූ දේශපාලනය පිළිබඳ අදහස ඔහු සමගි ජන බලවේගයට අන්දවා ඇති අයුරු ඔහුගේම වචනයෙන් මා ඉහත උපුටා තිබෙයි. ඊට සමාන්තරව ඔහු ජාතික හෙළ උරුමයේ නායකත්වය අතහැර සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාපිත ඉහළ නායක භූමිකාවක් වෙනුවෙන් චලනයක් ගෙන තිබෙන බව නිරීක්ෂණය වේ. ඒ අනුව සිය වත්මන් දේශපාලන පෙරමුණ වෙත වාම ජනකාන්තවාදයේ දෘෂ්ටිමය ආවරණයක් සැපයීමේ නායකත්ව භූමිකාවද ඔහු ප්‍රදර්ශනය කරන බවක් දක්නට ලැබෙයි.

නව ග්‍රාම්ස්චියානු කණ්ඩායම විසින් වාමාංශික ජනප්‍රියවාදය/ජනතාවාදය යැයි හදුන්වන සංසිද්ධිය සංක්ෂිප්තව දක්වනවා නම් ඉන් කියැවෙන්නේ ‘ප්‍රභූ සංස්ථාපිතයට එරෙහිව ජනතාව’ යන බෙදුම් රේඛාවක් සටහන් කිරීමේ නව කතිකාමය උපාය මාර්ගයකි. නව ලිබරල්වාදයේ සම්මුතික දේශපාලනය නිසා නිපන් පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමේ මූලෝපායක් ලෙස එය නම් කළ හැකිය. එනම් සමානාත්මතාව හා නිදහස අවධාරණය කෙරෙන සමාජ සාධාරණත්වයේ වාමාංශික ආදර්ශය මත පිහිටා යටපත්කරණයේ හා මර්දනයේ විවිධ මාදිලීන්ට එරෙහිව බහුවිධ විමුක්තීන් පොදු අදිටනක් වටා සන්ධාන ගත කිරීමේ උපාය මාර්ගයකි.

චම්පිකලාගේ පෙරමුණ දැන් කරන්නට යන්නේ එවැනි වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්ද? ‘අව වරප්‍රසාදිත ජනතාවගේ සුබසාධන පොරොන්දු’ හා ‘කිසිදු ජනතාවක් බැහැර නොකිරීම’ යන චම්පිකගේ වාගාලංකාරයන් වාමාංශික ජනප්‍රියවාදයේ ඉහත මූලික දැක්ම සමග මතුපිට සමානකමක් පෙන්නුම් කළාට එම ජනප්‍රියවාදයේ මූලික හරය තුළ ඇත්තේ වාම රැඩිකල්කරණීය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකි. “අව වරප්‍රසාදිත කුසලතා පූර්ණ පරපුරට හිමි තැන යළි ලබාදීමට” වඩා එය පුළුල් වාමගාමී ප්‍රතිපත්ති මත රැඳී තිබෙයි.

චම්පිකගේ ජනකාන්තවාදය තුළ ඇති ආර්ථික දැක්මට අනුව මූල්‍ය කතිපයාධිපත්‍යයට (Financial oligarchy) එරෙහි අත්‍යවශ්‍ය වැඩපිළිවෙළක් යෝජනා වන්නේ නැත. ඒ වෙනුවට ගෝලීය මූල්‍ය ආයතනයන් හා විදේශිය තන්ත්‍රයන්ගේ ණය මත දීර්ඝ කාලයක් යැපීම නිසා උද්ගත වූ ණය අර්බුදයේ තීව්‍රතාව අවම කිරීමේ අදහස් පමණක් විවිධ ස්වරූපයන්ගෙන් ප්‍රකාශ වීම පමණක් සිදුවේ. ‘මංකොල්ලකාරී වංශක්කාරත්වයට’ එරෙහිවීමේ ප්‍රකාශයන්ගෙන් මහා ප්‍රාග්ධනයේ චලනයට හෝ ඉහළ ධන කුවේරයන්ගේ මූල්‍ය සමුච්චනයට සිදුකරන්නේ කුමක්දැයි කියැවෙන්නේ නැත. ඒ වෙනුවට යළි වර නැගෙන්නේ ඉහළ මූල්‍ය ආර්ථික තලය තුළ වන ප්‍රභූ ආර්ථික දූෂණය පිරිපහදු කිරීමේ උවමනාවක් පමණි. වෙනත් වටයකින් එය දූෂණ විරෝධී යහපාලන කතිකාව ප්‍රායෝගිකවාදී ස්වරූපයෙන් ප්‍රකාශමාන කිරීමක් යැයි ද කිව හැකිය. ඉහළ මාලයේ මූල්‍ය ආර්ථික ආයෝජනයන්ට ‘විනිවිදභාවයකින්’ යුතුව දිරි දීම හරහා එහි ප්‍රතිලාභ පහළ සමාජ ස්ථරයන්ට ප්‍රති ව්‍යාප්ත කිරීමේ ආර්ථික උපක්‍රමය හැර වෙනත් සාධරණ-සමානතා ආර්ථික දර්ශනයක් චම්පිකලා අතින් කියැවෙන්නේ නැත. ‘ජනතා ආර්ථිකය’ නමින් රාජපක්ෂ පාලනය අනුදත් ආර්ථික ප්‍රතිපත්තිය වූයේ ද මෙම ස්ථරායණීය කාන්දුකරණ ක්‍රියාන්විතයයි. රාජපක්ෂය හා සම්බන්ධ වූ ගනුදෙනුකාර ඉහළ ව්‍යාපාරික-දේශපාලන කණ්ඩායම් මෙම ඉහළ මූල්‍ය-ආයෝජන තලය තුළ දූෂිත ප්‍රභූ පරපෝෂිත භූමිකාවක් අත්කරගෙන ඇති බව පැහැදිලිය. ඉහළ ආර්ථික ප්‍රතිලාභ සම්පාදන හා ධනෝපායන තලයේ ප්‍රභූන් වී හා වෙමින් ඇති පිරිස මංකොල්ලකාරී වංශවතුන් ලෙස චම්පික හඳුනා ගන්නා විට එය නිවැරදිය. එහෙත් තවත් ගනුදෙනුකාර ව්‍යාපාරික- දේශපාලන ස්ථරයක් මත ගොඩනැගී ඇති පෙරමුණක නායකත්ව නියෝජනයන් සහිත චම්පිකලා අතින් ඊට වඩා ගැඹුරු විකල්පයක් යෝජනා වීමට ඉඩක් නැත.

වාමාංශික ජනප්‍රියවාදයේ /ජනතාවාදයේ අරගලය

වාමාංශික ජනප්‍රියවාදයේ/ජනතාවාදයේ ආර්ථික-දේශපාලන අරගලය යනු ඉහත චම්පික දක්වන ‘ප්‍රායෝගිකතාවාදී’ ආර්ථික යෝජනාවන්ට වඩා සමාජ සාධාරණත්වයේ තියුණු අපේක්ෂා පෙරටු කර ගත් ඒවාය. පැහැදිලිවම නව ලිබරල් ධනවාදයට එරෙහිව විකල්ප දේශපාලන- ආර්ථික මොඩලයක් ඉදිරිපත් කරමින් පැන නැගි වාමගාමී ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන්ගෙන් එම වාමාංශික ජනප්‍රියවාදය/ජනතාවාදය සංයුක්ත විය. විශේෂයෙන්ම එම විකල්ප ආර්ථික-දේශපාලන උද්වේගයන් මතුවූයේ 2008 මූල්‍ය-ආර්ථික අර්බුදය නිසා ඇමරි-යුරෝ රටවල පැන නැගි විපාකයන්ට එරෙහි ප්‍රතිචාරයක් ලෙස බව මෙහිදී සිහිපත් කළ හැකිය. 2011 වෝල් ස්ටී්‍රට් අල්ලා ගැනීමේ ව්‍යාපාරය එක් නිදසුනක් කර කියනවා නම් එය මූලිකවම පදනම් වූයේ 1% ධනපති ස්ථරයට එරෙහිව 99% නිර්ධන ජනයාගේ අයිතීන් යන සටන් පාඨය යටතේය. ඉන්පසු දියත් වූ බර්නි සැන්ඩර්ස්ගේ නායකත්වයෙන් යුතු ව්‍යාපාරය විසින් පෙරට ගත් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, අවම මූලික වැටුප් ඇතුළු ආර්ථික අයිතිවාසිකම් යනු සමානාත්මතාවයේ පදනම මත පැන නැගි අරගලයන් විය. බි්‍රතාන්‍යයේ පැන නැගි වාමාංශික ජනප්‍රියවාදී අරගලය මූලිකවම කම්කරු පාන්තික අයිතිවාසිකම් අවධාරණය කිරීමට නොපසුබට වූවක් විය. සුබසාධන කප්පාදු කිරීම්වලට එරෙහිව ජනසතුකරණ ආර්ථික ඉල්ලීම් එහි ප්‍රමුඛ විය. ජෙරමි කෝර්බින් වැනි නායකයෝ සෘජුවම සමාජවාදය වෙනුවෙන් හඬ නගන්නන් වූහ. ග්‍රීසිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය ඇතුළු යුරෝපය හරහා ද හමා ගිය හා හමා යමින් තිබෙන වාමාංශික ජනප්‍රියවාදයේ සුළඟ ප්‍රජාතන්ත්‍රවාදී බල තරගය තුළ හමා යන්නේ සිය රටවල ආර්ථික ප්‍රභූතන්ත්‍රයන්ට එරෙහිව බහුතර පහළ පාන්තික ජනයාගේ ආර්ථික යුක්තිය අධි අවධාරණය කරමිනි. මෙම ජනප්‍රියවාදයන් ‘නිර්ධන පාන්තික විප්ලවය’ වැනි පන්ති ඌනතිවාදයන් මත පිහිටා නොමැති වුවද ‘ජනතාව’ නම් වූ එහි සුසම්බන්ධිත අර්ථය තුළ බහුතර වැඩ කරන ජනයාගේ ආර්ථික අයිතීන් ඉතා ප්‍රමුඛය.

දක්ෂිණාංශික උරුමය

එහෙත් චම්පිකලාගේ ජනකාන්තවාදය යනු ඉහත වාමාංශික ජනප්‍රියවාදයේ මූලික හරය හදිසි දේශපාලන ප්‍රයෝජ්‍යතාව වෙනුවෙන් අපහරණය කිරීමක් බව පැහැදිලි වන්නේ නව ලිබරල් ගෝලීයකරණයේ ප්‍රභූ තන්ත්‍රවාදී ආර්ථික ස්ථරායණයට විකල්පයක් ඉන් යෝජනා නොකෙරෙන නිසා පමණක් නොවෙයි. ඊටත් වඩා වාමගාමී ජනප්‍රියවාදය විසින් අවධාරණය කරන සමානාත්මතාවයේ බහු විධ මානයන් චම්පිකලාගේ දේශපාලනය තුළ නියෝජනය වන්නේ නැත. එක් පසෙකින් ලිබරල්වාදයේ ශේෂ වූ වටිනාකම් මත පිහිටා ලංකාවේ මතු වී ඇති සුවිශේෂී අනන්‍යතා හා මිනිස් නිදහස් අයිතිවාසිකම් පිළිබඳව චම්පිකලාගේ ආධිපත්‍යධාරී සිංහල බෞද්ධ දේශපාලන අභිලාෂයන්ට තවමත් ඇත්තේ ආන්තික හෝ බැහැර කිරීම්වාදී ප්‍රතිචාරයකි. අනෙක් අතට ‘කිසිදු ජනකොටසක් බැහැර නොකිරීම’ වැනි චම්පිකගේ මෑත දේශපාලන අලංකාරිකයන් යොමුවන්නේ තම බල හැරවුමට උපක්‍රමිකව වාසිදායක තත්ත්වයන් උරගා බැලීමට මිස ලංකාවේ ජන වර්ගයන්ගේ සුවිශේෂී දේශපාලන හා සංස්කෘතික අයිතීන් කෙරෙහි සංවේදී ග්‍රහණය කරගැනීමක් ලෙස නොවෙයි. ඊටත් වඩා මෑත දශක තුළ මතු වූ රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදයේ ප්‍රධාන සංවිධායකයන් වන ඔහු ඇතුළු කණ්ඩායම වත්මන් ජනවාර්ගික ආතතීන් හා බෙදීම් නිර්මාණය කිරීමෙහිලා තීරණාත්මක දෘෂ්ටිමය දායකත්වයක් සැපයූ පිරිසකි. හරියටම කිවහොත් අද දවසේ වාම ජනකාන්තවාදයක් ගැන විවිධ කතා කීවාට දෙදාහ දශකයේ ලංකාව තුළ දක්ෂිණාංශික ජනප්‍රියවාදයක පැන නැගීමට ප්‍රධාන දොරටු විවර කළ ක්‍රියාකාරී කණ්ඩායම වූයේ ද චම්පිකලාමය. එපමණක් නොව අද දවසේ ඔවුනගේ විවේචනයට ලක්වන වත්මන් මංකොල්ලකාර වංශක්කාර පන්තියේ සම්භවය ඇත්තේද චම්පිකලාගේ දේශපාලන ශරීර හරහාය. වත්මන් දක්ෂිණාංශික ප්‍රභූවාදය නිර්මාණය වීම පිටිපස ඇති චම්පිකලාගේ දේශපාලන භූමිකාව සරල නැත. චම්පිකලාට වෙනස් ජනතාවාදී දේශපාලන ගමනක් යෑමට සැබවින්ම අවශ්‍ය නම් එය කළයුතු වන්නේ සිය දක්ෂිණාංශික වාර්ගික-ජාතිකවාදී දේශපාලන අතීතය පිළිබඳ තියුණු ස්වයං විවේචනයක් මතුකර ගැනීමෙනි. අවශ්‍ය නම් ඊට ඉඩක් දැන් ඔවුනට විවරව ඇත. චම්පිකලාගේ මෙම අතීත ‘දක්ෂිණාංශික ජනකාන්තවාදයේ’ දිශානතිය පිළිබඳ මීළඟ ලිපියකින් ලිවීමට ඉඩ තබා දැනට නවතිමි.

 

උපුටා ගැනීම රාවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *