කපුරු මල් වවන, ලොව මෙතෙක් සිටි පී‍්‍රතිමත් ජනපති 

දකුණු අමෙරිකාවේ පුංචි රටක් වූ උරුගුවේ රාජ්‍යයේ ජනපතිවරයාට බොහෝ දෙනකු කියන්නේ ‘ලෝකයේ දුප්පත් ම ජනපති’ කියාය. ඒ, ඔහු ලෝකයේ වෙනත් රටවල ජනපතිවරුන් මෙන් සුවපහසු මන්දිරයක දැසි දස්සන් පිරිවරාගෙන වාසය නොකිරීම හින්දා ය. සුඛෝපභෝගී වාහනවලින් ගමන් නොයන හින්දා ය. තමන්ගේ වැටුපෙන් සීයයට අනූවක් පොදු වැඩවලට වැය කරන හින්දා ය. ඇත්තටම කියනවා නම් ධනවාදී ලෝකයේ ඇසින් බලන කල මේ ජනපතිවරයා කරන කියන දේ තේරුම් ගන්නට ටිකක් අමාරු ය. ඒ හින්දාම උරුගුවේ ජනපතිවරයා වන හොසේ මුහීකා ධනවාදී ලෝකයේ ජනමාධ්‍යවලට වරින් වර අමුතු පුවත් මවන චරිතයක් බවට පත්වේ. පසුගියදා මරිජුවානා භාවිතය නීතිගත කළ ලෝකයේ පළමු රට බවට උරුගුවේ රාජ්‍ය පත් කරමින් ඔහු හිතුවක්කාරකමක් කළේය. ධනවාදී කණ්ණාඩියෙන් බලන ලෝකය මවිත කරන තම ‘දුප්පත් ජීවන රටාව’ මෙන්ම එය ද සාධාරණීකරණය කරන්නට මේ අමුතු ජනපති ළඟ බොහෝ කරුණු තිබේ.

සමාජවාදී අදහස් ඇති හොසේ මුහීකා උරුගුවේ රාජ්‍යයේ ජනපති පුටුවේ හිද ගත්තේ 2010 අවුරුද්දේදීය. “ලෝකයේ දුප්පත්ම ජනපති” යන නම ඔහුට පට බැදෙන්නට පටන් ගත්තේ ඔහු උරුගුවේ ජනපතිවරයාට හිමි සැපපහසු මන්දිරය අතහැර ගොවිපොළක වාසය කරන්නට යාම හින්දා ය.

උරුගුවේ අගනුවර වූ මොන්ටෙවිෙඩියෝ පෙදෙසින් බැහැර පිහිටි එක කාමරයක් සහිත මේ පුංචි ගෙදර සිය බිරිය සමඟ වෙසෙන ඔහු විවේක වේලාවට කපුරු මල් වගාවක් කරයි. ඔහු පාවිච්චි කරන්නේ පරණ වොක්ස්වැගන් බීට්ල් කාරයකි.

ගුවන්ගමන්වලදී තෝරාගන්නේ ගුවන්යානයේ සාමාන්‍ය පහසුකම් සහිත ඉකොනොමි පන්තියයි. වැදගත්ම දෙය ඔහු අමෙරිකානු ඩොලර් 12,000ක් වන තම මාසික වැටුපෙන් සියයට අනූවක් දුප්පතුන්ගේ සුබසාධන වැඩවලටත්, කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට උදව් කිරීම සදහාත් වැය කිරීමයි. ඉතිරි වන මුදල ඔහුගේ චාම් ජීවිතය පවත්වාගෙන යන්නට ඕනෑවටත් වඩා වැඩිය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එන්නට පෙර ද ඔහු දුප්පතුන් වෙනුවෙන් සටන් කළ ගරිල්ලා භටයෙකි. 1960 ගණන්වලදී ඔහු උරුගුවේ හි බිහිවූ ටුපමාරොස් ගරිල්ලා ව්‍යාපාරයට බැදුණේය. ටුපමාරොස් ගරිල්ලන් සිය ව්‍යාපාරය මෙහෙයවූයේ රොබින් හුඩ් ක්‍රමයට ය.

ඔවුහු බැංකු සහ වෙනත් ව්‍යාපාර ස්ථානවලට බලහත්කාරයෙන් ඇතුළු වී ආයුධ බලයෙන් පොහොසතුන්ගේ ධනය මංකොල්ලකා ඒවා දුප්පතුන්ට බෙදා දුන්නෝය. ධනවතුන්ගේ අටුකොටුවලින් ආහාර සොරකම් කර ඒවා බඩගින්නේ සිටින ජනතාවට ලබා දුන්නෝය.

ඔවුන්ගේ මුඛ්‍ය සටන් පාඨය වූයේ “වචන අප අතර බෙදීම් ඇති කරයි. කි‍්‍රයාව අප එක්සත් කරයි” යන්න ය. කියුබානු විප්ලවයෙන් ආභාසය ලැබූ මේ සන්නද්ධ ව්‍යාපාරයේ අරමුණ වූයේ රොබින් හුඩ් න්‍යායයෙන් උරුගුවේ හි ඇති නැති පරතරය අවම කිරීමයි.

මේ සටන්වලට සහභාගී වීම නිසා හොසේ මුහීකාට සය වතාවක් පොලීසියෙන් වෙඩි කන්නට සිද්ධ විය. අවුරුදු දහ හතරක් වරින් වර සිර දඩුවම් විදින්නට සිදු විය. අප්‍රමාණ වධ බන්ධනවලට ලක් වන්නට සිදු විය. 1985 වසරේදී උරුගුවේ හි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානුකූල වෙනස්වීම් නිසා හොසේ මුහීකාට සමාව ලැබී හිර ගෙදරින් එළියට එන්නට පුළුවන් විය.

ඉන්පසු ඔහු සන්නද්ධ විප්ලව පිළිබඳ අදහස අතහැර දැමුවේය. සමාජය හදන්නට ඒ ක්‍රමයෙන් බැරි බව තේරුම් ගත්තේය. අවුරුදු ගණනකට පසු ඔහු තවත් ටුපමාරොස් සාමාජිකයන් සමඟ එවක උරුගුවේහි ගොඩනැගී තිබූ වාමාංශික සංවිධාන සමඟ එක්වී ‘ජනපි‍්‍රය සහභාගිත්ව ව්‍යාපාරය’ ගොඩනැගුවේ එහෙයිනි.
එය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් වශයෙන් පිළිගැනුණි. 1999 වසරේ මහමැතිවරණයෙන් හොසේ මුහීකා සෙනෙට් සභිකයකු ලෙස තේරී පත් විය. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන ඇරඹෙන්නේ එතැනිනි.

2005 අවුරුද්දේදී උරුගුවේ ජනපති ධුරයට පත්වූ තබාරේ වාස්කේස් ගේ වාමාංශික රජයේ පශු සම්පත්, කෘෂිකර්ම සහ ධීවර ඇමැතිවරයා හැටියට පත් වන්නේ මුහීකා ය. අද මෙන්ම එදත් කෘෂිකර්මය කෙරේ ඔහුගේ ලැදියාවක් තිබුණි. උරුගුවේහි කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ඔහු වැඩ කරන්නට පටන් ගත්තේ ජනපති වාස්කේස්ගේ දුප්පත්කම නැතිකිරීමේ වැඩපිළිවෙළට සහය දක්වමිනි.

2004 වසරේ සිට 2009 දක්වා කාලයේදී උරුගුවේ හි දුප්පත්කම සියයට 32 සිට 20 දක්වා අඩු විය. ඉන්පසු වාස්කේස් දියත්කළ අනුප්‍රාප්තිකයා ලෙස 2009 වසරේ ජනපතිවරණයට ඉදිරිපත් වූ මුහීකා සියයට 52ක ජනතා මනාප ප්‍රතිශතයක් ලබා ගනිමින් උරුගුවේහි 40 වැනි ජනපතිවරයා බවට පත් විය.
ඔහු රට පාලනය සියතට ගත්තේ ද “බලය යනු ඉහළින් ලැබෙන දෙයක් නොවෙයි. එය ජනතාවගේ හදවත්වලින් පැමිණෙන දෙයක්” යැයි කියමිනි. බලයට එන්නට කලින් මොන දේ කිව්වත් බලය ලැබී ටික කලක් ගත වන විට ඒ සුන්දර කියමන් බොහෝ දෙනකුට අමතක වෙයි.

එහෙත් මුහීකාට නම් තවම එසේ වූයේ නැත. ඔහුගේම වචනවලින් කියනවා නම් ඔහුගේ දේශපාලන දර්ශනය සැකසුණේ සම්මත රාමුවෙන් පිට පැන්න නම්‍යශීලී චින්තන ධාරාවක් මත ය. බොහෝ සමාජයීය ප්‍රශ්න දෙස විචාරශීලී ඇසකින් බැලූ ඔහු ඒ වන විටත් දුප්පතුන්ගේ සහ පීඩිතයන්ගේ ආදරය දිනා සිටියේය.
ඔහු ජනපි‍්‍රය වූයේ ජනතාවගේ භාෂාව කතා කරන ජනාධිපතිවරයකු’ ලෙස ය. ලෝකයේ වෙනත් වාමාංශීය රාජ්‍යයන් මෙන් දැඩි ප්‍රතිපත්ති මත පාලනය ගෙන යාමට මේ ජනතා බස කතා කරන ජනපති අකැමැති විය. උදාහරණයක් හැටියට මුහීකා පත්වීමට කලින් සිටි උරුගුවේ ජනපති වාස්කේස් ගබ්සාව නීත්‍යානුකූල කිරීමට පාර්ලිමේන්තුව ගෙනා පනතක් සිය ජනපති බලතල පාවිච්චි කරමින් නිශේධ කර තිබිණි.

එහෙත් හොසේ මුහීකා කීවේ ඉදිරියේදී ඒ පනත නැවත ගෙනාවොත් තමන් එය නැවැත්වීමට කි‍්‍රයා නොකරන බව ය. අන්තර්ජාතික ප්‍රශ්න දෙස ද ඔහු බලන්නේ උපේක්ෂා සහගත ඇසකිනි. ඉරානයේ න්‍යෂ්ටික ප්‍රශ්නය විසඳන්නට එරට කෙරෙහි දැඩි කි‍්‍රයාමාර්ග ගැනීම මුහීකා අනුමත නොකරයි.

“ඉරානයට බාධක දමන්න දමන්න ඔවුන් ලෝකය කෙරෙහි දක්වන ප්‍රතිචාරයත් නරක් වේවි” ඔහු කියයි. උරුගුවේ රටට වසංගතයක් වී ඇති මරිජුවානා ප්‍රශ්නය විසදන්නට ද ඔහු අනුගමනය කළේ මෙකී නම්‍යශීලී පිළිවෙත ය.

ඇත්තටම කියනවා නම් එය උපායශීලී පිළිවෙතකි. මිනිස් සිරුරට අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කරවන මරිජුවානා නීතිගත කිරීමෙන් මුහීකා බලාපොරොත්තු වන්නේ රටේ කි‍්‍රයාත්මක වන නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙදාම නතර කිරීමයි. පසුගියදා උරුගුවේ සෙනෙට් මණ්ඩලයේ පැය 12ක විවාදයකින් පසු මුහීකා ගෙනා මරිජුවානා නීතිගත කිරීමේ පනත සම්මත විය.

මේ යටතේ මරිජුවානා ළඟ තබා ගත හැක්කේ අවුරුදු 18ට වැඩි රජයේ ලියාපදිංචි උරුගුවේ ජාතිකයන්ට පමණි. ඔවුන්ට ද මසකට මිලදී ගත හැක්කේ මරිජුවානා ග්‍රෑම් 40ක් පමණි. මෙසේ කිරීමෙන් නීති විරෝධී ලෙස ඉවක් බවක් නැතිව කෙරෙන මරිජුවානා වෙළෙදාම නැවතෙනු ඇති බවත්, ක්‍රම ක්‍රමයෙන් රටෙන් එය තුරන් කිරීමට හැකි වනු ඇති බවත් මුහීකාගේ රජය විශ්වාස කරයි.

එහෙත් මේ පියවරට එරෙහිව එල්ල වන ගල් මුල් ඉවරයක් නැත. මේ නිසා සිදුවන්නේ තව තවත් මරිජුවානා භාවිතයට මිනිසුන් පෙලඹීම පමණ යැයි බී. බී. සී පුවත් සේවයට අදහස් දක්වන්නෝ කියා සිටිති. එහෙත් මුහීකාගේ දර්ශනය ඊට වෙනස් ය.

නීති දැමීමෙන් නොව නීතිය ලිහිල් කිරීමෙන් සමහර ප්‍රශ්නවලින් මිනිසුන් ගලවා ගත හැකි බව ඔහු විශ්වාස කරන්නේ ය. එය සාර්ථක වුවත් නැතත්, මෙවැනි දේ කිරීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ උරුගුවේ රාජ්‍යය ලතින් අමෙරිකානු කලාපයේ සමාජයීය වශයෙන් වඩා ලිබරල් රට බවට පත් කරන්නට ය.
‘ද ගාඩියන්’ පුවත්පතට අනුව මරිජුවානා ප්‍රශ්නය පැත්තක තැබුවොත් මෙවැනි ප්‍රතිපත්ති නිසා කලාපයේ ඇති ආරක්ෂාකාරීම සහ දූෂණ වංචා අවම රටවල් අතරින් එකක් බවට උරුගුවේ දැන් පත් වෙමින් තිබේ. එරට කිරි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයක් තිබේ.

උරුගුවේ දරුවන්ට අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම නොමිලයේ ලැබෙන අතර හැම සිසුවකුට ම ආණ්ඩුවෙන් නොමිලයේ පරිගණකයක් ලැබේ. එරට බලශක්ති සහ දුරකථන සන්නිවේදන කර්මාන්ත සියල්ලක් ම ජනසතු කොට තිබේ.

එහෙත් උරුගුවේහි සමාජ සංවර්ධනය සඳහා ඇති ඉඩකඩ ගෝලීය ප්‍රාග්ධනයේ බලයට යට වී ඇති බව හොසේ මුහීකා සිතයි. “මට මේ ක්‍රමය දැන් තිත්ත වෙලා. දැන් දේශපාලනය කියන්නේ කෙටිකාලීන උපයෝගිතාවාදයට.

අපි ආගම් සහ දර්ශන අත්හැර දමලා. අපට ඉතිරි වෙලා තියෙන්නේ වෙළෙදපොළ කියන්නේ මොකද්ද, ඒ දේ ස්වයංකී‍්‍රය කරන්න විතරයි” යි කියන මුහීකා භෞතික සම්පත් පරිභෝජනය ඉහළ දැමීම හරහා සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට තමන්ගේ මනාපයක් නැති බව කියයි. එහෙත් රටේ ජනාධිපතිවරයා හැටියට ඔහුට මිනිසුන්ගේ ඉහළ යන පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් වැඩ කිරීමට සිදුව තිබේ.

“මම රටේ ජනාධිපතිනෙ. ඒ හින්ද වැඩියෙන් වැඩ සහ ආයෝජන අවස්ථා ඇති කරන්න මං සටන් කරනව. ඒත් මං පරිභෝජනය ඉහළ දමන්න කි‍්‍රයා කරන්නේ අනවශ්‍ය පරිභෝජනයට තිත තියලා. ශක්තිය, සම්පත් වගේම කාලය නාස්ති කරනවට මං හරි විරුද්ධයි.” මුහීකා ‘ගාඩියන්’ පුවත්පතට අදහස් දක්වන්නේ එහෙම ය.
රටේ ජනතාවගේ පරිභෝජන අවස්ථා ඉහළ දැමීමේ යුතුකම ඉටු කරන ගමන් තම පෞද්ගලික ජීවිතයේ පරිභෝජන අවශ්‍යතා සීමා කර ගැනීමට ඔහු තීරණය කළේ මේ සංකීර්ණ ආර්ථික රටාවෙන් බේරෙන විදිය කාටත් නිහඬව පෙන්වා දීමට සිතාගෙන ය.

නගරයෙන් බැහැරව බිරිය සමඟ ගෙවන නිස්කලංක ජීවිතය නිසා ජනපතිවරයකු වශයෙන් ඔහුගේ හිස මත පැටවී ඇති බර මානසික පීඩාවක් බවට පත් නොවී නිදහස් කර ගත හැකි ය. ඔහුගේ බිරින්දෑ වන උරුගුවේ හි ජනපති ආර්යාව ලූෂා ටොපොලාන්ස්කි ද ඔහුට යස අගේට කැපෙන සහකාරියකි.
ඇය ද සැමියා මෙන් ම ජනතාවාදී දේශපාලනට ජීවිතය කැප කළ තැනැත්තියකි. වරෙක ඇය වැඩබලන ජනපති හැටියට ද කටයුතු කර තිබේ. දරු සම්පත් නැති වුව ද දෙමාල්ලන්ගේ ජීවිතයේ සතුටෙන් අඩුවක් නැත. දරුමල්ලන්ට දෙන්නට කියා වස්තුව ගොඩ ගසන්නට වුවමනාවකුත් නැත.
ඔවුන්ගේ පුංචි ජනපති මන්දිරයේ මුරට සිටින්නේ ආරක්ෂක භටයන් දෙදෙනෙකි. වෙන ජනපතිවරුන්ට තිබෙන ජීවිත තර්ජන මුහීකාට නැත. තිබුණත් ඔහු ඒ ගැන වැඩි තැකීමක් කරන්නේ ද නැත. දැන් 78 වැනි වියේ පසුවන ඔහු රටේ රාජකාරි නැති වේලාවට පරණ ඇදුමක් සහ බූට් දෙකක් පයලාගෙන ගොවිපොළේ වැඩ කරමින් ද, හිතේ සැහැල්ලූවෙන් කා බී සරලව ජීවත් වෙමින් ද දවස් ගත කරයි.

ඒ අතින් බලන විට ඔහු අනෙක් බොහෝ රටවල ජනපතිවරුන්ට වඩා පී‍්‍රතියෙන් පොහොසත් ය. ඔහුට දිය හැකි හොඳම නම ලෝකයේ ජනපතිවරුන් අතරින් රෑට හොඳින්ම නින්ද යන ජනපති වැනි නමකි. ඉතින් ලෝකයේ දුප්පත්ම ජනපති යැයි නම් පටබැදෙනවාට ඔහු අකමැති වීම අහන්නටත් දෙයක් ද? එහෙත් “මං මේ ජීවත්වෙන විදිහට ජීවත් වෙන්න කියල මගෙ ජනතාවට කිව්වොත් නම් ඒගොල්ලො මාව මරයි” යැයි හොසේ මුහීකා කියයි.
භෞතික සම්පත් පසුපස ලූහුබදින ලෝකයට තමන් ගෙවන ජීවිතයේ වටිනාකම බලෙන් තේරුම් කරවන්නට ඔහුට වුවමනාවක් නැත. තමන් ලෝකයේ දුප්පත්ම ජනපති යැයි කියන්නේ වත්පොහොසත්කමේ නියම අර්ථය නොදන්නා අය බව ඔහුගේ අදහසයි. “මම ලෝකෙ දුප්පත්ම ජනාධිපති නෙමේ. ජීවත් වෙන්න හුඟක් දේවල් ඕන කරන කෙනා තමයි දුප්පත්ම කෙනා” මුහීකා කියන්නේ එබැවිනි.

මේ දර්ශනය ඔහුගේ සිතේ උපත ලබන්නේ ඔහුගේ ම ජීවිත අත්දැකීම් අනුසාරයෙනි. “අද ගෙවන මගේ ජීවන රටාව මගේ අතීත තුවාලවලින් උපත ලැබූ එකක්. මම මගේම ඉතිහාසයේ දරුවෙක්. මම, නිදා ගන්න මෙට්ටයක් විතරක් තිබුණත් හුඟක් සතුටු වෙච්ච කාලයක් ජීවිතේ තිබුණු කෙනෙක් ” ජනපති පුටවේ හිදගෙනත් අමතක නොකළ ඒ අතීතය ගැන ඔහු අදත් සිහිපත් කරන්නේ ගෞරවය මුසු හැගීමකිනි.
ඒ සමඟම ලෝකයේ සිදුවන ආයුධ සන්නද්ධ විප්ලව දෙස ඔහු අද බලන්නේ වෙනස් ම ඇසකිනි. “ලෝකයට කවදත් විප්ලව අවශ්‍යයි. ඒත් සැබෑ විප්ලවයක් කියන්නෙ ගහමරා ගැනීම් සහ ප්‍රචණ්ඩත්වය නෙවෙයි. සැබෑ විප්ලවයක් කියන්නේ පැවතුණු චින්තන රටාව වෙනස් කර ගැනීමටයි”

– කත්‍යානා අමරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *