කොවිඩ් අස්සෙන් ආ 2021 උදාව – තරණය – හසිනි දෙනිපිටිය

යුරෝපයේ පැතිර යන කෝවිඩ්-19 නව වෛරස ප්‍රබේදයත් සමඟ දැඩි ලෙස සංචරණ සීමා පනවා තිබෙන අතර බොහෝ රටවල් නව වසරේ උදාව සනිටුහන් කරනු ලැබුවේ මල්වෙඩි සංදර්ශන ආදිය පවත්වමිනි. නමුත් පසුගිය වසරවල දී මෙන් ඊට ජනතාවගෙ සහභාගීත්වය අවම කිරීමට එම රටවල් පියවර ගෙන තිබිණි. කෙසේනමුත් ලෝකයේ රටවල් සියල්ල ම පාහේ නව වසර උත්කර්ෂවත් අන්දමින් පිළිගනු ලැබුවා.

2021 නව අලුත් අවුරුද්ද ටොංගා දූපතට පළමුව උදා විය. අවසානයට නව වසරේ උදාව සනිටුහන් වුයේ එක්සත් ජනපදයේ කුඩා දූපත් සමූහයකටයි.

ලොව සුප්‍රකට ලන්ඩන් නගරය නව වසර පිළිගනු ලැබුවේ මල් වෙඩි සංදර්ශන මධ්‍යයේ දී වුවත් ඊට ජනතාව රැස් කර නොගැනුණි. ජාතික සෞඛ්‍ය සේවය වෙනුවෙන් මෙවර මල්වෙඩි සංදේශනය වෙන්වී තිබිණි. ලන්ඩනයේ විවිධ ස්ථාන රැසක මෙලෙස මල් වෙඩි සංදර්ශන පවත්වා තිබුණු අතර ඉන් ජාතීන් අතර සමගිය මෙන්ම ලෝකවාසීන්ගේ සාමය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් සටහන්ව තිබිණි.

නිව්යෝක් නුවර ටයිම්ස් චතුරශ්‍රය මෙවරත් නව වසර පිළිගැනීමට සූදානම්ව තිබුණි. වෙනත් වසරවල දී දහස් ගණනින් සහභාගී වන ටයිම්ස් චතුරශ්‍රය මෙවර වෙන් වුයේ සෞඛ්‍ය අංශ ඉදිරිපෙළ සේවකයන් සහ ඔවුන්ගේ ඥාතීන්ට පමණි.

චීනයේ ප්‍රධාන ම නව අවුරුදු මල්වෙඩි සංදර්ශනය ලෙස සලකන බෙයිජිං අගනුවර සංදර්ශනය මෙවර නොපැවැත් වුණි. නමුත් වූහාන් නගරය කේන්ද්‍ර කර ගනිමින් බැලුනයන් අහසට පා කෙරුණු අතර එය නැරඹීමට විශාල පිරිසක් වූහාන් නගරයට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ වනවිටත් වසා දමා ඇති ජර්මනිය තුළ ගිනිකෙළි විකිණීම ද තහනම් කර තිබුණි. එසේම ප්‍රංශයේ ද ජනතාව ඒකාරාශි වීම වැළැක්වීම සඳහා ප්‍රංශ පොළිසියේ ලක්ෂයක පමණ පොළිස් බලඇණියක් යොදවා තිබු බව වාර්තා වේ. එසේම දැඩි සංචරණ සීමාවන් අනුගමනය කරමින් ජනතාව එක් රැස්වීම සීමා කිරීමට එරට රජය පියවර ගෙන තිබුණි.

කෝවිඩ්-19 වෛරසයෙන් ලොව පුරා මිලියන 1.8 කට වඩා වැඩි පිරිසකට මේ වනවිට ජිවිත අහිමි කර තිබේ. එසේම මිලියන 80 කට වැඩි පිරිසක් වෛරසය ගොදුරු වී තිබේ. මෙවන් පසුබිමක දී උදා වු නව වසර මෙවර සංකේතාත්මකව පමණක් සැමරීම ලෝකවාසීන්ට සිදුවිය. කෙසේනමුත් උදා වු 2021 නව වසර ලෝකවාසී සියලු දෙනාගේ ප්‍රාර්ථනාව වනුයේ සුවපත් හෙටක් යන්නයි.

හසිනි දෙනිපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *