දිස්නොවන තුවාලය – 1 – (සම්පාදනය) W.චතුරි මහේෂිකා

කියවා ජීවිතාන්තය දක්වාම මතක තබා ගත යුතු කතාවක් මම ඔබට කියමි . ඒ කතාව මෙසේය .

දිනක් පාන්දර යාමයේ නගරයේ සුප්‍රසිද්ධ ශල්‍යවෛද්‍යවරයෙක්ව මුණගැසීමට රෝගියෙක් පැමිණියේය . උදෑසන වන තෙක් නොව එක් මිනිත්තුවක් හෝ කල්දැමීමට නොහැකි තරම් ඔහුගේ වේදනාව ප්‍රබල විය . ඔහුගේ වේදනාව නිසාම වූ දැඩි පෙරැත්ත හේතුවෙන් ශල්‍යවෛද්‍යවරයා ඉක්මනින්ම හැඳපැළඳගෙන ශල්‍යාගාරය වෙත ඔහු කැඳවනු ලැබීය .

රෝගියා සමාජයේ ඉහළම ප්‍රභූ පැළන්තියේ අයෙක් බව පෙනුනි . ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබූ අතර අතිශය කැළබීමටද පත්ව තිබුණි . බැලූ බැල්මට ඔහුගේ වේදනාව කෙතරම් දරුණුදැයි වෛද්‍යවරයාට සිතා ගැන්මට හැකි විය . තමන්ගේ මුහුණේ හැඟීම් පාලනය කරගැනීමට රෝගිය සමත් වූවත් දැඩි වේදනාව නිසා ඔහුගේ මුවින් කෙඳිරිලි නිකුත් විය .

ඔහු වෙනුවෙන් කුමක් කළ හැකිදැයි වෛද්‍යවරයා විමසූ විට , ‘තමන්ගෙ දකුණු අතේ යම් කිසි ආබාධයක් ඇති බවත් පහුගිය සතියක කාලයක් පුරා ඒ වේදනාව හේතුවෙන් මොහොතක හෝ නින්දක් නොලැබුණු බවත් , එම වේදනාව දරුණු රෝගයක් හෝ පිළිකාවක් විය හැකි බවත්’ රෝගියා පැවසුවේය .
“එම වේදනාව තව පැයක් හෝ දරාගන්නට සිදු වුවහොත් මට පිස්සු හැදේවි , මා නගරයට ආවේ කෙසේ හෝ ඔබ හමුවීමේ අදහසින් , ඔබට කැමතිනම් එතන කපන්න , කැමතිනම් පුලුස්සන්න , ඔබ කැමති ඕනෑම දෙයක් කර මාව මේ වේදනාවෙන් මුදව ගන්න” යැයි ඔහු කෙරූ ආයාචනයෙන්ම ඔහුගේ වේදනාව කෙතරම් දරුණුදැයි වටහාගන්නට ඔබට හැකිවෙනු ඇති .

අස්ථියක් බිඳී යෑම නිසා එල්ලාගත් පරිද්දෙන් වෙළුම්පටියක ආදාරයෙන් කරේ එල්ලා තිබූ අත ඉතා අපහසුවෙන් ඉවතට ගත් වෛද්‍යවරයා රෝගියාගේ අත පරීක්ෂා කර බැලුවත් එහි තිබුනේ සාමන්‍ය පෙනුමකි , අතේ පැහැයේවත් වෙනසක් සිදුවී නොතිබුණි . වේදනාව දැනෙනවායැයි කියන ස්ථානය වෛද්‍යවරයා ඉතා පරිස්සමෙන් ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කර ඔබට දැනෙනවාදැයි ඇසූ විට , රෝගියාගෙන් පිලිතුරක් නොවීය ඒ වෙනුවට වේදනාවේ තරම පෙන්වමින් ඔහුගේ දෙනෙත් වලින් කඳුළු කඩාවැටුණි .

මෙවර අණ්වීක්ෂයක්ද යොදාගෙන අත පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා විසින් රෝගියාගේ ශරීර උෂ්ණත්වයද පරීක්ෂා කර බලනු ලැබීය . ශිරා සහ ධමනි වල ක්‍රියාකාරීත්වයද නිවැරදි තත්වයේ තිබුණි , පටක වල ප්‍රදාහයක් හෝ ඉදිමීමේ ලකුණක්වත් නොතිබුණි . “වෙනත් ඕනෑම කෙනෙක්ගේ සාමාන්‍ය අතක් වගේමයි” යනුවෙන් වෛද්‍යවරයා පවසන විට “මං පෙන්වන තැන ටිකක් රතු පාටයි නේද” යනුවෙන් රෝගියා අත පෙන්වා පැවසුවත් එහි කිසිම වෙනසක් නොමැතිව කරන චෝදනා නිසා ඔහුට මානසික ආබාධයක් ඇතැයි වෛද්‍යවරයාට සිතුණි . “මහත්මයා ඔබ නගරයේ රඳී සිටින්න ඉදිරි දින කිහිපය තුළ මා ඔබට උදව්කරන්නට උත්සහ කරන්නම්” යනුවෙන් වෛද්‍යවරයා පැවසීය .

“මට එක මිනිත්තුවක්වත් ඉන්න බෑ , ඔබ හිතනව ඇති මා උමතු වෙලා කියා , මේ ඇහැට නොපෙනෙන තුවාලයෙන් මට ඉවසන්න බැරි වේදනාවක් දැනෙනවා” යැයි පවසමින් රෝගියා තම කබායෙන් ෆ්ලොරින් දහසේ නෝට්ටුවක් ගෙන මේසය මත තැබුවේය . “ඔබට මේක පෙනෙනවද , මං මේ ඉල්ලීම කරන්නෙ අවංකව , ෆ්ලෝරින් දහසක් දී හෝ යමක් කරගැනීමට තරම් මේ වේදනාව දරුණුයි , කරුණාකර සැත්කමක් කරන්න” යැයි ඔහු පැවසීය .

මුළු ලෝකයේම තිබෙන මුදල් ගෙන ආවත් නිරෝගි අතකට සැතකමක් නොකරන බවත් , එය සාරධර්ම වලට පටහැනි බවත් , මනුස්සයෙක්ගේ නොදන්නාකම් ප්‍රයෝජනයට ගෙන මුදල් ගරාගත්තායැයි ලෝකයාද චෝදනා කරනු ඇතැයි වෛද්‍යවරයා කොතෙක් පැවසූවද රෝගියාගේ ඉල්ලීමේ වෙනසක් නොවීය . “එසේනම් මං සැත්කම කරගන්නම් ඉන්පසු ඔබ බෙහෙත් දමන්න”යැයි කියමින් රෝගියා තම සාක්කුවෙන් දුනු පිහිය ගෙන වෛද්‍යවරයා යමක් කිරීමටත් ප්‍රථම තම දකුණු අතේ මස් කැපී යන සේ ඇතුළටම පිහියෙන් කපාගත්තේය .

රෝගියා අතින් රුධිර නාලයක් කැපේවියැයි බියපත් වූ වෛද්‍යවරයා “මේ සැත්කම අනිවාර්‍යෙන්ම කළයුතු බව ඔබ සිතනවානම් මම එය කරන්නම්” යනුවෙන් පවසා ඉක්මනින්ම සැත්කමට අවශ්‍ය උපකරණ සූදානම් කරගෙන රෝගියා නියම කළ තැන රවුමට හාරා මස් කැබැල්ලක් ඉවත් කළේය . රෝගියා සියල්ලටම මුහුන දුන්නේ කිසිඳු කැළඹීමක් නොමැතිවය . ඔහුගේ අතේ සෙලවීමක් හෝ නොවීය . ඔබට වේදනාවක් දැනෙන්නේ නැද්දැයි වෛද්‍යවරයා ඇසුවිට ‘කිසිම වේදනාවක් දැනෙන්නේ නැති බවත් , ඔහුගේ වේදනාව වෛද්‍යවරයා විසින් කපා ඉවත්කලාක් මෙන් දැනෙන බවත්’ රෝගියා සිනහ මුසු මුහුණින් පැවසීය .
වෛද්‍යවරයා ඔහුගේ තුවාලය ආවරණය කොට වෙළුම්පටි වලින් වෙළුවේය , වේදනාවෙන් මිරිකෙමින් ශල්‍යාගාරයට ආ පුද්ගලයා නොව වෙනත් අයෙක්යැයි සිතෙන තරමට ඔහු සතුටට පත්ව සිටියේය . ඔහු වෛද්‍යවරයාගේ අත අල්ලා තම කෘත්ඥතාවය පුද කර සිටියාය .

~~~~

රෝගියා නගරයට පැමිණ නවාතැන් ගෙන සිටියේ එහි ඉහළ පෙළේ හෝටලයකය , ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ සුව දුක් විමසීමට වෛද්‍යවරයා දින කිහිපයක්ම එහි ගියේය , එම රෝගියා රටේ වගකිවයුතු නිළයක් දැරූ උගතෙක් බවත් රටේ ඉහළම වංශවත් පවුලක සාමාජිකයෙක් බවත් ඔහුට දැනගන්නට ලැබුණි . තුවාලය සම්පූර්ණයෙන්ම සුවවූ පසු එම රෝගියා තමා පදිංචි ගම්බද පළාතේ නිවස වෙත පිටත්වී ගියේය .

ගතවූයේ සති තුනකි රෝගියා නැවතත් වෛද්‍යවරයා හමුවීමට ශල්‍යාගාරය වෙත පැමිණියේය , මුල් අවස්ථාවේ මෙන් අත වෙළුම්පටියකින් බැඳ කරේ එල්ලාගෙන සිටියේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *