දිස් නොවන තුවාලය – 2 – චතුරි මහේෂිකා

“දොස්තර මහත්මයා ඔබට කරදර කරනවාට සමාවෙන්න කලින් වේදනාව ආයෙත් ඇවිත් , අතේ ශල්‍ය කර්මය කළ තැනම පිච්චෙනවා වගේ වේදනාවක් දැනෙනාවා” යැයි රෝගියා පැවසුවේය .
ඔහුගේ මුහුණු සිදු මැලි වී නළලේ දහඩිය බිඳු එක්වී තිබුණි , හාන්සි පුටුව වෙත ඇද වැටුණු ඔහු තව වචනයක් හෝ නොකියා තම දකුණු අත වෛද්‍යවරයාට පෑවේය .
“ඔබතුමා යටට කැපුවා මදි , අර වේදනාව ආයෙත් ඇවිත් කලින් සැරේටත් වඩා දරුණුයි , ඔබතුමාට කරදර කරන්නෙ කොහොමද හිතා ඉවසුවා ඒත් තව ඉවසන්න බෑ ආයෙත් සැරයක් සැත්කමක් කරන්න ඕනෑ” යැයි රෝගියා පැවසීය .

ශල්‍ය වෛද්‍යවරයා රෝගියාගේ අත පරීක්ෂා කර බැලීය . සැත්කම කළ තැන බොහෝ දුරට සුව වී තිබූ අතර එතන අලුත් සමක් ලියලා තිබුණි . රුධිර නාලයක් හෝ අවහිර වී තිබෙණ සළකුණක් නොවීය , ශරීර උෂ්ණත්වයද නාඩි වැටීමද සාමාන්‍ය මට්ටමේ තිබුනද රෝගියාගේ ශරීරයම වෙව්ලායමින් තිබුණි . යලිත් සැත්කමක් කරනවා ඇරෙන්නට කරන්නට වෙනත් යමක් නොවීය . කලින් වතාවේ මෙන් සියල්ල සිදුවිය , රෝගියාගේ වේදනාව ඉක්මනින් නැවතුණි , ඔහු ඉමහත් සැනසීමකට පත් වී ඇති බව පෙනුණි . එහෙත් මෙවර ඔහුගේ මුහුනේ සිනහවක් නොවීය .
ඔහු වෛද්‍යවරයාට ස්තූති කළේද ශෝකය පිරුණු හඬකිනි . “මා නැවත මාසෙකින් ආවොත් දොස්තර මත්මයා පුදුම වෙන්න එපා” යැයි රෝගියා පැවසුවේ සමුගන්නා විටය .

එම රෝගියාගෙ අරුම පුදුම රෝගය ගැන ශල්‍ය වෛද්‍යවරයා තම හිත මිතුරු වෛද්‍යවරයන්ටද පවසා ඒ ගැන සාකච්ඡා කළේය , විවිධ වෛද්‍යවරු විවිධාකාර අදහස් පළකල අතර එම රෝගය හෝ එයට ප්‍රතිකාර නිශ්චිතව කීමට කිසිඳු වෛද්‍යවරයෙක්ට හැකි නොවීය .

මාසයක් ගතවී ගියේය . රෝගියා යළි පැමිණියේ නැත , ඒ වෙනුවට රෝගියා එවූ ලිපියක් වෛද්‍යවරයාට ලැබුණු අතර ඔහු එම ලිපිය සතුටින් යුතුව විවෘත කළේ රෝගියා මේ වන විට සම්පූරණ සුවය ලබා ඇතැයි සිතමින් .

~~

“හිතවත් දොස්තර මහතාණනි ,

මගේ මෙම පුදුමාකාර රෝගය ඇති වූ අයුරු ගැන ඔබට කිසිම ප්‍රෙහේළිකාවක් ඉතිරි කර තබන්නට මා කැමති නැත . මාගේ මරණය සමඟ ඒ රහස සදහටම වැළලී යා යුතු නැත . මාගේ භයානක රෝගයේ සියලුම තොරතුරු ඔබට හෙළිකරමි . අතේ වේදනාව යළි තුන්වන වරටත් ඇති වී තිබේ . මෙවර වේදනාව මුල් දෙවතාවටම වඩා දරුණුය . මෙම ලියුම ලියන්නේද වේදනාව ඇති තැන ගිනියම් අඟුරු කැබැල්ලක් තබාගෙනය , මෙම රෝගී තත්වය සමඟ තවදුරටත් පොරබැදීමට මා බලාපොරොත්තු වන්නේ නැත .

මාස හයකට පෙර මා ඉතාම ප්‍රීතිමත් මිනිසෙක් වශයෙන් සිටියෙමි . වයස අවුරුදු තිස් පහ වන විට මට ඕනෑතරම් ගෙවල් දොරවල් , වතුපිටි , මිල මුදල් ආදිය තිබුණි .
මාගේ වතුයායට යාබද වතුයාය අයත් ඉතා ධනවත් තරුණ ආදිපාදිවරියගේ පෞද්ගලික ලේකම්වරිය වූ තරුණිය සමඟ ආදරයෙන් බැඳුණු මම මීට අවුරුද්දකට පෙර ඇය සමඟ විවාහ වුණෙමි . ඇය ඉතාම රූමත් , කරුණාවන්ත , සිරිත්විරිත් ද මනාව දන්නා උගත් කාන්තාවක් විය .

මගේ පෙම්බර බිරිඳ මා හට දැඩි ආදරයක් දැක්වූ අතර විවාහයෙන් මාස හයක් ගත වී ගියේ අපද නොදැනුවත්වමය . ඇය මා කෙරෙහි දැක්වූ ආදරය දිනෙන් දින වැඩි විය . මා නගරයට ගියහොත් මා ඉක්මනින් ගෙදර එනු දැකීමට ඇය නොඉවසිල්ලෙන් පසුවිය , ඒ සඳහා ඇය සැතපුම් ගණන් ඇවිද ආවාය . ඇය මිතුරියක මෙන් ආශ්‍රය කළේ ඇයගේ කලින් ස්වාමි දූ වූ ආදිපාදවරිය පමණකි . නිතර ඇය එහි ගියත් රැඳුණේ පැය කිහිපයක් පමණි , ඇය මට දැක්වූ සෙනෙහස නිසා ඇගේ මිතුරියටනම් පාඩුවක් වන්නට ඇති බව නොඅනුමානයි . ඇය ප්‍රිය සම්භාෂණයකදී පවා වෙනත් පිරිමින් සමඟ බාල් නැටුමකටවත් එක් නොවීය , සිහිනයෙන් හෝ වෙනත් අයෙකුව දුටුවහොත් ඒ ගැන පවසන්නේ ඉතාම වරදකාරි අන්දමටය .ඇය ඉතාම අහිංසක ප්‍රේමණීය බිරිඳක් වූවාය .

ඇය මට දක්වන ආදරය සෙනෙහස බොරු රඟපෑමක්දැයි වරක් මට සැකයක් ඇති විය . එවැනි සැකයක් මගේ සිතට ආවේ කුමන අවාසනාවටදැයි නොදනිමි . කෙතරම් සතුටින් කාලය ගත කලත් දුක සොයා යාමට පෙළඹීම මිනිසාගේ අනුවණ කමකි .

මැහුම් ගෙතුම් ආදිය සඳහා ඇයට මේසයක් තිබුණි . එහි ලාච්චුව සෑම විටම වසා තැබීමට ඇය පරිස්සම් වූවාය , කිසි දිනෙක යතුරවත් යතුරු කටේ නොතබන්නට ඇය වගබලාගත්තාය . මේ ගැන සැකයක් මට ඇතිවිය , ඇය මට දක්වන ආදරය සෙනෙහස ආදී සියල්ලම බොරු රඟපෑමක්දැයි සිතුණි .

දිනක් ආදිපාදිවරිය අපගේ නිවසට පැමිණියේ මගේ බිරිඳව ඇයගේ නිවසේ දිනයක් තබාගැනීමට කැඳවාගෙන යාමටයි . ඇය මාගේ බිරිඳව එයට කැමති කරවාගත්තේ ඉතාම අසීරුවෙන් . හවස ඔවුන්ව මුණගැසීමට මා පැමිණෙන බවට පොරොන්දු වූ විට ඇය එහි යන්නට කැමති වූවාය .

ඔවුන් රැගත් අශ්වකරත්තය අපගේ නිවසෙන් පිටත් වනවාත් සමඟම බිරිඳගේ මේස ලාච්චුව වෙත ගිය මම එය විවෘත කරබැලීමට උත්සහ කළෙමි , විවිධ වර්ගයේ යතුරු රාශියක් යොදාගෙන උත්සහ කිරීමෙන් අනතුරුව කෙසේ හෝ එය විවෘත කරගැනීමට මට හැකිවිය .
ලාච්චුව ඇතුළේ කාන්තා සුවඳ විලවුන් , ආභරණ ආදිය තිබූ අතර ඊට යටින් නැවූ සේද රෙද්දක් හමුවිය , ඊටත් යට තිබී රතු පැහැති රිබන් පටියකින් ගැට ගැසූ ලියුම් මිටියක් හමුවිය . එය දැක මා පුදුමයට පත්විය , මෙතෙක්කල් ලාච්චුවේ සඟවා ඇය රැක්ක රහස මට අතටම හසුවිය .

ඒ ලියුම් ඇය ගැහැනු ලමයෙක්ව සිටි අවදියේ කළ ලියුම් ගනුදෙනුවද නැත්නම් මා හා විවාහ වූ පසුව වෙනත් අයෙකු හා කළ ලියුම් ගැනුදෙනුවක්දැයි සැක සිතුණි . අනුන්ට අයත් ලියුම් කියවීම නොහොබිනා කටයුත්තක් වූවත් ඒ ලියුම් එකින් එක කියවා බැලුවෙමි . ලියුම් සියල්ල එවා තිබුණේ මගේ හිතවත්ම මිත්‍රයෙකු විසිනි . ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳුණු අයුරු , පවත්වාගෙන ගිය සමීප සම්බන්ධය ලියුම්වල සඳහන් විය . සැමියාට කිසිවක් දැනගන්නට ඉඩ නොතබන ලෙසද ඔහු ඉල්ලා තිබුණි . ලියුම වල දින පරීක්ෂා කිරිමේදී මට දැකගන්නට ලැබුණේ ඒ ලිපි සියල්ල විවාහයෙන් පසු ලියා තිබෙන ඒවා බවයි . මෙය මිනිසෙකුට එරෙහිව කළ හැකි සමාව දිය නොහැකි තරමේ වංචාවකි . මා කෝපයෙන් වියරු වැටුණෙමි .
නැවත ලිපි තිබූ පරිදිම සකස් කර ලාච්චුවට දමා යතුරු ලා වැසුවෙමි .

සවස මා මාළිගයට නොගියොත් බිරිඳ මා සොයා එන බව දන්නා නිසා එහි යන්නට සූදානම් වන විට ඇය නිවසට පැමිණියාය , අශ්වකරත්තයෙන් බැස දුවවිත් සුපුරුදු පරිදි ආදරයෙන් මා බදාගත්තාය . කිසිම වෙනසක් නොපෙන්වා මම වෙනදා මෙන්ම හැසිරීමට වගබලාගතිමි .

කතා බහ කරමින් සිට රාත්‍රී ආහාරයෙන් පසු අපි නින්දට ගියෙමු , අප දෙදෙනාට වෙන් වෙන් වශයෙන් කාමර තිබිණි .
බිරිඳ නිදාගන්නට ගිය පසු ඉදිරියට මා කුමක් කළ යුතුදැයි සිතා බැලුවෙමි . සිහි විකල් වූ මිනීමරුවෙක් ලෙස මම තීරණයකට එළඹියෙමි . එදින මධ්‍යම රාත්‍රියේ මා ඇයගේ කාමරයට රහසින් ඇතුළුවුනෙමි . ඇය නින්දේ පසු වූ අතර ඇයගේ මුහුණෙන් දිස්වූ අහිංසක පෙනුම දෙස මොහොතක් බලාසිටියෙමි . නමුත් මගේ මනසට ඇතුල් වී තිබූ විෂ මේ වන විට මගේ ආත්මයම විනාසකර දමා අවසන්ය . මා ඇගේ ගෙල මත දෑත් තබද්දී ඇය පුදුමයට පත් විලසින් දෑස් විශාල කර මා දෙස බලා කිසිඳු හඬක් නොනංවා යළිත් දෙනෙත් පියාගත්තාය . ඇය මෙලොව හැරයද්දීත් මට වෛර නොකළ බව මම දනිමි . ඇය මිය යන විට ඇගේ දෙතොල් වලින් එක් ලේ බිඳුවක් කාන්දු වී මගේ දකුණු අතට වැටී තිබුණි . ඒ කොතනටදැයි ඔබ දනී . මට එය දකින්නට ලැබුණේ උදෑසන කාලයේදියි ඒ වන විටත් ලේ බිඳුව සම්පූර්ණයෙන්ම වියලී ගොස් තිබුණි .

කිසිම ප්‍රසිද්ධියක් නොකර අපි ඇයගේ අවසන් කරයුතු සිදුකෙරුවෙමු . ඇයට නෑදෑයින් සහ මිතුරන් කිසිවෙකුත් නොවූ නිසා මේ ගැන සොයා බැලීමටත් පැමිණිලි කිරීමටත් කිසිවෙක් නොවීය . ඇයගේ මරණය පිලිබඳ මා දැනුම් දුන්නේද අවසන් කටයුතුත් සිදුකළ පසුවය .
මා කටයුතු කළේ ඉතාමත් කෲර ආකාරයට වූවත් මට ඒ ගැන පසුතැවීමක් නොවීය , එම ඉරණමට පත්වීමට ඇයට සුදුසුකම් තිබුණි .

අවසන් කටයුතු හමාර වී මා නිවසට ලඟා වූවා පමණි ආදිපාදිවරිය අප නිවසට පැමිණියාය . අවමඟුලට සහභාගී වීමට ඇය පමා වැඩිය . නොසිතූ මොහොතක සිදුවූ සිය මිතුරියගේ ක්ෂණික මරණය අදහාගත නොහැකිව ඇය භීතියට හා කම්පාවට පත්ව සිටියාය . අමුතු ආකාරයට කතා කළ ඇය මා සැනසීමට උත්සහ කළාය . මා කිසිම උනන්දුවක් නොමැතිය එයට සවන් දුනි .

ඊලඟට මගේ අතින් අල්ලාගත් ආදිපාදිවරිය මා හා පැවසීමට රහසක ඇති බවත් එය පැවසීමෙන් මා අයුතු ප්‍රයෝජන නොගනු ඇතැයි ඇය විශ්වාස කරන බවත් පැවසීය . “මෙන්න මේකයි රහස , පරිස්සමෙන් ආරක්ෂා කරල දෙන්න කියල මම ඔබේ බිරිඳට ලියුම් මිටියක් භාරදුන්නා , ඒ ලියුම් වල ස්වභාවය නිසා ඒවා මගේ ගෙදර තියාගන්න විදිහක් මට තිබුණෙ නෑ , කරුණාකර ඔබට පුලුවන්ද ඒ ලියුම් ටික මට ආපහු දෙන්න ? ” යැයි ඇය විමසීය .

ඇය එසේ පවසනවාත් සමඟ මගේ සර්වාංගයම හිරීවැටී ගියේය . නමුත් කැළඹුණු බවක් නොපෙන්වා “මොනවද ඒ ලියුම්” යනුවෙන් මා ඇසූ විට ආදිපාදිවරිය වෙව්ලා ගියාය . “ඔබේ බිරිඳ තමයි ජීවිතේ මට හමුවුණ පක්ෂපාතීම කාන්තාව , ඒ නිසාම ඇය මගේ සේවිකාව නොව මිතුරියක් බවට පත්වුණා , මා ඒ ලියුම් ඇයට භාරදෙද්දී ඒ ලියුම් මොනවද කියල ඇහුවෙ නෑ , කවදාවත් ඒ ගැන මගෙන් ඇහුවෙ නෑ , ඒවා කවදාවත් විවෘත කර නොබලන බවටත් ඇය පොරොන්දු වුණා”

“මගේ බිරිඳ කොහෙද ඒ ලියුම් හංගල තිබ්බෙ”

“ඇය මට කිව්වෙ ඇගේ මැහුම් ගෙතුම් මේසයේ ලාච්චුවක ලියුම් තබා ඇති බවයි , එය සෑම විටම යතුරු දමා වසා තිබෙන බවත් ඇය මට කිව්වා , රතු පාට රිබන් පටියකින් ගැටගහල එතන ඔක්කොම ලියුම් 30ක් ඇති”

මැහුම් ගෙතුම් මේසය තිබූ කාමරයට ආදිපාදිවරියව කැඳවාගෙන ගොස් ලාච්චුව විවර කර ලියුම් මිටිය ගෙන “මේවද ඒ ලියුම්” යනුවෙන් විමසූ විට ඇය ඒ ලියුම් මිටිය මගේ අතින් ඩැහැගත්තේ නොඉවසිල්ලෙන් . කරුණු හෙලිවීමට ඉඩ ඇති නිසා හරියට දෑස් හැර මා ඇය දෙස නොබැලුවෙමි . ඇයද ලියුම් මිටියත් රැගෙන වහාම පිටත් වී ගියාය .

බිරිඳ භූමදාන කළ දින සවස මගේ අතේ වේදනාවක් ඇති විය . ඒ එදා අවාසනාවන්ත රාත්‍රියේ මගේ අතට ලේ බිඳුවක් වැටුණ තැනයි . කතාවෙ ඉතුරු හරිය ඔබ දනී . ඒ අහිංසක ආදරණීය සුන්දර යුවතිය වැඩිදුර සොයා නොබලා කුරිරු ලෙස මරාදැමීමට මට ලැබෙණ දඬුවමයි මේ . මට එයින් කිසිඳු ගැලවීමක් නෑ . එම වේදනාවෙන් බේරීමට තවදුරටත් සටන් කිරීමට උත්සහ නොකරමි . මා බලාපොරොත්තු වන්නේ මගේ බිරිඳ හා එක්වීමටය , එහෙදී හෝ ඇයගෙන් සමාව ඉල්ලීමට මට හැකිවේවි . ඇය මට සමාව දෙන බවට කිසිම සැකයක් නෑ , ඇය ජීවත්ව සිටියදී මට ආදරය කළ අයු‍රින්ම නැවත ඇය මට ආදරය කරාවි . මගේ වේදනාව සුව කිරීමට ඔබ කළ සෑම දෙයක් සඳහාම ස්තූතිය පිරිනමමි .

~~

මා මෙතෙක් ඔබ වෙත ගෙන ආවේ මීට අවුරුදු 200කට පමණ පෙර හංගේරියානු සාහිත්‍යයේ පුරෝගාමියෙක් ලෙස සැලකෙන කැරොලි කිස්ෆලුඩි නම් ලේඛකයා විසින් ලියූ ලෝක සාහිත්‍යයේ සම්භාව්‍ය කෙටිකතාවක් ලෙස සැළකෙන the Invisible wound නම් කෙටිකතාවේ අනුවාදයයි .
මා එම කෙටි කතාව මීට අවුරුදු ගණනාවකට පෙර කියවූ විට සිතට ආවේ එය සමාජ මාධ්‍ය ජාලා වල ලියා තැබිය යුතු බවයි . එය එතරම්ම වටිනා කතාවකි . ඒ අනුසාරයෙන් කතා කිරීමට ඉතාමත් වටිනා කරුණු රාශියක්ම ඇතත් සැකය නම් කරුණ ඉන් වඩාත් ඉස්මතු වේ . සැකයේ සෙවනැල්ලක්වත් අප අපගේ ජීවිත තුළට වද්දා නොගත යුතුය .
ආදරය පැවතිය යුත්තේ විශ්වාසය සමඟිනි . ආදරය සහ විශ්වාසය නොහඳුනන කපටි වංචාකාරයින් සමාජයෙ කොතෙකුත් ජීවත් වන බව හැබෑය නමුත් සියල්ලටම අප කළබල විය යුතු නැත , කුමක් සිදුවූවත් ඉක්මන් තීරණ නොගෙන ඇත්ත ඇති සැටියෙන් සොයා බැලිය යුතුය , කොටින්ම අද අප ජීවත් වෙන සමාජය මායන් වලින් පිරුණකි , විටක සත්‍ය බොරුවේ ස්වරූපයෙන්ද , බොරුව සත්‍යයේ ස්වරූපයෙන්ද අපට හමුවේ , ඇසූ පමණින් දුටු පමණින් කිසිවක් නිශ්චිත ලෙස හඳුනා ගත නොහැකිය .

ආදරයට ආදරය කරන මිනිසුන් අතර ආදරයට වංචා කරන මිනිසුන් අද සමාජයේ සුලබය , ඉතින් ඔබගේ ආදරයට යමෙක් වරදක් කළොත් මෙහි කතා නායකයා මෙන් කෲර ලෙස ඔබට හැසිරිය හැකිද ? එවන් දේ මනුශ්‍යත්වයට නිගාවකි . ආදර සබඳතා නිසා ඇණ කොටා ගන්නා බොහෝ පිරිස් අද සමාජයේ නොඅඩුව හමුවේ . ආදරයක් බලෙන් ලබාගෙන බලෙන් පවත්වාගෙන යා නොහැකිය , ඔබ කෙතරම් ආදරය කළත් අනෙකා ඔබට ද්‍රෝහිවූවානම් කළයුත්තේ අත් හැරීම මිස පලිගැනීම නොවේ , ඔබ යමෙක්ට එක මොහොතක් හෝ අවංක සිතින් ආදරය කළානම් ඒ ආදරයට කවුරුන් ද්‍රෝහි වූවත් මිලේච්ඡයෙක් ලෙස ඔබට හැසිරීමට නොහැකිය ..

අනවශ්‍ය සැකය ඔබවත් ඔබගේ සියල්ලමත් විනාශ කරන පිළිලයක් බව අවසානයේ ලියා තබමි ..

*මුල් කෘතියේ හා පරිවර්තන ආදී සියල්ලේ අයිතීන් මුල් අයිතිකරුවන් සතුය .

-W.චතුරි මහේෂිකා-
-09.01.2020-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *