නගරයෙන් වනයට ගොස් ශිල්ප දෙන ස්විට්සර්ලන්තයේ පෙර පාසල් – සුනේත්‍රා ඇතුගල්පුර

“පෙර පාසල කොහෙන්දෝ, රෝස කැලෙන් ඇහින්දෝ” නියම කරගත් වේලාවට ස්විට්සර්ලන්තයේ ග්ලාරෑස් පළාතේ “බිල්ටන්”හි කුඩා කැලෑබද ප්‍රදේශයට දිවෙන මාර්ගය දිගේ මම ගමන් කළෙමි.ටික දුරක් එසේ ඉදිරියට යන විට මාර්ගයේ රවුමට වාඩි වී සිටින ළමුන් දොළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දැකගැනීමට හැකි විය .එම ළමා කවය මැද වාඩිවී සිටි කාන්තාව යමක් ළමුන්ට පැහැදිලි කරමින් සිටියාය .ඉන් ටික වේලාවකට පසුව අදාළ කාන්තාව පෙරදැරි කර ගත් ළමුන් කණ්ඩායම මාර්ගය දිගේ ඉදිරියට ඇදී ගිය අතර අනතුරුව එහි ඇති කැලෑබද ප්‍රදේශයකට ඇතුළු වූහ.

කැලෑබද ප්‍රදේශයේ දී ළමුන්ගේ හැසිරීමේ ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගත්තේය .ඔව්හු බොහෝ සේ සිනාසුනහ .කල්ලි ගැසී උසුළු විසුළු කළහ .

ඒ අතර දුටු තවත් දසුනක් වෙත මගේ නෙත ඇති ඇදී ගියේ නිරායාසයෙනි.කැලෑවේ පිහිටි තරමක විශාල ප්‍රමාණයෙ ගලක් මත වාඩිවී දුර ඈත බලා සිටින කුඩා දැරියකගේ දසුන චිත්‍රපටයක ආශ්චර්යමත් දසුනක් වැනිය .
තවත් අඩි කිහිපයක් ඉදිරියට ඇදෙන විට දකිනට ලැබුනේ ළමුන් විසින් සාදන ලද කුඩා සෙල්ලම් ගෙයකි .ළමුන් කීප දෙනෙකු එහි ඔබ මොබ යමින් සෙල්ලම් කළහ .

ඉහත කී විස්තරය කිසියම් විනෝද චාරිකාවක නිරත වූ ළමුන් පිරිසගේ චිත්‍රයක් ඔබ තුළ මැවෙනු නොඅනුමානය .එහෙත් එය නිවැරදි නොවේ .මේ ස්විට්සර්ලන්තයේ අනිවාර්යය මූලික අධ්‍යාපනයෙ තවත් එක් අංගයකි .
ස්විට්සර්ලන්තයේ මූලික අධ්‍යාපනය ඇරඹෙන්නේ පෙර පාසලේදීමය.වසර දෙකක එම පෙර පාසල් කාලය අනිවාර්යය .බොහෝවිට පාසල් අධ්‍යාපන කටයුතු මෙන් ,සාමාන්‍ය ගොඩනැගිලිවල පෙර පාසල් පවත්වාගෙන යනු ලැබේ .එහෙත් අප මේ කියන පෙර පාසල ඊට තරමකට වෙනස්ය.එය හඳුන්වනු ලබන්නේ “කැලෑ පෙර පාසල් “(wald kindergarten ) කියාය .එය පවත්වාගෙන යනු ලබන්නේ සාමාන්‍ය පංති කාමරවල නොවෙයි . නමින්ම හඳුන්වන පරිදි කැලෑවේ දී ය .අප ජීවත්වෙන ග්ලාරුස් පළාතේ සාමාන්‍ය පෙර පාසල් තිහකට ආසන්න සංඛ්‍යාවක් පැවතියත් ,”කැලෑ පෙර පාසල් “පවතින්නේ එකකි .ඒ අප මුලින් කී බ්ල්ටන් ප්‍රදේශයේය .

වසරේ ජූලි 30 වන විට වයස අවුරුදු හතර පිරෙන සෑම ළමයෙකුම සිටින නිවෙස් වලට ඒ ඒ නගර සභා මගින් පෙර පාසල් සඳහා ඇතුළුවීමේ අයදුම්පත් තැපෑලෙන් එවනු ලැබේ .එහිදී දෙමාපියන්ට තෝරා ගැනීම් දෙකක් ලැබේ .සිය දරුවා එක්කෝ සාමාන්‍ය පෙර පාසලට යොමු කළ හැකිය .එසේත් නැත්නම් කැලෑ පෙර පාසලට යොමු කළ හැකිය .Image may contain: one or more people, tree, outdoor and nature

කැලෑබද පෙර පාසල සඳහා වැඩි පිරිසක් අයදුම් නොකළත් එය ඉදිරියට පවත්වාගෙන යාමට බලධාරීන් කටයුතු කරන්නේ එහි ඇති වැදගත්කම නිසාය .
එමෙන්ම කැළෑ පෙර පාසල සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ දී අවධාරණය කරන ප්‍රධාන කරුණක් වන්නේ ,සෑම දේශගුණික තත්ත්වයක් යටතේ පෙර පාසල් පවත්වාගෙන යන බවය .එහි අර්ථය වන්නේ වර්ෂාවේ දී , හිමපතනය යෙදී හෝ අධික හිරු රශ්මිය පවතින අවස්ථාවේ දී හෝ සාමාන්‍ය පරිදි පෙර පාසල් පවත්වාගෙන යන බවය .

කැලෑබද පෙර පාසල් සඳහා නිශ්චිත ගොඩනැගිල්ලක් නොමැත .එය පවත්වාගෙන යන්නේ කැළෑවේ එළිමහනේය.සතියේ දින පහම කැලෑ පෙර පාසල පවත්වාගෙන යනු ලබන අතර එහි කාලය පැය 6 කට වඩා වැඩි වන්නේ නැත .
කැලෑ පෙර පාසලක ඉගෙනුම ලබන දරුවෙකුට ලැබෙන වාසි කිහිපයක් තිබේ .ස්වභාධර්මයේ පහස හා පිරිසුදු වාතය ආග්‍රහණය කිරීමට ලැබීම මෙම සංකල්පයේ ප්‍රධාන අරමුණය.පෙර පාසල සෑම කාලගුණික තත්ත්වයක් යටතේ ම පවත්වාගෙන යන බැවින් ළමුන්ගේ රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ යන බව බහුතරයකගේ මතයයි .ළමුන්ට නිදහසේ ඔබ මොබ යෑමට හැකියාව ලැබෙන බැවින් මානසික හා කායික සංවර්ධනය ඉහළ යන බව ද කියැවේ . එමෙන්ම දරුවන්ට සොබාදහමට පූර්ණ ලෙස සම්බන්ධ වී පරිසරයට හා අනෙකුත් ජීවීන්ට ගරු කිරීමට ඉගෙන ගත හැකිය.Image may contain: 1 person, child, outdoor and nature

ළමයින්ට විශේෂයෙන් උපකාර කිරීම සඳහා වනාන්තරය විසින් විස්තර කළ නොහැකි තරම් අවස්ථාවන් ලබා දෙයි. සොබාදහම සමඟ සෙල්ලම් කිරීමෙන් සහ පෙර සැකසූ ද්‍රව්‍ය නොමැතිව දරුවාගේ පරිකල්පනය නිදහසේ වර්ධනය වන බවද කියවේ. . දරුවන් විවිධ මෘදු ශබ්දවලට හොඳින් සවන් දීමෙන් සහ වටහා ගැනීමෙන් අභ්‍යන්තර සාමය සහ අවධානය යොමු කිරීමේ හැකියාව ප්‍රවර්ධනය වන බවද, එකට එක්වී බාධක ජය ගැනීමට පුරුදු පුහුණු වන බවටද මත පළවේ. .

ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා තවත් කරුණක් වන්නේ සෑම දිනයක්ම විවිධත්වයකින් යුතු එකක් වන බැවිනි .
එහෙත් සාමාන්‍ය පෙර පාසලට වඩා කැලෑ පෙරපාසලේ වැඩි වාසිදායක තත්ත්වයන් පැවතියත් දෙමාපියන් බහුතරයක් කැලෑ පෙරපාසල තෝරා නොගන්නේ ඇයිද යන, පැනය ඔබ තුළ පැන නැගෙනු නොඅනුමානය . ඊට ප්‍රධාන හේතුව වන්නේ බොහෝ දෙමාපියන් රැකී රක්ෂාවල නිරත වන බැවින් ළමුන් අදාල ප්‍රදේශයට ගෙන යාම හා යළි රැගෙන ඒම එතරම් පහසු කටයුත්තක් නොවීමය .ඊට අමතරව දෙමාපියන් තුළ පවතින එක්තරා බියක් ද ඊට හේතුවයි .එනම් කැලෑවේදී අසීමිත නිදහසක් භුක්තිවිදින දරුවා සාමාන්‍යය පාසල් අධ්‍යාපනය කාමරයක් තුළ ලබාගැනීමේ දී කිසියම් පීඩනයකට පාත්‍ර වනු ඇතැයි යන්නය .

තමන් ජීවත්වන නගර සභාවේ පිහිටි පෙර පාසලට ළමුන් යොමු කිරීම සෑම දෙමාපියන්ගේ යුතුකමයි .වසර හතරකට අධික කාලයක් දෙමාපියන්ගේ රැකවරණය මත ජීවත් වූ දරුවා වෙනත් පුද්ගලයෙකුගේ රැකවරණය යටතට පත් වන වකවානුව පෙර පාසල් අවධියයි.මෙය කුඩා දරුවන්ට පමණක් නොව දෙමාපියන්ට ද කිසියම් ආකාරයක අභියෝගයකි.

පෙරපාසල් අධ්‍යාපනය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර අදාල දෙමාපියන් කැඳවා ඒ සඳහා දරුවන් සූදානම් කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම විශේෂත්වයකි .ඉන් ප්‍රධානතම තැනක් ගන්නේ නිවසේ සිට පෙර පාසල දක්වා වූ මාර්ගය යි .
දරුවන්ට texi කරුවන් නොවන ලෙසට මෙහි දී දෙමාපියන්ට අවවාද කෙරේ .එහි අර්ථය වන්නේ ළමුන් නිවසේ සිට පෙර පාසල වෙත යෑමට ඇති මාර්ගයේ තනිව ගමන් කිරීමට ඉගෙන ගත යුතු අතර දෙමාපියන් වාහන මගින් ළමුන් ඔබමොබ ගෙනයාම නතර කළ යුතු බවය .එහෙත් දෙමාපියන්ට දරුවන් සමඟ ටික කාලයක් පෙර පාසල දක්වා ගමන් කිරීමට බාධාවක් නොමැත .ඒ මාර්ගය හඳුනා ගැනීම සඳහා දරුවාට අවශ්‍ය කාලයක් ලබා ගැනීමටය .Image may contain: one or more people, shoes, tree, outdoor and nature

“අප සමඟ කතා කරන ශ්‍රී ලංකාවේ ජීවත් වන බොහෝ පිරිස් පුදුමයට පත්වන කරුණක් වන්නේ ,අපගේ දරුවන් තනිව පාසලට” යාම්,ඒම් ” කරන බව ඇසීමෙනි. එය ස්විට්සර්ලන්තයේ ජීවත්වන අපට පුදුමයට කරුණක් නොවේ.පෙර පාසල් අධ්‍යාපනයේ සිට දරුවා ඒ සඳහා සූදානම් කිරීම ඊට හේතුවයි .

පෙර පාසල් අධ්‍යාපනය ආරම්භ වී සති කිහිපයකට පසුව දරුවන්ට ගමේ පොලිසියේ විශේෂ පුහුණුවක් ලැබේ .මෙහිදී සිදුකරන්නේ මාර්ගයේ ගමන් කරන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබා දීමය.කණ්ඩායම් ලෙසින් දරුවන් පෙර පාසලෙන් පිටතට ගෙන යන පොලිස් නිලධාරියෙකු මාර්ගයේදී පාරේ ගමන් කරන ආකාරය ,කහ ඉරෙන් ගමන් කරන ආකාරය පිළිබඳව දරුවන්ට ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදෙයි .මේ සඳහා වාහන වල ගමන් කරන පිරිසගෙන් ද ලැබෙන්නේ නොමද සහයකි .
..
සාමාන්‍ය පෙර පාසල් කාලසටහන තුළ කැලෑ පෙර පාසලට කිසියම් ඉඩක් හිමිවේ.ඒ අනුව මසකට දෙතුන් වතාවක් දරුවන් ඒ ප්‍රදේශයේ පිහිටි කුඩා කැලේකට ගෙනයාමට ගුරුවරු ක්‍රියා කරති .ඒ අප මුලින් කී ආකාරයට ස්වභාධර්මයේ චමත්කාරය දරුවන්ට සාමූහිකව විදීමේ අත්දැකීම ලබාදීම සඳහාය .බොහෝවිට ගිම්හාන සෘතුවේ මෙය සිදු කෙරෙන අතර එහිදී ගිනිමැලයක් ගසා “සෝසේජයක්” පුළුස්සා ගැනීමේ අත්දැකීම දරුවන්ට හිමිවේ .

ඡායාරූප ශෂී සුබ්‍රමනියම්.

Image may contain: plant, tree, flower, outdoor and nature

Image may contain: one or more people, outdoor and closeup

Leave a Reply

Your email address will not be published. Required fields are marked *