පුංචි-ට්‍රම්ප්ලාගේ අසමත්භාවය    – සුමිත් චාමින්ද

මේ මොහොතේ ලෝකයේ විශාලතම විරෝධතා ව්‍යාපාරය දියත් වන්නේ අපගේ දොරකඩ ඉදිරිපිටය. ඒ දැන් මාස තුනක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන ඉන්දීය ගොවීන්ගේ මහා නැගී සිටීමයි. ජනවාරි 26 වනදා දස දහස් ගණනින් නව දිල්ලිය කරා පැමිණි ගොවි විරෝධතාකරුවෝ ඉන්දීය ජන රජ දිනයේ අවධානය සම්පූර්ණයෙන්ම තමන් වෙත යොමු කරවා ගැනීමට සමත් වූහ. මෝඩි ආණ්ඩුවේ සංශෝධිත පුරවැසි පණතට එරෙහි මෑතකාලීන විරෝධතා ව්‍යාපාරයේ මෙන්ම වත්මන් ගොවි අරගලයේද සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විරෝධතාකරුවන්ගේ (ග්‍රාම්ස්චියානු අරුතින්) “ජාතික-ජනතා” පදනමක් පැවතීමයි. සටන් වැද සිටින්නේ භාරත දේශයේ පොදු ජනතාවයි. හින්දූත්වවාදී අන්තවාදී පණත්වලට එරෙහි සිසු ජන ව්‍යාපාරය සේම නව-ලිබරල් කෘෂිකාර්මික පණත්වලට එරෙහි ගොවි ජනයාද පවසන්නේ තමන් දේශප්‍රේමීන් බවයි. ජනරජ දින උද්ඝෝෂණයේ යෙදී සිටි ඇතැම් ගොවීන් ඉන්දීය ධජය පැළඳ සිටියහ. ඔවුන්ගෙන් මූර්තිමත් වන්නේ ඉන්දීය පොදු ජන සංස්කෘතිය තුළට මුල් බැසගෙන තිබෙන ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන්ය. මහජන අවකාශයන් යළිත් මහජනයා විසින් අත්පත් කර ගනු ලැබීම සංකේතවත් කරමින් ඔවුන් නව දිල්ලියේ ලැගුම් ලා ගත්හ; ජනරජ දිනයේ මූලධාර්මික අරුත සිහි ගන්වමින් දිල්ලියේ ඓතිහාසික රතු බලකොටුවට ඇතුල් වූහ. මෝඩිගේ චානක්‍ය ලෙස හැඳින්වෙන අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා විසින් මෙහෙයවෙන පොලිස් බලකායන් මේ මහා ජනතා නැගී සිටීම ඉදිරියේ අසරණභාවයට පත්ව තිබේ.

ඉන්දීය ගොවි අරගලයේ වැදගත්ම දේශපාලන ඇඟවීම වන්නේ අන් කිසිවක් නොව මෝඩිගේ සහ භාරතීය ජනතා පක්ෂයේ හදවතටම එයින් ප්‍රහාරයක් එල්ල වීමයි. මෝඩි සහ බී.ජේ.පීය පෙනී සිටියේ සෙසු දක්ෂිණාංශික පක්ෂවලට වඩා පොදු ජන හද ගැස්ම වටහා ගත් නායකත්වයක් ලෙසයි; භාරතයේ භූමි පුත්‍රයින් ලෙසයි. (අප රටේ රාජ-පක්ෂය සේමය). ජනතා අභිලාෂයන් වටහා ගැනීමේදී බී.ජේ.පීය රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රසය අභිබවා යන්නට සමත් වූ බව පොදුවේ පිළිගැනුණු කාරණයක් විය. සැබවින්ම, එය ජනතා අභිලාෂයන් නිර්මාණය කළේය. ඒ නව-ලිබරල් ගෝලීයකරණ ප්‍රතිපත්ති මගින් බැට කමින් සිටි ජනයා හට ජනවර්ගවාදී සහ ආගමිකවාදී භාෂාවකින් ආමන්ත්‍රණය කිරීමෙනි. මෝඩි තමාව දෘෂ්ටිවාදීව මූර්තිමත් කර ගත්තේ නූතන රාම් කුමරා ලෙසයි. අයෝධ්‍යාවේ බබ්රි මස්ජිඩ් පල්ලිය කඩා බිඳ දමමින් ආරම්භ වූ හින්දූත්වවාදයේ දේශපාලන ව්‍යාපාරයේ අරමුණ වූයේ භාරත දේශය රාම් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමයි. එම ව්‍යාපෘතිය වටා අති විශාල ජන සමූහයක් ඒකරාශී කර ගත හැකි වූයෙන්, මෝඩිගේ බී.ජේ.පීය “දේශපාලනයේ මහ පොළොවට” වඩා සමීප බැව් කියැවිණ. නමුත්, දැන් එය ඉන්දීය ගොවි ජනයාගේ අභිලාෂයන් කෙරෙහි සංවේදී නොවන්නා වූත්, අදානි-අම්දානි ධන කුවේරයින්ගේ හස්තයට යටත් වී සිටින්නා වූත් නායකත්වයක් බව හෙළිදරව් වෙමින් තිබේ. එවිට බිඳ වැටෙන්නේ තමන් ස්වදේශික ප්‍රජාවන් වෙත වඩාත් සමීප නායකත්වයක්ය යන අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ ප්‍රධානතම දෘෂ්ටිවාදී කියා පෑමයි. තමන්ට බලයට එන්නට සහාය දුන් ජාතිකවාදී කණ්ඩායම්වලම ප්‍රහාරයට දැන් දැන් ඉලක්ක වෙමින් සිටින ශ්‍රී ලංකාවේ ගෝඨාභය පාලනය මුහුණ දී සිටින තත්ත්වය ද මේ සමග සැසඳිය හැකිය.
ඒ අනුව, දැන් භාරතයේ නූතන රාම් සේම හෙළ දීපයේ නූතන රාවණද අනපේක්ෂිත අභියෝගයකට මුහුණ පා සිටී!  මෙතරම් ඉක්මණින් ජාතික-ජනතා පදනමක් සහිත බහුජන අරගලයකට මුහුණ දීමට තමන්ට සිදු වේ යැයි ඔවුන් අපේක්ෂා නොකරන්නට ඇත. නව-ලිබරල් යහපාලනවාදී රාහුල් කෙනෙකු හෝ රනිල් කෙනෙකු සමග හැප්පීම හින්දූත්වවාදී හෝ සිංහල බෞද්ධවාදී අන්ත දක්ෂිණාංශයට මහ ලොකු කජ්ජක් නොවේ. නමුත්, අරගලයේ නිරත ඉන්දීය ගොවියා සමග හැප්පීම හෝ ලාංකීය වරාය සේවකයා සමග හැප්පීම එතරම් පහසු නැත. ජනතා අරගල මර්ධනය කිරීමේ පහසු මාර්ගය සැබවින්ම ලොව කොතැනක වුවත් දක්ෂිණාංශික ජනතාවාදයට තෝරා ගත හැකි අවසාන විකල්පය යි. නමුත්, එම තෝරා ගැනීම තරම් ස්වයං-විනාශකාරී වූවක් ඔවුනට තවත් නැත. මන්ද යත්, අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී පාලකයින් ලොව පුරාම ප්‍රවණතාත්මක ලෙස බලයට පත් වූයේ පුළුල් මහජන සහයෝගයක් සහිතව වීම නිසාය. දැන් ඔවුනට අභියෝගය එල්ල කරන කොටස් අතර මෙතෙක් කලක් ඔවුනට සහාය දැක්වූ වැදගත් සමාජ ශ්‍රේණීන්ද සිටී. අඩු තරමින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය එයයි. එක්සත් ජනපදයට අදාළ තත්ත්වය (“කළු ජීවිත වටී!” ව්‍යාපාරයට අදාළව) තරමක් වෙනස්ය.
දේශපාලන ආර්ථිකය, මෝඩයෝ!
සමකාලීන දේශපාලනය පිළිබඳ ලිබරල්වාදී විශ්ලේෂණයන් විවේචනයට ලක් කරමින් ස්ලේවෝයී ශිෂෙක් පවසන්නට පුරුදුව සිටින යෙදුමක් නම් “දේශපාලන ආර්ථිකය, මෝඩයෝ!” (it’s the political economy, stupid!) යන්නයි. ඔහු පෙන්වා දෙන්නේ බොහෝ විට ලිබරල්වාදී දේශපාලන විශ්ලේෂකයින්ට මග හැරෙන දේශපාලන-ආර්ථිකමය මානය වත්මන් ගෝලීය දේශපාලන ප්‍රවණතා වටහා ගැනීමේදී ඉතාම වැදගත් වන බවයි. ඇතැම් විට, දේශපාලන-ආර්ථිකමය සාධක නොතකා හැරිය විට අපට සමස්ත චිත්‍රය ගැන ලැබෙන්නේ ඉතාම පාර්ශවීය සලකුණකි. මේ කාරණය වත්මන් දිනවල ඉන්දියාවේ සේම ශ්‍රී ලංකාවේද විරෝධතා දේශපාලනයේ නව මානයන් වටහා ගැනීමේදී හොඳින්ම වලංගු වේ.
ඉන්දීය ගොවි ජන අරගලයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ වරාය සේවක අරගලයේදීද නම කියැවෙන එක්තරා පුද්ගලික සමාගමක් තිබේ. ඒ අදානි සමාගමය. දෙරටේම ජනතාවාදී ආමන්ත්‍රණයක් සහිතව බලයට පැමිණි නායකයින් දැන් එක් හෝ තවත් ආකාරයකින් මේ මහා කතිපයාධිපති සමාගමේ අභිලාෂයන් සමග සමාන්තරව සිටී. ඉන්දියාව තුළ නව-ලිබරල් ප්‍රවේශයේ ආර්ථික ප්‍රතිසංස්කරණයක මූලිකත්වය ගැනීමට හින්දූත්ව උරුමයේ නාමයෙන් බලයට පත් වූ පාලන තන්ත්‍රයකට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට වෙනස් නැත. ඇතැම් විට, එය ඊටත් වඩා සරදම්ජනකය. බටහිර විරෝධී දෘෂ්ටිවාදී මන්ත්‍ර ජප කිරීම ප්‍රිය කරන සිංහල බෞද්ධ ජාතිකවාදී නායකත්වයකට එක්සත් ජනපද-ඉන්දීය අක්ෂයේ භූ-දේශපාලනික අරමුණු ඉටු කෙරෙන ආකාරයෙන් තම ප්‍රධාන වරායේ පර්යන්තයක් විකිණීමට සිදු වීම ගැන මදක් සිතන්න. “කොරෝනා ධනවාදයේ” සංධර්භය තුළ ට්‍රම්ප්ගේ එක්සත් ජනපදය තුළ සේම ලොව සෙසු තැන්වලද අන්ත-දක්ෂිණාංශික ජනතාවාදය මුහුණ දී සිටින්නේ මෙවන් සරදම්ජනක අභියෝගයක් වෙතය. ට්‍රම්ප්ට අත් වූ ඉරණම පුංචි-ට්‍රම්ප්ලාටද එලෙසින්ම අත් විය යුතු යැයි නියමයක් නැත. ශන්තාල් මූෆ් මෑතකදී අනතුරු හැඟවූ පරිදි ඇතැම් විට අන්ත-දක්ෂිණාංශය නව වටයකින් මතු වීමටද මේ ගෝලීය අර්බුධය හේතු විය හැකිය.
බල හවුලේ අවුල
නොඑසේනම්, තවත් විය හැකියාවක්ද පවතී. එනම්, පාලක බල හවුල (ruling power-bloc) තුළ උග්‍ර වෙමින් පවතින ගැටුම්වලට ප්‍රතිචාරයක් ලෙස ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික පාර්ශවයන් අතර නව සම්මුතියක් නිර්මාණය වීමයි. දැන් එක්සත් ජනපදයේ මේ විය හැකියාව ගැන කතා බහට ලක්වෙමින් තිබේ. මෑත දිනෙක මංගල සමරවීර වත්මන් ආණ්ඩුවේ ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති අගයමින් සරදම්ජනක ස්වරයෙන් ඉඟි කොට තිබුණේ එවන් මාවතක් ගැනය. තවමත් ශ්‍රී ලංකාවේ එවන් “නව ආන්තික මධ්‍යයක්” සඳහා වන සූදානමක් පෙනෙන්නට නොමැති බව සත්‍යයකි. නමුත්, ලෝකයේ දේශපාලන ක්‍රියාවලීන් දැන් එදෙසටද දෝලනය වේ.
– සුමිත් චාමින්ද 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *