එන්නත ආවාට පරිස්සම තවදුරටත්.

කොවිඞ් 19 හෙවත් කෙරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සාර්ථකව ප‍්‍රතිචාර දැක්වූ ලොව ප‍්‍රමුඛ පෙළේ රටවල් දහය අතරට ශී‍්‍ර ලංකාව ඇතුළත්ය. ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරය මූලික කරගත් ලෝව් නමැති ආයතනය විසින් ලෝකයේ රටවල් 100 කට වැඩි ප‍්‍රමාණයක් කොරෝනා වසංගතය පාලනය කිරීමට ගත් පියවර අධ්‍යනය කිරීමෙන් පසු කළ වාර්තාව අනුව ශී‍්‍ර ලංකාවට 10 වැනි ස්ථානය හිමිවී ඇති බව ප‍්‍රකාශයට පත් කර ඇත.

රටක් විදිහට ගත් විට අපට මෙය සතුටු විය හැකි කාරණයකි. කොරෝනා තත්ත්වය පාලනය කිරීමේදී අංක එකේ ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර අපට ඉහළින් සිටින අනෙකුත් රටවල් වන්නේ වියට්නාමය, තායිවානය, තායිලන්තය, සයිප‍්‍රසය, රුවන්ඩාව, අයිස්ලන්තය, ඔස්ටේ‍්‍රලියාව සහ ලැම්බියාව යන රටවල් පමණි. ලෝකයේ බලගතු රාජ්‍යයන් වන ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල්වලට පවා කොරෝනා වෛරසය පාලනය කිරීමට නොහැකි වූ තත්ත්වයක් යටතේ ශී‍්‍ර ලංකාව මේ ලද ස්ථානය ගැන සතුටු වෙනවා විනා උදම් ඇනිය යුතු නැත. එනිසාම තවදුරටත් නිසි සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරමින් කොරෝනා මැඬලීම සඳහා මූලිකත්වය ගෙන සිටින ආරක්‍ෂක අංශ ඇතුළු අනෙකුත් පාර්ශ්වයන්ට අපගේ උපරිම සහයෝගය දිය යුතුය.

කොරෝනා මර්දනය කිරීම සඳහා ඉන්දීය රජයේ ප‍්‍රදානයක් ලෙස ලැබුණු ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් ලක්‍ෂ පහක් මේ වන විට ශී‍්‍ර ලංකාවට ලැබී තිබේ. මෙම එන්නත් ලබාදීමේදී කොරෝනා රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් තිබෙන

සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්‍ෂක අංශ හා වඩා අවදානම් මට්ටමේ සිටින කාණ්ඩ තෝරා ගැනීමට නියමිතය. මෙම එන්නත්වලට අමතරව චීනයෙන් ද අපට ලක්‍ෂ තුනක කොරෝනා එන්නත් ප‍්‍රදානයක් ලෙස ලැබීමට නියමිතය.

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා අප රටට යම් එන්නත් ප‍්‍රමාණයක් ලැබූ පමණින් දැන් ඉතින් කොරෝනා ඉවරයි කියා අත පිසදමා ගැනීමට හෝ නිදහසේ හැසිරීමට කාටවත් ඉඩක් නොමැති බව තරයේ සිහියේ තබාගත යුතුය. ප‍්‍රායෝගිකව ගත් කල සියලූ දෙනාටම මෙම එන්නත ලබාදීමේ කි‍්‍රයාමාර්ගයක් නොමැත. එලෙස ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කළ හැකි වුවත් ඒ සඳහා යම් කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.

මේ නව කොරෝනා වෛරසයේ අලූත් ප‍්‍රභේදයක් අප රටින් පසුගියදා සොයා ගනු ලැබූ අතර මෙම ප‍්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යන ස්වභාවයක් පවතින බවද වෛද්‍ය විශේෂඥයන් විසින් සොයා ගෙන ඇත. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක විද්‍යා අධ්‍යයන අංශය මගින් සිදුකළ පර්යේෂණයක් ඔස්සේ මෙම නව වෛරස් ප‍්‍රභේදය සොයා ගනු ලැබූ අතර එය ඉතා ඉක්මනින් ව්‍යාප්ත විය හැකි බවද එම පර්යේෂණ අංශය විසින් පෙන්වා දී තිබුණි. දැනට ස්විස්ටර්ලන්තයේ සහ ජර්මනිය වැනි රටවල පැතිර යන මෙම ප‍්‍රභේදය ලංකාවට ද යම් බලපෑමක් කිරීමේ ඉඩකඩක් නැතැයි කාටවත් කිව නොහැක.

තත්ත්වය එසේ හෙයින් අප මෙරට පුරවැසියන් ලෙස කොරෝනාව පාලනය කිරීම සඳහා වඩා වගකීමකින් කටයුතු කළ යුතුව ඇත. එහෙත් තවමත් සමහරුන් හැසිරෙන්නේ හරක් මෙනි. එය ඉතා කනගාටුදායක තත්ත්වයකි. පී.එච්.අයි. ලාට කෙළ ගසා හිරේට ගිය අටුළුගම ඇමියාගෙන් හෝ මේ අය පාඩමක් උගෙන නැතිවීම කනගාටුවට කරුණකි.

පී. සී. ආර්. පරීක්‍ෂණයට ලක්වූ අයෙක් එහි ප‍්‍රතිඵල ලබාදෙන තුරු සිය නිවසේ නිරෝධායනය විය යුතුය. නමුත් එසේ නොසිට පීසීආර් පරීක්‍ෂණවලට යොමු වූ ඇතැම් පිරිස් නිරෝධායන නීති නොතකමින් සමාජය තුළ සංචරණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි. මෙම වැරැුද්ද වැඩිපුර සිදුවන්නේ ප‍්‍රභූන් අතින් බවද ඔහු පෙන්වා දෙයි. කොරෝනා සමඟ වැඩි සෙල්ලම් නොදැමිය යුතුය. කොරෝනාවෙන් අප රට ඉක්මනින් මුදා ගැනීමට නම් අප සියලූ දෙනා තම තමන්ට හිමි භූමිකාව නිසි ලෙස කි‍්‍රයාත්මක කළ යුතුය. එසේ නොමැතිව එන්නත ආවා… අප දැන් බය නැහැ වැනි බාල බොළඳ නිගමනවලට ගියහොත් තත්ත්වය නරක්වීමට පුළුවන. එන්නතේ පූර්ණ ප‍්‍රතිඵල ලැබීමට තවත් කාලයක් ගත වන බැවින් අප තවදුරටත් පරිස්සම් විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *