මම මවා ගනිමි ඔබ…. බලා හිඳිමි මග….

ජීවිතයේ කිසිදාක අත්හළ නොහැකියැයි සිතූ තැන් කොතෙක් නම් අප කාලයත් සමග පසුකර විත් ඇත්ද? ඇතැම් තැන් හසරැල් නිසාම අත්හරින්ට නොහැකි වෙද්දී වැඩිපුරම තිබුණේ කඳුළු මැදත් අත්හරින්නට නොහැකිව බදා වැළඳගත් තැන් ය. අතරින් පතර තිබුණේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැතිවත් අත්හරින්ට නොහැකිව සුසුම්ලෑ තැන් ය. බලාසිටින්න ද අතැර යන්න ද රැඳී සිටින්නදැයි නොදැන සිරවී බිඳී ගිය තැන් ය. එහෙත් කාලය සමග එවන් තැන් පසුකර විත් අප අද ජීවිතයේ කුමන නම් නවාතැන්පලවලට පැමිණ ඇත්තෙමු ද? නොඒසේ නම් එවැනි නවාතැනක් හමු නොවී තවත් ගමනේ නිරතව සිටින්නෙමු ද?
කාලය එතරම් ම පේ‍්‍රමණීය මිතුරෙකි. පසුකර යා නොහැකියැයි සිතු තැන් බොහොමයක් පසුකර අප ඉන් බොහෝ ඈතට ගෙන යන නිහඩ මිතුරෙකි කාලය. කිසිදා සුව නොවෙතැයි සිතූ වේදනාවන් කිසිදා නොමැකෙනු ඇතැයි සිතූ කැළැල් සෙමෙන් සුවපත් කරන ඔසුවකි.

අතීතේ දවසක සියල්ල නිමාවනු ඇතැයි සිතූ තැනක් සියල්ල නතරවන්නේ නම් හොඳයැයි සිතූ තැනක් මිදී යන්නට සවියක් නොතිබූ තැනක් අවසන්ම මොහොත යැයි සිතූ තැනක් ඔබටත් මටත් ඇති. ඒත් අප ඒ තැන් පසුකර මෙතැන තෙක් බොහෝ දුර විත් ඇත.
ඔබ මට කාලය සම ය. ඔබ එතරම් පේ‍්‍රමණීය වන්නේ යැයි මම සිතමි. දිනෙක මට ඔබ ව හිමිකරන්නේ ද ඒ කාලය ය. එතෙක් මා සමග හිඳින්නේ ද කාලය ය.
එබැවින් ම කඳුළැල් පිරි තැන් පසුකර විත් මම ඔබ එන තෙක් බලා හිඳිමි. ඒ බලාපොරොත්තුවෙන් පිරි මගබැලීමකි. නිසැකයෙන් ම ඔබ පැමිණෙන බව දැන දැන ම ඔබ දකින්නට නොඉවසිල්ලෙන් මග බලා හිඳීමකි. ඒ හැඟීම ඔබට කෙසේ නම් වදන්කර පවසන්න ද? රිදුණු තැන් බිඳුණු තැන් පසුකර විත් කිසිදාක නොරිදෙන්නට නොව රිදෙන තැන්වල පවා අත්වැලක පැටලෙන්නට ඔබ මා අසළ හිඳිනු ඇතැයි අපේක්ෂාවෙන් ඔබේ පෙරමගට දෑස් දල්වා හිඳීමකි. එලෙස මගබලන තප්පරවල ඇති මිහිරියාව දිනෙක මම කෙසේ නම් ඔබට පවසන්න ද? ඒ මොහොත අරුණැල්ලක නිශාවක ගිනියම් දහවලක හෝ වැහිබර සැඳෑවකදැයි නොදැන ඊළග මොහොත ද තවත් දිනයක් ද සතියක් ද නැතිනම් වසරක් ද නොදැන බලාපොරොත්තුවෙන් ම දිවි ගෙවීමකි. එහෙත් ඔබ නියත ලෙස ම පැමිණෙන බව සිතා විශ්වාසයෙන් බලා හිඳීමකි.
මවිත වන්නට කිසිත් නොමැතිව ගෙවන ජීවිතයක අපේක්ෂා නොකරන මොහොතක් අපේක්ෂාවෙන් කාලය ගෙවී යන බව මට හැගෙයි.
ඔබට ඔබ දරාගත නොහැකි තැනක ඔබව දරාගත හැකි හදවතක් මම ඔබට තිළිණ කරමි. හදවත දැවෙන විටක ඔබේ ඇසුර හිමගිරක සිහිල් සෙවනැල්ලක් වේ නම් ඔබ දැවී අලූ වී ගිය විටෙක ඔබ යළි ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් අළු මතින් නැගී සිටින තෙක් පවුරක්ව සිහිල් මාරුත චණ්ඩ මාරුත වළකන පේ‍්‍රමයක් වන්නට මට හැකිවනු ඇත.
එහෙත් මිනිසුන්ට ඇතැම් විට අවැසි වැටෙන විට අල්ලාගන්නට සවිමත් අතක් නොව එක්ව වැටී එක්ව නැගිටින්නට හැකි හිතකි. ආයාසයෙන් දරාගනිමින් ගෙවූ විඩාබර දහවලට පසු ඉකිගසා කෑගසා හඩා වේදනාවන් පිටකළ යුතු රාත‍්‍රීන් අපට උදාවනු ඇත. එවන් විටෙක වදනින් වදන හදවත සවිමත් කරන අසාර්ථක වෑයමකට වඩා සිත් සේ හඩන්නට ඔබේ උරහිසක මගේ හිස තබන්නට ඉඩක් පමණක් ඇති ය. මට මා දරාගත නොහැකි එවන් මෙහොතක ඔබ නිහඩව ම මා දරා හිඳින්නේ නම් ඔබ වෙනුවෙන් මේ මග බැලීමට එතරම් අගයක් තවත් නැත.
අත් හළ යුතු ම තැනක පවා අත්නොහැර සිටීම විටෙක පේ‍්‍රමය යැයි සිතීමී. එහෙත් අත්නොහැර සිටි තැන්වල පවා අත්හැර ගිය උන් වෙනුවෙන් එසේ සිතීම ම උමතුවක් බව දැන් සිතමි. අත් හළ යුතු ම තැන්වලදී අත්නොහැර ආ දුර වැඩි යැයි සිතමි. එහෙත් අත්නොහැරෙන්නට ඔබ අල්ලාගන්නට ඇත්නම් මට සිතේ.
පේ‍්‍රමයකට සීමා මායිම් ඇති විට සොඳුරු ය. ඒ සිහින් සියුමැලි සීමා තුළ හදවතට නිදහසේ අනන්තය තෙක් පාව යා හැකි විට තවත් සොඳුරු ය. ඔබේ පේ‍්‍රමය එසේ යැයි මම මවමි. අත්හැර යා යුතු ම විටෙක පවා අත්නොහැර සිටින්නට තරම් ඔබ විසල් සිත් ඇත්තෙකැයි මම සිතමි. අත්නොහැරෙන්නට ඔබ අල්ලා ගන්න ඇත් නම් යැයි මම යළිත් සිතමි.
අස්ථිර බොහෝ දේ ගිළිහුණු පසුත් සියල්ල යළිත් එක්තැන් කරන්නට ස්ථිර ලෙස ම ඔබ මා අසලින් හිඳිනු ඇතැයි සිතීම ම සිහිනයක් මෙනි. එවන් දවසක ඔබ ළගින් හිඳ උණුසුම් කෝපි කෝප්පයක් බෙදාගනිමින් සියල්ල අලූතින් සැලසුම් කරන්නට අපට හැකිනම් එසේ ගිළිහෙන කිසිත් ගැන මම කම්පා නොවෙමි. එවැනි හෙටක් නොබියව වැළඳගමි. දුක අතර වුව ඔබ මා පසෙකින් හිඳින තප්පරවල මිහිරියාව මම හදවතින් විඳගමි.
ඉදින් ඔබ ළග ළග ම එතැයි සිතමින් මම සෙමෙන් ඔබේ පෙරමගට පියවර තබමි. මා පසුකර යන මුහුණු මත මම ඔබව නොසොයමි. ඒ මුහුණු මත ඔබ ව නොදකිමි. ආශ්චර්යයන් නොපතමි. එහෙත් කෙසේ හෝ මා ඔබත් ඔබ මමත් හඳුනාගනු ඇත. එය සැලසුම් නොකරන තරමට ම සොඳුරු වනු ඇත. අපේක්ෂාවෙන් සිටි අපේක්ෂා නොකළ මොහොතක් වනු ඇත.
එයින් පසු මැකී යන වෙරළ මත අපි අපේ පියසටහන් තබමු. නිමක් නැති තරු අතර හිස්තැන් අපේ ඇස් බැල්මෙන් පුරවමු.

මේනුකා දම්සරණී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *