වැක්සීන් එකෙන් පසු – ප්‍රතිශක්තිකරණයේ හැඩ වැඩ – වෛද්‍ය බෝධීනි සමරතුංග

සාමාන්‍යයෙන් ළදරු අවදියේදී බෙහෙතක් විද්දම ඒ බබාට හොදටම උණ එනවා.. ඒ උණ ඒම හොදයි කියලයි අපි ඒ දවස්වල දෙමාපියන්ගෙන් අහල තිබුනේ.. එය නිශ්චිතව දැනගත්තේ අපිත් අම්මල තාත්තල වෙලා දුවට පුතාට මුල පටන් බෙහෙත් විදිද්දී උණ ගැනීමත් සමග. ඉතිං මේ කතාව කියන්නේ දැන් කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන එන්නත සම්බන්ධයෙන් මේ දිවල එය එන්නත් කළ පිරිස් අනියත බියකින් පසුවන බැවින් ඔවුන්ගේ දැන ගැනීම පිණිසයි.. මේ කතාව සරලව කියා තබා ඇත්තේ වෛද්‍ය බෝධිනී සමරතුංගයි. ඇය අදාළ එන්නත එන්නත් කිරීමෙන් පසු අත්දුටු අත්දැකීම හා ඒ සදහා වන පැහැදිලි කිරීම මෙහි සිදුකොට තිබෙනවා. මෙය කියවා ඔබගේ අනියත බිය දුරු කරගන්නා ලෙස අප ඇරයුම් කර සිටිමු.

මුළු රටක් අප දිහා බලන් ඉන්න නිසා, දැන් කොහොමද කියා ලියන්න යැයි ඇරයුම් ලද නිසා..ලියමි
වඩුවගේ ගෙදරපුටුව නෑ වගේ ඊයේ දැන ගත්තේ මා ළඟ පැරසිටමෝල් නැතිබව. ඉතින් අවශ්‍ය දේවල් කලින්ම අරගෙන ගෙදර ආවේ.
ඇත්තටම මේ දැනෙන අමාරුව මට කාලෙකින් දැනිලා නැති මහා මස් පිඬු වේදනාවක්..පැරසිටමෝල් පැය හයෙන් හය බිව්වට රෑ 12 ඩෝස් එක මිස් වුණා නින්ද ගිහින්…

පාන්දර 3ට විතර ලොකු වෙව්ලිල්ලක් එක්ක උණ ගත්තා. පැනඩීන් නංගී ගෙනත් දී තිබුණා ඒකගත්තා. බෙඩ්ශීට් දෙකක් පොරවාගත්තා නින්ද ගියා.

එන්නත විදපු තැන අත වේදනා දෙනවා, බෙල්ල පිට හංදියක් ගානේ වේදනාව තියෙනවා. ඒත් එය දරාගත නොහැකි තරම් නොවේ. මම දන්නවා මේ සියල්ල සමනය වෙන බව.

මේ මගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එයාලගේ වැඩ ඇරඹූ බවට ලක්ෂණ. උදේ කතා කළ මිතුරියක් පැවසුවේ ඩෙංගු උණ හැදුනම වුණු සංහදියම තරම් අමාරුවක් තිබෙන බව. ඒත් මේ අමාරු ඇත්තටම දරාගත හැකියි. උණ ආවට බයක් නෑ. මම හිතන්නේ මේ එන්නත ඕනෙම දෙයක් දරාගත හැකි, රෝග ලක්ෂනවලට බය නැති සෞඛ්‍ය අංශයට දුන්න එක හොඳයි.

අමාරුව දකින වැඩිහිටියන් කියනවා “ඇයි ගහගත්තේ, අපි කිව්වනේ ඕක ගහගන්න එපා” කියලා වගේ කතා. ලංකාවේ බහුතරය හිතන්නේ එහෙමයි. ඒත් එහෙම හිතුවනම් අපි කුඩා කාලේ උණ ආවත් ගහන්න ඕනේ වැක්සීන්ටික ගැහුවනේ අපේ දෙමාපියන්. මගේ දරුවටත් මම ඒ එන්නත් දුන්නට පසු උණ බලමින් පැරසිටමෝල් දෙමින් කාලය ගත කළානේ. ඒවගේ තමා මේකත්.
අපි දිහා බලන් ඉන්න සමාජයේ අනෙක් අයට මෙය ගන්නට බයක් නැති වෙනවා මෙන්ම ඒකෙන් අපට ඉක්මනින් කොවිඩ් තුරන් කරන ගමන සාර්ථක කරගත හැකියි.

මේ අමාරු මැදවුණත් සාමාන්‍ය වැඩ කරගන්න පුළුවන්. එක එක ශරීරවලට එකඑක විදිහෙන් දැනෙන්නේ. මගේ පශ්චාත් එන්නත් කතාව එපමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *