කාටවත් අත නොපා ඌබර් දුවන ජීවනී – කාංචනා ප්‍රියකාන්ත

සමහර ගමන් යෑම සඳහා මා බොහෝ විට තෝරා ගන්නේ ඌබර් සේවයයි. එයට ප්රධානම හේතුව මා විසින් ගමන අවසානයේ ගෙවිය යුතු සම්පූර්ණ මුදල පිළිබඳ අවබෝධයකින් ගමනේ යෙදීමට හැකිවීමයි. ඊයේ දිනයේදීද රාජකාරි නිම වී නිවසට යෑම සඳහා මා තෝරාගත්තේ ඌබර් සේවවායි. සේවාව ලබාදීමට භාර ගනු ලැබූ රියදුරුගේ නම සහ වාහනයේ වර්ගය මෙන්ම අංකයද ගමන ආරම්භ කිරීමට පෙර මගීන්ට ලබා දෙනු ලැබේ. එහි නමද රියදුරුගේ නමද දුටු විට මට දැනුණේ සතුටකි. ඒ ඇය කාන්තාවක් වීම නිසාය. ලංකාවේ කාන්තා රියදුරුවරියන් දැනටමත් සිටින බවත් එහි අරුමයක් නැති බවත් කෙනෙකුට සිතෙන්නට පුළුවන. නමුත් පීතෘ මූලික ලාංකේය සමාජය තුළ ශ්රී ලංකාවේ ගෑනු වැඩ සහ පිරිමි වැඩ ලෙස බෙදුම් ඉරිගසා වෙන් කරන ලද වැඩ රාජකාරි අතර රියදුරුවරියන් ඇත්තේ ඉතාම අල්පයකි. පිරිමින් පමණක් සිදු කළ වැඩ රාජකාරි ගැහැනුන් විසින් ඉටු කිරීමත් ගැහැනුන් විසින්ම පමණක් කළ යුතු යැයි සිතා සිටි වැඩ රාජකාරීන් පිරිමින් විසින් සිදු කිරීමත් තුළින් වැඩ රාජකාරිවලින් ලිංග භේදය අහෝසි වී යෑම ප්රගතිශීලී චින්තනයකින් යුතු පුරවැසියන් සිටින රටක සිදුවිය යුත්තක් ලෙස මම දකිමි.

සාමාන්යයෙන් මෙවැනි ගමන්වලදී නිහඬව යෑම රුචි කළත් රියදුරුවරුන් සහ රියදුරුවරියන් සංවාදයේ යෙදෙන්නට උත්සහ දරන සමහර අවස්ථාවන්වලදී ඔවුන් සමග සංවාදයේ යෙදීමට මගේ අකමැත්තක් නැත. එසේ සංවාදයන්ගේ යෙදුණු බොහෝ අයට බෙදා ගැනීමට අපූරු කතා තිබුණු අතර එක රියදුරුවරයෙක් මා තිස්ස ජනනායකගේ කතා ඇසිය යුතුමයයි තරයේ කියා සිටි අවස්ථා වැනි රසබර අවස්ථාවන්ද විය. ඌබර් සේවය සපයන්නන් සමහර දෙනෙකුගේ ප්රධාන ආදායම් මාර්ගය වෙනත් රැකියාවන් වන අතර ඔවුන් සිය රාජකාරි ස්ථානයට යන එන අතරතුර මෙම හයර් ලබා ගනී. ජීවනීද රැකියාව අවසන් වී නිවසට යමින් සිටියදී මා නිවසට ඇරලීමේ කටයුත්ත භාරගන්නට ඇතැයි මට සිතුණි . ඇය ආචාරශීලිය. අපේ සංවාදය ඇරඹුණේ මාර්ග තදබදය පිළිබඳ කතාවෙනි. ඇයද රාජකාරි නිම වී නිවසට යන්නේදැයි මා ඇසුවේ ප්රීතිය මිශ්ර කුතුහලයකිනි. ප්රීතිය සම්ප්රදායේ ගොදුරක් නොවූ ගැහැනියක් දැකීමට ලැබීම නිසා හටගත්තකි. කුතුහලය සාමන්ය මිනිසෙකුට අවිඥානික ඇතිවෙන අනිත් අයගේ ජීවිතය ගැන දැන ගැනීමට ඇති මජර ආශාව නිසා හටගත්තක් විය හැකිය. තමා වෙනත් රැකියාවක් නොකරන බවත් මේ ඇගේ ප්රධාන ආදායම් මාර්ගය බවත් කියා සිටි ඈ ඒ රැකියාව තෝරාගැනීමට සිදු වූ හේතුවද කියා සිටියාය . ඇගේ කට හඬේ වුයේ අභිමානයකි. මින් පෙර ඇය ප්රසිද්ධ ආයතනයක රැකියාවක නිරත වූ බවත් මාස කිහිපයකට උඩදී ඇගේ සැමියා ජීවිතයෙන් සමුගත් බවත් ඇය කියා සිටියාය. ඉන් පසු ඔවුන්ගේ වාහනය වෙනත් පුද්ගලයන්ට කුලී පදනම යටතේ ලබාදුන්නත් ඉන් ලාභයක් උපයන්නේ නැති කමින් එම වාහනය යළිත් සිය භාරයට ගත්බවත් ඈ කීවාය. “ඌබර් දුවන්නට” ඈ තෝරා ගන්නේ ඉන්පසුවය. තමා වටේ සිටිය අයද ඇයව ඒ සඳහා දිරිමත් කළ බව අසන්නට ලැබීමෙන් ඒ නොදුටු මිනිසුන් ගැනද මගේ සිතේ ඇති වූයේ යහපත් හැඟීමකි. ඔවුන් එසේ කියූවේ අවංකවම ඈ දිරි ගැන්වීමේ බලාපොරොත්තුවෙන්නම් ගෑනුන්ට කරන්න පුළුවන් වැඩක් ඕනේ ගෑනු කරගෙන ඉන්නයැයි නොකියා ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් පුළුවන් යයි සිතන මිනිසුන් සමාජයේ සිටීම දියුණු රටක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිකරන්නකි .
”ජීවිතේ අහිමිවීම්වලින් බිඳවැටීම් වලින් අසරණවෙලා අනිත් මිනිස්සුන්ට අතපාන්නවත් ජීවිතේ විනාශ කරගන්නවත් නරක වැඩ කරන්නවත් ඕනේ නැහැ මිස්. හැමෝම වාහන එලවන්න එන්න ඕනේ කියලා නෙමෙයි මම කියන්නේ. ඒත් හැමෝටම ආත්ම ගෞරවය ආත්ම අභිමානය රැකගෙන කරන්න පුළුවන් දේවල් තියෙනවා. ”
ජීවනී එසේද පැවසුවාය. මේ එක් දරු මව සහ දිරිය ගැහැනිය පිළිබඳ මගේ සිතේ ඇති වූයේ ගෞරවයකි. රටට සමාජයට බරක් නොවී සිය ආත්මාභිමානය රැකගෙන සමාජ මෙහෙවරක නිරත වෙන සියලුම මිනිසුන්, ගැහැණු පිරිමි භේදයකින් තොරව වීරයන් වීරවරියන් සේ මම දකිමි. තමන් රාවණා සුපර්ණිකා හෝ වෙනත් කවුරුන් හෝ කියමින් මිත්යා මත වපුරමින් පහසුවෙන් මඩිය තරකරගන්නට තෝරා ගන්නා ගැහැනුන් පිරිමින්ට වඩා තමන්ගෙන් ඉටු විය යුතු මෙහෙවරක් ඉටු කරමින් සිය බත සරිකරගන්නා සියලුම මිනිසුන් වෙනුවෙන් මේ සටහන උපහාරයක් වේවා.
(මේ සටහනේ ජීවනී පිළිබඳ ලියන්නේ ඇගෙන් ලබා ගත් අවසරය මත වන අතර ඇගේ ඡායාරූපය ලබාගත්තේද මෙම ඡායාරූපය පළකරන්නේද ඇගෙන් අවසර ලබා ගෙන බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *