ප්‍රශ්නවලින් චප්පවෙලා චුරුපනින මිනිස්සුන්ට මොන නිදහසක්ද ? – මිරාන් දාමේන්ද්‍ර පෙරේරා

එක ණය වාරිකයක් ගෙව්වා විතරයි ඩොලර් එක 200 වුණා.. අනික් වාරිකේ ගෙව්වාම ඩොලර් එක නගිනවා අකනිටා බ්රහ්මලෝකෙට යනකන් ම.. මිලියන ගානක සල්ලි අච්චු ගැහුවා මේ මාස කීපයට. මාර්තු වල ඉඳන් ජීඑස්ටී නැතිවෙන අවධානමක් තියෙනවා. එහෙම වුණොත් රටේ ප්රධාන ආදායම් මාර්ගයක් වෙන ඇඟළුම් ක්ෂේත්රය සුනේ සුං. රටවිරුවෝ ඒ රටවල් අතෑරලා ඇවිල්ලා රස්සාවල් නැතුව ගෙවල් වල. හම්බකරන් ආපු සල්ලි ටික ව්යදම්වෙලා ඉවර වුණාම ඒ මිනිස්සුන්ගේ අනාගතේ අවිනිශ්චිතයි. බහුතරයක් ආයතන වල තාමත් සේවකයන්ගේ පඩි කප්පාදු කරලා. සමහරුන්ව රස්සා වලින් දොට්ට දාලා. කනකර සේරම බැංකුවල. සංචාරක ක්ෂේත්රය, හෝටල් කර්මාන්තය අන්තෙටම වැටිලා. සතේ දෙපාරට වියදම් කරන්න වෙලා තියෙන්නේ. මිනිස්සු රට වටේටම ණයයි. රට ලෝකෙටම ණයයි. චීනෙයි, ඉන්දියාවයි එලිපිටම ලංකාවෙන් කෑලී කඩාගන්න හදනවා. ලේලියි නැන්දම්මයි එකම ගෙදර ඉන්න ස්වාමිපුරුෂයා වගේ ලංකාවට දෙපැත්ත බැලන්ස් කරන්න වෙනවා. ආර්ථික නිදහසක් කියලා නාමයක් නෑ.

තමුන්ට “නන්දසේන” කිව්වා කියලා ජනාධිපති මීඩියාවලට ඇවිත් පාර්ලිමේන්තු මන්ත්රීල ට ප්රසිද්ධියේ මරණ තර්ජනේ කරනවා. විවේචනය කරොත්, අසාධාරණයට අයුක්තියට විරුද්ධව කතා කරොත්, ලිව්වොත් කෙලින්ම හිරේ. නැත්නම් නිදහස් චතුරශ්රයට ඇවිල්ලා තමුන්ම වෙඩි තියාගන්නවා වගේ නාට්යයක ගරු රඟපෑමක් හම්බවෙනවා. පරිසර පද්ධතිය රැකගැනීම වෙනුවෙන් ඇමති කෙනෙක් එක්ක වාද කරපු වනජීවී නිලධාරින්ට ස්ථානමාරු දෙනවා. සිද්ධවෙන තරමක් අලුගුත්තේරු වැඩ දිහා සද්ද වහලා බලන් ඉන්නවා මිසක් කටවල් ඇරියොත් නන්නත්තාර කරලාම දානවා. භාෂණයේ නිදහසක් ගැන හිතන්නවත් හොඳ නෑ.
කෙල්ලෙක්ට කොල්ලෙක්ට පාරක අතින් අල්ලන් ඉන්න බෑ සංස්කෘතිය රකින්න පොලිසියට කුදලන් යනවා. උද්ඝෝෂණ කරන්න වෙනම තැනක් වෙන්කරලා අනික් පැත්තෙන් උද්ඝෝෂණ කරන එවුන්ගේ සටන් පාඨ ඉස්මොල්ලේ යන්න නෙලනවා. අන්තිම අසාධ්ය වෙනකන් උපවාසකරපු ගොවියන්ගේ උද්ඝෝෂණය ගැන සද්දයක් නෑ. වතු කම්කරුවන්ගේ වැටුප 1000 කරන එක ගැන වගේ වගක් නෑ. රජයේ ආයතනයක වැඩක් කරගන්න ඕනේ වුණොත් ගේට්ටුව ගාව ඉන්න සිකුරිටිගේ ඉඳන් පගාව දීගෙන යන්න ඕනේ. මිනිස්සුන්ගේ අවම අවශ්යතාවයන් ටික ලබාගන්නවත් නිදහසක් නෑ.
නිවාඩු දවසට බාර් වහන්න කියලා වැඩිපුරම කෑගහන්නෙ අමධ්යප සංවිධාන. උන් බොන්නේ නැත්නම් බාර් ඇරියත් වැහුවත් උන්ට මොකද කියල උන් හිතන්නේ නෑ. සමරිසි මිනිස්සුන්ට “සමනලයා, පොන්නයා” කියලා ගරහන්නේ ගෑනුන්ව කසාද බැඳපු මිනිස්සු. තමාට පෞද්ගලිකව හෝ සමස්ථ සමාජයට හානියක් නොවෙන තාක් අනෙකාගේ නිදහසට ගරු කරන්න තේරෙන්නේ නෑ. ගෑනියෙක් කොටට ඇඳන් ගියත් කටවල් නලියනවා. ලස්සන කෙල්ලෙක්ම වෙන්න ඕනේ නැහැ වංගෙඩියක් උඩ ගවුමක් වනලා තිබ්බත් මොනවාහරි කටකැඩිච්ච වලත්ත කතාවක් කිව්වේ නැත්නම් පිරිමිකමට මදිකමක්. අනෙකාගේ අයිතීන් ගරුකිරීමක් හෝ සදාචාරයක් ඇත්තේම නෑ. ප්රජාතාන්ත්රික වශයෙන් වගේම සමාජීය වශයෙන් වත් නිදහසක් නැහැ.
රුපියල් දෙතුන්දාහක් අතේ නැතුව යන්න පුලුවන් එහෙමත්ම පන්සලකට තමා. වැඩිහරියක් තියෙන්නේ ආවසගෙයි වැහිපීල්ලේ රත්තරන් ආලේප කරන්න කියලා හරි ගානක් කඩාගන්න හදන පන්සල්. බුදුදහම වගේ ප්රජාතන්ත්රවාදී දර්ශනයක් තියාගෙන ජාතිවාදය පතුරවනවා. අනික් අතට පල්ලි ඇතුලේම ත්රස්තවාදය ව්යාප්ත කරනවා. ඒවා මගෑරලා පාඩුවේ ආගම අදහන මිනිස්සු පල්ලිවලින් කොන් වෙනවා. උදේ හවස ලවුඩ්ස්පීකර් බැඳන් මැරෙන්න හදනවා. ඒකට සෙකන්ඩ් වෙන්ඩ බැරි නිසා පන්සල් වලින් ඊට වඩා සද්දෙට බෙරිහන් දෙනවා. අවබෝධයෙන් තොරව සද්දේ ඇහිලා විතරක් මිනිස්සු සුගතිගාමී වෙනවා නම් ජේතවනාරමේ එහාපැත්තේ ඌරුකොටුවක් කරපු චුන්දසූකරික පසේබුදු වත් වෙන්න ඕනේ අඩුම. ආගම අදහන්න කැමති මිනිස්සු පන්සලට පල්ලියට ගිහින් ඒක අදහයි. නැති මිනිස්සු ආගම්වල තියෙන මූලධර්ම වලට අනුව ජීවත්වෙයි. කාගෙවත් ආගම් තව කාගෙවත් බලෙන් බෙල්ලේ එල්ලන්න අයිතියක් නැහැ කියන එක තේරුම් ගන්නේ නෑ. මිනිස්සුන්ගේ ආධ්යාත්මික නැඹුරුව එහෙමපිටින්ම අවභාවිතා කෙරෙන රටක ආගමික නිදහස කියන එක ප්රායෝගික වෙන්නෙම නැහැ.
දේශපාලන පක්ෂෙක අනුගාමිකයෙක්, පල්ලී කාක්කෙක්, එන්ජීඕ ඩොලර් ගැතියෙක් නොවී කිසි මිනිහෙක්ට මනුස්සයෙක් විදිහට හිතලා ස්වාධීන මතයක් දරන්න පුලුවන් කියලා දන්නේ නෑ. 3%, බයියෝ, ටොයියෝ නොවී කිසි මිනිහෙක්ට දේශපාලනේ කතා කරන්න තරම් දේශපාලනික මධ්යස්ථභාවයක් තියෙන්න විදිහක් නැහැ කියලා තමා බහුතරයක් දෙනාගේ ආකල්පේ. දේශපාලනික නිදහස කියන එක තනිකරම විහිළුවක්.
ළමෙක් හොඳ ඉස්කෝලෙකට දාගන්න විජිතපුර සටන වගේ සටනක් කරන්න වෙනවා දෙමව්පියන්ට. අනික් ඉස්කෝලවල ගුරුවරු, ඩෙස් බංකු විතරක් නෙමේ ඇල්වතුර එකේ ඉඳන් හිඟයි. ළමෙක් ඉස්කොලෙට දාපු දවසේ ඉඳන් ටියුෂන්. උන්ට ළමාකාලයක් විඳින්න නිදහසක් කියලා නාමයක් නෑ. අම්මලටත් ළමයා විභාග පාස් කරවන්න, දොස්තර කෙනෙක් කරවන්න උවමනාවට ටියුෂන් එක්කන් යනවා සහ එවට ප්රමාණවත් මුදල් හම්බකරනවා මිසක් වෙන නිදහසක් නෑ. ළමයින්ටත් තමුන් කැමති සංගීතකාරයෙක්, හොඳ ටෙක්නීශියන් කෙනෙක්, චිත්රශිල්පියෙක්, ක්රීඩකයෙක් වගේ වෙන්න නිදහස හම්බවෙන්නේ උසස්පෙල තුන්පාරම ලියලා ඉවරකරාටත් පස්සේ. නිදහස් අධ්යාපනය ඇතුලේ අධ්යාපනික නිදහස ගෑවිලාවත් නෑ.
තව ලියනවා නම් මාගල් වගේ දිගට දිගට ලියන්න පුලුවන්. උඩින් ලියපු ඒවත්, ලියන්න ඉඳලා නොලියපු අනික් ප්රශ්නත් එන්න එන්න උග්රවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ කියන තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. අපි බිත්ති හතර හෙමින් හෙමින් හැම පැත්තෙන්ම ලංවෙන කාමරේක මැද හිරවෙලා ඉන්න මිනිස්සු. චප්පවෙලා චුරුපනින්න ඔන්න මෙන්න තියාගෙනත් නිදහස් චින්තනයක් ගැන හිතන්නවත් නිදහසක් නැති අපිට අභිමානෙන් සමරන්න තරම් නිදහසක් මට නම් පේන්න නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *