කොරෝනා ධනවාදය සහ විනයගත සමාජය – සුමිත් චාමින්ද 

“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස දක්නා ලදී. එපමණක් නොව, ඔහුව දෘෂ්ටිවාදීව මූර්තිමත් කොට පෙන්වන ලද්දේ විනයෙහි සහ පිළිවෙලෙහි සංකේතයක් ලෙසය.

2019 වසරේ අග භාගයේදී විනය සහ පිළිවෙල සඳහා සමාජ ආකර්ෂණයක් ඇති වීම පුදුමයට කාරණයක්  නොවේ. මන්ද යත්, ඒ වන විට නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතිය කෙරෙහි පැවති ජනතා විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී තිබිණ. “ජනවාරි විප්ලව” ප්‍රවාදය විහිළුවක් බවට පත්ව තිබිණ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ජනතා විරෝධය සමස්ත දේශපාලන සමාජයටම එරෙහිව එල්ල වන්නට විය. අර්බුදකාරී නිමේෂයන් සරදම්ජනක තෝරා ගැනීම් සඳහා ඉඩ විවර කරයි. දේශපාලන පර්යායේ අර්බුදයක් විසඳීම සඳහා “දේශපාලනික-නොවන” ප්‍රතිරූපයක් අවශ්‍ය වීම 2019 දී යථාර්තයක් බවට පත් වූ එවන් සරදමකි.
බැට් මෑන් නිදර්ශකය 
තවත් එබඳු සරදමක් නම් විනය සහ පිළිවෙල ගොඩ නැගීම සඳහා ආයතන වෙනුවට සුපිරි වීරයෙකු ආදේශ වීමයි. මේ කාරණය මදක් පැහැදිලි කරන්නට ඉඩ දෙන්න. නව-ලිබරල් යහපාලන ව්‍යාපෘතියේ ප්‍රධාන අවධාරණය වූයේ රාජ්‍ය පාලනයේ ක්ෂේත්‍රයෙන් දූෂණය තුරන් කිරීමයි. ඒ සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රධාන ක්‍රියා මාර්ග වූයේ ආයතනික සහ නෛතික රාමු විධිමත්ව සැකසීමය. මිනිස් චර්යාවන් ආයතනික සහ නීතිමය මාධ්‍යයන් මගින් පාලනය කරන්නට ප්‍රයත්න දැරීම ලිබරල් ආයතනවාදීන්ගේ පුරුද්දකි. නමුත්, ආයතන කෙරෙහි වන අධික විශ්වාසය හමුවේ ඔවුනට මග හැරී යන වැදගත්ම දේ අන් කිසිවක් නොව දේශපාලනිකයයි (the political). සරලව කිව හොත්, දේශපාලන ක්‍රියාකාරීත්වය මුළුමනින්ම ආයතනික සහ නෛතික රාමූවලට සීමා කළ නොහැක. “තරඟයේ රීතින්ට” අනුවම ක්‍රීඩා කරන ලෙස දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටීමෙන් පලක් නොමැත. මන්ද යත්, තරඟයේ රීතින් හදන්නේද, කඩන්නේද, නැවත සකසන්නේද දේශපාලන භාවිතයන් මගින්ම වීම නිසාය. එබැවින්, ලිබරල් ආයතනවාදීන් විසින් තනනු ලබන රාමු තුළ සිර කළ නොහැකි රැඩිකල් ගතිකත්වයක් දේශපාලනයට තිබේ. දේශපාලනිකය යනු එයයි. ආයතන සහ නෛතික රාමු කෙරෙහි වන විශ්වාසය බිඳ වැටෙන මොහොතවල ඇතැම් විට එතෙක් යටපත් වී තිබුණු දේශපාලනිකය යළි මතු වේ. බිඳ වැටෙන සමාජ සහ දේශපාලන පර්යාය යළි ගොඩ නැගීමට ආයතන සහ නෛතික රාමුවලට ඔබ්බෙන් සිටින සුපිරි වීරයින් මතු වන්නේ එලෙසිනි.
මෙය සුප්‍රසිද්ධ බැට් මෑන් ප්‍රබන්ධය සිහි ගන්වයි. එහි එන ප්‍රබන්ධගත ගොතම් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුව පරිහාණියට ලක්ව ඇත. පොලීසියේ ඉහළ සිට පහළටම අල්ලස, දූෂණය සහ අපරාධ කල්ලි සමග වන සම්බන්ධතා ජාලයන් පැතිර තිබේ. එකී දූෂිත අපරාධකාරී ජාලයන් මගින් පීඩනයට පත් වන ජනයාගේ ගැලවුම්කරුවා ලෙස බැට් මෑන් ආදේශ වේ. මෙහිදී හෙළිදරව් වන වැදගත් දේශපාලනික කාරණය නම් බැට් මෑන් යනු සැබවින්ම පවත්නා අර්බුදයේම නිමැවුමක් නොහොත් එහි ප්‍රකාශනයක් බවයි. ඔහු රෝග ලක්ෂණයක් මිස රෝගයට පිළියමක් නොවේ.
ගෝඨාභයගේ “සබුද්ධික ජනතාවාදය”
අභිනව ජනාධිපතිවරයාගේ බුද්ධිමය බල ඇණිය විසින් ඔහුව මූර්තිමත් කොට පෙන්වන ලද්දේ දූෂිත, අකාර්යක්ෂම සහ වැඩ නොකරන රටක වැඩ කළ හැකි නායකයෙකු ලෙසිනි. එය එසේ මෙසේ කාර්ය භාරයක් නොවේ. එසේම, එම කාර්ය භාරය ඉටු කිරීම සඳහා ඔහුට පවත්නා ආයතනික සහ නෛතික සීමා ඉක්මවා යාමට සිදු වේ; ජනාධිපතිවරයාගේ විධායක බලය අභ්‍යාස කිරීම කෙරෙහි පැවති ව්‍යවස්ථාමය සීමා හැකි තරම් සීමා කිරීමට සිදු වේ. විසි වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එම අවශ්‍යතාව සපුරා ගන්නා ලදී. දැන් ඔහු ව්‍යවස්ථාපිත ලෙසම සුපිරි බලැති නායකයෙකි. නමුත්, තවමත් රටේ ආයතනික සහ පරිපාලනමය ව්‍යුහයන් දූෂිතය; අකාර්යක්ෂමය; පසුගාමීය. එම ගැටළු විසඳීමට ජනාධිපතිවරයා පුද්ගලිකවම මැදිහත් වීම වනාහී ජනාධිපති ප්‍රචාරක ව්‍යාපාරයේදී ඔහු වෙත පවරන ලද දෘෂ්ටිවාදී භූමිකාව ඔහුම බරපතල ලෙස භාර ගැනීමක් බැව් පෙනේ. එය ස්වකීය දෘෂ්ටිවාදී භූමිකාව සමග අධික ලෙස අනන්‍ය වීමක් (over-identification) ලෙස ගත හැකිය.
ඒ අනුව, ජනාධිපතිවරයා දුෂ්කර ගම්වල සංචාරය කරමින් ජනතා ප්‍රශ්නවලට සවන් දෙයි; පරිපාලන අංශවල දොස් ප්‍රසිද්ධියේ හෙළිදරව් කරමින් ජනතා ප්‍රශ්න ඉක්මනින් විසඳන්නට ක්‍රියා කරයි; රාජ්‍ය ආයතනවලට හදිසියේ ඇතුල් වී ඒවායෙහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කොට බලයි; මහ බැංකු නිලධාරීන් කැඳවා වඩා කාර්යක්ෂම ආර්ථික සැලසුම් ඉදිරිපත් කරන ලෙස දන්වයි; සහල් වෙළෙඳුන් මුණ ගැසෙමින් වෙළඳපළ මිල නැවත තීරණය කරන ලෙස දන්වයි. මේ සියල්ල මාධ්‍ය තුළ සජීවීව විකාශනය කෙරේ.
ගෝඨාභය ජනාධිපතිවරයාගේ මෙම භූමිකාව බැලූ බැල්මට ජනාධිපති ප්‍රේමදාසව අනුකරණය කිරීමක් ලෙස පෙනී යා හැකි වුවද, සමීප නිරීක්ෂණයකදී පෙනී යන්නේ ඒ දෙදෙනා අතර පැහැදිලි වෙනස්කම් පවතින බවයි. ප්‍රේමදාස වනාහී එජාපයේ අනුග්‍රාහක දේශපාලන සම්ප්‍රදාය තුළින් ප්‍රභවය ලැබූවා වූද, නාගරික දිළිඳු ජනයා සමග සමීප අනුග්‍රාහක බැමි ගොඩ නගා ගත්තා වූද, දක්ෂිණාංශික ජනතාවාදී චරිත ලක්ෂණ උරුම කොට ගත්තා වූද, කිසියම් දුරකට කැරිස්මැටික් යැයිද කිව හැකි නායකයෙකි. නමුත්, ගෝඨාභය රාජපක්ෂ වඩා සමීප වන්නේ මැක්ස් වේබර් කතා කළ ආකාරයේ නෛතික-සබුද්ධික (legal-rational) නායකත්ව රටාව සමගය. ඔහුගේ වෘත්තීය පුහුණුව අනුව සේම ඔහු පිළිබඳව ගොඩ නැගී ඇති සංකේතීය ප්‍රතිරූපය අනුවද ඔහුව එතෙක් හඳුනාගනු ලැබුවේ පවත්නා නීතිය සහ පර්යාය තුළ වැඩ කරන්නෙකු ලෙසිනි. වරක් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී ඔහු තමන්වම හඳුන්වා දෙන ලද්දේ පැවරූ කාර්යයක් නිසි ලෙස ඉටු කරන්නෙකු ලෙසයි. නිදසුනක් ලෙස දක්වන ලද්දේ යුද්ධයයි. මේ අරුතින් ඔහු තමන්ටම ආවේණික ජාතිකවාදී ජනතාවාදී ගති ලක්ෂණ සහිත ඔහුගේ කැරිස්මැටික වැඩිමල් සහෝදරයාගෙන් වෙනස්ය; සමකාලීන සෙසු අන්ත-දක්ෂිණාංශික ජනතාවාදී නායකයින් වන ට්‍රම්ප්, මෝඩි, පුටින්, වික්ටර් ඕබන් යනාදීන්ගෙන්ද වෙනස්ය. ගෝඨාභය රාජපක්ෂගේ දක්ෂිණාංශික ජනතාවාදය හැඳින්විය හැක්කේ සබුද්ධිකව ගණන් බලා සැලසුම් කොට ඉදිරිපත් කරනු ලබන්නක් ලෙසයි.
ස’ ෆේල් වීම ගෝලීය පර්යාලෝකයක් තුළ
විනයගත සමාජයක් ගොඩ නැගීමේ ගෝඨාභය ව්‍යාපෘතියට වඩා වාසිදායක තත්ත්වයක් කොරෝනා වෛරස් වසංගතය විසින් ඇති කෙරිණ. ඒ ගැන සාකච්ජා කිරීම පසෙකින් තබා විමසිය යුතු වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, පුද්ගලිකව මැදිහත් වී මහජන ප්‍රශ්න විසඳීමේ ඔහුගේ උත්සුකය පැවතියදීම ඔහුට එරෙහි “ස’ ෆේල් ව්‍යාපාරය” ජනප්‍රිය වෙමින් පවතින්නේ මන්ද යන්නයි. “ස’ ෆේල්” ව්‍යාපාරය යනු හුදෙක් ආණ්ඩු විරෝධීන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයක් පමණක් නොවේ. වත්මන් පාලන තන්ත්‍රයේ ජනප්‍රියත්වය වේගයෙන් පිරිහී යමින් තිබේය යන්න සමකාලීන ලාංකීය දේශපාලන චලනයන් පිළිබඳ ඓන්ද්‍රීය අවබෝධයක් ඇති කිසිවෙකුත් ප්‍රතික්ෂේප නොකරනු ඇත. එසේ නම්, එම ජනප්‍රියත්වයේ වේගවත් පසුබෑමට හේතුව කුමක්ද?
ඉහත ප්‍රශ්නයට ඇත්තේ එක් පිළිතුරක් නොවේ. දේශීයව ගත් විට, ජනාධිපතිවරයාගේ විනය සහ පර්යාය ගොඩ නැගීමේ ව්‍යාපෘතියට මුළුමනින්ම පරස්පර තීන්දු තීරණ ඔහුගේ බලාධිකාරය තුළින්ම ක්‍රියාවට නැංවීම එක් පිළිතුරකි. ඥාති සංග්‍රහය සහ ගජ මිතුරු ධනවාදය, නීතිය සමානව ක්‍රියාත්මක නොවේය යන චෝදනාව යනාදිය ඒ අතුරින් කැපී පෙනේ. වසංගතය පාලනය කිරීමට අසමත් වීම සහ වේගයෙන් ඉහළ යන ජීවන වියදම ඇතුළු වසංගතය මගින්ම නිර්මාණය කෙරුණු බහු-විධ ආර්ථිකමය සමාජමය අර්බුද ආමන්ත්‍රණය කිරීමට අසමත් වීම සැලකිල්ලට ලක් විය යුතු තවත් වැදගත් කාරණාය. ලංකාවට අදාළ තවත් සුවිශේෂී ගැටළුවක් වනුයේ ඉන්දු-පැසිෆික් කලාපයේ මර්මස්ථානයක පිහිටි කුඩා දුර්වල රාජ්‍යයක් ලෙස ගෝලීය බල අරගලයන්ට මැදි වීමත්, එයට ප්‍රතිචාරයක් ලෙස ආණ්ඩුව විසින් ගනු ලබන ඇතැම් ක්‍රියා මාර්ග ආණ්ඩුවට සහාය දැක්වූ බලගතු කණ්ඩායම්වල නොසතුටට හේතු වීමත්ය. මෙය පාලක බල-හවුලේ අභ්‍යන්තර ගැටුම් සඳහාද හේතු විය හැකිය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ආන්දෝලනය මේ සඳහා ඇති ආසන්නතම නිදසුනයි. (වරාය අරගලයේදී ආණ්ඩු-හිතවාදී කණ්ඩායම් සහ බුද්ධිමතුන් අවසන් මොහොතේදී සම්මුතික විසඳුමක් කරා මාර්ගය සැකසිය හැකි බවද අමතක නොකළ යුතුය).
මගේ යෝජනාව වන්නේ දක්ෂිණාංශික ජනතාවාදයේ පසුබැසීම වටහා ගැනීමේදී ඉහත කී සුවිශේෂී ලාංකීය සාධකවලට අමතරව අප ගෝලීය දේශපාලනයේ ගතිකත්වයන්ද සැලකිල්ලට ගත යුතු බවය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරාජයට සමගාමීව අපගේ අසල්වැසි ඉන්දියාවේ මෝඩි දැන් මුහුණ දෙමින් සිටින්නේ ඔහුගේ පාලනය තුළ ඇති වූ විශාලතම ජනතා උද්ඝෝෂණයටය. පුටින්ට එරෙහි විපක්ෂයේ විරෝධතා උග්‍ර අතට හැරෙමින් තිබේ. තුර්කියේ එර්දොගන් විසින් කරන ලද විශ්ව විද්‍යාල පත් කිරීම්වලට එරෙහි ගුරු-සිසු විරෝධතා මෑතකදී දැක ගත හැකි විය. ඉතාලියේ කම්කරුවෝ වසංගතයේ වැය ධනපතියන් වෙත පවරණ ලෙස ඉල්ලා සුවිසල් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.
මෙයින් හැඟවෙන්නේ අන්ත-දක්ෂිණාංශික ජනතාවාදය බිඳ වැටෙමින් තිබීමය යනුවෙන් කීමට අප ඉක්මන් නොවිය යුතුය. නමුත්, පොදුවේ ගත් කල වසංගතය විසින් අන්ත-දක්ෂිණාංශික ජනතාවාදයට ගණුදෙණු කිරීමට අසීරු අභියෝගයක් එල්ල කොට තිබෙන බව නම් පැහැදිලිය. එය කෙටියෙන් කිව හොත් මෙසේය; ලොව පුරා අන්ත-දක්ෂිණාංශික ජනතාවාදය මතු වූයේ නව-ලිබරල් ප්‍රතිපත්තීන් මගින් ජනනය කෙරුණු සමාජමය කළකිරීමට සහ විරෝධයට ප්‍රතිචාරයක් ලෙසිනි. නමුත්, එය ඉදිරිපත් කළේ ව්‍යාජ විසඳුමකි. එනම්, යම් යම් තෝරා ගත් ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් පමණක් නව-ලිබරල්වාදයේ ව්‍යසනකාරී බලපෑම්වලින් ගලවා ගැනීමට ප්‍රයත්න දැරීමයි. මහා ප්‍රාග්ධනයට අත නොතබනු ලැබුවා පමණක් නොවේ; සැබවින්ම මහා ප්‍රාග්ධනයේ සහායද අන්ත-දක්ෂිණාංශයට ලැබිණ. කෙසේ වෙතත්, මහා ප්‍රාග්ධනයේ බලයට අත නොතබා යම් යම් තෝරා ගත් සමාජ කණ්ඩායම් වෙත සහන සැලසීම සඳහා ඇත්තේ එක් ක්‍රමයකි. එනම්, රාජ්‍ය සම්පත් වැය කොට පවත්වාගෙන යන්නා වූ ආරක්ෂණවාදී සහ අනුග්‍රාහක දේශපාලනයයි. වසංගතය හමුවේ සංකෝචනය වන ආර්ථිකය තුළ තව දුරටත් මෙම අනුග්‍රාහක දේශපාලනය පවත්වාගෙන යාම දුෂ්කරය. ඊට සමාන්තරව කොරෝනා අර්බුදය හමුවේ පීඩනයට පත් වන අව-වරප්‍රසාදිත කණ්ඩායම් දේශපාලනික ක්ෂේත්‍රයට කඩා වැදීමද සිදුවෙමින් තිබේ. ඉන්දියාවේ ගොවි අරගලය ඒ සඳහා කදිම නිදසුනකි.
අනුග්‍රාහක දේශපාලනය ආයතනගත වී තිබෙන ඌණ-සංවර්ධිත ශ්‍රී ලංකාවේ ඉහත අර්බුදයේ ප්‍රකාශමාන වීම් අතිශය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගැනීමට ඉඩ තිබේ.
– සුමිත් චාමින්ද 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *