ජයලාල් රෝහණගේ සමුගැනීම – ධනංජය කරුණාරත්න

වේදිකාව මේ මහ පොළොව නම් ජයලාල් රෝහණ කියන්නේ ඒ පොළොවේ පස් කාගෙන ඒ පස් වලින්ම බිහිවුණු ‘විශේෂ පණුවෙක්’ විදිහටයි මට ඔහු දිස්වෙනේ. මම ඉන් අදහස් කළේ පස් සහ පණුවා අතර තරම් රසායනික බද්ධතාවයක් ජයලාල් සහ වේදිකාව අතර තිබුණ බවයි.

අපි නාට්ය අධ්යක්ෂණයේ දී හැමදාම හොඳ නළුවාගෙන් ඉල්ලන්නේ උඹ ජීවිතයෙන් ගෙනාපු දේවල් නාට්යයට එකතු කරපන් කියලා නම්, දෙනු ලැබූ ඕනෑම භූමිකාවකට එකතු කරන්නට ජයලාල්ට ම ආවේණික විශේෂ දෙයක් ඔහු ලඟ තිබුණා. ඒ තරම්ම ඔහු ජීවිතය තුළ හොඳ ගණනට පදම් වෙලා තිබුණා. ඔහු වේදිකාව විදියට හඳුනා ගත්තේ ඒ පදම්වුන මුළු ජීවිතයමයි.ඒ අර්ථයෙන් ඔහු විමල් කුමාර ද කොස්තා සහ ජෝ අභයවික්රම ගේ ඉඳන් නිහාල් සිල්වා දක්වා එන දියුණු ඉවකින් රඟපාපු ශ්රී ලංකාවේ එක්තරා නළු දහරාවක පුරුකක් වන අතරම ඒ බොහෝ නළුවන්ට වඩා රංග කලාව සම්බන්ධයෙන් ජයලාල්ට යම් න්යයික සහ විශ්වීය අවබෝධයක් ද තිබුණා.
මගේ මේ කෙටි සටහන මම ලියන්නේ ජයලාල් හුදෙක් දක්ෂ නළුවෙක් නිසාම නෙමෙයි ඒ වගේම මගේ නාට්ය කලාවට රඟපෑමෙන් එකතු වී පස්සේ බොහෝ නාට්ය කලා ක්රියාකාරකම් වලදීත් අපි එකතු වී වැඩ කරන්නට ගොස් ඇතිවුණු සම්බන්ධතාවයද නිසා, වයස 56 ක තරම් තරුණ මොහොතක ඔහුගේ මරණය මට කම්පනයක් ඇති කළ නිසයි.
ජයලාල්ව මට මුලින්ම හඳුන්වලා දුන්නේ මා මිත්ර ප්රසාද් සූරියආරච්චි, ප්රසාද් එක්ක මම මගේ ප්රථම නාට්යය ජූරියට (1993) නළුවන් තෝරනකොට යි. මම ඉතා දුෂ්කරතා සහ අඩු අත්දැකීම් මත නිෂ්පාදනය කරපු ඒ නාට්යට ප්රසාද් වගේම ජයලාල්ද නොකරපු උදව්වක් නැති තරම්. මට මතකයි ඒ කාලේම ජයලාල් පරණ ඒ තර්ටි ෆයිව් කියන වර්ගයේ අර කුරුමිණි හැඩය තියෙන කාර් එකක් මිලදී ගෙන තිබුණු අතර ජයලාල් තවත් යහළුවන් කීප දෙනෙකුත් ඒකට දමාගෙන මුළු කොළඹ පුරාම රෑ එළිවෙනකම් ජූරිය නාට්යයේ පෝස්ටර් අලවන්න ගියා. මගේ විතරක් නෙමෙයි, රඟපෑමේ සිට අංග රචනය දක්වා ජයලාල් සම්බන්ධ වෙන ඕනෑම නාට්යයක පෝස්ටර් ගැහීම බඩු පැටවීමේ ඉඳන් ඉවුංපිහුං දක්වා ඕනෑම දෙයක් කිසිම හීනමානයකින් තොරව කිරීම සාමාන්යයෙන් ජයලාල්ගේ පිළිවෙතයි. ඔහු නාට්යයක් පිටුපස තියෙන සියලුම කටයුතු දැක්කේ උපාසකයෙකු පන්සල ඇමදිනවා වගේ බොහොම ගෞරවයකින් සහ අනුරාගයකින්. ජයලාල්ගේම වචනයෙන් “හඳුන් කාලා බටර් රීලා ඉන්නව වගේ පෙන්නන්න හදන අලුතින් එන සමහර කිරි පූස් නළු නිළියන්”ව ඒවා කරන්න තියන හීනමානය උපහාසය ට ලක් කරපු ජයලාල් වේදිකාව කිව්වේ රඟපාන තැනට විතරක් නෙවෙයි මුළු ජීවිතයටමයි. ජයලාල්ලා නාට්ය කරනවා කිව්වේ ඒ ඔක්කොම කරන එකටයි.
ජයලාල් ගේ නාට්යයකට තියන සකල සම්බන්ධය ගැන එහෙම කියනකොට අපිට මතක් වෙනවා ඇමරිකාවේ තිබුණු එක්කරා නාට්ය සංස්කෘතියක්.ඔය ආතර් බ්රෝඩ්වේ (Broadway ) මහා වෘත්තීය නාට්ය සම්ප්රදායට එරෙහිව මුලින්ම ඕෆ් බ්රෝඩ්වේ (Off broadway ) නාට්ය සංස්කෘතියත් ඉන්පසු ඊටත් එරෙහි ව ගොඩනැගුණු ඕෆ් ඕෆ් බ්රෝඩ්වේ ( Off Off Broadway ) නාට්ය සංස්කෘතියත් බිහි වුණා. ඒ පසුකාලීන බිහිවුණු නාට්ය සංස්කෘතීන් දෙකේ,විශේෂයෙන් ඕෆ් ඕෆ් බ්රෝඩ්වේ නාට්ය සංස්කෘතිය තුළ එක්තරා විශේෂත්වයක් තිබුණා. ඒ තමයි, ඒවාට මුලින්ම සම්බන්ධ වුන නාට්යකරුවන් එකිනෙකාට උදව් පදව් කර ගැනීම, වෘත්තීය භූමිකාවන් බෙදා නොගැනීම, මොකක් හෝ අත්හැර දාලා තිබුණු ගෙයක් දොරක් හෝ ගබඩා කාමරයක් නාට්ය ශාලාවක් බවට පත්කර ගැනීම, එකම නාට්යය පසුතලය තවත් නාට්ය වලට වෙනස් කරලා පාවිච්චි කිරීම, ඒ විතරක් නෙමෙයි එක නාට්යයක නමම ඒ නාට්යය මතක් වෙන්නට තව නාට්යයකට සුළුවෙන් වෙනස් කර පාවිච්චි කිරීම ආදී අර බ්රෝඩ්වේ මහා පංගු පේරු වෘත්තිය නාට්ය සම්ප්රදායට එරෙහිව සාමූහිකත්වය සහ සහජීවනය විකල්ප දැක්මක් විදිහට ගෙන ඒම. පසුකාලීන මේ නාට්ය සම්ප්රදායන් ද වෘත්තීය වෙළදපොල විසින් ආක්රමණය කළත් අදත් එවැනි ලක්ෂණ එම නාට්යය සමාජයන් තුළ දකින්නට තියෙනවා. විශේෂයෙන් ධනවාදී විරෝධී ප්රබල නාට්ය දැක්මක් විදිහට ඕෆ් ඕෆ් බ්රෝඩ්වේ නාට්ය දැක්ම නාට්ය කලාවේ උරුමයන්ට එකතු වෙනවා.සමහර අවස්ථා වල කොයි තරම් වාද විවාද සහ මත ගැටුම් තිබුණත්, ජයලාල් ගේ සමහර අදහස් දෘෂ්ටිවාද සමග මම එකග නැතත්, ජයලාල් රෝහණලා භානු ප්රසන්න ලා වගේ අයත් එක්ක වැඩ කරනකොට නිතරම මතක් වෙන්නේ අන්න ඒ විකල්ප නාට්ය සංස්කෘතියයි. සම්මත වෘත්තීය බෙදාගැනීමට එහා ගිය දෙයක් ඔවුන් සමග නාට්ය කරන කොට තිබුණා.
ඊට අමතරව ජයලාල් තරුණ තරුණියන්ට ආදර්ශය සපයන ඔවුන්ව අලුතින් නාට්ය කලාවට කැන්ඳවන භූමිකාවක් විදිහට හැකි හැම විටම මුදල් ගැන නොසිතා වැඩ කරමින් අපේ නාට්ය කලාවට සුවිශේෂ දායකත්වයක් ලබා දුන් විශේෂ කුමිකාවක් කලා.
අවසානයේ ජයල රෝහණව සිංහල වේදිකා කලාවේ ඒ දුෂ්කරතාවයට එහිම සැඟවුණු පාදඩ යථාර්ථයට බිය
නොවී එයම රසයක් සෞන්දර්යක් ශක්තියක් බවට පෙරළාගෙන විශේෂ රංග කලා භූමිකාවක් නිම කර යන චරිතයක් විදිහට හඳුනාගන්න පුළුවන්.
ජයලාල් රෝහණ සහෘදයාට අපගේ ස්තුතිය සහ ප්රණාමය!
ජූරිය ඡායාරූපය වර්ණයෙන් ගත්තේ

Udeni Alwis

Leave a Reply

Your email address will not be published. Required fields are marked *