සිර මැදිරියකට යන්න වුණ හැටි – ( සායනික සටහන් නොවේ -02 ) – වෛද්‍ය බෝධිනී සමරතුංග

ඒ කාලය අපි වෙහෙසකර සීමාවාසිකය අවසන් කරලා නිදහසක් ලැබූ කාලය යි. අපේ කණ්ඩායමේ එක්කෙනෙක් රාජ්‍ය සේවයෙන් අස් වූ අතර තව කෙනෙක් ගෙවල් ළඟ ඉස්පිරිතාලෙකට මාරුවීමක් රැගෙන තිබුනේ සියල්ලන්ටම හොර රහසේය. වෛද්‍යවරු ඉල්ලා තිබූ විවිධ වාට්ටුවලට ඉතිරි වූ අපි කිහිපදෙනා බෙදා දුන් නමුදු බාහිර රෝගී අංශයෙන් වෛද්‍යවරු ස්ථාන මාරුවීම් සඳහා බෙදා හැරිය නිසා විටින් විට අපව එම කොටසට අනුයුක්ත කෙරිනි. ඒ වන විට උතුරේ යුද්ධය අහවරව තිබිණි

රෝහල්වල කෝකටත් තෛලය rho ලා ය. Rho යනු සීමාවාසියකය අහවර කළ වෛද්‍යවරුන්‍ ය. මමත් මගේ කාමර සගයාත් opd හෙවත් බාහිර රෝගී අංශයේ වැඩ කළ ඉරිදා දිනයක හවස අප වෙත ආවේ අමුතු ඉල්ලීමකි.

“ප්‍රිසන් එකේ කිහිපදෙනෙක් උපවාසයක් කරනවා දවස් ගානක ඉඳන් එයාලට අමාරුයි එනිසා බලලා එන්න යන්න වෙනවා”

” අමාරු නම් කොහොමද බලලා එන්නේ. මෙහෙ ගේන්න එපැයි. ඇරත් ප්‍රිසන් එකේ ? ඇම්බියුලන්ස්වලින් මෙහෙට ගෙන්වමු” අපි කීවද ඔවුන් එකඟ වුණේ නැත.

“ඔගොල්ලො ගිහින්ම බලලා නිර්දේශ ලියලා එන්න, එතන ඉන්න ප්‍රිස්නර්ස්ලා වෙන කාවවත් විශ්වාස කරන්නේ නෑ ඩොක්ටර් කෙනෙක් එතනට ඇවිත් කිව්වොත් උපවාසේ නතර කරලා රෝහල්ගත වෙනවා කියා කියනවා. හරිම අසාධ්‍ය තත්‍ත්වයෙන් ඉන්නේ… එනිසා ඔය දෙන්නා යන්න” කාර්යයභාර වෛද්‍යවරයා අප වෙත දැනුම් දුන්නේය. ඔහු සිටියේ නිවාඩුවේ ගෙදර ගොසින් ය.

“අනේ ඔව් ඩොක්ටර් අපිව පේන්න බෑ , ඒ ගොල්ලොඅපි එක්ක සාකච්ජා කරන්නෙත් නෑ ඩොක්ටර් කෙනෙක් බලනකම් ඒක නවත්වන්නෙත් නෑ. අපි හරි අමාරු අඩියක ඉන්නේ” බන්ධනාගාර නිලධාරියා පැවසුවේය.

රෝහල් ඇම්බියුලන්ස් එකකින් එහි ගිය විට බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ, සිරකරුවන් පිරිස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්ඩංගුවට ගත් බවත් ඔවුන් ඉන්නා සිර මැදිරි තුලින් එළියට ඒම ප්‍රතික්ෂේප කරන බවත් අපට එහි ගොස් ඔවුන් බලන්නට සිදුවන බවත් ය.

සිර මැදිරි තියා පොලීසියකට අඩිය නොගැසූ ළාමක , සමාජ අත්දැකීම් අඩු ගැහැණු වෛද්‍යවරියන් දෙදෙනෙකුට මේ වෙලාවේ හිතෙන්න ඇත්තේ මොනවාද ඔබට තේරෙනවා ඇති. ඇත්තටම අපට තීරණයක් ගන්නට නොහැකිය.
අප බාහිර රෝගී අංශය භාර වෛද්‍යවරයාට කතා කර කීවේ කිසිඳු ආරක්ෂාවකින් තොරව සිර මැදිරි අස්සට යාමට අපට නොහැකි බවය.

උපවාස කරමින් බොහෝ අසාධ්‍යව සිටි සිර කරුවන් සමග පණිවිඩකරුවන් යවා සාකච්ජා කළ අතර ඔවුන් පැවසුවේ රෝහල්ගත කරන්නේ නම් අප ඇවිත් ඔවුන් පරීක්ෂාකර බලා නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවය. එතෙක් කිසිසේත් ඉන්නා තැනින් හොලවන්නට බැරි ය. ඔවුන් සිතන්නේ බන්ධනාගාර නිලධාරීන් බොරු කියා ඔවුන් එතැනින් ඉවත්කරන්නට තැත්කරන බව ය.
මේ තත්ත්වය සමඟ නිලධාරීන් බොහෝ සෙයින් කලබල වී ඇත.

“දැන් මේ අය අහන්නේ ඩොක්‍ටර්ස්ලා කියන දේ විතරයි. මේ අයගේ තත්වය එන්න එන්න බරපතල වෙලා. අපි ආරක්ෂාව ගැන ඇප වෙනවා. බය නැතුව යමු ඩොක්ටර්” ඔවුන් පවසයි

වෛද්‍ය අධිකාරි වෙත සහ බාහිර රෝගී අංශයේ කාර්යය භාර වෛද්‍ය නිලධාරියා වෙත දැනුම් දුන් පසු බාහිර රෝගී අංශ බාර වෛද්‍යවරයා කීවේ සති අන්තයේ බාහිර රෝගී අංශයේ සියල්ලෝ නිවාඩු නිසා ඉන්නේ අප දෙදෙනා පමණක් බවය. “දැන් ඔය ගිය එකේ බලලාම එන්න”

ඉල්ලීම් කෙරුණි. සමාජ අත්දැකීම් අඩු නමුදු රෝගී සත්කාරයට ඕනෑම දුරක් දුවන අප දෙදෙනා පින්සෙන්ඩු වන සිරකරුවන් සහ ජේලර්වරු සමග ඔවුන්ගේ සිර මැදිරියට ගියෙමු. යන මඟ දෙපස සිරකරුවන් පිරී ඉතිරී අප දෙස දෑස් ‍යොමුකරගෙන සිටී… අපට හැකි තරම් ඉඩදී ඈත්වෙවී නමුත් පොදි කමින් බලා සිටී. ජේලර්වරු කිහිපදෙනෙක් අප වටේ ගමන් කරමින් සිටියෝය.

එකම කාමරයක එම උපවාස කළ සිරකරුවන් පිරිස සිටි අතර ඔවුන් බිම වැතිර සිටියෝය. අප ඇතුල් වූ පසු කාමරයේ අගුළු දැමීය…බිමට නැවී හිඳගෙන හෘද රිද්මය සහ රුධිර පීඩනය මැන බැලූ අපට තරු පෙනුණි. විජලනය සහ ආහාර නොමැති වීම නිසා මොවුන් අසාධ්‍ය වී සිටියහ. මැදිරියෙන් එළියේ සිරකරුවන් පොදි කමින් සිටිනු අපට පෙනුනි.

“ඔබ හැමෝගෙම ප්‍රෙෂර් අඩුවෙලා සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා දැන්ම රෝහල්ගත නොකෙරුවොත්” අපි ඔවුන්ට කී බව මතකය.

ඔවුන් පරීක්ෂා කර බලා සිර මැදිරියෙන් එළියට එද්දී අතුරු සිදුරු නැතුව පිරී සිටි සිරකරුවන් අපට යන්නට ගෞරවයෙන් ඉඩ සකස් කර දෑත් බැඳ ස්තූති කරමින් සිටියෝය. තවමත් ඒ අවස්ථා මතකයේ රැඳී ඇත්තේ බොඳ වූ ඡායාවක් මෙනි. කළු දුඹුරු නාවර පෙරුණු බිත්තිද බිම වැතිර සිටි සිරකරුවන්ද පමණක් මතක ය.

වහාම රෝහල්ගත කරන්න ! අපේ නිර්දේශ ලියා අප දෙදෙනා නැවත රෝහලට පැමිණියෙමු.
ඉන්පසු යම් කාලයක බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් අතර ගැටුමකින් බන්ධනාගාරයේ prison break නාටකයක් ආරම්භවී තිබුණි. එය දුටු අප, එදා අපව යැවූ අනාරක්ෂිත ගමන ගැන අංශභාර වෛද්‍යවරයා වෙතින් විමසූ විට හේ බොහෝ කණගාටු වී සමාව අයැද සිටියේය. හදිසියේවත් ඔවැනි කලබලයක් අප එහි සිටියදී සිදුවුනා නම් ? එහෙනම් අපේ ජීවිත පවා අවදානමේ නොවෙද කියා බොහෝ වෛද්‍යවරු දොස් කීවෝය.

වෛද්‍ය සේවා කාලයේදී… අපට හිතන්නට බැරි තැන්වල සේවය කරන්නද හිතාගන්නට බැරි ස්ථානවලට ගොස් සේවය සපයන්නද සිදුවේ. ඒවා අප ජීවිතය සෞඛ්‍යය පවා අනතුරේ හෙලනසුළුය.
බෝවන රෝග බොහෝ විට අපටද වැළඳේ. නිරන්තරයෙන් රෝගකාරකවලට නිරාවරණය වන නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් බොහෝ රෝග කාරක යටපත් කරනවා ඇතියැයි සිතේ.

මනෝවෛද්‍ය වාට්ටුවේ වැඩ කරද්දී සායන එන්නේ නැති හෝ අසාධ්‍ය තත්ත්වයන්ට ලක්වූ රෝගීන් සොයා ඔවුන්ගේ නිවෙස් වෙත පවා යාමට සිදුවූ විට, ඇතැම් රෝගීන් කැති පොලු අමෝරා අප පසුපස දිව ඒ. බොහෝ විට මෙලෙස යන්නේ පොලිස් නිලධාරියෙක් සමඟය. වේගයෙන් දුවන්නට බැරි මට ඈතින්ම නවතින්න යැයි කියූ හැටිත් මතක් විය. සියල්ල සන්සුන් වූ පසු එහි එන්න යැයි අනෙක් සහෝදර වෛද්‍යවරයා පැවසූ පසු යන්නටත් පුරුදු වූයෙමි.

එහෙත් අදටත් බොහෝ අවදානම් තිබුනද සේවය නොපිරිහෙලා ඉටුකරන්නට අපි උපරිම උත්සහය ගන්නෙමු. අවුරුදු ගණනාවක් මේ භූමියේ බොහෝ දුෂ්කර පරිසරවල දුක්විඳින මිනිසුන්ගේ දුක ඇසුවෙමි. පිළිසරණ වීමි. හොඳයි, නරකයි කියා බෙදෙන මිනිසුන්ගේ පවා ලෙඩ දුක් කරදර මගේ කරගෙන උදව් කළෙමි. මගේ ජීවිතේ පවා අඳුරේ හෙලමින් ඔවුන්ගෙන් කරදර වන අතර වුවද උදව් කළෙමි.

ඔබට සිතාගැන්මටවත් නොහැකි කාලයක උතුරේ සේවය කළ අතර ඒ කතා පොත් පත් පුවත්පත්වල ලීවා නොව ලියැවුණාය. තවත් මතකයේ රැඳි කතන්දර බොහෝ ය හැකි විටක ලිවිමටද අදහස් කරමි.

වෛද්‍ය බෝධිනී සමරතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *