ඔබ දෙසට පියවර තබමි

තරු එකින් එක ඇහැරෙන මද අඳුර මැදින් සේපාලිකා මල් සුවඳ ගෙන ගෙට එබෙන සිහිල් මද පවනට මම දොර විවර කර තබමි. දොරකඩින් හිඳ නෙත් පියා ඒ සුළං රැල් අතරින් ඔබේ සුවඳ හදවතට පෙරාගන්නට වෙහෙසෙමි. උදෑසන මේ දොරකඩදී ම ඔබ නළලතින් කොපුලතින් දෙතොලින් තබා ගිය හාදුවල උණුසම හදවතට යළිත් ගලා එන්නේ එවිට ය. ඔබට පෙරමග කියන්නට මගේ ඇස් ඇවිළෙන්නේ එවිට වන්නට ඇත.

ඔබ හදවතේ තබාගත් දා සිට රිසි නොරිසි බොහෝ උන් අතරත් රුචි අරුචි බොහෝ දේ අතරත් හදවතට විඩා දුන් බවක් මතකයේ නොමැති තරම් ය. ඔබේ පේ‍්‍රමය එතරම්ම උණුසුම් ය. සිත නිවන සුලූ ය. යන එන බොහෝ තැන්වල සිත් රිදෙන නෙත් දවන බොහෝ දේ අතරත් මම හදවත දොරකඩින් තබා ගනඳුර මැදින් කඩුල්ලෙන් එපිට මැවෙන ඔබේ රුව මතින් ඇස් තබමි. දවසේ මෙහෙවරට ඔබ පිටව යන අරුණැල්ලට වඩා යළි ඔබ මවෙත ඇදෙන ඒ පේ‍්‍රමණීය කලූ අඳුරු සිතුවමට මම එතරම්ම බැඳී සිටිමි. ඔබේ රුව නෙතු මතට ගලා එන්නේ හදවතට ජීවය ගලා එද්දී ය. දැවෙන දහවලක පවා මා නිවන්නේ ඒ දසුනම ය.

ගිළිහී අතහැරෙන්නට ගිය බොහෝ තැන්වල තදින් සිත් අල්ලාගෙන විත් තවත් තැනෙක අතහැරී වෙන්ව ගොස් යළී යළිත් අප අපව සොයාගත් තැන් ජීවිතේ කොතරම් ද? ඒ හෙළුෑ කඳුළුවල සුසුම්වල බර දන්නේ ඔබත් මමත් පමණ ම ය. අවසන සියල්ල සිදුව ඇත්තේ හදවතින් ම අප පැතූ ලෙසම ය. අප අපේ වී ය.

එක ම හෙවණක්…. ඒ ඔබේ පැතුම ය. ඔබ කී ලෙස ම එය ම නිවනක් ය. ඔබේ කැදැල්ල අපේ කැදැල්ල වූ දා පටන් ජීවිතේ අරමුණු එකින් එක වෙනස් වෙමින් ඇති බව මට හැගේ. සිත සැනසෙමින් ඇත. ඔබේ වූ දාක අවසන් ම සිහිනයත් සැබෑ වනු ඇතැයි සිතුව ද මා සිහින දකින්නට අරඹන්නේ දැන් යැයි මට සිතේ. මෙතෙක් මා වෙනුවෙන් මැවූ සිහින වෙනුවට ඔබ ගැන සිහින දකින්නට අප වෙනුවෙන් සිහින දකින්නට හදවතට අවැසි වී ඇත. රැුයේ ඔබ එනතුරු දොරකඩින් මග බලා හිඳින්නට මා සිහින දුටුවේ එදවස ය. දැන් ඒ සිහිනය මම අත්විඳිමි. ඒත් දැන් ඒ සිහිනය පසුපසින් තවත් බොහෝ පැතුම් පීදෙමින් තිබේ. ඔබ නොමැති තැන පවා හුදෙකලාවක් නොදැනෙන තරමට ඔබ හදවතට පිරී ඇති නිසා ම ජීවිතයේ සැහැල්ලූම වසන්තය මම අත්විඳිමි.

මගබැලූම් නිමාකර ඔබේ සිනා රුව සුසුමක දුරින් පෙනෙද්දී පා ඇඟිලි වලින් එසවී ඩා බිඳු පිරුණු ඔබේ නළලත මුදු හාදුවක් තවරමි. එසේ කළ පළමු දිනයේ ඔබ කියූ දේ මම යළිත් සිහිපත් කරමි. ”දවස ගෙවෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ දවසෙම මහන්සිය නිවන ඒ හාද්ද වෙනුවෙන්” ඔබ ව මට දැනෙන තරමින් ඔබට මා දැනීම ම හීනයක් හැබෑ වීමකට වැඩි දෙයකි.

ඉදින් බඳ වටා ඔබේ අතක් වෙළෙද්දී ගෙතුළට වැද මම සෙමෙන් දොර වසන්නේ ගෙතුඝට වැදුණු සේපාලිකා සුවඳ අමනාපයෙන් පිටව යද්දී ය. ඔබේ සුවඳ පුංචි නිවහන පුරා ගලා යද්දී මම දිගු සුසුමක් ගෙන ඒ සුවඳින් ම හදවත පුරවාගෙන මගේ අලූත් දවස අරඹමි. ඔව් මගේ දවස ඇරඹෙන්නේ දැන් ය.

ඔබ ළගින් හිඳ එකම උණුහුම් කෝපි කෝපපයක රස විඳිමින් ඔබේ දවස මගේ දවස ගැන කතාකරන්නට අපට මොනතරම් නම් දේ තිබේ ද? අතරින් පතර උරහිසක කොපුලක තබන වන හාදුවක රිදුම් පිරිමදින මායාව අපි හදවතින් විමසමු.
ඔබේ ළය මතින් හිස තබා ඔබේ ඇගිලි තුඩු හිස මත රැඳෙද්දී ඔබේ දෙතොලින් හිස මත හාදු තැවරෙද්දී මම මුනිවතින් ජීවිතය විඳගමි. සංසාරයක ම දුක නිවන්නට මට ඒ ඇති ය. වදනින් ඉඳහිටක ඇසෙන පේ‍්‍රමයට වඩා ඒ දැනෙන පේ‍්‍රමයට මා එතරම්ම ලෝබ එබැවිනි.

අමනාප දවස් නැතුවා ම නොවෙ ද? ඔබ එක තැනෙක රැවුම් බැල්මන් දෙද්දී හිත ම උවමනා තරමටත් වඩා රිදවාගෙන කඳුළු දිය කර කර බර සුසුම් කොතෙක් නම් හෙළා ඇත් ද? ඒත් ඒ අමනාපකම් නිමාවන නිමේෂය මොනතරම් නම් පේ‍්‍රමණීය ද? ඔබ මා නොසලකා සිටි හෝරා ගණනක් හෝ දින ගණනක් සැණින් අමතක කරවන්නට ඒ එක නිමේෂයට හැකි ය. ඒ ඔබේ පේ‍්‍රමය ය.

සිහින…. මොනතරම් අපූරු ද? තරු නොකියා ම සඳ අහසට කැඳවාගෙන විත් ඇත. දෙතොල් මත ඇඳෙන සිනා රැල්ලත් සමග ම නවාතැන්පලේ පුංචි කවුළුව මම වසා දමමි. හුදෙකලා කුටියට විත් සයනයේ වැතිර තවත් එක් විඩාබර දවසකට නැවතුම තබමි.

ඒත් නින්ද නෙත වැළඳගන්නා තුරු තව නොදුටු ඔබේ සිනාවත කුටියේ ගන කලූවර අතර මම මවාගන්නට වෙහෙසෙමි. දෑත ළමැදට තුරුලූ කර ඔබේ උණුසුමට හදවතින් තුරුලූ වෙමි. අලූත් දවසක හෙටත් මගතොට කොහේ හෝ තැනකදී ඔබ රූ නෙත ගැටෙනු ඇතැයි සිතා හදවත පේ‍්‍රමයෙන් පුරවා නෙතු වසා ගමි. ගමන අරඹන්නට ඔම හමුවනා තෙක් ඔබ දෙසට පියවර තබමි.

මේනුකා දම්සරණී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *