හැම අද්භූත කතාවකම සැඟවුණ යථාර්ථයක් තියෙනවා – ලේඛිකා හංසි රණසිංහ

ඔබගේ නව කතා ගෙතුම් ආකෘතිය කුමක්ද ?
‘සර්වත්‍ර මායිනි’ occult/ paranormal horror උපශනරයේ කෘතියක්.. ඔකල්ට් කියන්නෙ ගුප්ත විද්‍යාවට. ලංකාවට අලුත් මාතෘකාවක් වන මෙය බටහිර රටවල නම් බහුලව ලියැවෙන ශනරයක්. මේකට අයත් වෙන්නෙ මන්ත්‍ර, යම් ආගමික හෝ ඇදහිලි ක්‍රමයක් මූලික කරන් ලියැවෙන කතා. පැරනෝමල් ශනරයට අයත් වෙන්නෙ පාරසාමාන්‍ය ( paranormal ) එහෙමත් නැත්නම් වැම්පයර්වරු, මිත්‍යා සතුන්, වෘක මිනිසුන්, වැනි අද්භූත දේවල් පදනම් කරන් ලියැවෙන කෘති. මගෙ පොත ඒ කොටස් දෙකමට අයත්.

මනෝරාජිකත්වයන් මත පිහිටන සාහිත්‍ය කියවා ගැනීම් දැන් දැන් ලෝකයේ සුලබයි. මේ උපනතිය සාහිත්‍යයට සිදුකරන කාර්යය කුමක්ද ?

ඇත්තෙන්ම මම හිතන්නෙ මෙය සාහිත්‍යය වෙනම මානයකට රැගෙන යන්නක්. මනෝරාජිකත්වය එහෙමත් නැත්නම් ෆැන්ටසි කියන්නෙම ලේඛකයාට තම පරිකල්පනයන් අසීමිතව උපයෝගී කරගන්න පුලුවන් අංශයක්. ඉතිං මේ මාවතේ නව අදහස් බිහිවීමත් සමඟ පාඨකයින් සාහිත්‍යට තව තවත් නැඹුරුවෙනව.

අද්භූත කතා මාදිලිය මිනිස් සමාජය යථාර්තයෙන් පිටමන් කරනවා කියන චෝදනාවක් කළොත් ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද ?

මම එම චෝදනාව මධ්‍යස්ථව බාර ගන්නව. මොකද මම විශ්වාස කරන පරිදි අද්භූත කතා මාදිලිය කොටස් දෙකක් තියෙනව. එකක් තමයි සම්පූර්ණයෙන් ම මනඃකල්පිතයක් මත ම ගොඩනැඟුන අද්භූත කතා. ඒවයින් පාඨකයින්ව යථාර්ථයෙන් ඔබ්බට රැගෙන යන අතර ඒ තුළ ඔවුන් සිහින මවාගන්න ඇති ඉඩකඩ වැඩී. මම උදාහරණයක් විදිහට ගත්තොත් සුපිරි බලයන් ඇති මිනිස්සු පිළිබඳ කතා. ඇත්තටම එහෙම මිනිස්සුන් ඇතියි අපට විශ්වාස කිරීමට අපහසුයි.හුදෙක් රසවින්දනය සඳහා එම කතා උපයෝගි කරගන්නට පුලුවන්.
ඒත් තව අද්භූත කතා මාදිලියක් තමයි ලෝකයේ සැඟව ඇති කරුණු මත පදනම් කතා. පිටසක්වල ජීවීන් පිළිබඳ ව ලියැවුණ කතා, යක්ෂාත්මයන් පිළිබඳව ලියැවුණ සහ ගුප්ත විද්‍යාව සම්බන්ධව ලියැවුන කතා. බටහිර රටවල මේ සියල්ල පිළිබඳ ව එළිපිටම කතා කරත් ඔවුන්ට ඒවා යථාර්ථයක් වුවත් ලංකාවේ අපිට තාම ඒවා මිත්‍යා. හේතුව දැනුම නොඑන එක. මම විශ්වාස කරනව හැම අද්භූත කතා මාදිලියක ම සැඟවුණ යථාර්ථවාදී කරුණු තියෙනව කියල. එහෙම එකේ අද්භූත කතා මඟින් මිනිස්සුන් යථාර්ථයෙන් පිටමං වෙන්නෑ නේද,

ලංකාවේ සාහිත්‍යයේ ලකුණක් තබන්නට බොහෝ අද්භූත කතා ක්ෂාණරයන් උත්සුක වූවා එහෙත් යොවුන් මල් කතා තරම් ඒවා ජනප්‍රිය තලයක පැවතියේ නෑ ඇයි මේ

හේතුව එදිනෙදා ජීවිතයේ පීඩිතව සිටින සහ අභිමතාර්ථය පරිදි ජීවිතය, ආදරය නොලැබෙන අවස්ථාවලදී මිනිස්සු පුරුදුවෙනව පොතකින් හරි ඒ මොහොත විඳින්න. හැබැයි අද්භූත කතා වලින් සොඳුරු විසිතුරු ලෝකයක් මවාපාන්නෙ නෑ. ක්‍රියාදාමයක් හෝ තම ඒකාකාරී ජීවිතයට වික්‍රමයක රසයක් තමයි අද්භූත කෘති වලින් ගෙනෙන්නෙ. ඒ නිසාම මිනිස්සුන් අද්භූත ශනරයට වඩා ප්‍රේමනීය කතා වලට දැඩි ඇල්මක් දක්වනව. එහෙත් මෑතකාලයේ දී මම වැඩි වශයෙන් දැක්ක දෙයක් තමයි බොහෝ පාඨකයින් අද්භූත ශනරයේ කෘතීන්ට ඇල්මක් දක්වන එක.

 අත්භුත පන්නයේ නව කතා වඩා ජනප්‍රිය වන්නේ බටහිර ආකෘතියේ භෞතිකමය පදනම් සමග වචන හා ඔවුන් විසින් උද්පාදනය කරනු ලබන සංර්ධනීය මූලයන් බලපානවාද ?

ඔව්, මම එහෙම හිතනව. ඒකට හේතුව ලංකාවේ බහුතරයක් හුරුවෙලා තියෙන්නෙ බටහිර පරිවර්තන කියවීමට. ඒ හේතුව නිසාම බහුතරයක් ලේඛක ලේඛිකාවන් අද්භූත ශනරයේ ස්වතන්ත්‍ර ගොඩනැඟීමේදී බටහිර නාමයන් සහ පරිවර්තනයන්හි යෙදෙන ශෛලිය භාවිතා කිරීමට පෙලඹෙනව.

ආගමික නැඹුරූන් මතින් ලෝකය කියවීම දැන් දැන් අඩු වෙලා.. මිත්‍යාව මත පදනම් වුනු ඇදහිම්ලනින් මිනිසුන් බොහෝ විට ඈත් වෙලා එහෙම වට පිටාවක සාහිත්‍යය මගින් මිත්‍යාවම වැවීමක් මේ මගින් වෙනවා කිව්වොත්

නෑ ..මම හිතන්නෙ නෑ. මම හිතන්නෙ මිත්‍යාව වුණත් හරියාකාරයෙන් නොදන්නකම නිසයි දේවත්වයෙන් හෝ අන්ධවිශ්වාසයෙන් ඇදහීමක් වෙන්නෙ. සාහිත්‍ය මඟින් අපි ලෝකයේ සැඟව ගිය දොරටු විවර කරහම මිනිස්සුන්ට ඒ පිළිබඳව නිසි දැනුමක් ලැබෙනව. එතකොට එතන අන්ධවිශ්වාසය පලා ගිහින් ඒ පිළිබඳව අධ්‍යනයට පෙළඹෙනව. උදාහරණයක් ලෙසට මගෙ ආගම බුද්ධාගම ගත්තොත් අපි අන්ධවිශ්වාසයෙන් භක්තියෙන් බුදුන් සරණ යන එකයි, බෞද්ධ දර්ශනය ගැන නිසි දැනුමින් සියල්ල ස්වබුද්ධියෙන් තේරුම් ගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනව නෙ. මේකත් ඒ වගේ. මිත්‍යාව කියල අපි වෙන්කරන්නෙම අපි නොදන්න දේ නේ.. අපි හරියටම ඒ දෙන දැනගත්තොත් ඒ මාර්ගය තෝරගන්නවද නැද්ද කියල අපිට තීරණය කරන්න පුලුවන් නේද,

ඔබගේ කෘතියට පාදක වුනු සිදුවිම් ලංකාවට අනන්‍ය වූ ඒවා ද ?

ඔව්.. ලංකාවට ඔබින ආකාරයට ලංකාවට නුහුරු ඇදහිලි ක්‍රමයක්, ජනකොට්ඨාශයක් පිළිබඳ ව මම රචනා කළේ. කොහොමත් ගුප්ත විද්‍යාව කියන්නෙ ලංකාවේ පැරැන්නන්ට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයිනෙ.. වෙනස තියෙන්නෙ අපේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සම්ප්‍රදායන් මිලින වෙද්දි බටහිර රටවල එයාලගෙ සම්ප්‍රදායන් තාම ජීවමානව තියෙන එක.

ඉතිං කියන්න මෙතෙක් සාහිත්‍ය ගමනේ විස්තර

2014 මුලින්ම මුහුණුපොතින් නිසදැස් රචනයෙන් සාහිත්‍ය ලොවට පැමිණි මම 2016 කුලුදුල් යොවුන් නවකතාව වූ අද්භූති(රාවණා සොයා) රචනයෙන් පසු මගෙ සාහිත්‍ය දිවියට කොමාවක් තැබුවා. ඉන්පසු දිගු කාලයක නිහැඬියාවකින් පසු 2020 සිඳුදිගැසිය නම් ෆැන්ටසි ශනරයේ නවකතාව රචනයත් සමඟ ලැබුණ පාඨක ප්‍රතිචාර මත සර්වත්‍ර මායිනි නවකතාවෙන් ඉදිරිගමන ආරම්භ කළා.

ලියන සමාජය හා සමාජ මාධ්‍යමය කියවිම් තුළ ඔබ හිතනවාද හොද විචාරක පිරිසක් ගොඩ නැගී ඉන්නවා කියල

ඇත්තෙන්ම ඔව්.

 කවද්ද මේ කෘතිය එළි දැක්වුණේ?

2021 මා‍ර්තු මාසයේ 06 වෙනිදා ඒ කියන්නෙ පසුගිය සෙනසුරාදා කොළඹ රාජගිරිය පාරේ, නාවල පිහිටි The reading cafe by bookrack හි දී මේ පොත එළිදැක්වුණා. ‘සර්වත්‍ර මායිනි’ කෘතිය බුක්රැක් ප්‍රකාශනයක්.

 මුළු කතාව තුළම වගේම ඔබගේ ජීවිත කතාව තුළත් මේ කෘතිය සංසිද්ධිමය ගැලපුමක් .. කෘති ත්‍රිත්වය තුළ සමාජය හංසි කියවා ගත් යුත්තේ ඇයි ..

ඇත්තෙන්ම ඔව්, මගෙ කෘති ත්‍රිත්ව තුළ ප්‍රධාන චරිත වන්නෙ කාන්තාවන්. ඔවුන්ව කියවන විට ඔවුන් සතු ආත්ම විශ්වාසය, වීර්ය සහ නොපසුබට උත්සහය පැහැදිලිවම හංසි ඉන්නව. හංසිව මම දකින්නෙ කලකිරීමට දහසක් දේ ඇතත් හැම මොහොතකම ආත්ම විශ්වාසයෙන් ධෛර්යයෙන් යුතුව කිසිදා අත්නොහරින වීර්‍යයකින් යුත් පුද්ගලයකු ලෙස. සමාජය කියවිය යුත්තේ තමන් තුළ සැඟව සිටින ඒ හංසිව. නිර්භීතව තනිව මුහුණ දෙන ඒ චරිතයයි කියවිය යුත්තේ..

සාකච්ඡා – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *