කලන්තේ හැදුන හැටි – වෛද්‍ය බෝධිනී සමරතුංග

මා සේවය කරන සෞඛ්‍යායතනයේදී පුහුණුවට පැමිණි හෙදියන් හෙද සොයුරන් පිරිසක් දකින්නට ලැබුනා. ඔවුන් අතරින් පැමිණි කෙනෙක් ඇසුවේ “ඩොක්ටර් උතුරේ අහවල් රෝහලේ වැඩකළා නේද ?” කියා ය. මට එවිටම ඔහුව මතකයට ආවේ එහි හමුවූ හෙද සොයුරෙක් ලෙසය එහෙත් ඔහු වැඩ කළ ඒකකය මතකයට ආවේම නැත.

“තියටර් එකේ මතකද ඩොක්ටර්” ඔහු ඇසූවිට මට ටක්කෙටම මතක් විය.
“ඔව්නේහැබැයි මම ඊටපසු අවුරුද්දේ මාරුව ලැබ කොළඹ ආවා” මම කීවෙමි.

මෙච්චර මේ මූඛ නහය ආවරණය කර ගනිමින් මාස්ක් දමා සිටියද අවුරුදු 8 කට පසුව වුවද ඔහු මා හඳුනාගත් හැටි පුදුමය. අප වැඩකරන ඕනෑම තැනක සෑම අංශයකම අය හා සුහදව කටයුතු කිරීමද ඔවුන් සැම තරාතිරම් ලෙස නොව මිනිසුන් ලෙස සැලකීමද මා උගත් දහමය. ඒ සමග සහෝදරත්වයෙන් වැඩ කළ නිසා ඔවුන් සැම , ගෙවල්වලින් බොහෝ දුර බැහැර වැඩ කළ අප වෙත දයාබර වූවෝය.

ඇත්තටම ඔහුව මතකයට නැඟීමත් සමග එහි සිදුවූ සිදුවීමද මතක් වුණි. පත්වීම ලැබ තියටර් එක හෙවත් සැත්කම් කරන ශල්‍යාගාරයේ පුහුණුවට ආ ඔවුන් කිහිප දෙනෙක් අප සැත්කම් කරනු බලා සිටින්නට විය. පළමු දවසෙම ඔහු කලන්තය හැදී වැටුනේ අප සැම පුදුම කරමිනි. මන්ද ඔහු වැටෙනකම් අප දුටුවේ නැත. එදා සියල්ලන්ටම ඔහුව බයිට් එක විය.

ඉන්පසු එළඹි දිනක වාට්ටුව බලන් හිටි මා වෙත ආ දුරකථන ඇමතුමකි. “ඩොක්ටර් ආර් කලන්තේ දැම්මා ඉක්මනින් තියටර් එකට එන්න”
කලන්තේ දමා සිටියේ සුමිතුරු වෛද්‍යවරයාය.
නිතරම විහිළුවෙන් ඉන්නා මේ සඟයා, ප්‍රසව හා නාරිවේද ඒකකයේ ඉන්න බහුතරයක් දෙනා හෙදියන් සුළු සේවිකාවන් සහ වෛද්‍යවරියන් දෙදෙනා සහ රෝගීන් සියල්ල ස්ත්‍රීන් නිසා… මේක නම් ඉතින් පිටරට විකාශය වන විහිළු නාට්‍ය සීරීස් එකක් වැනි ජීවිතයක් බව කියමින් සිටියේය.  දැන් ඔහු කලන්තේ දමා ඇත.

කලන්තය දැමීම කියා අපි පොදුවේ භාවිතා කරන මේ ලක්ෂණයට වුනත් විවිද හේතු රාශියක් තියෙනවා. සුලභම හේතු – අධික රස්නය, විජලනය, දැඩි වේදනාව, දැඩි ලෙස කලබල වීම විය හැකියි. මේ හේතු බොහෝමයක් චිත්ත ආවේග emotional සමඟ බැඳී තිබෙනවා.
මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වූ විට ක්ලාන්තගතියක් හෝ සිහිය නැතිවීම සිදුවෙනවා.
ඒක ඇත්තටම අපේ සිරුරෙන් ඇති කරන ආරක්ෂක යාන්ත්‍රණයකි. මොළයට ඔක්සිජන් අඩුවීම හෙවත් රුධිරය මගින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම දැනෙද්දිම අත්‍යාවශ්‍ය පද්ධති රැක ගැනීම සඳහා ඒ මොහොතේ අත්‍යාවශ්‍ය නොවන පද්ධතිවලින් ශක්තිය වැය වීම අඩු කිරීමට ඇති කරනා ආරක්ෂක යාන්ත්‍රණයකි.

ක්ලාන්තය සාමාන්‍යයෙන් මොළයට ඔක්සිජන් නොමැතිකම, පෙනහළු හෝ රුධිර සංසරණය අඩාල වීම, කාබන් මොනොක්සයිඩ් විෂ වීම, රුධිර පීඩනය අඩු වීම වැනි ගැටළු නිසා ඇතිවේ. තවද පාලනය නොවූ දියවැඩියා තත්ත්වය, ඖෂධ සහ මත්පැන් මත්ද්‍රව්‍ය, ස්නායු රෝග නිසාද ක්ලාන්ත ගතියක් ඇතිවිය හැක.
කෙනෙක් ක්ලාන්ත වූ විට කළ යුතු ප්‍රථමාධාර ගැන දැනුවත් කිරීම හොඳයි කියා මට හිතුනා.

ක්ලාන්ත ගතියක් දැනෙන අය –

වාඩි වීමට හෝ නිදා ගැනීමට ආරක්ෂිත ස්ථානයක් සොයා ගන්න.

වාඩි වී සිටී නම්, ඔවුන්ගේ හිස දණහිස අතර තබන්න.

නැවත නැගී සිටින විට, සෙමින් එසේ කරන්න.

යමෙකු ක්ලාන්ත වී හෝ ක්ලාන්ත වීමට ආසන්න බව පුද්ගලයෙකු බව ඔබ දුටුවහොත්, ඔවුන්ට පහත දැක්වෙන ආකාරවලින් මැදිහත් විය හැකිය:

ඔවුන්ව බිම දිගා කරන්න

ඔවුන් හුස්ම ගන්නවා නම්, මොළයට රුධිර ප්‍රවාහය යථා තත්වයට පත් කිරීම සඳහා ඔවුන්ගේ කකුල් හෘද මට්ටමට වඩා අඟල් 12 ක් පමණ ඉහළට ඔසවන්න.

සියලුම පටි, ටයි, කරපටි සහ වෙනත් ආකාරයේ සීමා සහිත ඇඳුම් ලිහිල් කිරීමට උත්සාහ කරන්න. සුළං වාතාශ්‍රය ලැබීමට හැකිලෙස පරිසරය සකස් කළ යුතුයි.

පුද්ගලයා නැවත සිහිය එන විට, ඔවුන්ට ඉක්මනින් නැගිටීමට ඉඩ නොදෙන්න.

ඔවුන් විනාඩියකට වඩා වැඩි කාලයක් සිහිසුන්ව සිටී නම්, ඔවුන් සුවය ලබන තෙක් නොසිට එම ස්ථානයට හදිසි වෛද්‍ය උපකාර ලබා ගන්න.

ක්ලාන්ත තත්ත්වයන් මම දැන් වැඩකරන ආයතනයේ රුධිර කඳවුරුවලදී ඉඳහිට දකින්නට ලැබෙනවා. එතනදී ලේ දැකීමට ඇති බිය, එන්නත් කටුවට ඇති බිය සහ ශරීරය ලේ ගනිද්දී ඇතිකරන හැඩගැස්වීම් වගේ හේතු බලපානවා.

ක්ලාන්ත වූ පුද්ගලයා හුස්ම ගන්නේ නැත්නම්:

හුස්ම ගැනීම, කැස්ස හෝ චලනය සඳහා පරීක්ෂා කරන්න.

වාතය පෙනහළු දක්වා ගමන් කරන ශ්වසන මාර්ගය අවහිර නොමැති බව පරීක්ශා කරන්න

හුස්ම ගැනීමේ හෝ රුධිරය සංසරණය වීමේ සළකුනක් නොමැති නම්, හෘද පුනර්ජීවනය හෙවත් හෘද පපු තෙරපුම් (CPR) ආරම්භ කරන්න.

උදව් පැමිණෙන තෙක් හෝ පුද්ගලයා තනිවම හුස්ම ගැනීමට පටන් ගන්නා තෙක් CPR දිගටම කරගෙන යන්න.

ඒවා යථා තත්වයට පත් කර උදව් ලැබෙන තුරු ඔවුන් සමඟ සිටින්න.

පුද්ගලයා වැටීමෙන් පසු ලේ ගැලීමක් සිදුවුවහොත්, ලේ ගැලීම පාලනය කිරීමට තුවාලය මත සෘජු පීඩනයක් යොදන්න.

අහිතකර සෞඛ්‍ය තත්ත්ව ඇති පුද්ගලයෙකු ක්ලාන්ත වුවහොත් ඔවුන්ට අනිවාර්යයෙන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. එමෙන්ම ක්ලාන්තය ඇතිවූයේ කුමන හේතුවක් නිසාදැයි සොයා බැලීම මගින් අනාගත ක්ලාන්ත තත්‍ත්ව හෝ රෝගී තත්ත්ව හඳුනාගැනීමට උපකාරී වේ. කෙසේ වෙතත්, බොහෝ විට, සුලභ හේතු සඳහා ඇතිවන ක්ලාන්ත තත්වයන්වලදී වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නොවේ.

තව දුරටත් ක්ලාන්ත තත්ත්ව වලක්වා ගැනීම සඳහා, මිනිසුන් දිගු කාලයක් නොසෙල්වී සිටගෙන සිටීම, විජලනය වීම, අධික තෙහෙට්ටුව සහ උණුසුම් පරිසරවල වැඩි කාලයක් ගත කිරීම වැනි ප්‍රේරක(triggers) වළක්වා ගැනීමට උත්සාහ කළ යුතුය.

ඔබට ඇති ප්‍රේරක.. හෙවත් ක්ලාන්තය ඇති කරන දේ පිළිබඳ අවට සිටින අය දැනුවත් කළ යුතුයි. ඇතැමුන්ට රුධිරය දැකිය නොහැක.

ඉතින් එදා සිට මම ඇතුළු හෙදියන් අප සියල්ලන් බොහෝදිනක් යනකම් ඔහුට විහිළු කළේ “වැඩක් නෑ ඉතින් ඔහොම කලන්තේ දමනවානම්” කියාය. ඒවෙනකොට ශල්‍යාගාරය සහ සැත්කම් අපට ඒ තරම් හුරු පුරුදුය.

” අධි ආලෝක අර තියටර් ලයිට් එක ඔළුව මුදුනේ තියන් අලුත් සර් ට ඇසිස්ට් කරලා බලන්න” ඔළුව නම් රත් වුණා නොසෑහෙන්න”

කියමින් ඔහු නිදහසට කාරණා කීවේය.
ඉන් පසු එවැනි කාලයවැයවන සැත්කම් සඳහා අත් උදව් දීම භාර වුනේ මට ය. එහෙව් එක් දිනක තියටර් එකේ ලයිට් එක (අධි ආලෝකමත්) ඔළුව උඩින් ම විහිදෙන සැත්කම් දිනයක මට ද සිදුවුනේ ඇස් නිලංකාර වේගෙන යද්දී අසල සිටි හෙදියට යන්තම් කියා ගැනීමය.

“මිස් මට කලන්තේ වගේ”

මිස් පැමිණ මා පසු පසින් සිට ගත්තේ හරි යාවිද බලන්නය.. හරි යන පාටක් නැත.
“තව පොඩ්ඩයි මේ ටික මට කරගන්න පුළුවන්” සර් කීවෙන් මා විගහින් ශල්‍යාගාරයේ පොළොවේම හිඳ ගත්තෙමි. ඔළුව පහත් කර ගත්තෙමි මදක් හරි යාගෙන එද්දී නැගිට එළියේ හාන්සි පුටුවට ගියෙන්, සීනි සංතෘප්ත ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණයක්ද ටිකකින් උණු උණු කිරි තේකක්ද ලැබුනෙන් යතා තත්ත්වයට පත් වීමි.
“දිට්ඨ දම්ම වේදනීය කර්ම” වෛද්‍ය ආර් ට හිනා වූ මට ආර් පැවසුවේය. හැබැයි ඉතින් බොහොම අහිංසක විහිළු තහළු රැසකට මුහුණ දෙන්නත් වුණා.
ඒ වෙලාවේ රුධිර පීඩනයද සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා තිබ්බ නිසා… ඉන් පසු හර්ද රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙහි ආවිට ගිහින් පෙන්වන්නත් වුණා.

දොස්තරලා දෙන්නෙක්ම කලන්තේ දැමූ හෙයින් හේතුත් සොයා බැලුවා. අලුත් සර් ලයිට් මදි කියද්දී තියටර් එකේ අතිරේකව ඇති බල්බ් එකක් සහිත ලාම්පුවක් ගෙන අත් උදව් දෙන අනෙක් වෛද්‍යවරයා සිටින පැත්තෙන් අපට කෙළින් අටවන හෙයින් මේ අලකලංචිය සිදුවන බව එක හේතුවක් විය.
“තියටර් එකේ ඒ ලයිට් එක සැර වැඩී තමා. VH &R එකට ඇසිස්ට් කරද්දී කෙලින්ම ඔළුව උඩ. ඒක තමා ප්‍රශ්නේ” වෛද්‍යවරු දෙන්නෙක් කලන්තේ දැමීමට හේතුව එසේ තීන්දු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *