මම මට අවංකයි, ඒ හැඟීම් තමයි මගෙ Art එක – රසික ඩී. දුමින්ද

ජීවිතේ කියවා ගන්න කලාව කියන තැන ටච් වෙන්නේ කොහෙමද ?

ජීවිතේ දැනුනු තැවුනු තැන් අකුරු කරන්න ගත්තා ,ඒ දැනුනු වේදනා, පසුතැවීම් එළියට දා ගන්න ගත්තු ට්‍රයි එකක් විදිහට.
ඒක කලාවද කියන්න තේරෙන් නෑ. මගෙ ගොඩක් වචන ඇතුලෙ තියෙන්නෙ මගෙ ආත්මීය ප්‍රකාශනයක්. මම මට අවංකයි ඒ හැගිම් තමා මගෙ ආර්ට් එක.

සින්දුවක් ලියල ගන්න ආතල් එක නවල් එකක් කෙටි කතාවක් කවියක් ලියල ගන්න ආතල් එකට සමපාත වෙනවද නැද්ද ?

මට නම් අවංකව නෑ. මම කැමති ගීතයට. හැබැයි නවකතා කරුවන්ට ,කෙටි කතා කරුවන්ට මම ගරු කරනව. මොකද ගීතයක් ලියනවට වඩා ඒක අමාරු වැඩක්. ලොකු ඉවසීමකින් කාලයක් අරන් කරන්න ඔන දෙයක් .

බර වමට නේ ..? ලංකාවේ වමක් තියෙනවද නැද්ද ?

ඕකට මම මෙහෙම දෙයක් කියන්නම්. බහුතරයක් මිනිස්සු ඇතුලෙන් වමට බරයි. ජිවිතේ ඇතුලෙ තියෙන අරගලයත් එක්ක මිනිස්සුන්ට වම දකුණ මාරුවෙලා ඉන්නෙ. ගහගෙන යන්නෙ දකුණට නම් එකෙ එල්ලිලා යනව. එකෙ ගහන් නොයන මිනිස්සු වමේ කියල එළියට පේනව. මාව වමේ කියල පේන්නෙත් ඒ නිසා වෙන්න ඔනෙ

ඇත්තටම ලංකාවේ පන්තීන් තියෙනවද නැත්නම් එකම පන්තියක් එක එක විකාර රූපී වෙස් ගැනීම් මත යැපීමක් වෙනවා කියල හිතෙන්නේ නැද්ද ?

මට හිතෙන්නෙ පංතීන් දෙකක් තියෙනව . ධනය සහ බලය වෙනුවෙන් අරගල කරන පන්තිය සහ ජීවිතය වෙනුවෙන් අරගල කරන පන්තිය.
ඔය දෙකෙන් දෙවන කොටස, විකාර රූපී වෙස් ගැන්වීම් වලින් යැපෙන තත්වයක් පේන්න තියෙනව . ඒ පංතියට හැමදාම වැරදුනේ එතන.

ආගමික නැඹුරූන් සමාජය කොයි තරම් දේවල් දායාද කරනවාද ? හුදු ආගමික ඇදහීම් අර්ථයෙන් ඔබ්බට ගිහින් කියෙව්වොත් ?

ආගම් අදහනව වගෙම මිනිස්සු තමන්ගෙ හිත ඉස්සරහ හිටගෙන හිත අදහන්න ගන්න දාක ආගමික දර්ශනයක තියෙන හරය අපේ ජීවිත වලට දැනෙයි. හුදු ආගමික නැඹුරුවක් , භක්තියක් තේරුමක් නෑ.

රසික කියන්නේ කවුද ?

කට්ටක් කාලා ජීවිතේ සෑහෙන දුරට ගොඩ දා ගත්තු , ජීවිතේ ආපස්සට හැරිල බලල තෘප්තියක් ලබන කෙනෙක් .

 මේ සමාජයේ රසික පාදාගත්තු තැනක් තියෙනවද ඒ මොකද්ද ?

මම ආශ්‍රය කරන පිරිස අතර යමක් ගොඩ නගාගෙන තියෙනව , හොරෙක්, ගේම් කාරයක් , කපටියෙක් නෙවෙයි කියල . කොටින්ම උබ මෙතන මෙහෙම බොරුවක් කිව්වා කියල වත් මම හිතන් නෑ මට කෙනෙක්ට කියන්න පුලුවන් කියල. ඒ ඇරෙන්න මම සාමාන්‍ය කෙනෙක් .

අම්මා තාත්තා අතරේ හැදුනු වැඩුනු අතීතය සාමන්‍ය බොහෝ ළමා වියට සමපාතද ? නැත්නම් විශේෂතා තියෙනවද ?

මට අවුරුදු අටේදී අම්මා තාත්තා වෙන් වෙනව. සරළ ලමා වියක් මට තිබුන් නෑ. කිරි අම්මාලා, අක්කා තමා මට මගේ ලමා වියේ ලස්සනම තැන්.

 ආදරය කරල තියෙනවද ?

ඔව්

කී දෙනෙකුටද ?

හරියට බැලුවොත් 3 න් දෙනෙක් වගේ ,හැබැයි දවස් 10 /15 වගේ ආයුෂ තිබ්බ තව දෙකක් තිබ්බා.

ඇත්තටම ආදරේ කරපු කෙනාද බැන්දේ නැත්නම් ආදරේ ආදරේ විදියට තියෙද්දී සමාජ සම්මතයක් කුටුම්බ ගත වුනාද ?

ප්‍රේම සම්බන්ධයකින් විවාහ උනේ, ඒක විවාහයෙන් කෙලවර කර ගන්න බලපාපු හේතු තිබුනා. මට ජීවිතේ තිබුනු ප්‍රශ්න එක්ක. මට ජීවිතේ බාර දෙන්න මම ආදරෙ කරපු සමහරුන්ට පුලුවන් උනේ නෑ. ඉතිං මට ජීවිතේ බාර දෙන්න කැමති , මට ජීවත් වෙන්න පුලුවන් කියල හිතුනු කෙනාව විවාහ කර ගත්තා .

ඉගෙන ගත්තෙ කොහේද ?

හලාවත නාන්කඩවර පනිරෙන්දාව රජයේ පාසල සහ ගම් / කැප්පෙටිපොළ මහා විද්‍යාලය

පාසල් කාලේ ජයග්‍රහණ හිමි කරගත් තැන් තියෙනවාද ?

තිබ්බෙම පරාජයන්

ජීවිතේට ජොබ් කීයක් විතර කළාද ?

A/L වලින් පස්සෙ ගානක් හම්බෙන ඔන එකක් කලා. ආයතනික මට්‍ටමින් නම් ආයතන 2ක වැඩ කලා.

ජොබ් එකකින් ජීවිතේට මුදල් ලැබීමක් පමණක්ද වෙන්නේ ?

මට නම් ජොබ් එකෙන් තමා ඔක්කොම හම්බුනේ, ජීවිතේ සැනසීම, සතුට , ජයග්‍රහණයන්, කොටින්ම අද තියෙන ජීවිතේම රස්සාවට පින් සිද්ද වෙන්න. මහරාජා සමූහයට ඒ ගෞරවය අයිතියි.

දෙමව්පියන් ලෙස හැදෙන දරුවන් ගැන මොන වගේ අදහසක්ද තිබෙන්නේ ?

අපිට වඩා දක්ෂයි, සූක්ෂමයි.

අසම්මත බැදීම් කියන එක සමාජ කියවීමක් විදියට කොහොමද සලකන්නේ

අසම්මතය අවුල් , ඒක ගොඩ නැගෙන්නෙ රාගික ආකර්ෂණයක් වෙනුවෙන් නම්. හැබැයි , හිමිකමක් නැති දෙන්නෙක් අතරත් ආත්මීය බැදීමක් තියෙන්න පුලුවන් ආන් ඒකට අසම්මතය කියන්න මම කැමති නෑ.

ඇත්තටම මේ සංස්කෘතිය යල් පැන ගියපු එකක් විදියට දකිනවාද අලුත් සංස්කෘතියක් මවාගෙන මේකේ පිනුම් ගහනවාද.

මේ සංස්කෘතිය තමා අපේ හර පද්ධතිය. එක රකින්න ඕනෙ, යහපත් සමාජයක් වෙනුවෙන්, යම් දුරකට
මම සංස්කෘතිකයි. සංස්කෘතියට ආදරෙයි.

ඒක කඩල පොඩි කරන්න ඕනෙ කියනඔ , රැඩිකල් කියල දගලන මිනිස්සු දැක්කාම මට හිතෙන්නෙම
අනේ ජීවිතේ පට්ටම හිස් මිනිස්සු , හිත් රවට්ට ගන්න දගලනව කියල .

පරිසරය සම්බන්ධයෙන් වන මේ වකවානුවේ කතා බහ කොයිතරම් පරිසරයේ සුරක්ෂිතතාවයට ගැලපෙන්නක්ද ?

අපේ රටේ මිනිස්සු ඇත්තටම පරිසරයට ආදරේ ද කියල හිතන්න වෙනව . ඇත්තටම ආදරෙයි නම් තමා ඒ මේ මොහොතේ ගොඩනැගෙන පරිසරය සම්බන්ධ කතා බහේ හරයක් තියෙන්නෙ. මේ මොහොතේ පරිසරයට තියෙන අවදානය , ආදරය ක්‍රියාවන් බවට පත්වේවා කියල ප්‍රාර්ථනයක් කරන ගමන් අපි අපේ කොටසේ වගවීම හරියට කරන්න අපි කෙවුරුත් හිතට ගන්න ඔනෙ කියල තමා මට හිතෙන්නෙ.

 ක්‍රමයක වෙනසක් වෙනුවට පවතින ක්‍රමයේම කොටස් නේද මේ වෙනස් කරන්න යන්නේ?

අපේ බහුතරයක් මිනිස්සු ට මේ පවතින අපි රැවටෙන ක්‍රමය ගැනවත් අවබෝධයක් තියෙනව කියල හිතන්න අමාරුයි .එහෙම එකේ ක්‍රම වෙනසක් ගැන අපි කතා කරන එකත් විහිලුවක් වගේ. අපි වෙනස් වෙලා අපේ අරමුණු වලට යන එක හොදයි කියලත් වෙලාවකට හිතෙනවා .අපේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් .

ඔබ කියවා ගත් දේශපාලනික වපසරියේ සිට සමාජ ගැටළු අර්ථ දක්වන්නේ කෙසේද ?

මේ ඔක්කොම සමාජ දේශපාලන ප්‍රශ්න වලට හේතුව මිනිස්සු තමන් තමන්ට අවංක නැති කම කියල මට හිතෙන්නෙ ,
එහෙම මිනිස්සුන්ට පාලකයන්ගෙ වංක කම ප්‍රශ්නක් නෙවෙයි. ඒ තුල අවංක දේශපාලන චරිත නිර්මාණය වෙන් නෑ. එහෙම නොවෙන තුරා මේ සමාජ් ප්‍රශ්න හැමදාම ප්‍රශ්නම තමයි. අපේ සමාජය සහ ආර්ථික ගැටලු විසදන්න වැඩ පිළිවෙලක් ඔනෙ. කෙටි කාලීන වගේම දීර්ඝකාලීන . එහෙම දැක්මක් ගැන හැගික්මක් වත් පාලකයන්ට තියෙනව කියල පේන තෙක් මානයක් නෑ.

පොතක් ලියන්න අදහසක් නැද්ද ?

මම ඒකට අවශ්‍ය කාලය සහ සැහැල්ලුව කවද හොයා ගන්න පුලුවන් වෙයිද කියන්න බෑ. මට තියෙන්නෙ රාත්‍රියේ යම් සීමිත නිදහස් කාලෙයක් . ඒකාලෙ ඇතුලෙ වි 10 ක් 15 අරන් සිංදුවක් ලියන්න මම ආසයි.

ඇත්තටම ජීවිතයේ කියවා ගත් විමුක්තිකාමීය තැනක් ගැන කිව්වොත්.

තමන්ගෙ විමුක්තිකාමියා තමාම කියල තමා මට ජීවිතේ කියවා ගත්තු විදිහට දැනෙන්නෙ. ආකල්පමය ජවය සහ ශක්තිය සියල්ල වෙනස් කරන්න සමත්.

 ඉතිං අනාගතයේ රසික ඩී දුමින්ද මගින් අපට දැකිය හැකි මිනිසා කවරෙක්ද ?

නිර්මාණ කරුවෙක් විදිහට මට ඉලක්කයක් නෑ. මට දැනෙන දේ ලියයි, ඒ මට ඇති. මම ආපස්සට හැරිලා අද ගැන සතුටක් ලබන කෙනෙක් . ජීවිතේ සෑහෙන කට්ටක් කාපු කෙනෙක් විදිහට ඒ කට්ට, මම මගෙන් පස්සෙ මගෙ ළමයිට බාර දෙන් නෑ. ඒ වෙනුවෙන් මම වැඩ කරයි දිගටම.

සාකච්ඡා කළේ..

තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *