සුවස් ඇළ වැසී යාම ලොවටම බලපායිද ? – තරණය – හසිනි දෙනිපිටිය

ලොව කාර්‍යය බහුල ම නාවික වෙළඳ මාර්ගයන්ගෙන් එකක් වන ඊජිප්තුවේ සූවස් ඇළ අවහිර වී තිබේ. ඒ MV EVER GIVEN නෞකාව අනතුරට ලක් වීම හේතුවෙනි. මෙම නෞකාව පැනමාවේ ලියාපදිංචි EVERGREEN MARINE සමාගමට අයත් නෞකාවකි. දිගින් අඩි 1310 ක් පමණ වන මෙය මීටර් 59 ක් පමණ පළලින් යුත් විශාල බහාලුම් සහිත නෞකාවකි. මෙම නෞකාව සූවස් ඇළ දෙ ඉවුරේ සිර වීමෙන් පසුගිය අඟහරුවාදා උදෑසන අනතුරට ලක් වී තිබේ. ටොන් ලක්ෂ දෙකක පමණ භාණ්ඩ සහිත මෙම නෞකාව චීනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩැම් වෙත ගමන් කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අඟහරුවාදා උදෑසන සිට ම නෞකාව නිදහස් කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති නමුත් තවමත් නෞකාව නිදහස් කර ගැනීමට හැකි වී නොමැත. මේ වනවිටත් ඉවුරු දෙපස වැලි ඉවත් කරමින් අදාළ කටයුතු සිදු කෙරෙමින් පවතියි. එසේම ටග් යාත්‍රාවන් යොදා ගනිමින් නෞකාව යළි මාර්ගයට අවතීර්ණ කර ගැනීමට ද උත්සහ දරන බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේනමුත් නෞකාව යළි යථාතත්ත්වයට පත් කරමින් යාත්‍රා කිරීම සඳහා සති කිහිපයක් ගත වන බව මුදා ගැනීම් සමාගම් පවසයි.

මෙම නිසා සූවස් ඇළෙහි ගමනාගමන කටයුතු මුළුමනින් ම අවහිර වී තිබීම නිසා සූවස් ඇළෙහි පැරණි ගමන් මාර්ගයක් යළි විවෘත කිරීමට ඊජිප්තු බලධාරීන් පියවර ගෙන තිබේ. අනතුරින් පසු ගෑස්, ඉන්ධන, ඖෂධ ඇතුළු නෞකාවන් 206 කට ආසන්න සංඛ්‍යාවක් සිර වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සූවස් ඇළ මධ්‍යධරණි මුහුද රතු මුහුදට සම්බන්ධ කරන අතර ආසියාව හා යුරෝපය අතර පවතින කෙටිම නාවික මාර්ගය මෙය වේ. කෙසේවෙතත් සූවස් ඇළ මාර්ගය මඟහැර අප්‍රිකානු මහද්වීපය හරහා යුරෝපයට යාමට හැකි වුවත් ඒ සඳහා අවම වශයෙන් දින 10 ක් පමණ ගත වන අතර කිලෝමීටර 9000 ක අමතර දුරක් යාත්‍රා කිරීමට සිදු වේ. එසේම මේ සඳහා එක් නැවකට ඇමෙරිකානු ඩොලර් තුන්ලක්ෂ පනස්දහසක් පමණ වැය වන බව වාර්තා වේ.

ලෝක වෙළඳාමේන් 12% ක පමණ දායකත්වයක් ලබා දෙන නාවික මාර්ගයක් වන සූවස් ඇළ මෙලෙස අවහිර වීම නිසා ගෝලීය වෙළඳාමට විශාල බලපෑමක් මේ වනවිටත් සිදුව තිබේ. මේ වනවිට සූවස් ඇළ අවට සිර වී තිබෙන ඉන්ධන නෞකා ගණන 24 කි. ඇළ මාර්ගය අවහිර වී වීමෙන් පසුව ලෝක වෙළඳපොළෙහි තෙල් මිල 4% කින් ඉහළ ගියේය. මේ වනවිට එය 6% කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

Mega Container Ship Blocks Suez Canal After Grounding Sideways, Blocks  Traffic From Both Direction

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *