‘කළු රංජිත්’ කියන්නේ ලාංකේය සමාජයේ සලකුණක් – ජයසිරි අලවත්ත

ඇයි කළු රංජි ගැන පොත් ලියන්නේ ?

‘‘පොත් ලියන්නෙ’’ කියන බුහු වචනයට පිළිතුරු සපයන්න අපහසු වුනත් ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ පොත ලියන්න හේතුපාදක වුණේ මොකක්ද කියල කෙටියෙන් පැහැදිලි කරන්නම්.
ඇත්තට ම මේ පොත මම ලියපු පොතක් කියනවට වඩා මට කියල ලියවපු පොතක් කිව්වොත් නිවැරැදියි. එතනදිත් වැරැදි අදහසක් එන්න පුළුවන් කළු රංජිත් අයිය මට කියල මේ පොත ලියෙව්ව කියල. නෑ… ඒක එහෙමත් නෙවෙයි.
මගේ පොත් සියල්ල ම ප්‍රකාශයට පත් කරල තියෙන්නෙ කවිවර ප්‍රකාශන ආයතනයෙන්. එහි හිමිකාරිය වෙන්නෙ කාන්චනා (කවි) කරුණාරත්න. 2018 ඔක්තෝර් මාසෙ 27වෙනිද කාන්චනා මහත්මියගෙ ගෙදර තිබුණු සුහද හමුවකදි රංජිත් අයිය එයාගෙ ජීවන අත්දැකීම් කිහිපයක් කිව්ව. ඒ කතන්දර අහගෙන හිටපු කාන්චනා කරුණාරත්න මහත්මිය යෝජනාවක් කරා ‘ඉතිං රංජි අයියෙ අපි ඔය කතන්දර එකතු කරල පොතක් කරමුකො’ කියල. ඒ කියල ඉර වෙලා මගේ දිහාට හැරිල කිව්ව ‘ජයසිරි අයියට පුළුවන්නෙ ලියන්න’ කියල. මම කිව්ව ‘මම නං වැඩේට කැමතියි’ කියල. නමුත් රංජිත් අයියගෙන් ඒ යෝජනාවට නිශ්චිත පිළිතුරක් ලැබුණෙ නැහැ.
ඔය විදියට කාලය ගලාගෙන ගිහින් 2019 වසරෙ ඔක්තෝබර් පළමුවෙනිද මම අනතුරකට ලක්වෙලා රෝහල් ගතවුණා. රෝහලෙන් ආවෙ ඔක්තෝබර් 13. 18 වෙනිද මට කාන්චනා මහත්මියගෙන් දුරකතන ඇමතුමක් එනව. ‘අයියෙ… ඔයා ඉන්නෙ අසනීපෙන් වුනත් මං ගත්තෙ සතුටුදායක ආරංචියක් කියන්න’ කියල කාන්චනා මහත්මිය කිව්වම මම හේතුව ඇහුව. ඒ වෙලාවෙ තමයි එයා කිව්වෙ රංජිත් අයිය එයාගෙ කතන්දර ටික පොතක් විදියට කරන්න කැමැත්ත දුන්න කියල. ඊට පස්සෙ ඒ මාසෙම 21වෙනිද තමයි රංජිත් අයියත් එක්ක පළමු පටිගතකිරීම කරේ. ඒ විදියට අපි විටින් විට දින 43ක් පුරා දවසකට පැයක් එකහමාරක් කතාකරා; රංජිත් අයිය කියන හැම වචනයක්ම පටිගත කරා. ඒ කතා කරද්දි, පටිගතකරද්දි මටො හිතුනෙ ඇයි මේ අත්දැකීම් ටික පොතක් විදියට එන්න මෙච්චර ම ප්‍රමාද වුණේ කියල. ඒ, කළු රංජිත් කියන්නෙ හුදු 71අප්‍රියල් කැරලිකරුවෙක් නිසා ම නෙවෙයි. ඇත්තට ම ඔහු තමන්ගෙ සැබෑ අරගලය කරන්නෙ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව අවි එසවීමේ වරදට සිර දඬුවම් විඳලත් ආවට පස්සෙ. ඒ නිසා තමයි ඒ කතන්දර ඇසුරෙන් සාහිත්‍යමය රසයක් එන ආකාරයට මේ කෘතිය ලිව්වෙ. 2020 වසරෙ අප්‍රියල් පස්වෙනිද මේ කෘතිය ජනගතකරන්න බලාපොරොත්තුවෙන් හිටියත් කොවිඩ් තත්ත්වය නිසා ඒ අවස්ථාව ගිලිහුණා. පස්සෙ එය මේ වසරෙ ජනගත කරන්න කටයුතු කළා.

චරිත ගොඩනගන එක, ගතවුණු ජීවිත ගැන කියවා ගන්න එක දැන් විලාසිතාවක් වෙලා නේද?

ඇතැම් අයගෙ චරිත එහෙම ගොඩනැගුව වෙන්න පුළුවන්. නමුත් මම නම් හිතන්නෙ ‘කළු රංජිත්’ කියන පුද්ගලයට ඔහුගේ චරිතයේ විශේෂයෙන් ගොඩනගානන්න කිසිවක් ම නැහැ. මොකද ඔහු මේ වන විටත් ලාංකීය සමාජයේ: සාහිත්‍ය, දේශපාලන සහ සමාජ ක්‍රියාකාරි භූමිකාව තුළ කිසියම් සලකුණක් තියල හමාරයි. නමුත් ඒ සලකුණ නොමැකෙන ලෙස සටහන් කර තැබීම මම නොවුනත් වෙනත් කිසිවකු හෝ කළ යුතුයි කියල මම විශ්වාස කරනවා. අනෙක් පැත්තෙන් ඔබ ඔය කියන විලාසිතාව. මම දන්න ‘‘කළු රංජිත්’ට එහෙම වුවමනාවක් තිබුණෙ නැහැ. එහෙම වුවමනාවක් තිබුණ නම් මේ පොත නිකුත් වෙන්නෙ මීටත් වසර දහයකට විතර කලින්. ඇත්තට ම ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ කෘතිය නිකුත් වෙන්නෙ ම සමාජ අවශ්‍යතාවක් උදෙසා මිස හුදෙක් ‘‘කළු රංජිත්‘‘ගෙ වුවමනාවට නෙවෙයි.

කළු රංජි සුදු වෙන්නේ ඇයි…?

මේ ප්‍රශ්නය සරල නැහැ. ඒ වගේ ම මේ ප්‍රශ්නයට දෙන්න තියෙන පිළිතුරත් සරල නැහැ. මොකද සමාජයේ ‘‘කළු සහ සුදු’’ යනුවෙන් බෙදීමක් පවතින නිසා; ඒ බෙදීම ‘‘කළු’’ කියන්නෙ නරකයි සහ ‘‘සුදු’’ කියන්නෙ හොඳයි යන මතය සමාජගතවෙලා තියෙන නිසා.
මෙතනදි පොතට නම යෙදීම මගේ කටයුත්තක් නොවුණත් එහි අරමුණ වුණේ මොකක් ද කියල පැහැදිලි කළ යුතුයි.
අපිට වුවමනා වුණේ ම මේ ‘‘කළු සහ සුදු’’ කියන බෙදුම් රේඛාව සමතික්‍රමණය කරන්න. ඒ හුදෙක් වර්ණ භේදයක් නිසා ම නෙවෙයි. ඒක දේශපාලනික භේදයක්. ඒ භේදය, එහෙමත් නැතිනම් ඒ බෙදුම් රේඛාව මකා දමන්න ‘‘කළු රංජිත්’’ කියන චරිතයට හැකි වෙලා තියෙනවා. ඒ කොහොමද? යන පැනයට පිළිතුර මේ කෘතිය ඇතුළෙ තිබෙනවා.

 අපි මේ පාට අස්සේ සොයන්නේ මොනවද ?

‘මේ පාට අස්සෙ සොයන්නෙ’ නෙවෙයි… ‘සොයා දෙන්න’ උත්සාහ කරන යමක් පවතිනවා. ඒ අන් කිසිවක් නෙවෙයි… මිනිස් ජීවිතයේ පැවැත්මට පාටක් වුමනා නැහැ කියන ඉතාමත් මානුෂීය ගුණය; ඒ ගුණය වගා කළ හැකි ක්‍රමය.

ඇත්තටම කළු රංජි කවුද ? පොතේ ඇති කියන්න එපා. පොත බලන්න උනන්දු වෙන්න විශේෂ කරුණු

මතුපිටින් බැලුවම කළු රංජි කියන්නෙ 71 අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයෙක්. නමුත් ඔහු බොහෝ 71 අරගලයේ ක්‍රියාකාරි සාමාජිකයන්ගෙන් වෙනස් පුද්ගලයෙක්. ඔහු ඇතුළු පිරිසක් 71 යම් අරගලයක් කරන්නෙ කිසියම් අභිලාෂ ගොන්නක් සාක්ෂාත් කරගැනීමේ අරමුණෙන්. නමුත් ඒ අරගලය අසාර්ථක වෙනව. අසාර්ථක වුණත් එය නොකර යුතුව තිබුණාය කියන තැන පුද්ගලිකව මම හෝ රංජිත් අයිය නැහැ. එය ඒ මොහොතට සාපේක්ෂව කළ යුතු දෙයක්. නමුත් මම කලින් සඳහන් කළා වගේ ‘කළු රංජිත්’ කියන්නෙ සිර දඬුවම් විඳ සමාජ ගතවුණු මොහොතේ සිට ම පෙර කියපු අභිලාෂ වෙනුවෙන් කටයුතු කරපු සහ කරන පුද්ගලයෙක්. ඔහු නියම සමාජ අරගලය කරන්නෙ ජනතා විමුක්ති පෙරමුණෙන් පවා ඉවත්ව ගියාට පස්සෙ. ඔහු අදත් ඒ අරගලයේ නිරත වී සිටින චරිතයක්. ඒ චරිතය තරමට ම මටත් ඔබටත් පොදු අභිලාෂ වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ මුදල් යොදවන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අනාගත පරපුර මෙබඳු චරිත පිළිබඳ දැන සිටිය යුතුයි; ඒ චරිත කියවා එයින් උකහාගතයුතු අංශු මාත්‍රයක හෝ දෙයක් උකහා ගතයුතුයි; එසේ උකහාගත් දේ වඩ වඩාත් නවීකරණය කරමින් අනාගත සමාජ ප්‍රගමනය සදහා භාවිත කළ යුතුයි.

ඇයි වාමාංෂික පැතිකඩකින් සමාජය කියවා ගැනීම් දැන් අවසන් කියල හිතෙන්නේ නැද්ද?

වාමාංශික පැතිකඩකින් සමාජය කියවාගැනිම අවසන් නැහැ. නමුත්: පැරණි, නව සහ පශ්චාත් නූතන යන කිසිදු ව්‍යාපාරයක් මේ මොහොතේ නිවැරැදි වාමාංශික කියවීමක නැහැ කියලයි මං විශ්වාස කරන්නෙ. ඔවුන් හැමෝ ම කරන්නෙ තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වමට මුවා වී සිටීම පමණයි; ‘වම’ නමැති කඩතුරාවෙන් තමන්ගෙ නිරුවත ආවරණය කරගැනීම පමණයි.

 දෙයක් කළ මිනිහෙක් මත තබන බර එවැනිම දෙයක් කිරීමට අනුබලයක් දෙනවාද ? එයද කතාවේ පරමාර්ථය…?

මගේ විශ්වාසය නම්, යම් දෙයක් කළ මිනිහෙක් මත යම් බරක් තබනවා නම් එය ඔහු කළ කී දෑ අභිභවා යා හැකි බරක් විය යුතුයි; ඔහුගෙන් යම් ආභාෂයක් ලබාගනිමින් ඔහුට වඩා හොඳින් එය කළ යුතුයි. එසේ කිරීමට නම් අපි ඉතිහාසය කියවා තිබිය යුතුයි. ‘‘කළු රංජිත් සුදු මිනිසෙක්’’ කෘතියෙන් කියවෙන්නෙත් මෙන්න මේ ඉතිහාසය. අපි කළ යුත්තේ ඒ ඉතිහාසය මත සිටිමින් අනාගතයේ දී ඉතිහාසයට එකතු කළ හැකි ඊට වඩා බර වැඩි යමක් කිරීම යි. ඒ නිසා මෙම කෘතියේ පරමාර්ථය වුණේ මෙන්න මේකයි කියල මම හෝ රංජිත් අයිය කියනවට වඩා වටින්නෙ කියවන පිරිස ම එය තීරණය කිරීම යි.

රංජිලා අද නැති වෙන්න හේතුව මොකද්ද ?

හේතුව සරල නැහැ. හැමෝ ම මේ යාන්ත්‍රනයේ දැතිරෝද බවට පත්වෙලා; නට් සහ බෝල්ට් බවට පත්වෙලා. එක නට් එකක් බුරුල් වුනොත් එක රෝදයක ගමන අඩාල වෙනවා. ඒ අඩාල විම හේතුවෙන් සමස්ත යාන්ත්‍රණය ම අඩාල වෙනවා. ඉතින් කිසිවෙක් කැමති නැහැ තම තමන්ගෙ යාන්ත්‍රණයේ දැති රෝද මොහොතකට හරි නවතාගන්න; තමාගෙ යාන්ත්‍රණයේ නට් සහ බෝල්ට් මඳක් හෝ බුරුල් කරගන්න. සරලව ම කියනවා නම් ‘අනෙකෙක්’ සිටිනවා ද කියා විමසිලිමත් වෙන්න හෝ කාලය මිඩංගු කරන්නෙ නැහැ. එහෙම මිඩංගු කරොත් තවකෙක් තමන්ගේ හිස පාගාගෙන ඉදිරියට යනවා.

විප්ලවයක් කරන්න ගිය මිනිස්සු ආයේ ඇවිත් සමාජයේ සුබසාධනමය පැති ගොඩ දැමීම ධනේෂ්වරයට කරන උදව්වක් නෙවෙයිද ?

විප්ලවය තුළ කෙරෙන්නෙත් සමාජ සුබසාධනය ම නේද? සමාජයේ සියලු දෙනාට ම සමාන ලෙස සැලකිම සහ සම්පත් සමසේ බෙදී යාම කියන්නෙත් සමාජ සුබසාධනය ම නේද? විශේෂත්වය තියෙන්නෙ එබඳු මොහොතක සිදුවන දේ ‘සමාජ සුබසාධනය’ කියල අපි කිසිවෙකුට නොදැනෙන එක. දැන් සිද්ධ වෙලා තියෙන්නෙ සමාජයේ විවිධ ස්තර පිහිටා තිබීම හේතුවෙන් පහළ ස්තරවලට ඉහළ ස්තරයෙන් ලැබෙන යම් උපකාරයක් තිබේ නම් එය ‘සමාජ සුබසාධනය’ ලෙස නම් කිරීම නේද? එහෙම නම් ‘ධනේශ්වරයට උදව්වක් වෙනව නේද?’ කියන අදහසෙන් අපි අනෙකාගේ දුකේදි පිහිට වීම අත්හිටුවනවා නම් ඒක කෙතරම් දුරට සාධාරණ ද? එහෙම වුනොත් ඒ සමාජ කණ්ඩායම්වලට සිද්ධවෙන්නෙ හැමදාමත් පීඩිත ජන කොටසක් විදියට තමන්ගෙ ජීවිත ගෙවා දාන්න නේද?

අපි කොහොමද වැඩේට සෙට් වෙන්නේ ? මම ඇහුවේ පොත එළි දක්වන එකට ?

මේ වැඩේ තියෙන්නෙ අප්‍රේල් පස්වෙනිද. තැන කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරය. වෙලාව සවස තුන.

සාකච්ඡා කලේ – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *