ඇයට යලි එන්න දෙන්න – 1

සුසානභූමිය පුරා ශබ්දය අඩු නොවැඩි ලෙස ඇසෙන පටිගත කළ පිරිත් සජ්ජායනාවකි , විදුලි චිතකය දැල්වෙමින් පවතී . දෙනෙතෙන් රූරා වැටෙන කඳුලු කැට අතර ඇත්තේ අවුරුදු කිහිපයකට පෙර එක , දෙක , තුන කියා ගණන් කල හැකි අල්ප වූද , ඉන්පසු විටින් විට හමුවුණ දිනවල ඇත්තාවූද මතක කිහිපයක් පමණි . එවන් ස්වල්ප වූ මතකයන් පවා මාගේ හදවත කොනිත්තමින් පාරවන විට ඇය සමඟ අවුරුදු ගණනාවක් එකම යහන බෙදාගත් සැමියාද , අවුරුදු දාහතක් දාඅටක් පමණ මව් සෙනෙහස විඳි දියණියද , ඉපදුණ දා පටන් දැන හඳුනගෙන සිටි නෑදෑ හිත මිතුරු සියල්ලන්ම නිසොල්මන්‍ ය . ඇතැමුන් මානය බිඳ හෙලේයැයි බියෙන් කඳුලක්වත් රූරා වැටෙන්නට ඉඩ නොදී පරිස්සම් විය , කෙසේ වෙතත් අප කිහිපදෙනා හැරෙන්නට දෙනෙතින් කඳුළක් වැටෙන්නට තරම්වත් එතන සිටි කිසිවෙකුගේ හිත් මෘදු නොවීය , යටත් පිරිසෙන් ඇගේ සහෝදරිය පමණක් නාමිකව හෝ සම්ප්‍රදායට හෝ එවන් ගණයකට වැටෙන යම් කිසි හේතුවකට අඬමින් සිටියාය ..

වේදනාව කෙසේදැයි නුඹ දන්නේදැයි මගෙන් අසන්නට ඔබට අයිතියක් නැත . එහි වූ අයෙක් හෝ වේදනාව කුමක්දැයි දැන සිටියානම් ඇය මෙසේ වෙලාවටත් කලින් අවසන් ගමන් යන්නේ නැත . ඇයත් වැරදිය ඉන් පෙර ඔවුන් කුරිරුය .
ගැහැණියක් පති කුලයට පිවිසෙන්නේ දහසක් හීන පොදිගසා තම ස්වාමියාගේ පැල්පතේ හෝ කිරුළ හිමි එකම රැජිණිය වීමට මිස කඳුළම බදාවැළඳගෙන කලටත් පෙර නික්ම යෑමටනම් නොවේ ..

මේ ඇයගේ කතාවයි

ඇය මියගියද අනෙක් බොහෝ දෙනා තවම ජීවතුන් අතර නිසා ඇයගේ නමද අනෙක් සියලුම දෙනාගේ නම් ගම්ද සියල්ල මෙතැන් පටන් මනඃකල්පිතය ..

ලංකාවේ අති සුන්දරම ප්‍රදේශයක සාමාන්‍ය පව්ලක උපත ලැබූ ඇය දරුවන් හතර දෙනෙක්ගෙන් යුක්ත වූ පව්ලේ බාලයා විය .
කුඩා වියේ මට ඈ පිළිබඳ ඇති ලොකුම මතකය මෙසේය . ඇය එවිට තුරුණු වියේ පසු විය . ඔවුන්ගේ මහ ගෙදරට එකල අපි අවුරුද්දකට සැරයක් දෙසැරයක් හෝ යන්නට පුරුදු වී සිටියෙමු . එසේ ගිය දිනක රාත්‍රියේ මා ලඟ හිඳ මාව නිදිකෙරවූ මව මට නින්ද ගිය පසු ඉතුරු වැඩ කටයුතු සඳහා නැගිට ගොස් තිබුණේ ඇයව එනම් මෙහි කතා නායිකාව වූ නිල්මි අක්කාව මා ලඟ තබාය . මා උණුසුමට නිදාගෙන ඇත්තේ ඇය අසලය , නැගිටින විට මා අසල ඇය සිටියා මට අද වගේ මතකය .
ඇයගේ විවාහයට පව්ලේ අය සමඟ මා ගිය බව මතකය . හෝටලයේ පසුබිම ස්ථානයක් දෙකක් යන්තමින් මතකයේ තිබුණද වැඩි යමක් මතක නැත එවිට අපි ඉතාම කුඩා වියේ පසු විය .

ඇය විවාහ වී ඇත්තේ ප්‍රේම සම්බන්ධයකිනි . සල්ලාලකම මුහුණෙන්ම පෙනෙන එවන් වූ සල්ලාලයෙක් සමඟ ඇය කුමට යාලු වූවාදැයි මට හිතාගන්නට බැරිය . පසුව ඇයගේ සැමියා වූ නාලින්දව ඇයට හමුවී ඇත්තේ ඇය එකල රැකියාවක් කරන විටය . විවාහයට නාලින්දගේ පැත්තෙන් තදින්ම අකමැති වී ඇත . නාලින්දගේ පියා පොලිසියේ යම් කිසි ඉහල නිළයක් දරා තිබූ අයෙක් නිසා පව්ලේ අනෙක් උදවිය සිටින්නේ එයින් හිස උදුම්මවාගෙනය . නාලින්දගේ මවට සහ අක්කාට අවශ්‍ය වූයේ තොල් ආලේපන , නිය ආලේපන ගා විලාසිතා කරමින් ලේලිය යැයි එන යන උදවියට පෙන්වීම පිණිස තබාගත යුතු මනාලියකි . නිල්මි අක්කා උස මහත තරුණියක් වූ අතර ස්වාභාවික ලස්සනේ අඩුවක් නොවීය . නාලින්දගේ බාහිර ස්වරූපයට නොගැලපෙන තරුණියක්ද නොවීය . ඇයටද නාලින්දගේ දෙමව්පියන් සෙවූ අයුරින් විලාසිතා කරගෙන ඉන්න හැකියාවක් තිබුණි . නමුත් නාලින්ද පවා ඇයට කැමති වී තිබුණේ ඇයගේ ස්වාභාවික ලස්සනටය .
විවාහ මංගල්‍ය දිනයේදී නාලින්ද විසින් , නිල්මි අක්කාට වැඩියෙන් මේකප් දමා ඇතැයි රූපලාවණ්‍යය ශිල්පිණියට බැණවැදී වැඩි මේකප් මකවා තිබුණේද ඒ නිසාමය .

නිල්මි අක්කාගේ සීයා කෙනෙක් ඔවුන්ගේ හඳහන් බලා අනාගතයේ වෙන්නට තිබෙන නපුර කලින්ම දැක ඔහු හා විවාහ නොවන ලෙස ඉල්ලා ඇත . වෙන්නට තිබෙන දේ පෙනි පෙනී විවාහ වන්නට යනවානම් එම විවාහයට ඔවුන් සහභාගි නොවන බවද පවසා ඇත , ඔවුන් පැවසූ ලෙසම එම විවාහයට නොපැමිණි අතර හඳහනේ තිබූ දේද එලෙසෙම සිදුවිය . වෙන්නට තිබෙන දේ කොපමණ කිව්වත් වළක්වන්නට බැරිය , එය ලෝක ස්වභාවයය . දැන දැනම මරු වැලක් වුව බෙල්ලෙ එල්ලා ගැනීමට සිතෙන්නේ එබැවිනි .

විවාහයට අපට ආරාධනාකරන්නට පැමිණි අවස්ථාවේ අපේ අම්මා සමඟ හොරෙන් නිල්මි අක්කා දෙතුන් වතාවක්ම “අනේ අක්කේ නාලින්දට කියන්නකො බියර් බොන එක නවත්තන්න කියලා” යැයි පවසා ඇත . වැඩිය තැලී පොඩිවී නැති , සමාජ අත්දැකීම් නැති නිල්මි අක්කා සිතන්නට ඇත්තේ වැඩිහිටියෙක් කියූ විට නාලින්ද බීම අතහරී කියා වන්නට ඇත . හරි ආදරයක් තිබුණානම් ඇය අකමැති බව දැන දැන ඔහුට බීම නවත්තන්නට තිබුණ බව ඇයට නොවැටහෙන්නට ඇති . නාලින්ද බීර පමණක් නොව එකි නොකී බොහෝ මත් වර්ග භාවිතා කරන අයෙකි . තවත් නොපණත්කම් කරන අයෙකි . ඇතැම් විට නිල්මි අක්කා ඒ සියල්ල දැනගෙන සිටියා වන්නට ඇත , නැත්නම් නාලින්ද ඇයට පවසා තිබෙන්නට ඇත්තේ බීර පමණක් බොන බවය . කෙසේ වුවත් එකල නිල්මි අක්කා ආදරයෙන් අන්ධ වී සිටින්නට ඇත , නොමැතිනම් නාලින්ද සුන්දර සිහින මවා පෙන්වා ඇයව ඒ හීන තුළ අතරමං කරන්නට ඇත , ඒ හීන සැබෑවක්යැයි සිතා ආදරයේ නාමයෙන් රැවටෙන්නට ඇත . එසේත් නැතිනම් ආදරයේ නාමයෙන් විවාහයෙන් පසු නාලින්ද හොඳ ස්වාමි පුරුෂයෙක් වනු ඇතැයි බොහෝ තරුණියන් සිතන්නාක් මෙන් ඇයද සිතන්නට ඇත .

2 වෙනි කොටසින් නැවත හමුවෙමු .

-W.චතුරි මහේෂිකා-
-29.03.2021-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *