ප්‍රේමය.. .. වෙනස් අයුරකට – හුස්ම විනිවිද – 03 – මාධ්‍යවේදිනී ඉන්දිරා පෙරේරා

පොද වැස්සක සීතල, ටිකක් ලොකු පොද වැටිලා වැස්සකුත් නැති පොදේකුත් නැති ඒ අතර මැදි වැස්ස ගේන චිරි චිරි හඬ, ජනේලයට එහායින් පිපිලා වැහි බිදිති බර දරාගන්න බැරුව බිමට නැමිලා ඒත් හිනා වෙවී ඉන්න බේබි රෝස මල්, ඉද හිට ඇහෙන වාහන සද්දෙත් එක්ක අරන් එන්නේ පාළු ගතියක් ද, දුකක් ද, ඒ මුකුත් නැත්නම් අහස අලුත් වෙනවද පොලොව අලුත් වෙනවද කියලා හිතාගන්න බෑ. ඉදලා හිටලවත් ඇහෙන්නේ නැති කුරුළු ගීත කුරුල්ලන්ට සිංදු කියන්න අමතක කරවලා වගේ. සමනලයෙක් ආසාවට දකින්න වත් නැති ගෙවත්තේ ඉස්සර පුංචි ලතා පාත්තියේ මල් ද සමනල්ලු ද කියලා හිතාගන්න වත් බැරි තරමට පියාඹන සමනල්ලු මතක් වෙද්දී එදා දවසට දුවන් යන්න හිතෙනවා. එක පාට මලකට ඒ පාටින්ම සමනලයෙක් මන් හිතින් ගැලපුවා තාම මතකයි.  ඒත් සමහර පාට මල් වලට සමනල්ලු හිටියෙ නෑ. සමහර පාට සමනල්ලු එයාලගෙම පාට මල් වලට ගියේ නෑ. ඒත් මන් දැක්ක ලස්සනම දේ තමා කිසිම විදිහක ගැලපීමක් තිබ්බ නැති සමනල්ලු යි මලුයි හරි හරියට හිනා වෙවී හිටියා. එයාලා එකට ඉද්දී හරි ලස්සනයි කියලා හිතුනා. ඒත් අද ඒ කවුරුවත් නෑ. එච්චරට සොබාදහම විස වෙලාද කොහෙද ?

අපි විස එක්කරපු අහස පොලොවම අපිත් එක්ක තරහා වෙලාද නැත්නම් වෙන කරන්න දෙයක් නැති නිසාම ලෙඩ වෙලාද කියන්න බැරි තරම් හුස්ම ඉල්ලලා අඩනවා කියලා හිතෙනවා. මගේම සහෝදරයෝ හුස්ම වෙනුවෙන් යදිද්දී කී දහසකගේ හුස්ම මේ වාතලයේ පා වෙලා අපේ මුහුණු වලත් හැප්පිලා පියාඹලා යනවා ඇත්ද.. ඒ හුස්මත් අපේ කරන් අපි හුස්ම ගන්නවා වෙන්න පුලුවන් නේද..
ආදරණීය හිත් යට ආදරණීය පැතුම් පුරෝගත් හිත්ම ජීවිතයේ අනිත්‍ය පසක් කරගෙන හෙට ඒ දවස, ඒ ඉර පායද්දි සමහර විට මම ඔබ නොයින්නත් පුළුවන්. අපි දැන් ඒ තැනට අපේ හිත් හදාගෙන නේද? නිකන් අහලා බලන්න ඔයාගෙ හිතට තට්ටු කරලා. ඒ නිසාම අපි උත්සාහ කරනවා අද ආදරයෙන් ඉන්න. පුලුවන් තරම් ආදරය දෙන්න. ආදරය ඉල්ලන්න එහෙම නේද…

මෙහෙම කාලයක් තිබ්බා ඉස්සර ‍යුද්ද කාලෙදි. උදේ ගෙදරින් ගියාට පස්සෙ ආයෙ ගෙදර එනකන් බයෙන් ඉන්න. ඒත් අද කොහේ හිටියත් එකයි නේද?

මේ අනේක විද හැගීම් එක්ක පොරබදිද්දී මා දකින තවත් සංවේදීම දෙයක් තමයි සමනල්ලු වගේ දුව පැන නටන පොඩි දරුවන්ගේ හිර වෙන, සීමා වෙන ළමා කාලය.අපි දකින සීමා වෙන ළමා කාලය තුල මවුපියන් ගුරුවරු වන සම්භාවිතාව දැන් ඉතා ඉහළයි. ටියුශන් තරග නැති වීමත් එක්ක ගේ ඇතුලේ උනත් ළමයා සොබාදහම එක්ක ආදරය ඉගෙන ගන්නවා. වෙනදට වඩා අම්මා අස්සේ දරුවෝ ආදරය හොයනවා. ගෙදර අඹ ගහේ කොටේ උඩට බත් කන්න එන ලේනට ආදරය කරන්න පටන් ගන්නවා. ගෙදරම කෙනෙක්ට වගේ නමකුත් දාලා ඔක්කොටම කලින් එයාට උණු උණුවෙ බත් දාන වෙලාවලුත් තියෙනවා. ඉතින් උණුවෙන් බත් කාපු ලේනා කට පිච්චුනාම මොනා කියනවද කියලා ලේනගෙන්ම තමා අහන්න වෙන්නේ..

මෙහෙම ලේනෙක් තියා සතෙක් ට කෑම ටිකක් දාන්න වත් අපිට කලින් වෙලාවක් තිබ්බා ද..?

කොරෝනා උඹ අපිට මොකද මේ කරේ ?

ආදරය, ප්‍රේමය, සෙනෙහස මොන විදිහට අකුරු කරත් උනත් ඒ හැගීම ඒ දැනීම අපි කාට උනත් හරි සුන්දර අත්දැකීමක්. ඒකයි දරුවා උනත් ලේනටත් බත් ටිකක් දෙමු කියන්නේ. වැඩිහිටි අපි පව් කියලා කියන සතාටම දරුවා යාලුවෙක් ට වගේ ආදරය කරන්න ගන්නවා. ඒ හැගීම් එක්ක දරුවා කතා කරන්න නොදන්න, මෙලෝහසරක් නොතේරෙන සතෙක් එක්ක ආදරයෙන් කතා කරන්න ඉගෙන ගන්නවා. ආදරයෙන් හාද්දක් දෙන්න අපි කවදාවත් වෙනම ඉගෙන ගෙන තියෙනවාද? දරුවෙක් හාද්දක් දෙන්නේ කලින් ඉගෙනගෙනද? ජීවය ලැබෙන්නේ ආදරයෙන්.

සියලු දේ ගොඩනැගෙන්නේ ආදරයෙන්. අම්මා බත් කවන්නේ ආදරයෙන්. අම්මා අතගාලා වතුර දාලා හදන මල් පැලේ තමා මුලින්ම මල් පිපෙන්නේ. සියළු සොබාදහමත් සියළු සත්ත්ව වර්ගයාට හුස්ම දෙන්නේ ආදරයෙන්. ඒ ආදරය , සෙනෙහස ටිකක් එහෙ මෙහෙ උනාම අපි කොච්චර තැවෙනවද.. දුක් වෙනවද.. එහෙව් ඇබැද්දියකදි තමා ජීවිතේට නාය නොගියපු කදුත් නාය යන්නේ. හරියටම කිව්වොත් අපි ඉන්න හීන පිරෙන්න ඕන සතුටින් විතරයි කියලා හිතන තැනදි ඒ ආත්මාර්ථයම අවට වෙලා ගෙන තව තවත් පිරිහෙන්න බලනවා. ඒකයි කවදටත් අම්මාගෙ ආදරයට සම කරන්න ආදරයක් සෙනෙහසක් තාම හොයාගෙන නැත්තේ. ගැහැණියක් තම රූපය ,ආත්මය , කාලය සියල්ල දෑසින් නොදැකපු හිතේ මවන් ඉන්න කෙනෙක් වෙනුවෙන් පූජා කරනවා. ලොවට බිහි කරපු දා ඉදන් ලේ කිරට හරවලා පිරුණු පයෝදර ගෙවෙන කන් දරුවා පෝශණය කරනවා.සියලු දේ දරා ගෙන, දුක එක අතකිනුත් සතුට තව අතකිනුත් සමබර කරන් හැකි හැම වෙලේම සතුට බෙදන ඇය නිසයි අපි පය ගහලා ඉන්න මේ මිහිතලයටත් මිහි මව කියන්නේ. සොබාදම් මෑණියන් කම්පා උන වෙලාවක මව කම්පා උන වෙලාවක නැත්නම් ඔබ මම ආදරය කරන කෙනෙක් කම්පා උන වෙලාවක අපි ආයෙත් හිතන්න ගන්නවා මන් දුන්න ආදරය මදිද කියන එක.

ඉතින් අපි අපිව තදින් අල්ලගන්න වෙලාවක් මේක. අපිව කියලා කිව්වේ අපි ආදරය කරන අයව. එකට තුරුල් වෙලා සැහැල්ලුවෙන් හිනා වෙලා මතක් වෙන්න ගත්ත පින්තූර බලන වෙලාවක් මේක. ඒ අතරෙ ඒ පින්තූරම තව කෙනෙක් ගත්ත අවසානම පින්තූරයත් වුන අවස්ථා ඕන තරම් තිබුනා. අපි කවුරු උනත් ඒ අජීවී වස්තු වලට ජීවය දෙන්න උත්සාහ කරන්නේ දැන්. මාස්ක් එකකට වැහිලා ගිය හිනාව හිතේ ඇදගෙන ඇස් දිහා බලලා හිතහදාගන්න වෙලාවක් මේක. අපි හැමෝම ගෙදරට කන්න දෙයක් හොයන් එන අතරේ මේ වගේ දේවල් වලටත් ලොකු ඉඩක් හදවතින් දෙනවා. අපි ලොකුවට නොහිතුවත්. ගොඩක්ම අපි හරි බයයි සංවේදී වෙන්න මොනයම් හෝ හේතුවකට. හේතුව ඉතින් එකිනෙකාට වෙනස් නේ. ඒක නිසා ඒ ගැන කතා නොකර ඉමු. ඉතින් ඔබට ඔබ එක්ක ගණුදෙනු කරන්න පුලුවන් හොදම වෙලාවක් මේක..

ඔබ ජීවත් වෙන හීනය ඇතුලේ සාදාරණයක් ඉශ්ඨ කරන්න හිතුවොත් මොකද ?

බොහෝ විට අපි සියළු දෙනාම අපේ අනාගතය හීනෙක පිහිටවනවා. ඒ ඇතුලේ කොහොමද කියලා අපි අපිවම විමසනවා.
ඉතින් හැගීම් විරහිත සීමාවන් ඇතුලේ හිරවෙනවට වඩා ඔබ ආදරය කරන ඈතින් උනත් ළගින් ඉන්නවා නම් හොද යැයි ඔබ සිතන පතන අයවලුන් වෙනුවෙන් මේ කාලය වෙන් කරන්නට පුළුව්න්..

ඔබ එක්ක කතා කරලා හිතින් ඔහු එක්ක හෝ ඇය එක්ක කතා කරන්න පුළුවන් හොදම වෙලාවක් මේක..
ආදරය, ප්‍රේමය වෙනස් ආරකින් දකින වෙලාවක් මේක…

හිතින් නෙතු දකින කල හිත එක්ක කතාවක්
කොහොම දුර රැදුනත් ම හුස්මෙ ඇත නිනව්වක්
හිතින් ඔබ දකින නෙතු හිරව ඇත සිහිනයක්
ආදරය කියන්නෙම සිහිනයක රැදීමක්..

මතක මිහිරක සැගව හද එක්ක කතාවක්
සද දනී අපි අපිව හැමෝටම වැඩි යමක්
පවුරු පදනම් බැදුන මල් පිපුන මාවතක්
ආදරය කියන්නෙම සිහිනයක රැදීමක්..

 

නැවතත් හමුවෙමු ….

මම 

ඉන්දිරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *